2021 ජනවාරි 02 වන සෙනසුරාදා

අලුත් වසරේ ආර්ථික අභියෝග

 2021 ජනවාරි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 46

ලබන්නා වූ 2021 වසර ශ්‍රී ලංකාවට සෑම අතින්ම අභියෝගාත්මක වසරක් වනු ඇති බව අවිවාදිතය. දැනට රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව ඉදිරි වර්ෂයට කෙසේ මුහුණ දිය යුතුද යන්න පිළිබඳ මේ වන විට කාගේත් අවධානයට ලක්ව ඇත. රටේ මේ වන විට ප්‍රධාන ගැටලු ගණනාවක් නිර්මාණය වී ඇත. මෙයින් සමහර ගැටලු අපගේ ක්‍රියා කලාපය නිසාම නිර්මාණය වී ඇති ඒවා වන අතර සමහරක් දේවල් නොවැළැක්විය හැකි ඒවා වෙයි.

ලබන වසර තුළ මුහුණදීමට සිදුව ඇති ආර්ථික ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණය. ආණ්ඩු ගණනාවක පාලන කාලය තුළ මෙම ප්‍රශ්න ඔඩුදුවමින් පැමිණ මේ වන විට ඒවා තීව්‍ර අවස්ථාවට පත්ව තිබේ. ආර්ථික විශ්ලේෂකයන් අවධාරණය කරන්නේ දැනට ඇති දැවෙන ආර්ථික ප්‍රශ්නවලට කෙටිකාලීන විසඳුම් මෙන්ම දිගුකාලීන විසඳුම් දීමද අවශ්‍ය බවය. එහෙත් මෙතෙක් බලයට පත්වූ බොහෝ ආණ්ඩුවල බලධරයන් යම් ප්‍රශ්නයක් ඇතිවූ විට එයට කෙටිකාලීන පැලැස්තර විසඳුමක් දී අනතුරුව එය අමතක කර දැමීම නිසා ටික දිනකින් ඒවා ප්‍රබල ලෙස මතුවන්නට සිදුවන බවක් පෙනෙන්නට තිබේ. මෙය හරියට නියපොත්තෙන් කඩන්නට හැකි පැළෑටිය විශාල ගසක් බවට පත්ව පොරොවෙන් කපන්නට සිදුවන තරමට බලා සිටීමක් හා සමානය.

අපේ බොහෝ ගැටලු දේශපාලනීකරණය කර ඒවායින් දේශපාලන ප්‍රයෝජන ලබාගැනීමට පක්ෂ විපක්ෂ දෙපාර්ශවයේම බලවත්තු උත්සාහ ගනිති. අද ද සිදුවන්නේ ඒ දෙයයි. එනිසාම සැබෑ ප්‍රශ්නය යටපත් වී විකෘති ප්‍රශ්නයක් නිර්මාණය වෙයි. මේ තත්ත්වය නිසා එයින් නිදහසක් ලැබීමේ සැබෑ මාර්ගයක් ගොඩනගා ගැනීමේ දුෂ්කරතා මතුව තිබේ. නියමිත ප්‍රශ්නයට පිළිතුරු සොයනවා වෙනුවට වෙනත් ගැටලු නිර්මාණය කිරීම තුළින් අදාළ ගැටලුව යටපත් වෙයි.

නව වසරේ ප්‍රථම අභියෝගය වන්නේ කොරෝනා වසංගතය තුරන් කිරීම බව කාගේත් පිළිගැනීමය. ඒ සමඟම ප්‍රමුඛත්වය දිය යුතු වන්නේ ජනතාවගේ ජීවන ගැටලුවලට පිළිතුරු ලබා දී ඔවුන්ට ජීවත් වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම උදෙසාය. සියලුම පසු ප්‍රශ්න පසුවට තබා ඉහළම ප්‍රමුඛත්වය දිය යුතු වන්නේ අද බොහෝ දෙනෙක් බැටකන ජීවත්වීමේ ගැටලුවලට විසඳුම් ලබාදීමට බව කිව යුතුය. අද පොදු ජනතාව තමන් ලබන ආදායමෙන් දවසේ එක වේලක් හෝ ආහාර ගෙන ජීවත් වීමට නොහැකි තත්ත්වයට පත්ව සිටිති. මාසිකව ස්ථිර වැටුපක් ලබන සේවකයන් හා ලොකු කුඩා ව්‍යාපාරිකයන් හැරුණුවිට සෙසු එදිනෙදා ජීවත් වන ජනතාවට කබලෙන් ළිපට වැටීමේ තත්ත්වයක් තුළ ජීවත් වීමට සිදුව ඇත.

