2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා

කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ ඇවිලෙන සටන

 2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 61

කොළඹ වරාය සංවර්ධනයේ ආරම්භය සටහන් කරන්නේ 1983 ලලිත් ඇතුලත්මුදලි අමාත්‍යවරයා බහාලුම් මෙහෙයුම් සඳහා (containers) ජයබහලු පර්යන්තය ආරම්භ කිරීමත් සමඟිනි. මෙය 100‍ රජය සතු ව්‍යාපාරයක් වූ අතර දකුණු ආසියාවේ සිංගප්පූරු වරායට තරගකාරීත්වයක් ඇතිකරනු ලබන වරායක් වුණි.

වර්තමානයේ අර්බුදයට හේතු වී ඇති කොළඹ දකුණ වරාය සංවර්ධනය (colombo Port Exapanition Project) ආරම්භ කරන්නේ 2005 වර්ෂයේදී එය 2004 වර්ෂයේදී සැලසුම් කළත් සංවර්ධන කටයුතු ආරම්භ කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය ආරම්භයේදීය. පර්යන්ත තුනකින් සමන්විත වන වරාය සංවර්ධන ව්‍යාපෘතියේ එක් එක් පර්යන්තයට පැති තුනක් ඇතුළත්ය.

1. දකුණු පර්යන්තය
2. නැගෙනහිර පර්යන්තය (ECT)
3. බටහිර පර්යන්තය
ආසියානු සංවර්ධන බැංකුව සමඟ අත්සන් කරන ලද දිය කඩනය (Break Water) සැකසීමේ ගීවිසුමේදී....
1. වැනි ජැටිය හවුල් ව්‍යාපාරයක් ලෙස  (Public Private Partnership) ව්‍යාපෘතියක් ලෙසද,
2. නැගෙනහිර පර්යන්තය රජයට අයත් (ECT)
3. බටහිර පර්යන්තය (western terminal)

නැවත PPP ව්‍යාපෘතියක් ලෙස සංවර්ධය කළ යුතු බව අදාළ ගිවිසුමේ සඳහන්ව ඇත.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය යනු මෙරට ආර්ථිකයේ ප්‍රධානතම මර්මස්ථානයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. ආර්ථික වශයෙන් නොව එහි පිහිටි ස්ථානය අනුව කලාපීය ආරක්ෂාව අතින්ද වැදගත් ස්ථානයකි. එසේම විශාල නෞකා ගාල් කිරීම වෙනුවෙන් ගැඹුරෙන් යුත් ප්‍රධානතම පර්යන්තයද මෙය වේ. මෙය කොළඹ වරායේ ගැඹුරු මුහුද ආශ්‍රිතව දැනට තිබෙන කන්ටේනර් පර්යන්ත දෙකෙන් එකකි. කන්ටේනර් පර්යන්තයක් ගැඹුරු මුහුද ආශ්‍රිතව ගොඩනැංවූ කල්හි ඕනෑම සුවිශේෂ නැවකට එම පර්යන්තයට ඇතුළු විය හැකිය.

ආසියාවේ ඇති හොඳම වරායවලින් එකක් වන කොළඹ වරාය කන්ටේනර් පැටවීම සහ බෑම මගින් විශාල මුදලක් උපයයි. ගිය අවුරුද්දේ එසේ ඉපැයූ මුදල රුපියල් බිලියන පනස් එකකි. ඒ ආදායම ඉපයීම සඳහා ගිය අවුරුද්ද තුළ කන්ටේනර් විසි නව ලක්ෂයක් පැටවීමත් ගොඩබෑමත් සිදුවිය. අලුතින් විවෘත කළ නැගෙනහිර පර්යන්තය මගින් එම ආදායම වැඩිදියුණු කිරීමට හැකිය.

කෙසේ වෙතත් වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධන වරාය නැගෙනහිර පර්යන්තය විකිණීමට ආණ්ඩුව කැමති බවත් ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් මාධ්‍යවලට කීවේය. ඉන් ස්වල්ප වේලාවකට පසු ජලසම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කළේය. නැගෙනහිර පර්යන්තය විකිණීමට කිසිදු කැබිනට් තීරණයක් නොගත් බවත් කැබිනට් මණ්ඩලයේදී ඒ ගැන වචනයක්වත් කතා නොකළ බවත් වාසුදේව නානායක්කාර මාධ්‍යයට කීවේය. මෙහිදී රටවැසියා ව්‍යාකූලත්වයට පත්විය.

