කොරෝනා වසංගතය ලෝකයේම මිනිස් ප්‍රජාවට ලොකු පාඩමක් කියාදීමට සමත් විය. එම පාඩම අපේ රටටද එසේම විය. වසංගතයේ ඇති භයානක තත්ත්වය මෙන්ම මිනිසුන්, නොමිනිසුන් හඳුනාගන්නටද කොරෝනාව උදව් විය.
වසංගතය අතරතුර කඩ සාප්පු තුළ ඇති බඩු භාණ්ඩ පොදි ගසාගෙන ගොස් නිවෙස් තුළ සැඟවී සැප ජීවිත ගතකළ මිනිසුන් අතරේ තමා දුකසේ උපයාගත් ධනය වසංගතය හමුවේ අසරණව ඇති මිනිසුන් වෙනුවෙන් සහ කුසගින්නේ සිටිනා තිරිසන් සතුන්ගේ කුසගින්න නිවීමට වැය කරනා සොඳුරු මිනිසෙක් අපට හමුවිය. හතළිස් දෙහැවිරිදි ඔහු එන්.ඒ. නිලන්ත කුමාර රණසිංහ මහතාය. නුවර දිස්ත්‍රික්කයේ උපත ලැබූ නිලන්ත කුමාර මහතාගේ වර්තමාන වාසය කුරුණෑගලය. ඔහු සංචාරක කර්මාන්තකරුවෙකි. කෝවිඩ් වසංගතය හේතුවෙන් ඔහුටද තම කර්මාන්තය අහිමිව තිබේ.
නමුත් ඔහු වසර ගණනාවක් තිස්සේ දුක් මහන්සියෙන් උපයාගත් ධනය වසංගතය හමුවේ අසරණභාවයට පත්ව සිටින තම වර්ගයා වෙනුවෙන් සහ තිරිසන් සතුන්ගේ කුසගින්න වෙනුවෙන් වැය කරනු ලබන්නේ කිසිදු ලෝබකමකින් තොරවය. නිලන්ත කුමාර මහතා නිහඬව මෙම සමාජ සත්කාරය කරගෙන යනු ලැබුවද දිස්ත්‍රික්ක දෙකක් පුරා අස්සක් මුල්ලක් නෑර ඔහුගේ ධන පරිත්‍යාගයන් සිදු කෙරුණු සමාජ සේවාවන් හේතුවෙන් ඔහු ගැන සමාජයට හෙලිදරව් වීමට එතරම් කාලයක් ගත නොවීය.
මොහු විසින් අඛණ්ඩව සිදු කරනු ලබන මෙම සමාජ සත්කාර්යයන් නිසාවෙන්ම දේශබන්දු, දේශමාන්‍ය, දේශකීර්ති, ලංකාපුත්‍ර, ව්‍යාපාරවේදී යන ගෞරව නාමයන්ගෙන් පිදුම් ලබා තිබේ. මෙතරම් ව්‍යසන තත්ත්වයක් හමුවේ තමා උපයාගත් ධනය දන් දෙන්නට තරම් නිර්ලෝභී සිතක් පහළ වූවේ කෙසේදැයි නිලන්ත කුමාර මහතාගෙන් අපි විමසීමක් කළෙමු.
එම සොඳුරු මිනිසා හඬ අවදි කළේ මෙලෙසිනි.
මගේ නම නිලන්ත කුමාර රණසිංහ. දියණියකගේ පියෙක්. මම සංචාරක කර්මාන්තකරුවෙක්. වසර ගණනාවක සිට මම එම ක්ෂේත්‍රයේ නියැලෙනවා. කොරෝනා වසංගතයත් සමඟ සෑම කර්මාන්තයක් වගේම සංචාරක කර්මාන්තයත් බිඳවැටුණා. කොරෝනාව නිසා මිනිස්සු වගේම සත්තුත් අසරණ වුණා. ඇතුගල, මිහින්තලේ, මහනුවර උඩවත්ත කැලේ, රිලව්, බල්ලො කන්න නැතිව පාරවල්වල වැටිලා හිටියා. මේ සත්තු මිනිස්සුන්ගෙන් ලැබෙන ආහාරවලින් බඩ පුරවා ගන්න පුරුදුවෙලා හිටියේ. ඇඳිරිනීතියත් එක්ක මිනිස්සු නිවෙස්වලට කොටුවුණා. සත්තුන්ට කෑම අහිමි වුණා. අහිංසක සත්තු කුසගින්නේ පාරවල්වල වැටිලා හිටියා. ලංකාව පුරා සත්තුන්ට පළතුරු ලබාදීමේ වැඩපිළිවෙළක් දියත් කළා. සෑම සතෙකුටම කෑම දුන්නා.
ඒ වගේම එදිනෙදා ආදායමකින් ජීවිත ගෙනයන මිනිසුන්ට මෙම වසංගත තත්ත්වය ලොකු බලපෑමක් කරා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් එළවළු ලබාගෙන නුවර දිස්ත්‍රික්කයේ ජනතාවට එළවළු ලබාදීමට කටයුතු කළා. ඵ් සඳහා මට ව්‍යාපාරිකයෙකු වන සූරියවැව පදිංචි උපාලි මහත්මා ලක්ෂ දහයක් පමණ වටිනා එළවළු පරිත්‍යාග කළා. කොරෝනා පළවෙනි රුල්ලෙදී මාස්ක් ලක්ෂ දෙකක් බෙදාදුන්නා. පොලීසිය, හමුදාව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත තමයි මෙලෙස මාස්ක් බෙදාදීම සිදුකළේ. අදාළ ආයතනවලින් අවසර ලබාගෙන මෙම ක්‍රියාවලිය සිදුකරගෙන ගියේ. කොරෝනා වසංගතයේදී ගොඩක් දෙනෙක් නොදුටුවා වුණාට ආයුර්වේද දෙපාර්තමේන්තුව ලොකු සේවාවක් කළා. ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් සකස්කරන ලද ඖෂධ නිපදවීම සඳහා අවශ්‍ය කරනු ලබන සාදික්කා, කරාබු නැටි, කොතලහිඹුටු, අරත්ත, ආදී ඖෂධ ලබාදීමට කටයුතු කළා. ඵ් වගේම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විශාල සේවාවක් සිදුකරනු ලැබුවත් ඔවුන්ට අවම පහසුකම් තමයි තිබෙන්නේ. ඔවුන් වෙනුවෙන් ආරක්ෂිත ඇඳුම් කට්ටල සහ මාස්ක් ලබාදීමටත් පියවර ගත්තා.
