2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා

කරාපිටිය රෝහල ඇවිස්සූ කොවිඩ් මරණය

 2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 56

ෂෙක් අබ්දුල්කාදර් මොහොමඩ් සනුසි (84) ගාල්ල දේද්දුගොඩ ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකි. මොහු නිදන්ගත රෝග කිහිපයකින් පෙළුණු අයෙකි. රෝගී තත්ත්වය හේතුවෙන් මොහු නිවසේ එක්තැන්ව සිටියේය. ඉකුත් 05 වැනි දින මොහු මිලිද්දුව පොකුරේ කොවිඩ් ආසාදිතයෙක් බවට පත්විය. ඔහු පමණක් නොව මෙකී පුද්ගලයාගේ පවුලේ 05 දෙනෙක්ද කොවිඩ් ආසාදිතයන් බවට පත්ව සිටියහ. නිරෝධායනය වෙමින් සිටි මෙකී පුද්ගලයා ඉකුත් 19 වැනි දින මියගියේය. ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබූ අතර කරන්දෙණිය කොරෝනා වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට නිවසට පැමිණ දින 02ක් ගතවීමට මත්තෙන් මෙකී පුද්ගලයා මිය ගියේය.

මෙකි මළසිරුර භුමදානය කිරීම සඳහා අවසර ලබාදෙන ලෙස මියගිය අයගේ ඥාතීහු ඉල්ලීමක් කළහ. මෙකී සිද්ධියට ප්‍රාදේශීය දේශපාලනඥයන් තිදෙනෙක් මැදිහත් වූහ. ඔවුහු අධිකරණ වෛද්‍යවරුන්ට මෙන්ම හදිසි මරණ පරීක්ෂකවරයාට මෙකී මළසිරුරු භුමදානය කිරීම සඳහා අවසර ලබාදෙන ලෙස බලපෑම් කරන්නට වූහ.

මෙකී පුද්ගලයාට මියයාමට පෙරත් කොරෝනා ආසාදනය වෙලා තිබෙනවා. ඒ බව පී.සී.ආර් පරීක්ෂණවලදීත් තහවුරුවෙලා තියෙනවා. ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රෝහාන් රුවන්පුර මහතා මියගිය අයගේ ඥාතීන්ට පැහැදිලි කර දුන්නේය. එහෙත් ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ උසිගැන්වීම මත මියගිය අයගේ ඥාතීන් දිගින් දිගටම ඉල්ලා සිටියේ මළසිරුර භුමදානය කිරීම සඳහා ලබාදෙන ලෙසය. අවසානයේ මෙකී පුද්ගලයගේ මෘතදේහයෙන් සාම්පල් ලබාගෙන පී.සී.ආර් පරීක්ෂණයක් සිදුකිරීමට  අධිකරණ වෛද්‍යවරු කටයුතු කළහ. ඒ මෙකී පුද්ගලයා මියගොස් පැය 48කට පමණ පසුවය. එම පී.සී.ආර්. පරීක්ෂණයේදී මොහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු විය.

අපි දන්නවා ඔය වගේ වාර්තාවක් එනවා කියලා. අපි ඔය වාර්තාව පිළිගන්නේ නැහැ. මියගිය අයගේ ඥාතීන් මෙන්ම ප්‍රදේශීය දේශපාලනඥයෝ අධිකරණ වෛද්‍යවරුන්ට මෙන්ම හදිසි මරණ පරික්ෂකවරයාට බලපැම් කරන්නට වූහ. ඔවුහු ඒ සඳහා විවිධ උපක්‍රම භාවිත කළහ. ප්‍රබල දේශපාලනඥයකුගේ පිටුපස ගියහ. ඒ කොයිහැටි වුවද, විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන් වන රෝහාන් රුවන්පුර, රුවන් නානායක්කාර යන මහත්වරු එකී බලපෑම්වලට යටත් නොවූහ. මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරණු ලැබුවේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි  රුවන් නානායක්කාර මහතාය. සක්‍රීය කොවිඩ් 19 ආසාදනය සහිත රෝගියකුට ඇතිවූ හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් මොහු මියගොස් ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.

ඒ අනුව කොවිඩ් ආසාදිත තිදරු පියකුගේ මරණය නිරෝධායන නීති යටතේ. රජයේ නියමයන්ට අනුකූලව ගාල්ල දඩැල්ල ආදාහනාගාරයේ ආදාහනය කරන ලෙස ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් නියෝග කෙරිණි. ආදාහනය කරන්නේ නම් සිරුර බාර නොගන්නා බවත්, භූමදානය කරන්නට අවසර දෙනවා නම් පමණක් එය බාරගන්නා බව පවසමින් මියගිය  අයගේ පුතෙක් මරණ පරීක්ෂණයේදී ප්‍රකාශ කොට මළසිරුර භාර නොගෙන පිටව ගියේය.

මියගිය අයගේ පුතකු වන මොහොමඩ් සනුසි මොහොමඩ් ෆයිල් (53) නැමැත්තා  හදිසි මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් මෙසේ කීවේය.