වර්තමාන ආණ්ඩුව රටේ බඩු මිල පාලනය කිරීමට මෙතෙක් ගත් සියලු පියවර අසාර්ථක වී ඇති බව පැවසිය යුතුය. මේ නිසා දිනෙන් දින බඩු මිල ඉහළ යමින් පවතී. ඒ පිළිබඳ ආණ්ඩුව මෙතෙක් ලබාදුන් කෙටිකාලීන විසඳුම් අසාර්ථක වී ඇති අතර දිගුකාලීන විසඳුමක් පිළිබඳ තවම සිතා බලාවත් නොමැති සැටියකි.

රජය විශාල ලෙස ණය ලබාගෙන තම පුනරාවර්තන වියදම් පවා පියවා ගැනීමට යොමුව ඇති අතර ජනතාව ද රජය ආදර්ශයට ගනිමින් හතර අතට ණය වී සිටී. තමන් ගන්නා ණයවලට අමතරව රජය ගන්නා ණයවල බර ද ජනතාව පිට පැටවී තිබේ. මේ නිසා ඔවුහු දෙපැත්තකින් පීඩා විඳිති. කොරෝනා අර්බුදය නිසා අපට විදේශාධාර ද ලබාගැනීමට අපහසුව ඇති අතර සංචාරක ව්‍යාපාරය බින්දුවට බැස තිබීමෙන් මෙතෙක් ලැබූ සුවිශාල ආදායම නොලැබී තිබේ. එසේම විදේශවල සේවය කරන අය මෙරටට එවන මුදල් අපේ විදේශ විනිමය ලබාගැනීමේ ප්‍රධාන මාර්ගයක් වී තිබුණද අද පවතින තත්ත්වය මත විදේශවල සිටින අයට රුකියා අහිමි වීමෙන් ඔවුහු ආපසු සිය රට වෙත පැමිණෙමින් සිටිති. ඒ අයට ආපසු කවදා රුකියාවලට යාමට සිදුවේදැයි කිව නොහැකි අතර ඔවුන්ගේ දරුපවුල් ද අනාථ වී සිටී.

අපේ රටට අද මුහුණ පාන්නට සිදුව ඇති ආර්ථික අභියෝග පිළිබඳ ක්ෂේත්‍ර කිහිපයක විශ්ලේෂකයන් දක්වන අදහස් මෙසේ සංක්ෂිප්ත ලෙස දක්වමු.

වැරදි තේරුම් ගෙන නිවැරදි කළ යුතුයි

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය විජිතපුරේ විමලරතන හිමි:

ලබන අලුත් වසරේදී අපට මුහුණපාන්න සිදුවන ප්‍රධානතම ආර්ථික ගැටලුවක් වන්නේ විදේශ විනිමය හිඟය සහ විදේශ ණය පිළිබඳ ප්‍රශ්නයයි. අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වීම දැන් දිගින් දිගටම මතුව ඇති ගැටලුවක්. අපේ විදේශ විනිමය සංචිත දියකර හැරලා රුපියල බේරාගැනීමට දරණ උත්සාහය ප්‍රතිඵල විරහිතයි. මේ සඳහා දීර්ඝකාලීන මෙන්ම කෙටිකාලීන විසඳුම් අවශ්‍ය වෙනවා. අපනයන වැඩි කිරීමට මෙහිදී ඉහළ ප්‍රමුඛත්වයක් දිය යුතුයි. එසේ නැතුව ආනයන තහනම එකම විසඳුම නොවෙයි.

මේ වන විට විදේශ රුකියාවල නිරත අයගෙන් අපට ලැබෙන ප්‍රේෂණ අඩු වී තිබෙනවා. එයට හේතුව ඔවුන් කොරෝනා වසංගතය නිසා ආපසු ඒමට පටන් ගැනීමයි. එලෙස පැමිණෙන අය දිගටම මෙහි රඳවා නොතබා ප්‍රතිශක්තීකරණ එන්නත ලබා දී ආපසු යැවිය යුතු වෙනවා. මෙම වියදම හාම්පුතුන් හා සේවකයන් අතර බෙදාගැනීමේ ක්‍රමවේදයක් ඇතිකළ යුතුයි.

