2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා

ඉතිහාසගතවන 2020 අමතක නොවන මතක

 2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 55

2020 නව වසර ඇරුඹෙන විට එය ලෝක ඉතිහාසයේ අමතක නොවන මතකයක් සනිටුහන් කරන වසරක් වේවි යැයි කිසිවෙක් හෝ නොසිතූහ. නමුත් එය මානව ඉතිහාසයේ අතිශය පීඩාකාරී අවුල් සහගත මතක ඉතිරි කළ වසරකි. ලෝක වසංගත, ස්වභාවික විපත්, දේශපාලන අලකලංචි සහ බල පෙරැළි අතර අභ්‍යවකාශ යුගයේ විශේෂ ක්‍රියාන්විතයන්ද සමඟ ලෝකය ආර්ථික හා සමාජීය වශයෙන් දැඩි කම්පනයකට ලක්කළ වසරකි. කොටින්ම ඉදිරි කාලයේ ලෝකයේ ගමන් රටාව කෙසේ දැයි තීන්දුකළ සුවිශේෂී හැරවුම් ලක්ෂයකි.

අපායේ ගිනිදැල් මැද ඔටු සංහාරය 

ලෝක වසංගතයක හාංකවිසියක්වත් නොදැණුන 2020 මුල් මාසයේ කවුරුත් කතා කළ පුවත වූයේ අපායේ ගිනිදැල් සිහිගැන්වූ ඕස්ට්‍රේලියාවේ මහා ලැව්ගින්නයි. 2019  සැප්තැම්බරයේ සිට ඕස්ට්‍රේලියාව දවා හලුකරමින් පැතිර ගිය ලැව්ගිනි ආපදාව හේතුවෙන් හටගත් උෂ්ණත්වය සහ නියඟයේ ප්‍රතිවිපාකයක් වශයෙන් “මිලියන 480ක්” සතුන් මියගොස් හෝ අනතුරට ලක්වී තිබුණි. එබඳු තත්ත්වයක් උදාව තිබියදීත් සිය රටේ නිදැල්ලේ යන ඔටුවන් 13,000ක්ද ඊට අමතරව වනගත අශ්වයන්ද ඝාතනය කරන්නට බලධාරීහු තීන්දු කර තිබුණි. මේ මහා ඔටු සංහාරය ලොව කම්පා කළ පුවතක් වුයේය. අන්තිමේ මේ වසර අවසානයේද නැවත ඕස්ට්‍රේලියාවේ ගිම්හාන මහා ලැව්ගිනි  ඇවිල ඇති බව වාර්තා විය.

හැරී-මෙගන් පලහිලව්ව !

ලැව්ගිනි අවදානම පිළිබඳ ආරංචිය පහව යද්දී මාධ්‍ය කැළඹු තවත් ලැව්ගින්නක්  පැතිර ගියේ එංගලන්ත රජ පවුලෙනි‍. ලෝකයේම අවධානය දිනා සිටි හැරී-මෙගන් යුවළ රජ පවුලෙන් ඉවත්වීමේ පලහිලව්ව ගැනය. ඒ සසෙක්ස්හි වංශාධිපතිධූරය දරන හැරී කුමරු සහ මෙගන් මර්කල් දෙදෙනා සිය රාජකීය ජ්‍යෙෂ්ඨත්වය සහ වංශාධිපති රාජකාරිය අත්හැර ස්වාධීනව ජීවත්වීමට තීන්දු කිරීමත් සමඟිනි. මාධ්‍ය මේ වෙන්වීමට අපූරු නමක් දී තිබුණි. ඒ Megan-Exit යන්න එංගලන්තය යුරෝපයෙන් වෙන්වීම දක්වන Brexit සමඟ ගලපා Megxit කියාය.

ඇත්තටම රජ පවුලෙන් වෙන්වීම අත්‍යවශ්‍යව තිබුණේ මෙගන්ට වූ නිසා මාධ්‍ය තැබූ මේ නම අපූරුවට ගැලැපී තිබුණි. මේ යුවළ රාජකීයන් අතර සිය අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා කලෙක සිට සටන් කළහ. රාජකීයන් මේ යුවළ හැඳින්වූයේ  “ඉක්මන්කාරයන් සහ ළමා ගති දරන්නන්* හැටියටය. රජ පවුල තුළ තමන්ගේම (පුංචි) පවුල් රාජ්‍යයක් ගොඩනගන්නට මේ දෙදෙනා උත්සාහ දැරුවද රජපවුලේ සාම්ප්‍රදායික (මහා) ලෝකය තුළ මේ දෙපළ සිටියේ අතරමංවය. ඔවුන් ලොව කැළඹූ නව තීරණය ගෙන ඇත්තේ ඉන්පසුවයි.

ට්‍රම්ප්ගේ පෙරැළිය !

අමෙරිකාව තුළ මෙතෙක් කළකට බිහිවූ ආන්දෝලනාත්මකම පුවත් මවන්නා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය.  ඔහුට  එරෙහි දෝෂාභියෝගය මේ වසරේ  මුල කාගේත් අවධානය දිනාගත් කාරණාවකි. ඔහුට එරෙහි දැඩි විරෝධයක් පැවැති අතර දෝෂාභියෝගයට පෙරදින නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ඇමතූ ඔහුගේ කතාව අතරතුර කතානායිකා ඩිමොක්‍රටික් පාක්ෂික නැන්සි පෙලොසි ජනාධිපතිවරයාගේ කතාවේ පිටපත ඉරාදමමින් ක්‍රියාකළ ආකාරය විදෙස් මාධ්‍යවල දැඩි ප්‍රචාරයට ලක්විය.
කෙසේ වුවද කාළයකට ඉහත බාබා වැන්ගා නම් අනාවැකිකාරිය කියා තිබුණාක් මෙන්ම  ඔහු තමන්ට එරෙහිව ආ එම දෝෂාභියෝගයෙන්ද ජය ගත්තේය. ඒ අනුව දෙවැනි ධුර කාලය වෙනුවෙන් නොවැම්බර් මස 3 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ට පැවති බාධා ඉවත්ව ගියේය. නමුත් වසර අවසානයේ සියල්ල වැරුදී ගියේය. හිතුවක්කාර ජනාධිපතිවරයා වෙනුවට වඩාත් බරසාර ගති ඇති තිරසාර ගුණ ඇති ජෝ බයිඩන් තෝරා ගන්නට අමෙරිකා ජනතාව කටයුතු කළහ. නමුත් එය පහසු ජයක් වූයේ නැත.

බ්‍රෙක්සිට් - කම්මුතුයි !

සිය සාමාජිකත්වයෙන් ඉවත්වීම සඳහා බ්‍රිතාන්‍යය ඉදිරිපත් කළ බ්‍රෙක්සිට් වැඩපිළිවෙළට යුරෝපා සංගමයේ අනුමැතිය හිමිවිය. ඒ අනුව ජනවාරි මස 31 වැනිදා සිකුරාදා  මධ්‍යම රාත්‍රියේදී බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්විය. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමෙන් පසුව මාස 11ක පරිවර්තන කාලසීමාවක් දෙපාර්ශ්වය අතර නව ආර්ථික සබඳතා ගොඩනගා ගැනීම සඳහා ලබාදී ඇත.
2016 වසරේදී පැවැති ජනමත විචාරණයකදී බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් දික්කසාද වී  තනිකඩ වියයුතු බවට එහි ජනතාව තීන්දු කළේය. එහෙත් බ්‍රෙක්සිට් වැඩපිළිවෙළ නොසිතූ අයුරින් අසාර්ථක විය. එහි එක් ප්‍රතිඵලයක් වූයේ අගමැතිනි තෙරේසා මේ ට සිය ධුරයෙන් ඉවත්වීමට සිදුවීමයි. කෙසේ නමුත් ඉන්පසුව බලයට පත්වූ අගමැති බොරිස් ජොන්සන් ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නැවත මැතිවරණයක් කරා යොමුවිය. එහිදී පාර්ලිමේන්තුවේ අතිශය බහුතරය අගමැතිවරයාගේ පක්ෂය වෙත හිමිවුණේ බ්‍රෙක්සිට් වැඩපිළිවෙළ වඩාත් ශක්තිමත් කරමිනි. අවසානයේදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අනුමැතිය යටතේ ඉදිරිපත් කළ නව බ්‍රෙක්සිට් යෝජනාවලිය සඳහා යුරෝපා පාර්ලිමේන්තුවේ ආසන 621ට 49ක් ලෙසින් බහුතර අනුමැතිය හිමිවූයේය.  දැන් බ්‍රිතානයය යුරෝපයේ තනිකඩයාය.

