
ලෝකය උඩුයටිකුරු කළ මහා වසංගතය දැන් 2021 නව වසරටද සිය කෘරත්වය විහිදුවන්නට සැරුසී හමාරය. වසර 2019 අගභාගයේ පුංචි කැස්සක් - හෙම්බිරිස්සාවක් ලෙස චීන ජාතිකයන් කිහිප දෛනෙකු අතරින් ඇරඹුණු මේ රෝගය ඉතිහාසයේ අඳුරු පරිච්ඡේදයක් සටහන් කරමින් මානව ක්‍රියාකාරකම්, සබඳතා, ලෝක ආර්ථිකය, දේශපාලනය මතු නොව සංස්කෘතික බෙදීම්ද අලුත් මානයකට යොමුකර හමාරය. දැන් එදිනෙදා ජිවිතයේ මූලිකම කාරණාවක් බවට බලෙන්ම පත්ව ඇති මේ මහා වසංගතය වඩාත් දරුණු ප්‍රහාරයක් ඇරඹීමට කල්යල් බලමින් සිටියි.
2019 දෙසැම්බරයේ 29දා චීනයේ හුබෙයි පළාතේ වුහාන් නගරයෙන් හේතුව නිශ්චිතව නොදත් නියුමෝනියා තත්ත්වයක් නිසා රෝහල් ගතවූ 4 දෙනකු ගැන වාර්තා වෙද්දී සෙසු ලෝකය ඒ ගැන වැඩි අවධානයක් යොමුකළේ නැත්තේ ඒබඳු ප්‍රාදේශීය රෝග පැතිරයාම් අරුමයක් නොවූ නිසාය. නමුත් 31 වැනිදා වනවිට මේ අලුත් ආසාදනය උඩුදිවීමේ වේගය ඉතා ඉහළ බව බලධාරීන්ට වැටහී ගියේය. යාන්තම් ජනවාරි 01දා වැනිවිට අසාධ්‍ය 11 දෙනෙක් සහිත 44 දෙනකුගෙන් යුත් මුල්ම රෝගී පොකුර වූහාන් නගරය කළඹවමින් එහි මාළු වෙළඳපල ආශ්‍රිතව වාර්තා විය. වූහාන් මාළු වෙළඳපල වසාදමා සනීපාරක්ෂණ සහ විසබීජහරණ කටයුතු ඇරඹීමට නගර බලධාරීහු ක්‍රියාකළහ. 2020 ජනවාරි 07 වනවිට මේ සඳහා නව කොරොනා වෛරසයක් හේතුවන බවත් එය දරුණු ලෙස පැතිර යන්නක් බවත් සනාතවිය. ජනවාරි 09 නව කොරොනා වෛරසය සිය පළමු වූහාන් බිල්ල ගත්තේය. ඒ වනවිටද වෛරසය චීනයෙන් පිටතට පැන හමාරය.
2020 ජනවාරි 13 වනවිට තායිලන්තයෙන් මුල්ම පිටරට රෝගියා වාර්තා වී තිබුණි. ජනවාරි 27 වනවිට ලෝකයේ රටවල් 11කින් වාර්තා වූ රෝහල් ගත රෝගීන් ගණන 2798ක් වූ අතර මරණ සංඛ්‍යාව 80ක් විය. ජනවාරි 28 මෙම රෝගය 2019-nCOV තීව්ර ස්වසන රෝගය ලෙස හඳුන්වන්නට යෙදිනි. පසුව මෙම රෝගය සාදන වෛරසය SARS cov2 ලෙසත් රෝගය Covid 19, ලෙසත් නම්කරන්නට යෙදුණි. මේ වනවිට රෝගය මිනිසුන් අතරින් එකිනෙකාට බෝවන බව තහවුරු වූ අතර ලංකාව තුළින්ද රෝගය සහිත මුල්ම චීනජාතික සංචාරක කාන්තාවක් සහ තවත් 16 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා විය. පිටරටකදී සිදුවූ මුල්ම කොවිඩ් මරණය වාර්තාවූයේ පිලිපිනයෙනි. ඒ පෙබරවාරි 01දාය. ආසියාවෙන් පිටත මුල්ම මරණය ඒ ළඟදීම වාර්තා වුයේ අමෙරිකාවෙනි. ඒ පෙබරවාරි 09දාය.
