2021 ජනවාරි 02 වන සෙනසුරාදා

යකාටවත් බය නොවූ යක්කඩුවේ හාමුදුරුවෝ

 2021 ජනවාරි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 783
 
මීට වසර 70කට පෙර 1950 දී එවකට රජය මගින් සිංහල පොත් තුනක් තහනමට ලක් වී ඇත. මෙසේ තහනමට ලක්වූ එක පොතක් වූයේ යක්කඩුවේ ප්‍රඥාරාම හිමියන් විසින් ලියූ වන කතා කෘතියයි. මේ පොත එවකට තිබූ රජයට අභිමත නොවන අදහස් අන්තර්ගත වී ඇති නිසා, ඒ පොත පාඨශාලාවල භාවිතය තහනම් කිරීම, ඒ පොත් වෙළෙන්ඳන්ගෙන් මිලයට ගෙන පුළුස්සා දැමීම එදා ලංකාදීප පුවත්පතින් මහජන මතයක් ඇතිකරමින් අනාවරණය කළේය.
 
යක්කඩුවේ ප්‍රඥාරාම හිමියන් එදා සිටි දේශපාලනඥයන්ගේ කපටිකම්, ද්‍රෝහිකම්, කූඨ උපක්‍රම, වංකකම් බල බලා ඇඟට පතට නොදැනී ටොකු අනින වන කතා තුළින් බණ කතා කියන විදියටම, වැදිය යුතු තැන්වලට හෙණ පහර එල්ල කරන බව ලංකාදීප කර්තෘ මාණ්ඩලිකයකු වූ ධර්ම ශ්‍රී කුරුප්පු තම පුවත්පතින් ප්‍රකාශ කර තිබුණි.
 
වන කතා හි එන මේ කවිය නිසා එවකට ජ්‍යෙෂ්ඨ විභාගයට පොත් නියම කළ කොමිටියෙන් අධ්‍යාපන ඇමැති ඊ.ඒ. නුගවෙල මහතා නිදහසට කරුණු විමසා තිබුණි. ඒ කවිය මෙසේය.
 
අපායට යන්ට ඕනෑ නම්  නුඹ ට
කරපන් මහ ඇමැතිකම එක දවසක ට
නැත්නම් පන්සලක දේවාලයක සි ට
අධිපතිකම කරපන් තුන් දවසක ට
 
වන කතා පොත තහනම් කිරීම නිසා සැලුණේ ද බිය වූයේ ද යක්කඩුවේ හාමුදුරුවෝ නොවේ. හාමුදුරුවෝ නිකම් නොසිට වන කතා 1 - මිතුරන් කෙටවීම නවතම මුද්‍රණයත්, එහි දෙවැනි කොටස වන කතා 2 - මිතුරන්ගේ අගේ ද, වන කතා 3 - ජම්මවයිර විත්ති කෘති ද භක්ති ගීත, සඟි බණ - 1, ගුත්තිල විචාරය 1, 2, 3 ආදී කෘති ලියූහ.
 
යක්කඩුවේ හිමියන් හා විද්‍යාලංකාර පිරිවෙණත්, විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයත් අතර තිබුණේ අවියෝජනීය සම්බන්ධයකි. විද්‍යාලංකාර පරිවේණාධිපතීන් වහන්සේ ලෙසත් ශ්‍රී ලංකා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙහි උප කුලපති ධූරය ද හෙබවූහ. කිසිදා ප්‍රසිද්ධිය, මුල්තැන නිහතමානීව ප්‍රතික්ෂේප කළ උන්වහන්සේ ගැන ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ උප කුලපතිව සිටි මහාචාර්ය වල්පොල රාහුල හිමියන්, 1947 දී එවකට උප ජනාධිපතිව සිටි පසුව ඉන්දියාවේ ජනාධිපති වූ ආචාර්ය සර්වේපල්ලි රාධාකෘෂ්ණන් මහතා විද්‍යාලංකාර පිරිවෙණේ උපාධි උත්සවයේ ප්‍රධාන කතාව පැවැත්වීමෙන් පසු යක්කඩුවේ හිමියන්ගේ වම් කාමරයට කැඳවාගෙන ගියහ.
 
ප්‍රසිද්ධියේ ඉදිරිපිට පෙනී නොසිටියත්, මේ සියලුම කටයුතුවල මූලිකයා උන්වහන්සේය. රාහුල හිමියෝ කීහ.
 
අත්තිවාරම නොපෙනෙයි, පිටතට පෙනෙන්නේ ගොඩනැගිල්ලයි කියා දාර්ශනික ලීලාවෙන් රාධාකෘෂ්ණන් මහතා නැවතත් වරක් උන්වහන්සේට නමස්කාර කර ඇත.
 
යක්කඩුවේ හාමුදුරුවන්ගේ චරිතය ගැන මීට වඩා හොඳ විවරණයක් කිරීම පහසු යැයි තමන්වහන්සේ නොසිතන බව රාහුල හාමුදුරුවෝ පවසා තිබුණාහ. උන්වහන්සේ තවදුරටත් මෙසේ ද කියා තැබූහ.
 
යක්කඩුවේ හාමුදුරුවන් කිසිම ප්‍රසිද්ධ විභාගයක් පාස්කොට ඇති බවක් මා දන්නේ නෑ. උන්වහන්සේගේ දැනුම උගත්කම විභාගයකින් උපාධියකින් මැනිය හැක්කක් නොවේ. මේ තාක් පළකොට ඇති උන්වහන්සේගේ පොත්පත් ලියකියමන්වලින් උගතුන්ට පමණක් එය මැනගත හැකිය. උන්වහන්සේ යම්කිසි තීරණයකට බසින්නේ බොහෝ දුරදිග බලා, හැම පැත්තක්ම සලකා බලා හෙමිහිටය. එසේ තීරණයකට බැස්සාට පසුව නම් මොනම ලොක්කකුටවත්, මොනම බලවතකුටවත්, එය වෙනස් කළ නොහැකිය. මොන හිරිහැර කරදර අලාභ හානි, නින්දා අපහාස විඳින්නට වුවත්, සොලො යථා එක සනෝ උන්වහන්සේ නොසැලී අකම්පිතව සිටියා. යක්කඩුවේ හාමුදුරුවන්ගේ කතාබහ ගමන බිමන හෙමිහිටය. එහෙත් උන්වහන්සේගේ හිත, බුද්ධිය, ඉතා පැහැදිලිව, තීක්ෂණව, වේගයෙන් ක්‍රියා කරන බව විනිවිද යන බව පෙනෙනවා.
 
යක්කඩුවේ හාමුදුරුවෝ රෑ නිදා නොගෙන ලියන, කියවන බුද්ධ පුත්‍රයකු බව දැනගත් මේ ලියුම්කරු 1983 මැයි මාසයේ කර්තෘ මාණ්ඩලිකයකු හා කැමරා ශිල්පියකු වූ මුදිත කාරියකරවන සමඟ නව යුගය පුවත්පතේ විශේෂාංගයක් ලිවීමට ගියේය. එදා අප උන්වහන්සේගෙන් ඇසූ පළමු ප්‍රශ්නය ඔබවහන්සේ රූට නොනිදා ලියනවා කියලා අපට අසන්නට ලැබුණා. ඒ ගැන කතා කරලම සාකච්ඡාව පටන්ගමු. කියාය.
 
ඒක දිග කතාවක් කැලණියේ විද්‍යාලංකාර පිරිවෙණේ තම නිල කුටියේ සෝපාවක වැතිර උන්වහන්සේ කතාව පටන් ගත්හ.
 
අනිත් අය නිදාගෙන ඉන්නතුරු මට පොතක් බලන්න ඉඩක් ලැබුණේ නැහැ. මම පසුවදාට පන්තිවල උගන්වන පොත්පත් බැලුවේ කලින් දා රූටයි. ඒ කාලේ විද්‍යාලංකාර පිරිවෙණේ ධූරකාරයෙක් හිටියෙ නැහැ. මේ නිසා මම වැඩියෙන් පොතපතේ වැඩ රූට කළ නිසා රූට තුන් හතර වතාවක් මුළු විද්‍යාලංකාරය පුරා ඇවිද්දා. අපේ ශිෂ්‍යයෝ පාඩම් කරනවද කියල බලන්න නේවාසිකාගාරවලටත් ගියා. ඒ කාලේ හිටිය ශිෂ්‍ය හාමුදුරුවන් කී කතාවක් තමයි දැන් යක්කඩුවේ හාමුදුරුවෝ මේ ජනේල ළඟත් ඉන්න පුළුවන් කියලා. මම නිදි මරන්න පුරුදු වුණේ පොතපත ලිවීමට පටන් ගත්තට පස්සේ.
 
අප ඒ හිමියන් හමුවීමට යන විට උන්වහන්සේගේ 77 වැනි උපන්දිනය උදා වී තිබුණි. මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ භව තරණය නවකතාවට එරෙහිව තනිවම විරෝධය පාමින් භව තරණ - මඟ හා බුද්ධ චරිතය නමින් ලියූ මුල් කොටස (පිටු 400කින් යුතු) ග්‍රන්ථයෙන් පසු එහි දෙවැනි කොටස ඇතුළත් කෘතියක් අපට පිරිනැමූ උන්වහන්සේ ලොකු බරකින් නිදහස් වූ බව කීවේ සැහැල්ලු ගතියකිනි.
 