ලොව කැළඹූ මහා වසංගතය !

නිශ්චිත හේතුවක් හඳුනා නොගත් නියුමෝනියා රෝග තත්ත්වයක් ගැන චීනයෙන් ලැබී තිබූ වාර්තා වෙත ලෝක අවධානය යොමුවූයේ 2020 ජනවාරි 07 දින එම රෝගයට හේතුව අලුත් කොරෝනා වෛරසයක් බව හඳුනාගැනීමත් සමගිනි. ජනවාරි අග වනවිට රටවල් 11කට පැතිර ගිය රෝගය 2798ක් ආසාදනය කර තිබූ අතර 80කගේ ජීවිත බිලිගෙන භයානක මට්ටකට පැමිණ තිබුණි. 
චිනයේ හුබෙයි පළාතේ වුහාන් නගරය වසා දමමින් අලුතෙන් රෝහල් තනමින්  බෙහෙත් නැති අලුත් රෝගයට මුහුණ දෙන්නට එහි බලධාරීන් කටයුතු කරද්දී 2020 පෙබරවාරි වනවිට ඒම වෛරසයට SARS cov2 ලෙස නමක් දෙමින් කොවිඩ්19 වසංගතය ලෙස නම් කරන ලදී. ලොවපුරා දැඩි ව්‍යාප්තියක් දක්වන මේ වසංගතයට මේ වනවිට ලොව වටා ලක්ෂ 788ක් ගොදුරු වී ඇති අතර ලක්ෂ 18කට ආසන්න පිරිසක් මියගොසිනි. 2020 වසර මහා ඛේදවාචකයක් බවට පත්කරන්නටත් නව ජීවන රටාවකට ලෝකයම යොමුකරන්නටත් හේතුවූයේ මේ   සියවසේ භයානකම රෝගය බවට පත්වී ඇති කොඩිඩ්19 වසංගතයයි. මේ වනවිට එය වඩාත් ප්‍රබලව පැතිර යන නව ප්‍රභේද බිහිකරමින් සොයාගෙන ඇති එන්නත් අභියෝගයටද ලක්කරමින් තුන්වන වරටත් සිය භීෂණය පතුරවමින් ලොවෙන් අඩක් හිඟමනටද ඇද දමමින් සිටියි.

පළඟැටි වසංගතය !

වසංගත තත්ත්වයක් හේතු කොටගෙන සෝමාලියාවේ ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට  පත්කරන්නට සිදුවිය. නැගෙනහිර අප්‍රිකාව පුරා පැතිර ගිය පළඟැටි උවදුර නිසාය. වගාබිම්වල ඵලදාව පළඟැටියන් අධික ලෙස ආහාරයට ගැනීම හේතුවෙන් එරට ආහාර සුරක්ෂිතතාවට විශාල තර්ජනයක් වී තිබුණි.
වසර 25කට පසු සෝමාලියාවේ සහ ඉතියෝපියාවේ දැකිය හැකි වූ විශාලතම පළඟැටි උවදුර මෙය ලෙස එක්සත් ජාතීන් පවසයි. එමෙන්ම එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO)ට අනුව මෙවැනි පළඟැටි තර්ජනයකට කෙන්යාව මුහුණ දී ඇත්තේ වසර 70කට පසුවයි. කෙසේ වෙතත් මෙම රටවල් අතරින් මුල්ම වතාවට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කළ කලාපයේ පළමු රට සෝමාලියාවයි.
එසේම බටහිර ඉන්දියාවේ හෙක්ටයාර් 50,000 කට වැඩි ප්‍රදේශයක බෝග විනාශ වී  ගියේය. කොරේ පිටට මරේ කීවාක් මෙන් කොරෝනා වෛරස් වසංගතය මධ්‍යයේ ඉන්දියාවේ විශාල ප්‍රදේශයක පැතිර ගිය පළඟැටි වසංගතයක් හේතූවෙනි. මේ හේතුවෙන් රාජස්ථාන්, මධ්‍ය ප්‍රදේශ් සහ ගුජරාට් යන ප්‍රාන්ත වඩාත් පීඩාවට පත්විය පාකිස්තානයේ විශාල ප්‍රදේශයක්ද පළඟැටියන් විසින් ආක්‍රමණය කර වනසා තිබුණි.

ෆ්ලොයිඩ් ඝාතන විරෝධය!

අමෙරිකාව මෙන්ම ලෝකය පුරාද වර්ණභේදය පිළිබඳ මහත් ආන්දෝලනයක් අලුතෙන් ඇතිකරන්නට සමත් වූ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්, ඝාතනය සම්බන්ධයෙන් හටගත් විරෝධයන් අලුත් වටයකින් පණ පෙවී ආවේය. ජෝර්ජ් ෆ්ලොයිඩ්, පොලිස් නිලධාරියෙකු අතින් ඝාතනයට ලක්වූණේ 2020 මැයි මස 25 වැනිදාය. සිද්ධියේ සීසීටීවී දර්ශන ලෝකයට පෙන්නුම් කළේ “මට හුස්ම ගන්න බෑ” යනුවෙන් ජෝර්ජ් ෆ්ලොයිඩ් කෑගසද්දී පොලිස් නිලධරයා උපක්‍රමික ලෙස තවදුරටත් සිය නවාගත් පාදය ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ හුස්ම අවහිරවන ලෙස තබාගන ඇති ආකාරයයි. මේ සමග කළු අමෙරිකානුවන්ට ඔවුන් කල්ලන් වීම නිසා මුහුණදෙන්නට සිදුව ඇති සමාජ අසාධාරණය ගැන යටපත්ව තිබූ විරෝධය අලුතෙන් පණගැහී ආවේය. මේ අතරම ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට වගකිවයුතු පොලිස් නිලධාරී ඩෙරික් ඩොලර් 125,000ක ඇපයක් මත නිදහස් විය. මේ තීන්දුව ලොව පුරා විරෝධතා රුල්ලක් ඇති කිරීමට හේතුවූවා පමණක් නොව පොලිස් ප්‍රතිසංස්කරණ ඇති කිරීමටද පෙළඹවීමක් ඇති කළේය. ෆ්ලොයිඩ්, ඝාතනයට එරෙහි විරෝධය ඒ සම්බන්ධයෙන් අඳුරු අතීතයකට හිමිකම් කියනා එංගලන්තයද කැළඹුවේය. 

වර්ණභේදවාදයට එරෙහිව වීදි බට කණ්ඩායම් සංවිධානාත්මක ලෙස එරට ප්‍රධාන පෙළේ ප්‍රභූ චරිත ලෙස සැලකෙන 48 දෙනෙකුගේ ප්‍රතිමා බලෙන්ම ගලවා බිම ඇද දැමූහ. සමහර ප්‍රතිමා ගංගාවන්ට ඇද දැමූහ.

රොකට් මෑන් -මිය යයි !