අයවැය ලේඛනය ඉදිරිපත් කළ ද එහි අය පිළිබඳ ගැටලු තියෙනවා. වක්‍ර බදු තවදුරටත් වැඩි කිරීම වෙනුවට කළ යුතුව ඇත්තේ ඍජු බදු එකතු කර ගැනීමට ප්‍රමුඛත්වය දැක්වීමයි. දැනට ඒ පිළිබඳ රජය ගන්නා උනන්දුව ගැන සතුටු වීමට නොහැකියි. බදු ප්‍රතිශත වෙනස් නොකළත් අය කළ යුතු බදු එකතු කිරීම වේගවත් කිරීම අවශ්‍ය වෙනවා.

පෞද්ගලික අංශයට රටේ ව්‍යවසායන්ට මැදිහත් වීමට පහසුකම් සැලසීම අවශ්‍යයි. විදේශ ආයෝජන ගෙන්විය හැකි පරිසරයක් රට තුළ සකස් කළ යුතුයි. ඔවුන් දිරිමත් කරන ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. මා අදහස් කරන්නේ විදේශ ආයෝජකයන් සම්බන්ධීකරණය කිරීම සඳහා හමුදා නිලධාරීන්ගේ සහාය ලබාගත යුතු බවය. රජය ව්‍යවසායන්ට මැදිහත්වීම නොකළ යුතුයි. ආණ්ඩුව කළ යුත්තේ ආරක්ෂාව හා සුබසාධනයට අවශ්‍ය කටයුතුයි. කළ නොහැකි දේ බදාගෙන ජාතික ධනය නාස්ති කළ යුතු නැහැ. අද පාඩු ලබන රාජ්‍ය ආයතන ගොඩනැගීමට රජයට නොහැකි නම් ඒ සඳහා පෞද්ගලික අංශය යොදාගැනීම වරදක් ලෙස දකින්නේ නැහැ.

රටේ ඉදිකිරීම් අංශය නගාසිටුවීමට ලබන වසරේ ස්ථිරසාර වැඩපිළිවෙළක් සකස් කළ යුතු වෙයි. දැනට ඒ සඳහා ආයෝජනය කළ හැකි අයට ද වෘත්තීය පුහුණු ශ්‍රමිකයන් නැතිවීම පිළිබඳ ගැටලු පවතී. මෙරට තුළ අවශ්‍ය ශ්‍රමිකයන් නොමැති නම් පිටරටින් හෝ සුදුසු අය ගෙන්වා ගැනීමට අවස්ථාව දිය යුතු වෙනවා. රටක ආර්ථික දියුණුවේ එක පැත්තක් ඉදිකිරීම් ක්ෂේත්‍රය මත රඳා පැවතීම ගැන අප අමතක කළ යුතු නැහැ.

ආණ්ඩුවේ ආයතන ප්‍රධානීන් පත්කිරීම ගැන ගැටලු තිබෙනවා. විශේෂයෙන් ව්‍යවසායක ආයතනවල. ආයතන ප්‍රධානීන් පත් කිරීම පිළිබඳ මේ රජය බලයට පත්වූ දිනවල ජනාධිපතිවරයා ඇතිකළ මණ්ඩලයක් මගින් සුදුස්සන් තෝරාගන්නා බව ප්‍රචාරය වුවද එය සිතූ තරම් සාර්ථක වී නැහැ. එයට පිටින් විවිධ පුද්ගලයන් පත්කර තිබෙනවා. ඒ නිසා ලබන වසරේදි එම තත්ත්වය සමාලෝචනය කර නුසුදුස්සන් පත්කර ඇති නම් ඔවුන් ඉවත් කිරීමට කටයුතු කළ යුතුයි. විශේෂයෙන් රටේ නිෂ්පාදන ව්‍යවසායන්ට ඒ පිළිබඳ සුදුසුකම් ඇති ප්‍රවීණයන් පත් කළ යුතු වුවත් ඇතැම් ස්ථානවල එම තත්ත්වය නොසලකා තිබෙනවා. ඒ නිසා ඒවායින් බලාපොරොත්තු වන ප්‍රතිලාභ අත්කර ගැනීම අපහසුව තිබෙනවා. මෙම තත්ත්වය වගකිවයුත්තන් තේරුම්ගෙන ලබන වසරේදී මෙලෙස සිදුව ඇති වැරදි නිවැරදි කිරීමට ප්‍රමුඛත්වය දිය යුතුයි.

