2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා

කෝටි 6ක නෝට්ටු එක්ක මාට්ටු වූ කුඩු සෙල්ලම

 2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 95

කුඩු ජාවාරමේ වාර්තා අලුත් කරන ප්‍රවෘත්ති කලින් කලට අසන්නට ලැබේ. පොලීසිය, විශේෂ කාර්ය බලකාය, සුරාබදු දෙපාර්තමේන්තුව යන අංශ වෙතින් ක්‍රියාත්මක මෙහෙයුම්වලින් මෙකී ජාවාරම් හෙළිදරව් වෙමින් පවතී. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සිදුකළ විශේෂ වැටලීමකදී කුඩු ජාවාරම්කරුවකු සතුව තිබූ විශාලතම ජාවාරම් සල්ලි තොගය අත්අඩංගුවට ගැනුණේ තවත් වාර්තාවක් තබමිනි.

ඉතිහාසය පුරා කොතෙකුත් වැටලීම් හෙරොයින් ජාවාරමට එරෙහිව සිදුකොට තිබුණද ජාවාරම්කරුවකුගේ නිවසේ පෞද්ගලිකව තබාගෙන තිබූ රුපියල් කෝටි හයකට ආසන්න මුදලක් සොයාගැනුණේ පළමු වතාවටය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අනාවරණය කරගෙන ඇති පරිදි අදාළ ස්ථානයේ නෝට්ටු වශයෙන් සුරක්ෂිතව තබාගෙන තිබූ මුදල් තොගයේ රුපියල් පන්කෝටි අනූ ලක්ෂ පනස් එක්දහස් අටසිය විස්සක් තිබී ඇත. මෙම රුපියල් 59,051,820ක මුදල බැංකු ගිණුමක තැන්පත් කිරීම සඳහා සූදානමින් තිබියදී අත්අඩංගුවට ගෙන තිබුණේ ජාවාරමට සම්බන්ධ කාන්තාවක් හා පුරුෂයන් දෙදෙනකුද සමඟය.

සුරාබදු දෙපාර්තමේන්තුවේ බුද්ධි නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මාස දෙකක් පමණ ඉතා රහසිගතව සිදුකළ විමර්ශනයක් අතරතුරදී පසුගියදා රුපියල් කෝටි 300කට අධික වටිනා කමකින් යුත් හොරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැණින. ඒ මාරවිල තෝඩුවාව ප්‍රදේශයේදීය. එම මත්ද්‍රව්‍ය තොගය ඩුබායි රුඳී සිටිමින් මත්කුඩු ජාවාරම මෙහෙයවන අයකුට අයත් බව කියැවිණි. ඒ අනුව ටික දිනකට පසුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත තොරතුරක් ලැබී තිබුණේ එම කුඩු තොගය ඩුබායි සැඟවී සිටින සංජු නැමැත්තකු විසින් ලංකාවට එවා ඇති බවය. වැඩිදුරටත් දැනගැනීමට ලැබී තිබුණේ සංජු නැමැත්තාගේ බිරිය මෙරට හිටපු පාතාල නායකයකු වූ සොත්ති උපාලි නැමැත්තාගේ දියණිය බවයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හෙළිකරගෙන ඇති පරිදි ඩුබායි සිටින සංජු තම ඥාති සහෝදරියක මාර්ගයෙන් ලංකාවේ හෙරොයින් හා අයිස් ජාවාරම මහා පරිමාණයෙන් මෙහෙයවා ඇත. ඇයව සොයා වැටලීමක් සිදුකරන මොහොතේ සැකකාරිය සැකකටයුතු නිවෙසේ රුඳී නොසිටි නමුත් වෙනත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබුණේ හෙරොයින් පාර්සලයක්ද සමගිනි. ඇය අරඹෙවෙලගේ දොන් පෙළපත් නාමය හරහා හිටපු පාතාල නායකයකු වූ සොත්ති උපාලිගේ දියණිය බවට හඳුනාගනු ලැබීය. ඇයගේ සැමියා වන සංජු යන අය හා විරසකයක් පවතින බැවින් ඈ කුඩු තිලාන් නැමැත්තා සමඟ සබඳතාවක් පවත්වන්නීය. 37 හැවිරිදි මේ කාන්තාව මීට ඉහතදී අවස්ථා කිහිපයකදීම හෙරොයින් සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකි. වැඩිදුරටත් ප්‍රශ්න කරමින් විමර්ශන සිදුකරන අතරතුර හරක් කටා හෙවත්, මිදිගම නඳුන් චින්තක වික්‍රමරත්න නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් කරුණු වාර්තා වී තිබිණි.

