2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා

අවමංගල්‍ය වියදම් සඳහා රු. 1000ක් වෙන්කළ පරණවිතාන

 2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 55

මූලාසනේ හාමුදුරුවන්ගෙන් අවසරයි, පණ්ඩිත සභාවෙන් අවසරයි, අද මේ දේශපාලන සම්මේලනය, ආ.... මට වැරදුණා සාහිත්‍ය සම්මේලනයේ දේශපාලන කතාවෙන් පස්සේ කෝට්ටේ ගැන.... පරණවිතාන මහතා අවසර ගැනීම සමඟම එයට සවන් දුන් අගමැති ප්‍රමුඛ කාටත් සිනාව නවත්වා ගැනීමට නොහැකි විය. මහ සිනහා හඬක් සභාව පුරා පැතිර ගියේය. පරණවිතාන මහතාගේ උපහාසයේ තරම.

හැත්තෑව දශකයේ ගුවන් විදුලි සංස්ථාවේ නිෂ්පාදකයකුව සිටි රාජ ධර්මපාල මහතා මහාචාර්ය පරණවිතාන මහතාව ගුවන් විදුලි වියත් සාකච්ඡා වැඩසටහන්වලට සහභාගි කර ගත්තේය. එපමණක් නෙවෙයි, එතුමා ශාස්ත්‍රීය කථා පවත්වන විටත් පටිගත කරන යන්ත්‍රය අරන් ගියේද ධර්මපාල මහතාමය. වරක් මහාචාර්යතුමා විසින් රාම - රාවණා කථාව මිත්‍යාවක්ද මැයෙන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ පැවැත් වූ ප්‍රසිද්ධ දේශනය පටිගත කිරීමට ගියේය. එහිදී වූ හාස්‍යජනක සිද්ධියක් ධර්මපාල මහතා තුළන සඟරාවට ලියා තිබුණි.

එදා පරණවිතාන මහාචාර්යතුමා රාම - රාවණා කතාව මිත්‍යාවක් බව කියමින්, භාරතීය මහා කාව්‍යයක් වූ රාමායනය සාහිත්‍ය ග්‍රන්ථයක් විනා ඉතිහාස ග්‍රන්ථයක් නොවන බව කියා සිටියා. එතුමාගේ පැයක දේශනයකින් පසු සාකච්ඡා කිරීමේ අවස්ථාව එළඹුණා. ප්‍රශ්න ඇසූ සභාවේ සිටි ජාතික ඇඳුමෙන් සැරසුණු බරපතළ පෙනුමෙන් යුතු කෙනෙක් පරණවිතාන මහතාට අභියෝගයක් කළා.

ඔබතුමා කියනවා රාම-සීතා කතාව ඓතිහාසික සිද්ධියක් ලෙසට බාරගන්ඩ බෑ කියලා. මම ගියානේ නුවරඑළියෙන් එහා තියෙන රාවණා ඇල්ලට. එතෙන තියෙනව ගල් ගුහාවක්. රාවණා සීතව තියාගෙන ඉඳල තියෙන්නේ ඒ ලෙනේ. ඒ දෙන්නා කාල ඉතිරිවෙච්ච අග්ගලත් අපට හම්බවුණා. ඔබතුමා කියන කතාව අපට කොහොමවත් පිළිගන්න බෑ. 

පරණවිතාන මහත්තයා පුටුවෙන් නැගිට්ටා. මයික්‍රෆෝනය ළඟට ගියා. මොකක්ද මහාචාර්යතුමාගේ පිළිතුර. සභාව ගල් ගැහිලා. 

අග්ගලා තියෙනවනං ගමුකො කන්ඩ. පරණවිතාන මහත්තයාගේ පිළිතුර එපමණයි. සභා ගැබෙන් නැගුණ හාස්‍ය අත්පොළසන් නාදයත් එකනින් නාද වුණා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයන් වූ සරත් අමුණුගම, විමල් දිසානායක හා ජේ.බී. දිසානායක සරසවියේ එළිමහනේ දිනක් කතා කරමින් සිටියහ. දේශනයක් නිමාකළ මහාචාර්ය පරණවිතාන තමා විසින් ලියූ Sigiri Gaffiti නම් මහා ග්‍රන්ථ කීපයක් ඇතැතිව පඩිපෙළක් නගිමින් සිටියේය. ජේ.බී. දිසානායක ඉක්මනින් එතුමා වෙත ගියේය.

සර් මට දෙන්න ඔය පොත්. මම බංගලාවට ගෙනත් දෙන්නම්...

