2021 ජනවාරි 02 වන සෙනසුරාදා

කොරෝනා අලුත් වෛරසය ලංකාවටත් ආවොත්!

 2021 ජනවාරි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 109

බ්‍රිතාන්‍යයේ මේ දිනවල පැතිර යන නව කොරෝනා වෛරසය දකුණු ආසියාවටද ව්‍යාප්තවෙමින් පවතී. මේ වන විට එය ඉන්දියාවෙන් හා පාකිස්තානයෙන්ද හඳුනාගෙන තිබේ. යුරෝපය ඇතුළු රටවල් 21ක එය පැතිර ඇතැයි වාර්තා වේ. මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 43,000 ඉක්මවා ඇති අතර  නව වෛරස් ප්‍රභේදය මෙරට ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අංශ විවිධ පියවර ගනිමින් සිටී.  එංගලන්තයේ සිට මෙරටට එන සියලු ගුවන්ගමන් පසුගිය 22 දා සිට නවතා දැමීමට ශ්‍රී ලංකාව පියවර ගත්තේ ඒ අනුවය. බ්‍රිතාන්‍යයේ පැතිර යන නව කොවිඩ් වෛරසය  කොවිඩ් 19 වසංගතයට හේතුවූ SARS - Cov2 කොරෝනා වෛරසයේ විකෘතියකි. කොරෝනා වෛරසය විවිධ විකෘතිතා මතුකරමින් ලොව පුරා ව්‍යාප්තවෙමින් තිබේ.  චීනයේ වූහාන් නගරයෙන් මීට වසරකට පෙර මෙම වෛරසය ගැන අනාවරණය අවස්ථාවේ යුරෝපයේ පැතිර ගියේ එහි විකෘතියක් වූ D614G වෛරසයයි. පසුව ස්පාඤ්ඤයේ පැතිර ගියේ A222V නමැති ප්‍රභේදයයි. බ්‍රිතාන්‍යයේ පැතිර යන නව කොවිඩ් විකෘතිය නම් කර ඇත්තේ  B.1.1.7 නමිනි. කොවිඩ් 19 වෛරසය  විකෘතින් 23කට පමණ වෙනස්වෙමින් මෙම නව වෛරසය නිර්මාණය වී ඇතැයි  හඳුනාගෙන තිබේ. මෙහි ඇති කුඩා විකෘතීන් නිසා වෛරසය වඩාත් පහසුවෙන් පැතිරීමට ඇති ප්‍රවණතාව වැඩිය. 

පසුගිය දෙසැම්බර් මාසයේ එංගලන්තයෙන් හඳුනාගත්  ආසාදිතයන්ගෙන් 60%කටම මෙම නව වෛරස ප්‍රභේදය ආසාදිත වී තිබූ බවට වාර්තා විය. B.1.1.7 හි ඇති විකෘති වැඩි ප්‍රමාණයකට වෛරසය පැතිරීම කෙරෙහි සැලකිය යුතු බලපෑමක් සිදු කළ හැකිය. එම වෛරසයේ 70%ක පමණ සම්ප්‍රේෂණ ප්‍රබලතාවක් පවතී. මෙම වෛරසය මේ වන විට ඔස්ට්‍රේලියාව, ඩෙන්මාර්කය, අයිස්ලන්තය, ඉතාලිය, නෙදර්ලන්තය, ප්‍රංශය, ඊශ්‍රායලය, තායිවානය හා දකුණු ආසියාවටද ව්‍යාප්ත වී තිබේ. දකුණු අප්‍රිකාව තුළද මේ වන විට මෙතෙක් හඳුනා නොගත් නව කොරෝනා වෛරසයක් ව්‍යාප්ත වෙමින් පවතී. මෙම නව ප්‍රභේදය එංගලන්තයේ ව්‍යාප්ත වෙමින් ඇති නව වෛරසයට සමාන වුවද වෙනස් ලක්ෂණ පෙන්නුම් කරන බවට එරට සෞඛ්‍ය අංශ පවසා ඇති අතර මේ වන විට ආසාදිතයන් මිලියනයකට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන තිබේ. මෙම වෛරසයට වැඩි වශයෙන්ම ගොදුරුවී අඅත්තේ තරුණ ප්‍රජාවය.

බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් නව වෛරසය සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ කිසියම් අතපසුවීමක් මත යම් හෙයකින් මෙම නව කොරෝනා වෛරසය අපේ රටට ඇතුළු වුවහොත් අපේ රටෙත් විශාල රෝගීන් පිරිසක් මතුවිය හැකි බවටය. එමෙන්ම රෝහල්වල වැඩි ඇඳන් ප්‍රමාණයක් සහ දැඩි සත්කාරක ඒකක සකස් කිරීම දුෂ්කර විය හැකි බවද ඔහු ප්‍රකාශ කළේය.. 

එබැවින් එම නව වෛරස් ප්‍රභේදය අප රටට ඇතුළු වීමට ඇති සියලු ඉඩකඩ ඇහිරීමට අපි කටයුතු කළ යුතුයි. මෙම වෛරස් ප්‍රභේදය වෙනස් වීම එංගලන්තයේ සහ යුරෝපයේ පමණක් ඇතිවූ දෙයක් නොවෙයි. අපේ රටේ පවතින වෛරස් ප්‍රභේදයත් යම් යම් වෙනස්වීම්වලට ලක්විය හැකියි. එමෙන්ම එය වේගයෙන් පැතිරෙනවා. එය වෛරසයේ ස්වභාවයයි. රෝගය උත්සන්න වීමක් හෝ මිය යෑමක් මෙතෙක් අත්දැක නොමැති වුවද වැඩි රෝගීන් පිරිසකට දැඩි සත්කාර අවශ්‍ය වෙනවා. ඒ නිසා මෙම වෛරසය හැකි ඉක්මනින් සමාජයෙන් තුරන් කළ යුතුයි. කොවිඩ් 19 වෛරසය බහුතරයකට කිසිම රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැති වෛරසයක්. පුද්ගලයකුට වැළඳී ඇත්තේ කොවිඩ් කුමන ප්‍රභේදයද යන්න කෙනෙකුගේ රෝග ලක්ෂණවලින් හඳුනාගත නොහැකියි. ඇතැම් විට පී.සී.ආර් පරීක්ෂණයකින් වුව හඳුනා ගැනීම අපහසුයි. එය කුමන ප්‍රභේදයකට අයත්ද යන්න හඳුනාගත හැක්කේ මෙම වෛරසයේ ජනමය ප්‍රභේදය හඳුනාගැනීමෙන් පමණයි  ඒ සඳහා අවශ්‍ය පහසුකම් ශ්‍රී ලංකාවේ තිබෙනවා. එබැවින් අවශ්‍ය පරීක්ෂණ සිදු කිරීමේ බාධාවක් නැහැ. යම් ලෙසකින් එවැනි රෝගියකු හඳුනාගතහොත් වහාම ඔවුන්ට විශේෂිත ආරක්ෂක තත්ත්වයක් යටතේ ප්‍රතිකාර කිරීමටත් එයින් තවත් අයට රෝගය පැතිරීම වැළැක්වීමටත් අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා. කෙසේ නමුත් මාස තුනකට පමණ පෙර ඇතිවූ දෙවැනි කොවිඩ් රැල්ල අප මේ වන විට මැනවින් පාලනය කර තිබෙනවා. යනුවෙන් සඳහන් කරයි. 