හරක් කටා නැමැත්තාගේ හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් ලැබුණු හෝඩුවාවන් ඔස්සේ වැටලීමක් සිදුකළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීහු බත්තරමුල්ල, තලංගම, මාලඹේ සහ කඩුවෙල ප්‍රදේශවල සෝදිසි මෙහෙයුමක නිරත වූහ. නිලධාරීන්ගේ අරමුණ වී තිබුණේ හරක් කටාගේ මෙහෙයවීම මත කෙරෙන මහා පරිමාණ මත්කුඩු ජාවාරමේ ජාලගත මුදල් සංසරණය වැටලීමය. අදාළ ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනකු පිළිබඳව කරුණු අනාවරණය වී තිබූ හෙයින් තලංගම හා කඩුවෙල ප්‍රදේශවල මෙහෙයුම සිදුකර තිබිණි. එහිදී සැකකටයුතු අයකු යතුරුපැදියක නැගී යමින් සිටියදී නවත්වා ප්‍රශ්න කිරීමේදී හෙළිකළ තොරතුරු අනුව ඔහු සන්තකයේ තිබූ හෙරොයින් ග්‍රෑම් 300ක් අත්අඩංගුවට ගැනිණ. ඔහුගෙන් හෙළි වූ තොරතුරු අනුව ඔහු හෙරොයින් බෙදාහරින්නෙකි. වෙනත් පුද්ගලයකු විසින් ජංගම දුරකථන හා විවිධ ඇප් භාවිතා කරමින් හෙරොයින් කුඩු ඕඩර් කරන බවත් එම ඇණවුම තමා විසින් රුගෙන ගොස් බාරදෙන බවත් ඔහු කියා ඇත. ඔහුගේ රාජකාරිය එපමණක් වන අතර මුදල් එක්රුස් කිරීම වෙනත් අයකු විසින් කරන බවද කියා ඇත.

මේ අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අවබෝධ කොටගෙන තිබුණේ මෙතෙක් කල් නොකළ ආකාරයේ නව සැලසුමකට අනුව කාලයක් පුරා මෙම ජාවාරම සිදුකර තිබෙන බවය. සැකකරුගේ තොරතුරු අනුව ජාවාරමේ මුදල් එක්රුස් කරන පුද්ගලයා සොයා කඩුවෙල හේවාගම හා වැලිවිට ප්‍රදේශවල සෝදිසි මෙහෙයුමක් සිදුකර ඇත. එහිදී මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ඉදිරිපිට මාර්ගය හරහා හේවාගම හා වැලිවිට දෙසට යන මාර්ග පිහිටා තිබෙන අතර ඒ ආසන්න නිවසක් සෝදිසිකර තිබුණේ සැකකටයුතු තොරතුරු අනුවය. එහිදී කාමරයක තිබූ අල්මාරියක් සෝදිසි කිරීමේදී විශාල මුදල් නෝට්ටු තොගයක් අසුරා තිබියදී සොයාගැනීමට හැකි වී තිබේ. 

අදාළ නිවෙසේ සිටි සැකකාර 27 හැවිරිදි පුද්ගලයා කඩුවෙල හෝවාගම පදිංචිකරුවෙකි. ඔහු හරක් කටා නැමැත්තාගේ කුඩු ජාවාරමේ මුදල් එකතු කරන්නා වශයෙන් කටයුතු කොට ඇත. එය වගකීමකින් යුතුව ඉටුකර තිබෙන සැකකරු රුස්වන මුදල් සතියකට වරක් පමණ බැංකු ගිණුමක තැන්පත් කිරීමට කටයුතු කරයි. ඒ අනුව එම සතිය තුළ රුස්කර තිබුණු රු.59,051,820ක මුදල සැකකරු සමඟ අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම සැකකරු අංගොඩ ලොක්කා නැමැත්තාගේ ගෝලයකු බවත් ඩුබායි සිට ජාවාරම මෙහෙයවන නඳුන් චින්තක හෙවත් හරක් කටා අංගොඩ ලොක්කාගේ හිටපු සමීප සගයකු බවත් වාර්තා වේ. සමඟ යතුරුපැදියේ යමින් සිටියදී අත්අඩංගුවට පත්වූ සැකකරු සන්තකයේ තිබූ මත්කුඩුවල වටිනාකම රුපියල් ලක්ෂ පනහක් පමණ බවද හඳුනාගෙන තිබිණ. ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා සමඟ අත්අඩංගුවට පත් කාන්තාව වන පාතාල නායකයකු වූ සොත්ති උපාලි නැමැත්තාගේ දියණිය කාලයක පටන් හෙරොයින් ජාවාරමේ නිරත වන්නියකි. ඇගේ සොහොයුරාද මීට පෙර හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව තිබිණ.

අත්අඩංගුවට පත් සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුඳවුම් නියෝග යටතේ තබා වැඩිදුර විමර්ශනය සිදුකරයි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නියෝජ්‍ය පොලිස්පති උපාලි ජයසිංහ සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර මහත්වරුන්ගේ උපදෙස් මත මෙහෙයුම සිදුකෙරිණි.

 සමන්ත ප්‍රදීප් විල්තෙර