කමක් නෑ පුතා, මට පොත් ලියන්න පුළුවන් වුණා වගේ මේවා උස්සගෙන යන්නත් පුළුවන්. බොහොම ස්තූතියි. එතුමා නිහතමානීව කියා ඇත.

මහාචාර්ය පරණවිතාන ලියූ ග්‍රන්ථ අතර සිංහලයෝ (Sinhalayo), ග්‍රීකයෝ සහ මෞරයෝ (The Greeks and the Mauryas), සීගිරි වෘතාන්තය (The Story of Sigiri) ලංකාවේ ස්තූප, ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්ප (Architecture of Ceylon) පුරාණ සිංහලයන්ගේ කලාශිල්ප (Arts of the Ancient Sinhalese) ආදී කෘතිද වෙයි.

1930 වසරේ මාර්තු 03 වැනිදා පරණවිතාන මහතා පානදුරේ වලානේ කිතුල්ගොඩ වලව්වේ රොස්ලින් කිතුල්ගොඩ මෙනෙවිය සමඟ විවාහ විය. පේරාදෙණියේ ශීතල දේශගුණය නොදැරිය නොහැකිව පරණවිතාන මහතාට ඇදුම රෝගය වැළඳුණේය. 1962 දී පරණවිතාන මහත්මිය අංශභාග රෝගය වැළඳීමෙන් එතුමාට කරදර පිට කරදර එන්නට විය. ඔවුනට දරුවෝ නොසිටියහ.

ඉන්ද්‍රානි වීරසිංහ විසින් ලියන ලද කෘතියේ එන පරිදි පරණවිතාන මහතා රාත්‍රී කාලයේ ශාස්ත්‍රීය කටයුතුවල යෙදී, උදෑසන දෙක තුනට පමණ නින්දට යාමට පුරුදු වී ඇත. උදේ 7.30ට පිබිදෙන එතුමා ටිප්-ටොප් නමැති දන්තාලේපයෙන් දත් පිරිසිදු කර ගනී. එතුමා සිංහල කැකුළු හාලේ බතටත්, බතල, ඉන්නල, කිරිඅල, පහතරට එළවළු, අලවර්ග කෑමටත් ප්‍රිය වී ඇත. චාලි චැප්ලින්ගේ චිත්‍රපට නැරඹීමට කැමැති එතුමා චාලි චැප්ලින් හොඳ කවටයා යයි කියා ඇති අතර රුසියානු මුද්‍රා නාට්‍ය තැටි හා ශාස්ත්‍රීය සංගීතය රසවිඳීමට ප්‍රිය කර ඇත.

පරණවිතාන මහතාගේ අන්තිම කැමැති පත්‍රයක් ලියා තිබූ බව ලේලිය සඳහන් කර තිබුණාය. 1971 ලියූ එම අන්තිම කැමැති පත්‍රය ලියා තබා ශ්‍රී ලංකා රජයේ මහා භාරකාරතුමා වෙත තැන්පත් කොට තිබුණි. තමාගේ මරණය අවස්ථාවේ වියදම සඳහා රුපියල් 1000ක්ද පරණවිතාන මහතා මහා භාරකාරතුමා වෙත තැන්පත් කර තිබුණේය. එසේ කළ පරණවිතාන මහතා තමාගේ අවමංගල්‍ය සම්බන්ධ කටයුතු හැකි පමණ චාම් ලෙස කළයුතු බව තමාගේ අන්තිම කැමැති පත්‍රයෙන් ඉල්ලා සිටියේය. කාරුණික ගුණයෙන් යුක්ත වූ එතුමා තම අන්තිම කැමැති පත්‍රය ලිවීමේදී තමාගේ මෙහෙකරුවන් තිදෙනා අමතක නොකළේය.

මහාචාර්ය පරණවිතාන ජීවත් වූ අන්තිම දිනයේ උදේ ආහාරය සඳහා අවන්හලකින් ගෙනෙන ලද ආප්ප, ලුණු මිරිස්, හකුරු හා කෙසෙල් ගෙඩි ආදිය මේසය මත වූ බව එතුමාගේ ලේලිය කියා තිබුණාය. උදේ ආප්ප කමින් සිටියදී හිටි හැටියේම පූර්වාබාධ විරහිතව එතුමාගේ අප්‍රාණික සිරුර පුටුවෙන් බිමට ඇද වැටී ඇත. උදේ ආප්ප කෑ පිඟාන බිම වැටී කැබැලිවලට කැඩී තිබුණි. 1972 ඔක්තෝබර් 04 වැනිදා උදෑසන එතුමා අන්තිම හුස්ම හෙළා ඇත.