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරනුයේ ලොව පුරා මෙම නව වෛරස් ප්‍රභේදය පිළිබඳව තවමත් අධ්‍යයනය කරමින් සිටින බවයි. නව වෛරස් ප්‍රභේදයේ යුරෝපයෙන් බැහැරව ආසියාතික රටවලටත් ව්‍යාප්ත වෙමින් තිබෙන බව පේනවා. එයට හොඳම උදාහරණය සිංගප්පුරුව වැනි රටවලින්ද රෝගීන් හමුවීමයි. මෙම වෛරසයේ ව්‍යාප්තිය ශීඝ්‍ර වුවත් ඉන් ඇතිවිය හැකි සංකූලතා පිළිබඳව සහ එයින් ඇතිවිය හැකි මරණ පෙර වෛරසයට වඩා වැඩිද අඩුද යන්න පිළිබඳව නිශ්චිත තීරණයක් ලොව පුරා සිටින විද්‍යාඥයන් මෙතෙක් ප්‍රකාශ කර නැහැ. මෙම නව වෛරස් ප්‍රභේදයත් සමඟ ලොව පුරා තුන්වැනි රැල්ලක් නිර්මාණය කිරීමේ සාධක සකස් වෙමින් තිබෙනවා. එම වෛරසය මේ වන විට විකෘති 20කට අධික ප්‍රමාණයක් සිදුවෙමින් තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන්නේ මෙය සාමාන්‍ය තත්ත්වයක් බවයි. වෛරස් රෝගවල ව්‍යාප්තිය සිදුවන්නේ මෙවැනි විකෘති සමගයි. අපට මෙම අභියෝගයෙන් ගැලවීමට ඇති ඉඩකඩ සීමිතයි. විදේශ වලින් එන මෙම නව වෛරසය අපේ රටට ඇතුළුවීම පාලනය කළත්  දැනට අපේ රටේ පවතින වෛරසය විකෘතියට ලක් නොවේ යැයි කියන්න බැහැ. එංගලන්තය, දකුණු අප්‍රිකාව වැනි රටවල වෛරසය විකෘතියට ලක්වෙමින් නව වෛරසයක් නිර්මාණය වූ ලෙසටම අපේ රටේ පවතින වෛරසයත් විකෘතියට පත්ව නව වෛරස් ප්‍රභේදයක් නිර්මාණය වීමේ ඉඩකඩක් තිබෙනවා. යනුවෙන් පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා මෙරට සිටින වෛරස විශේෂඥයන් විසින් අධ්‍යයනය කොට සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දෙන නිර්දේශ අනුව කටයුතු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගන්නා බවය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සෛල ජෛවවිද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ  නව වෛරස ප්‍රභේදය හඳුනාගැනීමට අවශ්‍ය පහසුකම් ශ්‍රී ලංකාවේ පවතින බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නැති බවයි. එම වෛරසයේ ව්‍යුහය වෙනස් වනවාද යන්න හඳුනා ගැනීමේ පහසුකම් අප ආයතනයේ තිබෙනවා. සාමාන්‍ය පීසීආර් පරික්ෂණයකින් එම වෛරසයේ කාණ්ඩය හඳුනාගැනීමේ සෘජු හැකියාවක් නැහැ. මේ දිනවල භාවිත කරනවා ටැක් පාට් කියල විශේෂ කිට් එකක්. එහි වෛරසය හඳුනාගැනීමේ ටාගට්ස් තුනක් තිබෙනවා වෛරසය තිබේනම් මෙහි එක ටාගට් එකක් අයිඩෙන්ටිෆයි කරන්නේ නැහැ. එවිට බ්‍රිතාන්‍යයේ පවතින වෛරස් ප්‍රභේදය බවට එමගින් අදහසක් දෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක එම සාම්පලයක් අපගේ විද්‍යාගාරයට යොමු කළොත් එය බ්‍රිතාන්‍යයේ පවතින ප්‍රභේදයද නැද්ද යන්න එය තහවුරු කළ හැකියි. ඒබැවින් බියවීමට කිසිදු අවශ්‍යතාවක් නැහැ. යනුවෙන් සඳහන් කරයි.