මුදල් මුද්‍රණය කිරීමේ වරදක් මා දකින්නේ නැහැ

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ. විජේවර්ධන

2020 වසර අතහැර දැමිය යුතු වසරක් බවට පත්වුණා. එයින් අදහස් කරන්නේ ලැබිය යුතු හැමදේම අහිමි වූ වසරක් යනුවෙන්. 2021 වසර මෙම කපාහැරීමේ සිට අලුතින් ආර්ථිකය ගොඩනගන වසරක් විය යුතුයි. රටේ බංකොලොත් වූ ආයතන යළි ගොඩනැගීමට මේ වසරේ කටයුතු කළ යුතු වෙනවා. පිටතින් හෝ මුදල් සොයාගෙන මෙම කඩා වැටුණු ආයතන යළි යථා තත්ත්වයට පත් කිරීම ප්‍රධානතම අවශ්‍යතාවක්. ඒ ගැන සැමදෙනාම කැපකිරීම් කළ යුතු වෙනවා.

ශ්‍රී ලංකාව ව්‍යවසාය සමාගමක් ලෙස ගතහොත් එහි කොටස් හිමියන් වන්නේ මිලියන 21ක්වූ ජනතාවයි. රට වෙනුවෙන් කරන කැපකිරීම ලබන වසරේ සිට ඉහළ සිට පහළට ආදර්ශයෙන් ක්‍රියාත්මක කළ යුතු වෙනවා. වේල් තුන වෙනුවට එක වේලක් හෝ ආහාර ගෙන සියලු දෙනා කැප කළ යුතු වසරක්. අපේ චින්තන ශක්තිය වැය කළ යුත්තේ මෙම බංකොලොත් රට ගොඩනැගීම වෙනුවෙන්. අවධානය යොමු කළ යුත්තේ ආගමික, සංස්කෘතික, ජාතික හෝ දේශපාලනික ගැටලුවලට වඩා ආර්ථික ගැටලුව නිරාකරණය කිරීම සඳහායි. මිත්‍යා සංකල්ප ගැන වාද විවාද කිරීම වෙනුවට ජාතික ගැටලුව පිළිබඳ සාකච්ඡා කළ යුතු වෙනවා.

අද සැම දෙයම කොරෝනා වසංගතය මුවාවෙන් ප්‍රමාද කිරීමේ උත්සාහයක් තිබෙන බව පෙනෙනවා. මෙම වසංගත තත්ත්වය ලබන වසර ආරම්භයේදීම නැති කර නොගතහොත් අපට අනාගතයක් ගැන සිතන්නවත් නොහැකියි. උදාහරණයක් ලෙස පවසතොත් සිංගප්පූරුව, කොරෝනා රෝගය සුව කරලීම සඳහා අමෙරිකා එන්නත පාවිච්චි කර සාර්ථක ප්‍රතිඵල ලබාගෙන තිබෙනවා. එහෙත් අවාසනාවකට වගේ අප තවමත් කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳ කතා පවත්වනවා පමණයි. විසඳුමක් ගැන තීරණය වන විට පෙරහර ගිහින් ඉවරයි.

