කහ සම්බන්ධයෙන් ගිය වසර පුරාම මෙරට පැවතියේ දැඩි හිඟතාවකි. එබැවින් අධික මිල ගණන්වලට කහ කුඩු අලෙවි කෙරුණු නමුත් බොහොමයක් විෂ රසායන වර්ණක හෝ වෙනත් පිටිවර්ග කළවම් කළ ඒවා විය. 2019 වසරේ දෙසැම්බර් 6 වැනිදා විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළේ විදේශවලින් ගෙන්වන කුළුබඩු වර්ග දහයක් ආනයනය කිරීම තහනම් කරමිනි. එහි අරමුණ දේශීය කුළුබඩු සඳහා ස්ථාවර මිලක් ඇති කිරීමය. එහිදී ආනයනයට සූදානමින් තිබූ ඇණවුම් පවා අවලංගු කිරීමට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් කටයුතු කළෝය. ඒ සමඟ ඇතිවූ උග්‍ර කහ හිඟය හමුවේ කහ ජාවාරම්කරුවන් රැසක් බිහිවී සිටිති.
කොවිඩ් වසංගතය හමුවේ කුළුබඩු ආනයනය සඳහා වැයවන විශාල විනිමය ඉතිරිකර ගැනීමට ඉහත තහනම පැනවිණි. ජනතාව බලාපොරොත්තු නොවූ කහ හිඟයක් බරපතළ ලෙස උද්ගත වුවද දේශීය ගොවීන්ගේ කුළුබඩු සඳහා ස්ථාවර මිලක් ඇති කිරීමද එක් අරමුණක්ව තිබිණ. දේශීය වෙළඳපලෙහි ඉල්ලුමට ප්‍රමාණවත් කහ සැපයුමක් නොමැති බව පැහැදිලි කරුණක් නිසා පරිභෝජනය කෙරෙන කහවලින් වැඩි ප්‍රමාණය ආනයනික ඒවා බවද හඳුනාගත හැකිය.
වසරක් ඉක්මවා පවතින කහ හිඟය හමුවේ ඉහළ යමින් තිබෙන කහ මිල පාලනයට උපරිම සිල්ලර මිලක් නියමකර ගැසට් නිවේදනයක්ද නිකුත් කෙරිණි. එහෙත් එය නිසි විසඳුමක් නොවුණු අතර මේ වනවිට වෙළෙඳපළේ කහ කිලෝව රුපියල් 4000 ඉක්මවා පවතී.
පවතින තත්ත්වය තුළ දේශීය ගොවීන්ගෙන් කහ වගා කරන්නැයි ආණ්ඩුව ඉල්ලා සිටියේය. මේ අතර ජනාධිපතිවරයා බලධාරීන්ට නියෝග කොට ඇත්තේ ගොවීන්ගේ අස්වනු නෙලීමට සූදානම් බැවින් ඊට සාධාරණ මිලක් ලබාදීමට පියවර ගන්නා ලෙසය. එහෙත් මෙකී අස්වැන්න කහකුඩු වශයෙන් වෙළඳපොළට යොමුකිරීම සඳහා තවත් මාස කිහිපයක් ගතවන බැවින් කහ මිලෙහි අඩුවක් මෑතකදී වාර්තා නොවනු ඇත. තත්ත්වය මෙසේ හෙයින් රටවටා කහ ජාවාරම්කරුවන් පිළිබඳව වරින්වර වාර්තා වේ. ඔවුහු මුහුදු මගින් හෝ වෙනයම් ක්‍රම ඔස්සේ ජාවාරම සිදුකිරීමට උත්සාහ ගනිති. එහිදී ඔවුහු කොවිඩ් වසංගතය, සෞඛ්‍ය ආරක්ෂාව හෝ රජයේ ගැසට් නිවේදන පිළිබඳ තැකිමක් නොකරති.
ආනයනික කහ තහනම හරහා විටින් විට වාර්තා වන කහ ජාවාරම් අතර රුපියල් කෝටි 12කට අධික වටිනා කහ කිලෝ 25,000ක් පමණ පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණේ හුංගම කලමැටිය ධීවර වරාය පරිශ්‍රයේදීය. මෙම නීති විරෝධී කහ තොගය සැකකරුවන් 6 දෙනකුද සමඟ අත්අඩංගුවට ගෙන තිබිණ. කඩවත, ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ බුද්ධි අංශය වෙත ලැබුණු තොරතුරක් අනුව ක්‍රියාත්මක වූ නිලධාරීහු අදාළ වැටලීම සිදුකර ඇත. කහ තොගය සමග සැකකරුවන් හය දෙනකුද අත්අඩංගුවට ගත් අතර ඔවුහු බේරැවල, කුඩාවැල්ල, කලමැටිය හා කෝට්ටගොඩ ප්‍රදේශවල පදිංචිකරැවන් වෙති. බේරැවල ප්‍රදේශයේ සිට කලමැටිය ධීවර වරාය පරිශ්‍රයට රැගෙනවිත් ඉන් පිටතට ගනිමින් සිටියදී වැටලීම සිදුකර තිබෙන අතර ඒවා ප්‍රවාහනය කිරීමට සූදානමින් තිබූ ලොරි රථ දෙකක්ද අත්අඩංගුවට ගෙන තිබුණි. විමර්ශන නිලධාරීන් සැකකරන්නේ මෙම කෝටි 12කට අධික වටිනා කහ තොගය ඉන්දියාවේ සිට ගෙන එන්නට ඇති බවය. මෙම වැටලීම ඉකුත් 27 වැනිදා අලුයම සිදුකර තිබිණ.