කෙසේ නමුදු සෞඛ්‍ය අමාත්‍යංශය සතුව නව වෛරස ප්‍රභේද හඳුනා ගැනීම සඳහා අවශ්‍ය ජාන අනුක්‍රමික විශ්ලේෂක යන්ත්‍රයක් නොමැති බව පැවසේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ හෝ කටුනායක ගුවන් තොටුපළේ හෝ ජාතික බෝවෙන රෝග මධ්‍යස්ථානයේ හෝ මෙවැනි යන්ත්‍රයක් නොමැත. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ, රවි කුමුදේශ් මහතා පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ මන්දගාමී බව නිසා කොරෝනා වෛරසයේ නව ප්‍රභේද හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් නොමැති බවයි. &කොරෝනා පවුලේ ඕනෑම වෛරසයක් කුඩා කුඩා වෙනස්කම්වලට භාජනය වෙනවා. මෙම වෙනස්කම්වලින් සම්පූර්ණයෙන්ම වෙනස් වෛරසයක් වුවත් නිර්මාණය විය හැකියි. සාමාන්‍ය පී.සී.ආර්. පරීක්ෂණයකින් සිදුවන්නේ කොරෝනා පවුලේ සාමාන්‍ය වෛරසයක් හඳුනා ගැනීමයි. එහෙත් වෛරසයේ ප්‍රභේද යනු ඉන් ඔබ්බට ගිය සංකීර්ණ ක්‍රියාවලියක්. එය හඳුනා ගැනීමට ජාන අනුක්‍රමික විශ්ලේෂක යන්ත්‍රයක් අවශ්‍ය වනවා. ලංකාවේ ජාන විශ්ලේෂක යන්ත්‍රයක් ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පමණයි. මෙවැනි යන්ත්‍රයක අවශ්‍යතාව පිළිබඳව අප සංගමය පසුගිය අප්‍රේල් මාසයේ සිට සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම්වත් කළා. එහි ප්‍රතිළුලයක් ලෙස ආසියානු සංවර්ධන බැංකු අරමුදලින් එම යන්ත්‍රය ලබා දීමට ටෙන්ඩර් කැඳවූවා. එහෙත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන්ගේ උදාසීන බව නිසා එය මිලදී ගැනීම වැළකී ගියා. යළිත් වතාවක් ලෝක බැංකු ආධාරයක් යටතේ එම යන්ත්‍රය මිලට ගැනීම සඳහා යුනිසෙෆ් ආයතනය මගින් ටෙන්ඩර් කැඳවූවා. සෞඛ්‍ය අමාත්‍යංශය කළ යුතුව තිබුණේ මිලදී ගැනීමේ ඇණවුම ලබාදීම පමණයි. එම අවස්ථාවේ සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේ කොරෝනා පහව ගොස් ඇති බැවින් එවැනි යන්ත්‍රයක් අවශ්‍ය නොවන බවයි. ලෝක ආධාර යටතේ ජාන අනුක්‍රමික විශ්ලේෂක යන්ත්‍රයක් ලබා ගැනීමේ අවස්ථාව සෞඛ්‍ය අමාත්‍යංශයේ දුර්වලතා නිසා වැළකී ගියා. 