පසුගිය වසර මුල ලෝක ජනමාධ්‍ය උණුසුම් කළ පුවතක් වූයේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා බරපතළ බවට සිදුවූ ප්‍රචාරයයි. හිතුවක්කාර තරුණ නායකයා සැත්තමකින් පසු මියගිය බවට පැතිර ගිය පුවත ලොව කැළඹීමට සමත් විය.
නමුත් රොකට් මෑන් ලෙස ප්‍රකට කිම් ජොං උන් හත් පණක් ඇත්තෙකි. මීට පෙර අවස්ථා ගණනාවකදීද ඔහු මියයාමට ආසන්න බවට වූ අසත්‍ය වාර්තා ගණනාවක්ම එළි දුටුවේය. ඒ අන්දමටම ලෝකයම මියයන්නට ඇතැයි මාස ගණනාවක්ම සැක පහළ කළ කිම් ජොං උන් මෙවරද හදිසියේ සිය දකුණූ අප්‍රිකානු රාජ්‍ය නායකයා වෙත සුබපතා ලිපියක් එවා තිබුණි. එරට ජාතික දින උළෙල නිමිත්තෙන් රටවල් දෙක අතර දිගුකාලීන මිතුරුකම ගැනද සඳහන් කරමින් ඔහු සුබපැතුම් එවා තිබුණි. මියගියා යැයි ලෝකයම සලිතව බලා සිටියදී කිම් ජොං උන් එවූ මේ ලිපියටද මහා ප්‍රසිද්ධියක් ලැබිණි.

රුසියාව පුටින්ටම සින්න වෙයි!

මෑතකාලීන ලෝක නායකයන් අතර පුටින් අමුතුම චරිතයකි. මියයනතුරු බලයේ රැඳී සිටීම ඔහුගේ අරමුණ වී ඇති බව එරට විපක්ෂය චෝදනා නඟන්නේ කලෙක සිටය.  රැසියානු නායක පුටින්ගේ එම යාවජීව ජනාධිපති සිහිනය 2020දී සැබෑවිය‍. වසර 2036 දක්වා රුසියාව තුළ ජනාධිපතිවරයා ලෙස ව්ලැද්මීර් පුටින්ට රැඳී සිටිය හැකිවන පරිදි ඔහු ගෙන ආ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට බහුතර ජනතා අනුමැතිය හිමිවීමත් සමඟිනි.
මේ අනුව ජනාධිපති පුටින්ගේ පාලන කාලය 2024 සිට නැවත බිංදුවෙන් පටන් ගැනීමට නියමිතය. නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට අනුව එදින සිට වසර 6 බැගින් තවත් වාර දෙකක් පුටින්ට රුසියාවේ පාලන බලය හිමිවනු ඇත‍.

ලොව පළමු ජෛවීය රොබෝවන්

2020 ලොව තාක්ෂණික විප්ලව රැසකට මුලපිරූ වසරකි. රොබෝ තාක්ෂණය තුළ දැවැන්ත විප්ලවයක් ඇතිකරමින් ලොව පළමු ජෛවීය රොබෝවන් ලොවට හඳුන්වාදීමට අමෙරිකානු විද්‍යාඥයන් පිරිසක් සමත්වූයේ මෙම වසරේදීය. සෙනෝපස් ලාවිස් නම් අප්‍රිකානු මැඩියන් විශේෂයක ශුක්‍රාණු සෛල භාවිතයෙන් සෙනෝබොට්ස් නමින් වූ ලොව පළමු සජීවී රොබෝවන් නිෂ්පාදන කිරීමට ඔවුන්ට හැකිවිය. ස්වයංව සුවපත් වීමේ විශිෂ්ට හැකියාවෙන් යුත් මේ රොබෝවා සැලකෙන්නේ ජීව විද්‍යාත්මක යන්ත්‍රයක්, එනම් බයලොජිකල් මැෂීන් එකක් හැටියටය.  