මෙතැන් සිට මිනිසුන්ගේ එදිනෙදා ජීවන රටාව වෙනස් කරන්නට කොවිඩ් 19 සමත් විය. ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලිය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් පෙබරවාරියේ ප්‍රකාශයට පත්කළේය. අත් සේදීම, මුහුණු ආවරණ පැළඳීම, මීටරයක දුර පවත්වා ගැනීම, සෙනඟ මඟහැරීම, රටවල් සහ ප්‍රදේශ වසා දැමීම හෝ ඇඳිරි නීතිය, නිවසේ සිට සේවයට ඉඩ සැලසීම වැනි අලුත් රටාවකට මුළු මහත් ලෝක ප්‍රජාවම අනුගත වූහ. සමහරුන්ට වැටුප් අඩකින් දිවි ගැටගසා ගන්නටත් තවත් මිලියන ගණනකට රැකියා අහිමිව ඉබාගාතේ යන්නත් මේ වසංගතය මේ වනවිට මඟපාදා තිබුණි. පාසල් වැසී දරුවන්ට ඔන්ලයින් පිහිට ලැබීමට සිදුවිය. රෝහල් ඉඩ ඇහිරි බෙහෙත් තැපෑලෙන් එන්නටත්, කොරෝනා රොහල් වෙනම ස්ථාන ගතවීමත් මේසමඟ ඇරුඹුණී. චීනය මුල් ආදර්ශය දුන් පසු රෝහල් අලුතෙන් තැනීමද දක්නට ලැබුණි. ගුවන් ගමන් නැව් ගමන් මතු නොව පොදු ප්රවාහනයටද සීමා පැනවිණි. එසේ වුවද නිශ්චිත ඖෂධයක් ප්‍රතිකාර රටාවක් නොවූ හෙයින්ම වසංගතය රිසි සේ දළුලමින් නව රෝගී පොකුරු තැනුවේය. රටරටවල් කරා පැතිර ගියේය.

2020 දෙසැම්බර් 24 වනවිට ලෝකය පුරා 1,733,400ක්මේ වසංගතයේ බිලි බවට පත්ව මිය ගොසිනි. ආසාදිත පිරිස 78,843,853 කි. මේ වනවිට ලොව රට රාජ්ජ 218ක් තුළට නව කොරෝනා වෛරසය කාන්දු වී හමාරය.
2021 ඇරුඹෙන්නේ කොරොනා වෛරසට එරෙහි එන්නත් පිළිබඳ බරසාර අපේක්ෂාවන් සහිතවය. කොරෝනා වෛරසය සඳහා ලොව පුරා මූලිකව එන්නත් 200කට වැඩි ප්‍රමාණයක් අත්හදා බලමින් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. දෙසැම්බරය මැද වනවිට එයින් 57ක් සායනික අත්හදාබැලීම් සඳහා යොමුව තිබුණි. ඉන් 40ක් 01 -සහ 02 අදියරේ සායනික පරීක්ෂාවන්ට යොමුව ඇති අතර 17ක් 02 සහ 03 අදියරේ සායනික පරීක්ෂාවන්ට යොමුව තිබුණි. මේවායින්ද එන්නත් කිහිපයක් සියයට 95ක පමණ ඉහළ සඵලතාවක් පෙන්වූ නිසා සමහර රටවල ජාතික සෞඛ්‍ය බලධාරි ආයතන ඒවා සිය රටවල ජනතාවට ලබාදීමට අනුමතිය ලබාදී තිබුණි. මේ යටතට එන්නත් 5ක් අයත් විය. ෆයිසර් සහ බයෝටෙක් නිෂ්පාදනයක් වන Tozinameran, චීනයේ සිනොෆාර්ම් නිෂ්පාදනයක් වන BBIBP-CorV, සිනොවැක් ආයතනයේ CoronaVac, මොඩෙර්නා ආයතනයේ mRNA-1273, සහ රුසියාවේ ගැමේලියා පර්ෙය්ෂණායතනයේ නිෂ්පාදනයක්වන Gam-COVID-Vac, එම එන්නත්ය.