දැන් මගේ ඇස් පෙනීම හොඳටම දුර්වලයි. භව තරණ මඟ ලියන්න මම වික්‍රමසිංහ උන්නැහේගේ පොත් ඔක්කොම නැවත කියෙව්වා. ඓතිහාසික නවකතාව ගැන ලියූ ජෝර්ජ් දුකාගේ ලියූ පොතුත්, පෝස්ටර්, ඉයන් වොට්ගේ පොතුත් කියෙව්වා. සරච්චන්ද්‍ර මහත්තයා නවකතා ගැන ලියූ පොත ඇතුළු තවත් ගොඩාක් පොත් මම කියෙව්වා. මගේ පොතේ දෙවැනි කොටස ලියලා ඉවර වුණාට පස්සේ මගේ ජීවිතය සාර්ථකයි කියලා හිතුණා. සංස්කෘතික දෙපාර්තමේන්තුව මගින් මුද්‍රණය කර දුන් මේ පොත මම මගේ උපන්දිනයට මාව බලන්න ආපු දායකයන්ට නොමිලේ බෙදා දුන්නා. එහි මුල් කොටසේ මගේ පිදුම මෙසේයි.
 
සම්මා සම්බුදු මෑණියනි
සම්මා සම්බුදු පියාණනි
බැති මඟ හැර ඇති තතුම සෙවූ
මේ පොත ඔබ දොහොතේ තබමි
 
බුදු හිමියන් මට පෙන්නා දුන්
මගේ ගුරු පිය හිමියනි පොත මේ
විදුලකරේ මඟ ගෙන ලියලා
නිදහස් වෙමි ණය බරින් පුරා
 
1905 මැයි 20 වැනිදා ගම්පහ සිට සැතපුම් පහක් ඔබ්බෙන් ඇති යක්කඩුව නමැති ගමේ උපත ලැබූ මුරණ්ඩු, දඟකාරයකු වූ දරුවෙක් බහ තෝරන කාලේ සිටම තම මව සමඟ පෝය හතරටම නොවරද්දා අටසිල් ගැනීමට බටපොතේ පන්සලට ගියේය. මේ පොඩිත්තාගේ පන්සල් ගමන නතර වී ඇත්තේ පන්සලේම නතර වීමෙනි. මේ ගැන යක්කඩුවේ හාමුදුරුවන්ගේ අපූරු තොරතුරක් අමුණුගොඩ තිලකරත්න (කේ.ඒ.ටී. පෙරේරා) විසින් 1964 දී ලියූ ගත්කරු හමුව කෘතියේ එයි.
 
අපේ අම්මලගෙ ගම උග්ගල්බොඩ. තාත්තාගේ ගම තමයි යක්කඩුව. එක දවසක් අම්මා මගෙ අතට සත විසිපහකුත් දීල මිනිහකුට බාර දුන්නා මාව උග්ගල්බොඩ ගිහින් ඇරලන්ඩ කියල. එයා මා එක්ක ඇවිත් කළුවැල්ගොඩ හරියේදී උඹ පලයන් කියල ආපහු යන්න ගියා. අඳුරත් වැටීගෙන එනවා. යන්න එන්න තැනක් නැතිව මා එතැනම ඉඳගෙන උන්නා. ළමයි දෙන්නෙක් එතැනින් යන්න ආවා. සත විසිපහක් දෙනව මාව උක්ගල්බොඩට ගිහින් ඇරලුවොත් කියලා මම කිව්වා. ඒ ළමයි මාව බටපොත පන්සලට ගිහින් ඇරලලා එතැනින් එහාට එන්ඩ බෑ කිව්වා. එහෙනම් මාව බටපොතේ පන්සලට ගිහින් ඇරලන්ඩ කියල මම කිව්වා. පන්සලේ මිදුලට යනකොට කවුද බොලව් කියල නායක හාමුදුරුවො ගෝරණාඩු වුණා. ඒක ඇහුණු ගමන් කොල්ලො දෙන්නා දිව්වා. මම ගල් ගැහිල නතර වුණා. මට මොකුත් කියන්ඩ හිතාගන්ඩ බැරි වුණා. මම ඇඳගෙන උන්නෙ ජංගියක්. ජංගිත් කලිසන් ජාතියක් කියලයි මම හිතන් උන්නේ. මගෙ ජංගිය හින්ද මං හොරුන්ගෙ ඔත්තු බලන්න ආපු කොල්ලෙක් කියල හාමුදුරුවෝ සැක හිතයි කියල මම ගත්කටටම කිව්වා මහණ වෙන්න ආව හාමුදුරුවනේ කියලා. කිව්ව වචනයක් මම කවදාවත් වෙනස් කරන්නෙ නැති හින්ද දෙමාපියන්ගේ විරුද්ධකම් මැද්දේම පසුව මහණ වුණා.
 
(ඉතිරි කොටස ලබන සතියේ)