මියගොස් ඇත්තේ මගේ පියායි. තාත්තා පදිංචිවෙලා හිටියේ දේද්දුගොඩ. තාත්තා නංගිත්, මස්සිනාත්, මස්සිනාගේ දරුවන් තිදෙනාත්, මස්සිනාගේ දුව බැඳපු මහත්තයාත්  එයාගේ දරු දෙදෙනාත් තමයි දේද්දුගොඩ පදිංචිවෙලා හිටියේ. බෑනාටත් දරු දෙදෙනාටත් නැතිව 05 දෙනෙකුට කොවිඩ් ආසාදනය වුණා. තාත්තාත් මල්ලීත් මල්ලිගේ පුතාත්  කරන්දෙණිය රෝහලට ඇතුළත් කළා. අනික් අය කුඹුරුගමුවේ හා හම්බන්තොට රෝහල්වල නතරවෙලා ප්‍රතිකාර ගත්තා. තාත්තා මල්ලිත් පුතාත් කොවිඩ්වලට ප්‍රතිකාර  අරගෙන නිවසට පැමිණ දින තුනක් වෙනවා. නිරෝධායනය වෙමින් හිටියේ. මම පදිංචිවෙලා හිටියේ තාත්තලා පදිංචිවෙලා හිටිය ප්‍රදේශයට වඩා කිලෝමීටරයක් ඈතින්.  අපි කවුරුවත් තාත්තලා පදිංචිව සිට නිවසට ගියේ ආවේ නැහැ. තාත්තා අරගෙන තිබුණේ දියර ආහාර පමණයි. ටිකක් අමාරු තත්ත්වයෙන් තමයි ඉඳලා තියෙන්නේ. පපුවේ අමාරුව, දියවැඩියාව, රුධිර පීඩනය යන රෝග තාත්තාට තිබුණා. තාත්තා  නිවසේදී මියගියා. පියාගේ මරණය කරාපිටිය රෝහලට රුගෙන ආවා. පරීක්ෂණ සඳහා කොටස් වගයක් ගන්න බව වෛද්‍යවරු අපිට කීවා. පියාගේ මරණය ගැන අපිට සැකයක් නැහැ. අවසාන වශයෙන් මට කීමට ඇත්තේ පියාගේ මරණය භුමදානය කිරීම සඳහා අවසර ලබාදෙනවා නම් එය භාරගන්නවා. එසේ නොමැතිව ආදාහනය කිරීමට දෙනවා නම් අපි එය භාර ගන්නේ නෑ කියාය.

මෙවැනි අවස්ථාවකදී රජයේ වියදමින් මළසිරුර ආදාහනය කළයුතු බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විසින් චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබේ. එහෙත් එම  චක්‍රලේඛය පිළිබඳ තුට්ටුවකට මායිම් නොකැරිණි. නිරෝධායන නීතිරීති අමුඅමුවේ උල්ලංඝනය කෙරිණි. හදිසි මරණ පරීක්ෂකවරයා විසින් දුන් නියෝගය ක්‍රියාත්මක නොවීය.

පොලීසිය විසින් මේ පිළිබඳ හදිසි මරණ පරීක්ෂකවරයාටත් නොදන්වා මේ ගැන අධිකරණයට කරුණු වාර්තා කළේය. මෙකී  මෘතදේහය කොරෝනා නීති හා රෙගුලාසි යටතේ අනිවාර්යයෙන්ම ආදාහනය කරනවාද නොඑසේ නම් අධිකරණ ඇමති අලි සබ්‍රි මහතා යෝජනා කොට ඇති පරිදි සිසිල් කළ කන්ටේනර් පෙට්ටි ලැබෙනතෙක් මෙම මෘතශරීරය කරාපිටිය ශික්ෂණ රෝහලේ තැන්පත් කොට තබනවාද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුවී ඇත. ඒ නිසා මේ සම්බන්ධයෙන් ගතයුතු  උපදෙස් හා නියෝග ලබාදෙන ලෙස ඉල්ලා ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කොට තිබුණි. මියගිය අයගේ ඥාතීහුද කොළඹ නගරයේ සිට කැඳවාගෙන එනු ලැබූ නීතිඥවරුන් මාර්ගයෙන් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කළහ.   මේ සම්බන්ධව අධිකරණයට මැදිහත්විය නොහැකි බව සඳහන් කළ ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය කොවිඩ් ආසාදිත තිදරු පියාගේ මරණය සම්බන්ධව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්තුමාගේ උපදෙස් හා නියමයන් පරිදි කටයුතු කරන ලෙස ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට නියෝග කළාය.