චරිතාපදාන සටහන් ලිවීමේ සූරයකු වූ රංජිත් අමරකීර්ති පලිහපිටිය ලියා තිබුණේ එතුමාගේ කෑම මේසයේම කෙළවර අඩක් ලියූ අත් කොපියක් තිබූ බවය. අශ්වඝෝෂගේ බුද්ධ චරිත මහා කාව්‍යයේ එක් පරිච්ඡේදයක් එහි ලියමින් සිට ඇත. රසවාහිනී සඟරාවේ ඇරයුමෙන් ඒ මහතා ඒ දිනවල බුද්ධ චරිත කාව්‍යය සිංහලයට පරිවර්තනය කරමින් සිටියේය.

ජාතිය උපන්දා සිට ජීවත් වූ පරණවිතාන යන හිසින් ලංකාදීප පුවත්පතට ලිපියක් 1972 වසරේ ලියූ රත්නපාල විතාන මහැදුරු පරණවිතානයන් ගැන අපූරු සටහනක් ලියා තිබුණි.

එතුමා අලංකාර දේ ප්‍රිය කළේය. රසික හදවතක් තිබූ එතුමා සෞන්දර්යය විශේෂඥයෙක් ද විය. සුන්දර දෑසින් එතුමා නිතර ආශ්වාදය ලබා ගත්තේය. ස්වභාව ධර්මයේ සෞන්දර්යය මහ ඇදුරුතුමා ඉහළින් අගය කළේය. රාත්‍රී කාලයේ අහස දිහා බැලුවාම කොච්චර ලස්සනද? දැන් ඉන්නා මිනිස්සු අහස දිහා බලා ඒකෙ මහිමාලංකාරය දකින්නේ නෑ. පරණවිතාන මහතාගේ රසවිඳීම මෙබඳුය.

ප්‍රේමසර ඈපාසිංහ පුවත්පතකට ලියූ පරණවිතානයි, සීගිරි ගැමියයි ලිපියක තවත් අපූරු සිද්ධියක් වාර්තා කොට තිබිණ.

වරෙකැ සීගිරිය අසල පොකුණක් පිළිබඳ පර් යේෂණ වැඩ කටයුතුවල පරණවිතාන මහතා නියැලී සිටියේය. මේ පොකුණ අසලැ කිඹුලෙකු ගැවසෙන බව පුරාවිද්‍යා සේවකයෝ දැන සිටියහ. පරණවිතාන මහතා මේ ගැන නොදැන සිටි බැවින් එක් සේවකයකුට පොකුණට බැසීමට අණ කළේය. කව්රාළ බහිනවකෝ මේ පොකුණට ගල් තට්ටු ගණන දැනගන්න. යැයි එතුමා නියම කළේය. මෙය පුරාවිද්‍යා කොමසාරිස්තුමාගේ නියෝගයක් වූ බැවින් කව්රාළට එය ජීවිතයත් මරණයත් අතර පැනයක් විය. ආයුබෝවන්ඩ කිඹුලෙක් මේ පළාතේ ගැවසුණා. යැයි හෙමිහිට පොකුණට බට කව්රාළගේ කටින් ඉබේමැ පිට විය. හා... හා... ගොඩට එනවා, ගොඩට එනවා. මොකෝ මට නොකිව්වේ කව්රාළ? කියමින් පරණවිතාන මහතා අහිංසක සේවකයා අතින් ඇදැ ගොඩට ගත්තේලු. ලෝ - පසිඳු උගතකුගේ මානව භක්තිය මහිම!

මහාචාර්ය පරණවිතානයන් ගැන වැඩිපුරම ලිපි ලේඛන ලියා ඇති, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ හා තුන්කල් දුටු පරණවිතාන කෘතිය ලියූ සිරිසමන් විජේතුංග විසින් ලියූ පුවත්පත් ලිපියක පාඨයකින් මේ ලිපිය අවසන් කරමු.

ඈත අතීතයේ විසූ ඍෂිවරයකු සිහි ගන්වන මෙතුමා, අප අතර තම නාමය සදහටම අමරණීය භාවයට පත්කළ අයෙක් පමණක් නොව, සකල ලෝකවාසී විද්වත් ජනතාව විසින් සදහටම ගෞරවයෙන් අනුස්මරණය කරනු ලබන පින්වත් ලංකා පුත්‍රයෙක්ද වූයේය.

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03