පල්ලේකැලේ ආයුර්වේදය, කුරුණෑගල රෝහල, මහනුවර, පේරාදෙණිය, මාවතගම, මීගලෑව යන රෝහල්වලට ආරක්ෂිත ඇඳුම් කට්ටල සහ මාස්ක් ලබාදීම සිදුකළා. ආරක්ෂිත ඇඳුම් කට්ටලයට උඩින් අඳින ඉටිරෙදි ඇඳුමක් සෞඛ්‍ය අංශයේ අයට අවශ්‍යයි. එම ඇඳුම් කට්ටල දහදාහක් මසා බෙදාහැරීම සිදුකළා වගේම අයි.ඩී.එච්. රෝහල වෙත ප්‍රදානය කළා. මෙම කාර්යය මම සිදුකරගෙන ගියේ ඇඳිරිනීතිය සමයේ. රජයේ වගකිව යුතු සියලුම ආයතනවලින් මෙම සත්කාර්යය සඳහා මට අවසරය ලබා දුන්නා වගේම ශක්තිය ලබා දුන්නා.
මෙම කාලය පුරාවටත් මෙම කාර්යය මම අඛණ්ඩව කරගෙන යනවා. ආරක්ෂිත ඇඳුම් කට්ටල සහ මාස්ක් මැසීම කොරෝනාව හේතුවෙන් රුකියා අහිමිවෙලා ඉන්න අයට ලබාදුන්නා. එමගින් ඔවුන්ට ආර්ථික ශක්තියක් වෙන්න මට හැකියාවක් ලැබුණා.
නිලන්ත කුමාර මහතා කොරෝනා වසංගතය සමයේ පමණක් සමාජ සත්කාරවල නිරතවූවකු නොවන වග ඔහුගේ වතගොත විමසීමේදී අනාවරණය විය.
එම සමාජ සත්කාර මොනවාදැයි විමසීමේදී ඔහු දැක්වූවේ මෙවන් අදහසකි.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ රෝහල්වලට පහසුකම් සළසා දී තිබෙනවා. රෝද පුටු පරිත්‍යාග කිරීම, ලේ දන්දීමේ වැඩසටහන්, වකුගඩු රෝගීන්ට ආධාර ලබාදීම නිවාස නොමැති අයට නිවාස දාහතක් ඉදිකර පරිත්‍යාග කර තිබෙනවා. තවත් නිවාස ඉදිකර පරිත්‍යාග කිරීම වැනි කාර්යයන් අඛණ්ඩව කරගෙන යනවා. මම පරිසරයට හරිම ආදරෙයි. එම නිසා ගස් වැවීමේ වැඩසටහන් නිතරම සිදුකරනවා. මගේ නිවෙස පිහිටි ඉඩමේ මම කටු අනෝදා වගාකර තිබෙනවා. එම අනෝදා වගාකරලා තිබෙන්නෙ රෝගීන් සඳහා පරිත්‍යාග කිරීමට. අක්කර තුනක අනෝදා අස්වැන්න රෝගීන්ට පරිත්‍යාග කරනවා. මේ සියලුම සමාජ සත්කාර මම කරගෙන යන්නේ මගේ කර්මාන්තයෙන් උපයාගත් මුදල් වලින්.
මෙම ක්‍රියාදාමය ඉදිරියට ගෙන යාමට සහ ව්‍යාප්ත කිරීමේ අරමුණින් මම දුක හඳුනන අපි නමින් සංවිධානයක් හැදුවා. සංවිධානයක් කිව්වාට මම කිසිම කෙනෙකුගෙන් මුදල් ලබාගැනීමක් සිදු කරන්නේ නැහැ. සංවිධානය හැදීමේ අරමුණ වුණේ කවුරුන් හෝ උපකාරයක් අවශ්‍ය කෙනෙක් සිටී නම් මට සොයාගැනීමේ පහසුව පමණයි. මගෙන් උදවුවක්, උපකාරයක් අවශ්‍ය නම් මට ඒ පිළිබඳව සොයාගැනීම පහසුයි.
මේ මොහොත වනවිට කර්මාන්තය පවත්වාගෙන යන්න බැහැ. ආදායම් මාර්ග ඇහිරිලා. මට මෙම සත්කාර්යය කිරීමට ශක්තියක් වුණේ මම ගතකරන සරල ජීවිතය. මගේ පැවැත්ම වෙනුවෙන් යොදවන ධනය අල්ප කරලා බොහෝ දෙනෙකුගේ ජීවිත රැකගන්නට හයියක් වීම ගැන මට තිබෙන්නේ අහිංසක සතුටක් වගේම අහිංසක ආඩම්බරයක්. මෙම සතුට පමණයි මම රැස් කරන ධනය වෙන්නේ.
මෙම සොඳුරු මිනිසාට අපි අපේ ආචාරය පුද කරමු.
සටහන සහ ඡායාරූප:
හෙට්ටිපොළ ධම්මිකා බාලසූරිය