වරාය අධිකාරිය යටතේ පවතින කොළඹ නැ‌ගෙනහිර පර්යන්තය ඉන්දියානු සමාගමට පැවරීමට එරෙහිව නැගෙනහිර පර්යන්තය සුරුකීමේ වෘත්තීය සමිති එකමුතුවේ නායකයෝ දෙසම්බර් 17 දා නිහඬ කළු විරෝධතාව නමින් උද්ඝෝෂණයක් පැවැත්වූහ.

ඇමැතිතුමා හිටියේ අපි එක්කයි

වරාය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ

අපේ විධායක නිලධාරීන් සහ ඉංජිනේරු සංගමය ඇතුළු සමස්ත අපේ වෘත්තීය සමිති හදපු නැගෙනහිර පර්යන්තයේ, අනාගතය ගොඩනගන්නේ කොහොමද කියන එක අමාත්‍යවරයා එක්ක සාකච්ඡාවට බඳුන් කළා. එයින් පැහැදිලිව කියලා තියෙනවා කිසිදු ණය මුදලක් ලබා නොගෙන වරාය අධිකාරියේ තිබෙන මූල්‍යමය හැකියාව මත කොහොමද ඉදිරි වර්ෂ 5 තුළ මේ නැගෙනහිර පර්යන්තය අපි මෙහෙයවලා ක්‍රියාත්මක කරන්නේ කියන එක. අමාත්‍යවරයා ඒ අදහස පිළිබඳ පැහැදිලි එකඟතාවකට හිටියේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක කිරීමට. අපිට ඒ වත්කම තියෙනවා කියන පණිවිඩය ජනාධිපතිවරයා ළඟටත් අපි අරන් යන්න බලාපොරොත්තු වෙනවා.

මේ කූඨ වැඩේ වහාම නවත්වන්න

වරාය වාණිජ කර්මාන්ත සහ ප්‍රගතිශීලි කණ්ඩායමේ වෘත්තිය සමිතියේ ප්‍රධාන ලේකම් ශ්‍යාමල් සුමනරත්න

ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියන්නේ මේ රටේ දැවැන්තම ආයතනය. මහා භාණ්ඩාගාරයේ කිසිදු මැදිහත්වීමකින් තොරව ක්‍රියාත්මක වන මේ රටේ කිසිදු පුද්ගලයකුගේ බදු මුදලක් වරාය සේවකන්ට පඩි ගෙවන්න ගන්නෙ නැහැ. ණය වැටුප් හා බෝනස් මේ සේරම ගන්නේ වරාය සේවකයන් හම්බ කරලා. ජනාධිපතිතුමනි, අගමැතිතුමනි, අපිව විශ්වාස නැතුවද මේ නැගෙනහිර පර්යන්තය විදේශයකට දෙන්න හදන්නෙ? රජය නිවැරුදි ගමන් මඟක යන්න නම් වරාය නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය සතුව පැවතිය යුතුයි. ශ්‍රී ලංකා වරාය අධිකාරිය හම්බකරන හැම සතයක්ම වියදම් කරන්නේ අපේ රටට. ඒ තුළින් දැවැන්ත ආර්ථික ශක්තියක් ගොඩනැගෙනවා. සිහින මාලිගාවල ඉන්න ඇතැම් වරාය සේවකයන්ට කියන්නෙත් වරාය නැගෙනහිර පර්යන්තය රුකගන්න ඉඩදෙන්න කියලා. ඉන්දියානු රජයට බැහැ අපේ රජයට බලපෑම් කරන්න. එහෙම වුණොත් අපි පත්කරගත්ත රජයෙන් වැඩක් නැහැ. රුපියල් බිලියන 13,728ක් නැගෙනහිර පර්යන්තය සඳහා වෙන්කර තියෙනවා. දැන් ආරංචි වෙනවා ඒවා වෙනත් දේවල්වල්ට යොදවනවා කියලා. මේ පිළිබඳ අපි සියලු ක්‍රියාමාර්ග ගන්නවා. වරාය අධිකාරියේ ඉහළ නිලධාරීන් කිහිපදෙනකුගේ කුට වැඩපිළිවෙළ වහාම නවත්වන්න කියලා අපි ඉල්ලීමක් කරනවා.