කොරෝනා වෛරසයේ නව ප්‍රභේද කිහිපයක් තිබෙනව බව වසරකට පස්සේ සෞඛ්‍ය අමාත්‍යංශයට වැටහිලා තියෙනවා. බ්‍රිතාන්‍යයේ නව ප්‍රභේදයක් ඇති බව එරට සෞඛ්‍ය අංශ හඳුනා ගත්තේ ඔවුන් මෙම අධ්‍යයනය කළ නිසයි. ලංකාවේ එවැනි අධ්‍යයනයක් නොකර වෙනත් ප්‍රභේදයක් තිබෙන බව හඳුනා ගන්නේ කොහොමද? මෙවැනි වෛරසයක් ව්‍යාප්ත වන විට එහි නව ප්‍රභේද නිර්මාණය වනවාදැයි අප නිරන්තරව පරීක්ෂා කළ යුතුයි. මෙම වෛරසය සමාජගත වෙලා නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ මෙවැනි පරීක්ෂාවක් සිදු නොවන නිසයි. ලංකාවේ වෙනත් ප්‍රභේදයක් පවතිනවාද යන්න හඳුනා ගැනීමට ක්‍රමවේදයක් නැහැ. යම් හෙයකින් පෑලියගොඩ පොකුරට වැළඳී තිබුණේ බ්‍රුන්ඩික්ස් පොකුරට වැළඳී තිබූ ප්‍රභේදය. නොවන්න පුළුවන්. එවැන්නක් හඳුනා ගැනීමට හැකිවූවා නම් එය නව රුල්ලක් බවට හඳුනාගත හැකි වෙනවා. එවැනි යන්ත්‍රයක් මිලට ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය තුළින් බාධාවක් පවතින බව අපට වැටහී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශයට අවශ්‍ය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඇති ජාන අනුක්‍රමික විශ්ලේෂක යන්ත්‍රය මත යැපීමටයි. වසර සියයකට වඩා පැරණි වෛද්‍ය පර් යේෂණ ආයතනයට මෙවැනි යන්ත්‍රයක් තවම නැහැ. එවැනි යන්ත්‍රයක් මගින් කොරෝනා ප්‍රභේද පමණක් නොවෙයි වෙනත් බොහෝ රෝග හඳුනාගත හැකියි. අප මෙවැනි යන්ත්‍රයක අවශ්‍යතාව පැහැදිලි කළ විට වසංගතරෝග විද්‍යාතනය කියන්නේ ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ යන්ත්‍රයක් තිබෙන බැවින් තවත් යන්ත්‍රයක් අවශ්‍ය නැහැ කියලයි. මින් පැහැදිලි වන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය නව ප්‍රභේද හඳුනා ගැනීමේ වගකීම බාර ගැනීමට අකැමැතියි නැතිනම් මෙය බහුල වශයෙන් හඳුනා ගැනීම ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය කරන බැවින් මෙවැනි වෛරස ප්‍රභේද හඳුනා ගැනීම සීමා කිරීමට කටයුතු කරනවා. නව ප්‍රභේද හඳුනා ගැනීම සහ එංගලන්තයේ ඇති ප්‍රභේදය හඳුනා ගැනීම යනු දෙකක්. ඒ නිසා නව ප්‍රභේද හඳුනා ගැනීමට නම් අප නිතර විමසිල්ලෙන් සිටිය යුතුයි. ඒ සඳහා මෙම වෛරසයේ අනුක්‍රමික විශ්ලේෂණය සිදු කළ යුතුයි.& යනුවෙන් ප්‍රකාශ කළේය.

කොවිඩ් 19 වෛරසය සඳහා මේ වන විට හඳුන්වා දී ඇති ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත නව කොවිඩ් විකෘතිවලට ප්‍රතික්‍රියා කරන්නේද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැත. කෙසේ වුවද කොවිඩ් සඳහා ලොව විවිධ රටවල් මගින් නිපදවා ඇති එන්නත් සියල්ල පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින බවත් ඒ අතුරින් ලංකාවට වඩාත් සුදුසු එන්නතක් ජනවාරිය හෝ පෙබරවාරිය වන විට ඇනවුම් කිරීමට පියවර ගන්නා බවත් කුමන එන්නතක් මිලදී ගන්නවාද, කොපමණ එන්නත් ප්‍රමාණයක් ලංකාවට ගෙන්වනවාද හා කුමන වයස් කාණ්ඩවල පුද්ගලයන් හට එය මුලින් ලබා දෙනවාද යන්න පිළිබඳව අනාවරණය කරන බවටත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා