2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා

යූ ටියුබ් වෙද්දු වැහි වැහැලා!

 2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 38

උත්සව සමයට රට වසනු ඇතැයි සිතුවත් එය සිදු වූයේ නැත. එය කොතරම් අවදානමක් වුවත් මෙකී වෛරසය නිසා කඩා වැටුණු ව්‍යාපාරිකයන්ට හුස්ම ගැනීමට මේ පොඩි කාලය හෝ ලබාදීම එක අතෙකින් සැනසීමකි. යම් හෙයකින් එය සිදු නොවුණා නම් බොහෝ ව්‍යාපාරිකයන්ට දිවි නහගන්නට සිදුවනු ඇත. බැංකු ණය, භාණ්ඩවල හිඟ මුදල් යන මේ සියල්ලෙන් මැරි මැරී ජීවත් වූ ව්‍යාපාරිකයන්ට මේ දින කිහිපය මැරෙන්නට යන අයකුට කෘත්‍රිම ශ්වසනය ලබා දෙනවා හා සමානය.

එහෙත් වගේ වගක් නැති බහුතර ජනතාව කිසිදු සෞඛ්‍ය පුරුද්දක් නැතිව සෙනඟ අතරින් පතර තෙරපෙමින් සැණකෙළි මිහිර විඳගන්නට සූදානම් වන අයුරු ඇතැම් පළාත්වල දැකගන්නට හැකි විය. ඇතැම් අයගේ මුව ආවරණ කටේය, නිකටේය. මීටරයේ පරතරය සෙන්ටිමීටරය වී ඇත. කිසිදු තැකීමක් නැති ඇතැම් පිරිසක් හැසිරෙන්නේ මේ ලෝකයේ තියා රටේවත් වසංගතයක් නැති ගාණටය.

කෙසේ වෙතත් වසංගතය ජනතාවට පමණක් නොව ආණ්ඩුවට ද අමතක වී ඇතිදැයි එක වෙලාවකට සිතෙන තැනකට පත්ව තිබේ. ඒ තරම් ආණ්ඩුව ප්‍රශ්න පිට ප්‍රශ්න කරපිට දමාගනිමින් පැටලෙමින් සිටී. එක පැත්තකින් ධම්මික පැණිය වෙනුවෙන් සටනකය. තව පැත්තකින් ඉස්ලාම් ජාතිකයන්ගේ මළසිරුරු භූමදානය කිරීමේ අයිතිය වෙනුවෙන් කර ඇරීමකය. මේ ප්‍රශ්න දෙකටම ඉක්මන් පිළිතුරු ලබා දීමට නොහැකිව ආණ්ඩුවේ කල්මැරීම නිසා අනාථ වී ඇත්තේ කොවිඩ් මර්දන වැඩපිළිවෙළය.

බෙහෙත් ගෝනි ගණන්

ධම්මික පැණිය කොවිඩ්වලට හොඳ ද නරකද  යැයි පරීක්ෂණ කිරීම අරඹා මාසයක් කල් ගතව තිබේ. ජනතාව තවමත් එම ධම්මික මහතාගේ නිවෙස ඉදිරියේ පොරකමින් සිටිති. මේ කල්මැරීමේ ප්‍රතිඵලය නිසා දැන් හතු පිපෙන්නා සේ වෙද්දුය. යූ ටියුබ් මාධ්‍යවේදියෝ කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව අහුවෙන අහුවෙන &රටේ වෙදුන්* ඉන්ටර්විව් කරන තැනකට පත්ව සිටිති. ඇතැම් ප්‍රධාන රාජ්‍ය මාධ්‍ය ආයතනද පෞද්ගලික මාධ්‍ය ආයතනද  එසේමය. යූ ටියුබයේ කොරෝනාවලට බෙහෙත් ගෝනි ගණන්ය. ලෝකයේ කොරෝනාවට වැඩිම බෙහෙත් හොයාගෙන ඇත්තේ ලංකාව යැයි යූ ටියුබ් බලන්නකුට සිතේ. ඒ තරම් ඖෂධය. එහෙත් මෙයින් එක පැත්තකින් රට ලෝකයට විහිළු සපයයි. තව පැත්තකින් දේශීය වෙදකම විකාරයක් වනු ඇත. ඒ නිසා මේ අනවශ්‍ය ප්‍රචාරවලට රජය ඉඩ ලබා දිය යුතු නැත. එපමණක් නොව, මේ එක එක බෙහෙත් නිසා ඒවාට රුවටෙන ජනතාව කොයි මොහොතක හෝ අමාරුවේ වැටෙනු ඇත. එනිසා වහාම රජය මේ අනවශ්‍ය ප්‍රචාරණයට තිත තැබිය යුතුමය.

ඉස්ලාම් මළසිරුරු ගැටලුව

රජය පටලවාගත් අනෙක් ප්‍රශ්නය වන්නේ ඉස්ලාම් මළසිරුරු භූමදානය සම්බන්ධයෙන් ඇතිවූ අවුලය. ඒ සඳහා තවමත් නිශ්චිත පිළිතුරක් රජයට නැත. රජයේ ඇතැම් ඇමැතිවරුන් ඒ අයිතිවාසිකමට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන අතර අධිකරණ ඇමැති අලි සබ්‍රි මහතා ඒ වෙනුවෙන් සටන් වැද සිටියි. කොවිඩ් මළසිරුරු භූමදානය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කළ පෙත්සම් පවා බැහැර කරනු ලැබුවේ විශේෂඥයන් විසින් ජල මූලාශ්‍රවලට ඒ හරහා හානි වෙතැයි කළ ප්‍රකාශ නිසාය. මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ද එවැනි අවදානමක් මුලදී ප්‍රකාශ කරන තැනක සිටියාය. එහෙත් ඇය දැන් පවසන්නේ එවන් අදහසක් තමන් ප්‍රකාශ කළේ කිසිදු සාක්ෂි හෝ සටහනකින් තොර බවය. පුදුමය නම් විරුද්ධ අදහස සමාජගත වී අහවරය.

ඒ සමාජගත වීමේ ඛේදවාචකය නිසා අද ඉස්ලාම් මළසිරුරු වළලනවාද, ආදහනය කරනවාද යන්න දැඩි මතභේදාත්මක ප්‍රශ්නයකට මුහුණ පා තිබේ. දැන් නැවතත් ඔවුන්ට බලාපොරොත්තු තබමින් මළසිරුරු ශීතාගාරවල තැන්පත් කරන්න පටන්ගෙන ඇත. මෙහි බරපතළම තත්ත්වය වන්නේ මේ ආකාරයෙන් මළසිරුරු ශීතාගාරවල තබා ගැනීම එකී වෛරසය ආරක්ෂා කර ගැනීම හා සමාන ක්‍රියාවක් බැවිනි. ඒ නිසා මේ පියවර තව තවත් සෞඛ්‍ය වෘත්තිකයන් අමාරුවේ වැටෙන ක්‍රියාවක් බව කිව යුතුමය.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පවා ඒ සම්බන්ධයෙන් ගැටලුවක් නැතැයි කියා ඇති පසුබිමක අග්‍රාමාත්‍යවරයා විසින් භූමදානය කිරීමට තැනක් බලන ලෙස දන්වා ඇත්නම් එය ඉක්මන් කළ යුතුව ඇත. එසේ නොවනවා නම් ඉස්ලාම් පූජකවරුන් සමඟ එකඟත්වයකට පැමිණ ඒ මළසිරුරු ආදහනය කළ යුතුය. මේ සිදුවීම් නැවතත් ඉස්ලාම් අන්තවාදය සාම්ප්‍රදායික ඉස්ලාම් ජනතාව බිලීබා ගැනීමක් දක්වා වර්ධනය විය හැකි බව කිසිවකු අමතක කළ යුතු නැත. 

බස්නාහිරෙන් පිටවන රැසකට කොවිඩ්

මේ වන විට රජය ගෙන ඇති සාර්ථකම පියවරක් නම් බස්නාහිර පළාතෙන් පිටවන අයට රුපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කිරීමය. ප්‍රථමයෙන් ස්ථාන හතරකින් පටන් ගත් වැඩපිළිවෙළ දැන් ස්ථාන 12ක් දක්වා පුළුල් වී ඇත. බස්නාහිර පළාතෙන් ආරම්භ වූ මේ කොවිඩ් පොකුර අනෙකුත් සෙසු පළාත් දිස්ත්‍රික්ක සඳහා පැතිර යාම නැවැත්විය හැකි එකම ක්‍රමය වන්නේ සංචරණයට දැඩි සීමා පැනවීම බව අමුතුවෙන් කිව යුතු නැත. මේ අහඹු පරීක්ෂණ ක්‍රමය නිසා දැනටමත් කොවිඩ් රෝගීන් 100කට එහා සොයා ගැනීමට සෞඛ්‍ය අංශවලට හැකි වී ඇත.

එම පුද්ගලයන් සිය දෙනා පැතිර ගියා නම් තවත් පොකුරු සියයක් බිහිවීමේ අවදානමකය. එහෙත් මේ ක්‍රමය නිසා ඒ අවදානමෙන් මිදෙන්නට සෞඛ්‍ය අංශවලටත් ජනතාවටත් හැකි විය

සතුටට කරුණ නම් පසුගිය කාලය හා සසඳන විට දිනකට වාර්තා වන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වී යාමය. කොළඹ දිස්ත්‍රික්කයෙන් පවා මේ වන විට හමුවන ආසාදිතයන් අඩු වී තිබීම විශේෂත්වයකි. විශේෂයෙන් දිනකට කොවිඩ් රෝගීන් 900-500 ත් අතර හමුවූ සංඛ්‍යාව අද වන විට ඊට අඩු මට්ටමට වාර්තා වී තිබීම විශේෂත්වයකි. එහෙත් තවමත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන්නේ කොළඹ තත්ත්වය අවදානම් බවය. ඔවුන් සඳහන් කරන්නේ ඒ හා සමානව කළුතර දිස්ත්‍රික්කය තුළ ද රෝගීන් වාර්තා විම වැඩි බවත් එයට හේතුව ඉස්ලාම් මළසිරුරු සම්බන්ධයෙන් නිසි තීන්දුවක් නොගැනීම නිසා ඇතැම් රෝගීන් රෝග ලක්ෂණ තිබියදීත් සැඟවීමට පෙළඹීම බවත්ය. ඒ නිසා අවදානම තවම මැකී නොමැති බව ඔවුහු සඳහන් කරති. එහෙත් යම් තරමක රෝගීන් වාර්තා වීමේ අඩුවක් පෙනෙන්නට ඇති බවද ඔවුහු සඳහන් කරති.

මේ අතර කොව්ඩ් වසංගතය විශාල කර්මාන්තශාලාවලට අභියෝගයක් වෙමින් යන අයුරු දැකගන්නට ඇත. මෙරට නම ගිය ආයතනවල සිය ගණනින් රෝගීන් වාර්තා වන්නට පටන්ගෙන තිබේ. එයට හේතුව එකී ආයතනවල විශාල සේවක සංඛ්‍යාවක් සිමීත ඉඩකඩක් තුළ රුකියාවල නිරත වීමය. එහෙත් කනගාටුව නම් රට ලෝකය ඔවුන්ගේ නිෂ්පාදන විශාල වශයෙන් ඉල්ලන මොහොතක මේ අවදානම උදා වීමය. ඒ නිසා එක් පැත්තකින් ආයතන හිමිකරුවන් කොවිඩි සමඟ කරන අරගලය සියල්ලට වඩා අභියෝගාත්මක වී ඇති බව පෙනේ.

ගුවන් තොටුපළ විවෘතද?

ගුවන් තොටුපළ විවෘත කිරීම ජනවාරි 15 වැනිදා වන විට සිදු කිරීමට තීන්දු කර තිබුණි. එහෙත් බ්‍රිතාන්‍යයේ ආරම්භ වුණු නව කොවිඩ් වෛරසයත් සමඟ දැන් ලංකාව පමණක් නොව ලෝකයම ගුවන් ගමන් සම්බන්ධයෙන් යළිත් සිතන්නට පටන්ගෙන ඇත. එයට හේතුව එකී වෛරසය පී.සී.ආර්. පරීක්ෂණයකට පවා නතු කර ගැනීමට නොහැකි වන නිසාය. එපමණක් නොව වෛරස ව්‍යාප්තිය වේගවත් නිසා මරණ සංඛ්‍යාව ද ඉහළ යා හැකි බැවිනි. එනිසා ලෝකයම දැන් සලිත වී සිටින්නේ මේ අවුල හමුවේය. එහෙත් කෙසේ හෝ ජනවාරි මාසයේදී ගුවන් තොටුපළ විවෘත කර සංචාරකයන් කැඳවීම ආරම්භ කරනු ඇත. ඒ සම්බන්ධයෙන් රජය උපරිම අවධානයකින් කටයුතු කරන බව දැනගන්නට තිබේ. කෙසේ හෝ වේවා අවදානම දැනගෙන ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර සංචාරක ක්ෂේත්‍රය නගා සිටුවීම ඉතාම වටිනා ක්‍රියාවක් බව කිව යුතුමය.

මේ වන විට කොවිඩ් රෝගීන් 40,000කට ආසන්නය. සතුට නම් ඉන් රෝගීන් 30,000ක්ම සුව වී සිටීමය. කෙසේ වෙතත් ආණ්ඩුව අවසානයේ හෝ හොඳ තීරණයක් ගෙන ඇත. ඒ කොවිඩ් වෛරසයට එරෙහි එන්නත ගෙන්වීමටය. ඒ සඳහා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට වගකීම පවරා තිබේ. සැබවින්ම රට ඉදිරියට යා යුත්තේ ගෝලීය වසංගතයට එරෙහි ගෝලීය පිළියම් සමඟය. එනිසා නියත වශයෙන්ම ඒ වෙනුවෙන් එන්නතක් මේ රටට අවශ්‍යම දෙයකි. දැනටම මරණ 200කට නොදැනුවත්වම ළංව ඇති මොහොතක හැකි ඉක්මනින් මේ එන්නත ගෙනැවිත් ලබා දීම කළ යුතු හොඳම සහ සාර්ථකම ක්‍රමය බව සඳහන් කළ යුතුය.

 ගයාන් ගාල්ලගේ