අද මුදල් අච්චු ගහන බවට බොහෝ දෙනා චෝදනා කළත් පිටරටින් මුදල් නොලැබෙන විට මුදල් මුද්‍රණයේ වරදක් මා නම් දකින්නේ නැහැ. එවිට උද්ධමනය ඇතිවීම නිසා එම හානිය ජනතාව අතර බෙදී යනවා. එම තත්ත්වයට ජනතාව කැපකිරීම් කළ යුතු වෙනවා. මෙලෙස උද්ධමනය වැඩිවීමෙන් සිදුවන්නේ පහළ ආදායම ලබන අයගෙන් ද බදු අයකිරීමක්. මේ මොහොතේ රජයේ උපක්‍රමය වන්නේ මුදල් මුද්‍රණය කිරීමයි. මේ වන විට අමෙරිකානු ඩොලර් මිලියන 13ක භාණ්ඩාගාර බැඳුම්කර වෙළෙඳපොළේ සංසරණය වෙයි. එහි වෙළෙඳ අගය පහළ බැස ඇති අතර අමෙරිකානු ඩොලර් 100ක බැඳුම්කර අලෙවි වන්නේ ඩොලර් 60කටයි. 2029 දී කල් පිරෙන බැඳුම්කර අලෙවි වන්නේ ඩොලර් 59ටයි. කුණුකොල්ලයට යනතුරු වටිනාකම පහළ බැස තිබෙනවා. දේශීය ආයෝජකයන්ට බැඳුම්කර මිලට ගැනීම මේ වන විට තහනම් කර තිබෙනවා. අලුත් වර්ෂයේදී මෙම තත්ත්වය රටේ ආර්ථිකයට යහපත් වන අයුරු පරිවර්තනය කළ යුතු වෙනවා. අපේ විදේශ ණය ප්‍රශ්නයට යම් සීමාවක් පැනවීම ගැන නව වර්ෂයේදී උනන්දුවක් දැක්වීම වැදගත්. දැනට ලබාගත් ණය වාරික ගෙවීම පවා දුෂ්කරව තිබියදී යළිත් ණය ගැනීම පිළිබඳ දෙවරක් නොව කිහිප වරක් සිතිය යුතු වෙනවා. අලුත් වසරේදී රටේ යහපත් ආර්ථිකයක් ඇතිකිරීමට ප්‍රමුඛත්වය දී සාර්ථක පියවර ගැනීම අත්‍යවශ්‍ය බව කිව යුතුයි.

දේශීය නිෂ්පාදනවල ප්‍රමිතිය ඉහළ නැංවීම වැදගත්

ජාතික වාණිජ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නන්දික බුද්ධිපාල

මේ දිනවල රටේ ආර්ථික කටයුතු අඩපණවීමක් සිදුවෙලා තියෙන බව කවුරුත් දන්න කරුණක්. මේ තත්ත්වය මත ජනතාවට සාමාන්‍ය විදියට වැඩ කරන්න බැරිවෙලා තියෙනවා. පාරිභෝගිකයා වියදම් කරන ප්‍රමාණය අඩුවීම නිසා රටේ ආර්ථික ක්‍රියාවලිය සංකෝචනය වෙලා. කොරෝනා වෛරසය සමාජගත වී තිබෙන නිසා ආර්ථික කටයුතුවල නිරත වන්නේ කෙසේද යන ගැටලුව ඇතිවෙනවා. රටේ මුදල් සංසරණය අවම වීම ප්‍රධාන බාධකයක්.

ආනයනය අඩු කිරීම නිසා දිනපතා සාමාන්‍ය ආර්ථික ක්‍රියාවලිය සිදුවන්නේ නැහැ. රටේ සැපයුම ස්ථායී ලෙස තබාගත හැකි නම් ආර්ථිකය යම් පමණකට හෝ ශක්තිමත්ව තබාගත හැකියි. කොරෝනා සමඟ වැඩ කිරීමට අවශ්‍ය පරිසරය සකස් විය යුතුව තිබෙනවා. ආනයනය අඩු කරන්නේ නම් එම ද්‍රව්‍ය රට තුළ නිෂ්පාදනය කිරීම වැදගත්. එහෙත් දේශීයව නිෂ්පාදනය කරන භාණ්ඩවල ප්‍රමිතිය උසස් කළ යුතු වෙනවා. එසේ සිදු වුවහොත් ආනයනය සීමා කිරීමෙන් සිදුවන හානිය අඩුයි. ප්‍රමිතිය උසස් කිරීම සඳහා අවශ්‍ය නිපුණත්වය ඇති ශිල්පීන් යොදාගැනීම අවශ්‍ය වෙනවා. තරගකාරී සැපයුම් රටාවට මුහුණදීම සඳහා තාක්ෂණික තත්ත්වය දියුණු කළ යුතුයි. මෙහිදී රට තුළ නිෂ්පාදන භාණ්ඩවලද තරගකාරීත්වයක් ඇතිකළ යුතු වෙනවා. රජය ලබන වසරේ මෙම අභියෝගය තේරුම් ගෙන යම් වැඩදායී පියවර ගතහොත් අපට යම් පමණකට හිස එසවිය හැකි වෙනවා.

අනිත් අතට අපට පමණක් නොවෙයි ලෝකයේ බොහෝ රටවලට ලබන වර්ෂය අභියෝගාත්මක වනවා. ඔවුන් ද මෙම වෛරස අර්බුදයට මුහුණ දී තිබීම හේතුවෙන්. පළමු කැපකිරීම විය යුත්තේ එම රටවල් සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමයි. එය සිදු නොකර කිසිදු ආර්ථික ප්‍රතිසංස්කරණයක් කළ හැකි නොවෙයි.