මහින්ද මහත්තයාගේ ඉල්ලීම අනුවයි අපි මේ සටන ඇදගෙන ආවේ 

වරාය නැගෙනහිර පර්යන්තය සුරුකීමේ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සංජය කුමාර වැලිගම

නැගෙනහිර පර්යන්තය විකිණීමට එරෙහිව අප කළ අරගලයට සහාය දක්වමින් එවකට විපක්ෂ නායකයාව සිටි මහින්ද රාජපක්ෂ මහතා තම ආණ්ඩුවක් බලයට පැමිණෙන තෙක් අරගලය ඇදගෙන යන ලෙස අපෙන් කළ ඉල්ලීම අනුව අප එය ඇදගෙන ගියා. නමුත් දැන් වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා මෙයට විදේශ ආයෝජකයෙක් සොයාගත් බවක් පවසනවා.

ඔව් අපිත් කියනව විදේශ ආයෝජකයෙක් නෙවෙයි දේශීය ආයෝජකයෙක් ඉන්නවා. ඒ තමයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක අපි. රජය සූදානම් නම් මේ මාතෘභූමියේ වටිනාම සම්පතක් වන නැගෙනහිර පර්යන්තය රුකගන්න අපි සූදානම් නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමට අවශ්‍ය ඩොලර් මිලියන 500 හොයල දෙන්න. අපි සූදානම් දේශීය ආයෝජකයෙක් හැටියට ඉදිරිපත් වෙන්න. ඩොලර් මිලියන 500කට විදේශ ආයෝජකයෙක් සොයාගත්ත කියන ප්‍රකාශය පවා මේ රටේ දේශීය ව්‍යවසායකයන්ට කරන අපහාසයක්.
රජය කළ යුත්තේ හම්බන්තොට වරාය ගිවිසුමේ කාලය අඩුරකල නැගෙනහිර පර්යන්තය බේරගන්න එකයි. එහෙම නැතුව හම්බන්තොට දුන්න කියල නැගෙනහිර පර්යන්තයත් දෙන එක නෙවෙයි.

විමල් වීරවංශ ඇමැතිතුමනි.... ඔබතුමා කෝ?

සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ

පාර්ලිමේන්තු මැතිවරණයට ආසන්නයේදී නැගෙනහිර පර්යන්තය ආරක්ෂා කරගැනීම සඳහා අපි කරන ලද අරගලයට සහාය දක්වමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට කැබිනට් පත්‍රිකාවක් ගෙන ආවොත් ඔහු එම කැබිනට් මණ්ඩලයේ තවදුරටත් නොසිටින බවයි. අපි දැන් එතුමාගෙන් අහන්නෙ ඔබතුමාගෙ ස්ථාවරය දැන් වෙනස් කරලද? ඔබතුමාගෙ හඬ දැන් ඇහෙන්නෙ නෑ.
අපි ගෝඨාභය මහතාට, අගමැතිතුමාට සහ රජයට අභියෝග කරන්නෙ ඇවිල්ල බලන්න. අපිත් එක්ක සාකච්ඡා කරන්න. අපි පෙන්වල දෙන්නම් කොහොමද නැගෙනහිර පර්යන්තය හදන්නෙ කියලා.

ශ්‍රීලනිපය විරුද්ධයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විකිණීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණයෙන් විරුද්ධයි. මේ පිළිබඳව සාකච්ඡා කරන්න ඉදිරි සතියේ අපි බලාපොරොත්තු වෙනවා. වෙනත් රටකට විදේශීය ආයෝජන අවශ්‍ය නම් දකුණු පර්යන්තයට ආයෝජනය කිරීමේ හැකියාවක් තිබෙනවා. එහෙම නැතුව මේ වරාය නැගෙනහිර පර්යන්තය විකුණනවට අපි විරුද්ධයි.

 හසිත් අංජන