ඊට දින දෙකකට පෙර නාවික හමුදාවේ විශේෂ කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමක් අතරතුර නීති විරෝධී ලෙස සඟවා තබාෙගන සිටි වියළි කහ කිලෝ 1067ක් සැකකරුවකු සමඟ නාවික හමුදා බාරයට ගැණින. මෙම මෙහෙයුම පුත්තලම - මන්නාරම මාර්ගයේ දෙවැනි සැතපුම් කණුව ආසන්නයේ සිදුකර තැබිණ. මෙම කහ තොගය ලූනු ඇසුරුම් කරන කර්මාන්තශාලාවක් තුළ සඟවා තිබී ඇත.
පසුගිය දෙසැම්බර් 14 වැනිදා යුද හමුදා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ පවතින 54 වැනි සේනාංකයේ භට පිරිස් විසින් මෙහෙයුමක් සිදුකර තිබුණේ බුද්ධි අංශ තොරතුරක් අනුවය. එහිදී රුපියල් මිලියන 42කට අධික වටිනාකමින් යුත් කහ තොගයක් අත්අඩංගුවට ගෙන තිබිණ. මේ අතර තිබී නීතිවිරෝධීව ගෙන්වූ එනසාල් තොගයක්ද හමුව ඇත. මේ අතර දෙසැම්බර් 12 වැනිදා සිදුකළ වැටලීමකදි කහ කිලෝග්‍රෑම් 1560ක් මන්නාරම පල්ලිමුනෙයි ප්‍රදේශයේදී සහ තවත් කහ කිලෝ 890ක් කුන්චිකුලම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මේවායේ වටිනාකම රුපියල් මිලියන 14කට අධික බව වාර්තා විය. මේ සමඟ කුඩා ලොරි රථයක් හා සැකකරැවන් දෙදෙනකුද අත්අඩංගුවට ගෙන ඇත. මේ ආකාරයට ගතවූ වසරේ අවස්ථා කිහිපයකදී යුද හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ කහ කිලෝ ප්‍රමාණය 12,000 ඉක්මවයි.
ඉකුත් නොවැම්බර් මස අවසන් සතිය තුළ සිදුකළ වැටලීම් කිහිපයක් තුළදී නාවික හමුදාව බාරයට ගත් කහ කිලෝ ප්‍රමාණය 1385කි. මෙම කහ තොගය ධීවර යාත්‍රාවල සඟවා තිබියදී සොයාගෙන ඇත. එසේම ලුණු ප්‍රවාහනය කරන මුවාවෙන් අලෙවි කිරීමට රැගෙන යමින් තිබූ කහ කිලෝ 1300කට අධික ප්‍රමාණයක් මන්නාරම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණ. මෙම කහ තොගය මීගමුව නගරයට රුගෙන ඒමට උත්සාහ කොට තිබුණි. එම සිදුවීම පසුගිය සැප්තැම්බර් 7 වැනිදාය. එදිනම නාවික හමුදාව සිදුකළ වැටලීමකදී කහ කිලෝ 815ක් අත්අඩංගුවට ගෙන තිබුණේ කල්පිටිය එත්තාලේ ප්‍රදේශයේදීය.
ඊට දින කිහිපයකට පෙර වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සිදුකළ වැටලීමකදී රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා වියලි කහ කිලෝ 1000ක් අත්අඩංගුවට ගෙන තිබුණේ හලාවත මෝය හරහා ගොඩබිමට රැගෙන ඒමට උත්සාහ කළ මොහොතේදීය. මේ අතර ඉන්දියාවේ තූත්තුකුඩි පම්බාන් වෙරළේදී අවස්ථා කිහිපයකදී වියළි කහ තොග අත්අඩංගුවට පත්ව තිබිණ. එම සියල්ල ලංකාවේ මන්නාරම ආශ්‍රිත වෙරළට ප්‍රවාහනය කිරීම සූදානමින් තිබූ ඒවා බවට එරට වෙරළාරක්ෂක පොලීසිය වාර්තා කොට තිබිණ.
ඊට ඉහත දිනකදී මිලියන 60ක් වටිනා කහ තොගයක් බේරැවල ධීවර වරායෙන්ද මන්නාරම කලුතුඩුවායි ප්‍රදේශයේදී කහ කිලෝ 999ක්ද නොරොච්චෝල ප්‍රදේශයේදී වියලි කහ කිලෝ 1428ක් මන්නාරම ස්ථාන කිහිපයකදී කහ කිලෝ 3861ක් හලාවත දාඹුව ප්‍රදේශයෙන් කහ කිලෝ 6381ක් වශයෙන් ගිය වසර පුරා රැපියල් කෝටි ගණනාවක් වටිනා වියළි කහ කිලෝ දහස් ගණනක් ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර එළඹෙන වසරේ දේශීය ගොවීන්ගේ අස්වනු සඳහා නියම මිලක් ගෙවීම සඳහා දැනට අත්අඩංගුවට ගෙන තිබෙන නීති විරෝධී කහ තොග සියල්ල විනාශ කිරීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී තිබේ.
සමන්ත ප්‍රදීප් විල්තෙර