මෙම  තත්ත්වය යටතේ මෙකී පුද්ගලයාගේ මෘතදේහය පිළිබද අවසන් කටයුතු  රජයේ නිරෝධායන නීතිරීතිවලට අනුකුලව සිදු නොකර කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කොට තැබීම නිසා අධිකරණ වෛද්‍යවරු මෙන්ම එහි සේවකයෝ දැඩි නොසන්සුන්තාවයට පත්වූහ. අනික් කාරණය වන්නේ කරාපිටිය ශික්ෂණ රෝහලේ මෙවැනි මෘත දේහයන් තබාගැනීම සඳහා පහසුකම්ද නොමැතිවීමය. ඒ වනවිට මෙකී පුද්ගලයාගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණයේදී විච්ඡේදනය කොට තිබුණි. කොරෝනා අසාදිත පුද්ගලයකු මළ සිරුරක් අධි ශීතකරණයක බහා  තබන අවස්ථාවකදී සති දෙකක් යනතෙක් වෛරසය පවතින බව වෛද්‍යවරුන්ගේ මතයයි. අධිකරණ වෛද්‍ය නිලධාරී රෝහාන් රුවන්පුර ඇතුළු අධිකරණ වෛද්‍යවරු මෙකී මළසිරුර කඩිනමින් ඉවත් කරන ලෙස ඉල්ලා සිටියහ. 

කෙසේවුවද නිරෝධායන නීතිරීති අනුව මෙකී මෘතදේහය ආදාහනය කිරීමට ඉකුත් (21) වැනි දින රාත්‍රී සියලු කටයුතු සූදානම් කිරීමට අධිකරණ වෛද්‍ය කාර්යාලය මගින් කටයුතු කෙරිණි. මෙය දැනගත් මුස්ලිම්වරුන් පිරිසක් කරාපිටිය රෝහලේ ගෙට්ටුව පිටතින් සිට විරෝධය දක්වනු ලැබීය. මේ අතරේ කරාපිටිය රෝහලට අධිශීතකරණයක් එවන්න සූදානම් යැයි එක්තරා ඇමතිවරයකුගේ නමක් සඳහන් කරමින් උසස් පොලිස් නිලධාරියෙක් අධිකරණ වෛද්‍ය නිලධාරී රෝහාන් රුවන්පුරට දුරකථන ඇමතුමක් දුන්නේය. එහෙත් අධිකරණ වෛද්‍යවරයාගෙන් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් නොවීය. අවසානයේ පොලීසියට මේ පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්ගේ උපදෙස් පැතීමට සිදුවිය.

මේ අතර මළසිරුර ඉවත්කරගන්නා තෙක් අධිකරණ කටයුතුවලින් ඉවත්වීමට රුවන්පුර මහතා ඇතුළු අධිකරණ වෛද්‍යවරු ඉකුත් 23 වැනි දින කටයුතු කළහ. එහෙත් මියගිය අයගේ ඥාතීන් පිළිබඳ සලකා පස්වරුවේ යළි පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට අධිකරණ වෛද්‍යවරුන් කටයුතු කරනු ලැබීය. මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විසින් මෙකී මළසිරුරේ අවසන් කටයුතු කළයුතු ආකාරය පිළිබඳ ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට  ලිඛිතව දැනුම් දෙනු ලැබීය. කොවිඩ් 19 මෘතදේහය සම්බන්ධයෙන් තමා විසින් මීට ඉහතදි නිකුත් කරන ලද චක්‍රලේඛය ප්‍රකාරව ආදාහනය කළයුතු බවත් එම උපදෙස් පිළිබඳව මහේස්ත්‍රාත්තුමිය දැනුවත් කොට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස එම ලිපිය මගින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විසින් ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට දැනුම්දෙනු ලැබීය.

ඒ කොයිහැටි වුවද  සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්ගේ මෙම තීන්දුවද මායිම් නොකොට  මළසිරුර ශීතාගාර පහසුකම් සහිත කළුබෝවිල රෝහලේ තැන්පත්කර තැබීමට අවශ්‍ය කටයුතු කරදෙන ලෙස උසස් පොලිස් නිලධාරියකු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වෙත ලිඛිතව ඉල්ලීමක්ද කොට තිබුණි. එමගින් උත්සාහ කොට තිබුණේ ඥාතීන්ට මෙකී මෘත දේහය නියමාකාරයෙන් භාරදී අවසන් කටයුතු කරන තෙක් කළුබෝවිල රෝහලේ තැන්පත්කර තැබීමටය. දින 06ක් තිස්සේ කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයම නොසන්සුන් බවට පත්කළ මෙකී කොවිඩ් මරණය බ්‍රහස්පතින්දා (24) පෙරවරුවේ රජයේ වියදමින් නිරෝධායන නීතිරීතිවලට අනුකූලව  ගාල්ල දඩැල්ල ආදාහනාගාරයේදී ආදාහනය කිරීමට කටයුතු කෙරිණි.

කොවිඩ් ආසාදනය වීමෙන් මියයන ඉස්ලාම් ජාතිකයන්ගේ මළසිරුරු සම්බන්ධයෙන් අවසන් කටයුතු කරන ආකාරය පිළිබඳ මේ වනවිට මුස්ලිම් සමාජය තුළ දැඩි කථාබහක් නිර්මාණය වී තිබේ. කොවිඩ් ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මරණ ආදාහනය කළයුතු බවට රජය ගෙන ඇති තීරණයට එරෙහිව මේ වනවිට මුස්ලිම් ජාතිකයින්ගේ දැඩි විරෝධය පළවී ඇත. තැනිත් තැන විරෝධතාද දක්නට ඇත්තේය.

 යක්කලමුල්ල ජේ.කේ.එල්. චාමින්ද