දෙසැම්බරය වනවිට ලොකයේ සල්ලිකාර රටවල් මෙම ඒන්නත් බිලියන 10ක් කලින්ම ඇනවුම් කර වෙන්කරගෙන තිබුණි. එය ලෝක ජනගහනයෙන් සියයට 14ක ප්රමාණයකි. දැන් මේ එන්නත් නිෂ්පාදන ආයතන අතරින් 3ක් 2021 වනවිට එන්නත් මාත්‍රා බිලියන 5.3ක් නිපදවා බෙදාහරින බවට අනාවැකි කියා තිබේ. මේ ආයතන වන්නේ ඇස්ට්‍රාසෙනෙකා, ෆයිසර් සහ මොඩෙර්නා සමාගම්ය. මේ කියන අන්දමට නිසිකලට එන්නත් ලදහොත් 2021දි මුල්වරට බිලියන 3ක් ලෝක ජනතාව ප්‍රමුඛතාව අනුව එන්නත්කරණයට ලක්කර මේ වසංගත මාරකයට එරෙහි ප්‍රතිශක්තිය ඔවුන් තුළ ඇතිකරන්නට වාසනාව උදාවනු ඇත. නමුත් මේ වාසනාව උදාවන්නේ ඉහළ ආදායම් සහිත රටවල උදවියටය. මේ අන්දමට ලෝකයේ සල්ලිකාර රටවලින් කලින්ම මුදල් ගෙවා මේ එන්නත්වල අගහස් ඵලය නෙලා ගන්නා නිසා 2021 වසර තුළදීත් අප බඳු අඩු ආදායම් සහිත රට රාජ්ජවලට මේ එන්නත් ලැබෙන්නේ නැත. ඔවුන්ට මේ එන්නත් ලබාගැනීමට 2023 -2024 පමණ වනතෙක් බලාසිටින්නට සිදුවනු ඇතැයි දැන් කරුණු වාර්තා වී හමාරය. මේ නිසා ලෝකයෙන් අඩකට වැඩි පිරිසක් 2021 වසර අරඹන්නේ ඉහළ යන කොවිඩ් අවදානම හමුවේය.

මේ වනවිට ලෝකය පුරා පැතිර ඇත්තේ වුහාන් නගරයෙන් හමුවු මුල් වෛරසයම නොවේ. එහිම විවිධ වෙනස්කම්වලට ලක්වූ වෙස්මුහුණු පැළඳි ආකාරයන්ය. විවිධ ජාන විපරීතයන්ට ලක්වූ සියුම් ලෙස වෙනස්වූ නමුත් වඩාත් භයානක මාදිලි රැසක් දැන් තැනින් තැනින් හිස ඔසොවමින් තිබේ. මෙබඳු විපරීත සහිත වෛරස මාදිලි 70,000ක් වත් අඩු තරමේ පවතී යැයි දැන් විශ්වාස කෙරෙයි. මේ අතරින් වඩාත් ආසන්නතම අනතුරු ඇඟවීම වන්නේ මේවන විට එංගලන්තයේ සහ දකුනු අප්‍රිකාවේ හිස ඔසවා ඇති වඩාත් සීඝ්‍ර පැතිරීමේ හැකියාවක් සහිත වෛරසයයි. වූහාන් වෛරසයේ මේ නව රූපාකාරය තදින්ම මිනිස් සෛල අල්ලාගන්නා ලෙස විශේෂණ ගණනාවක්ම ඇතිකරන ජාන විපරීත වැඩිගණනක් සහිත වූ බව වාර්තා වී තිබේ. මේ වෛරසයේ පැතිර යාමේ හෙවත් ආසාදිත හැකියාව මුල් වෛරසය මෙන් 08 ගුණයකට වැඩිය. මේ නිසාම එය මෙතෙක් වෛරසයේ තර්ජනයට වැඩිපුර ගොදුරු නොවූ ප්‍රතිශක්තිය ප්රබලව පවතින තරුණ සහ ළමා වයස් කාණ්ඩවල සාමාජිකයන්ද ආසාදනයට ලක්කරනු ඇතැයි සැකසංකා විද්‍යාඥයින් තුළද මතුව තිබේ. එසේම මේ නව වෛරස රෑපාකාරය ඒවායේ කඩිනම් වර්ධනය සහ පැතිරයාමේ වේගය නිසා ඉක්මණින් ඇති කරගන්නා විකෘති හේතුවෙන්, දැනට නිපදවා ඇති එන්නත් සඳහාද ප්‍රතිරෝධී බව වර්ධනය කර ගැනීමට හැකි බවට වෛරස පර්ෙය්ෂකයෝ සැක පහළ කරති. ඒ අන්දමට 2021 කරා කොරෝනා වෛරසය ලොව බහුතරය රැගෙන ගමන්ගන්නේ වඩාත් බියකරු මාවතකය. ඔවුනට තවමත් ඇති ඒකම ගැලවීම සෞඛ්‍ය ආරක්ෂණ විධි අනුගමනය කරමින් වෛරසයෙන් වසං වී සිටීමය. නොඑසේනම් කල්තියාම බිය වී සිට ආකාරයට ලොවපුරා වඩාත් දරුණු මට්ටමේ 3 වැනි රැල්ලක් 2021 ආරම්භයේ සිටම පැතිර යනු ඇත.
සුගත් පී. කුලතුංග ආරච්චි