අපේ රටේ ව්‍යාපාරික ප්‍රජාවද අද වන විට විශාල ගැටලුවකට මුහුණ දී තිබෙනවා. බොහෝ ව්‍යාපාර බිඳවැටිලා. නිෂ්පාදනය අඩුවෙලා. සේවකයන්ගේ රුකියා අහිමිවීම නිසා ඔවුන් දුෂ්කරතාවට පත්වෙලා. ජාතික වාණිජ මණ්ඩලයට අයත් ප්‍රධාන ආයතන 720ක් පමණ තිබෙනවා. තවත් කුඩා හා මධ්‍ය පරිමාණ වාණිජ ආයතන 1500ක් සාමාජිකයන් ලෙස ප්‍රාදේශීය මට්ටමෙන් තිබෙනවා. මෙම ජාලය තුළ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් විවිධ කාර්යයන් සඳහා සම්බන්ධ වී සිටිනවා. දැනට රට තුළ උද්ගතව ඇති වාතාවරණය අනුව ඔවුන් බොහෝ දෙනා අපහසුතාවට පත්වෙලා. මේ වන විට යම් පමණක මෙහි යහපත් වෙනසක් සිදුවෙමින් පවතිනවා. රට මුලින් තිබූ තත්ත්වයට තවම පත්වී නැහැ. සැමදෙනාම පාහේ තමන්ගේ ධාරිතාවට වඩා අඩුවෙන් තමා වැඩ කරන්නේ. සාමාන්‍ය තත්ත්වයට පත්කර ගැනීමේ විශාල අභියෝගයක් ඉදිරියේදී තිබෙනවා. නිෂ්පාදන ධාරිතාව අඩුව ඇති අතර එය මුලින් පැවැති තත්ත්වයට ඔසවා තැබීම විශාල වගකීමක් පැවරෙනවා.

ව්‍යාපාරික ආයතන බිඳ නොවැටී පවත්වාගෙන යාම සඳහා මේ වන විට රටේ සාමාන්‍ය පොලී අනුපාත අඩුවීම හොඳ ප්‍රවණතාවක්. රජයට ලැබෙන බදු ආදායම අහිමිවෙලා නිසා වෙනත් රටවල මෙන් ජනතාව අතට මුදල් දීම තවදුරටත් කළ නොහැකියි. එහෙත් රටේ තත්ත්වය යහපත් වනතුරු ව්‍යාපාර නොබිඳී කරගෙන යාමට විසඳුම් රජය දිය යුතු වෙනවා. මෙවර අයවැය ලේඛනය මගින් රටේ ප්‍රාග්ධන වියදම සඳහා වෙන්කිරීම් ඉහළ නංවා තියෙනවා. මේ මුදලින් ඵලදායී ලෙස කටයුතු කළහොත් රටේ ආර්ථික ක්‍රියාවලියේ යම් පිබිදීමක් ඇතිවිය හැකියි. මෙමගින් ජනතාව සංවර්ධනයේ කොටස්කරුවන් කරගත හැකි වෙනවා

රජය ප්‍රාග්ධන සංවර්ධනය සඳහා කරන වියදමේ ප්‍රතිලාභ ගැනීමට ක්‍රම දෙකක් තිබෙනවා. එම ව්‍යාපෘතියෙන් රටට ලැබෙන ප්‍රතිලාභ මෙන්ම එයට ජනතාව සහභාගි කර ගැනීමට හැකිවීමෙන් ඔවුන්ගේ ආදායම් සරු වෙනවා. රුකියාවල්, ව්‍යාපාර කටයුතු ඇතිවෙනවා. ඒ ගැන අවධානය යොමු විය යුතුයි.

2020 වසරට වඩා 21 වසර අපට යහපත් වන බව මූඩිස් ෆිච්රේටිං වැනි ආයතන වාර්තාවලින් කියනවා. එය සනාථ කරවීම උදෙසා ඉලක්ක කරා යොමුවීම අත්‍යවශ්‍යයි. මතුවිය හැකි ගැටලු පිළිබඳ සොයා බලා පෞද්ගලික ව්‍යවසායකයන් ද සම්බන්ධ කරගෙන ආර්ථිකය යහපත් වෙනසකට භාජනය කිරීම විශාල වගකීමක්.

 යසවර්ධන රුද්රිගූ