බෝයිං 777X ලොව විශාලතම යානය

අඩි 252ක් දිගැති බෝයිං 777X යානය යනු බෝයිං සමාගමේ නවතම නිපැයුමකි. එය එන්ජින් දෙකක් සහිත ලොව විශාලතම ගුවන් යානයයි. එහි පළමු අත්හදා බැලීමේ ගුවන් ගමන 2020 පෙබරවාරි සාර්ථකව නිමවිය. බෝයිං සමාගමේ මෙම නවතම නිෂ්පාදනය එක්සත් ජනපදයේ සියැටල් නගරයට නුදුරු ස්ථානයකදී ගුවන්ගත කෙරුණු අතර එය පැය හතරක පමණ පියාසරණයක යෙදුණි.
විදුලි බලයෙන් දුවන ලොකුම ගුවන් යානය
පැයට සැතපුම් 114ක වේගයෙන් ගමන් කළහැකි සම්පූර්ණයෙන්ම විදුලි බලයෙන් ක්‍රියාකරන ලොව විශාලතම ගුවන් යානයද 2020 වසරේ කළඑළි බැස්සේය. 
එය සිය ප්‍රථම චාරිකාව ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේදී සිදුකරන්නට යෙදුණි. මෙම යානයේ මගීන් නවදෙනකුට ගමන් කළ හැකි වුවත් ප්‍රථම ගුවන් ගමන සඳහා සහභාගී වී ඇත්තේ ගුවන් නියමුවා පමණි.

යානා 03ක් අඟහරුට ගිය ඓතිහාසික වසර

අභ්‍යවකාශ තරණ ඉතිහාසයේද ඉකුත්ව ගියේ අමරණීය වසරකි. 2020 වසරේ සිට ජූලි මාසය අනාගතයේදී හැඳින්වෙනු ඇත්තේ “අඟහරු-මාසය” හැටියටය. ඒ ලෝකයේ මුල් වතාවට අපේ ග්‍රහමණ්ඩලයේ ප්‍රධානතම ග්‍රහලෝකයක් වෙත මිනිස් අතින් නිපද වූ යානා 3ක් එක්වර පිටත්ව ගිය මාසය ජූලිය බවට පත් වූ නිසාය. මෙයට පෙර අභ්‍යවකාශ ඉතිහාසයේ “ජූලිය” ගැන සටහන්ව තිබුණේ මිනිසා හඳට ගිය මාසය හැටියටය. දැන් එය ඉතිහාසයේ මුල්ම වතාවට මහපොළොවේ කලාප 3කට අයත් ජනතාව නියෝජනය කරමින් යානා 3ක් අඟහරු කරා ගිය මාසය බවට පත්ව හමාරය.
ආසියානු කලාපය නියෝජනය කරමින් චීනය සිය අභ්‍යවකාශ මෙහෙයුම මගින් “ටියෑන්වෙන් -1, “Tianwen-1”, හැටියට හැඳින්වෙන පරීක්ෂක යානාවක් අඟහරුට පිටත් කර හැරියේය. අමෙරිකාව ඇතුළු යුරෝපා රාජ්‍යයන් නියෝජනය කරමින් නාසා ආයතනය “උත්සාහය” හෙවත් Perseverance නමැති රොබෝ ක්‍රියාකාරී පරීක්ෂක යානය පිටත්කර හැරියේය. වසර ගණනාවක සිට කළ උත්සාහවත් ක්‍රියාන්විතයක ප්‍රතිඵලය හැටියට ලෝකයේ මුස්ලිම් ආගමිකයන් සහ ආරාබි කලාපය නියෝජනය කරමින් Al-Amal හෙවත් Hope නැතිනම් “බලාපොරොත්තුව” නමැති යානය එක්සත් අරාබි එමීර් රාජ්‍යය මඟින් පිටත් කර යැවීය. 

 සුගත් පී. කුලතුංගආරච්චි