එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව අලුත් ගමනක් ආරම්භ කළ සමගි ජනබලවේගය අද ලංකාවේ දෙවැනි බලවේගය බවට පත්ව ඇත. විවිධ අභියෝග මැද ගමන ආරම්භ කළ මෙම පක්ෂය රටේ දෙවැනි බලවේගය බවට කෙටිකාලයකින් පත්වීම සැබවින්ම සාර්ථක දේශපාලන ගමනක් බව කිවයුතුමය. දෛවය නම් එදා ශ්‍රීලනිපයේ ආරම්භකයකු වන ඩී.ඒ. රාජපක්ෂගේ දරුවන් අද ශ්‍රීලනිපයෙන් වෙන්ව හදාගත් අලුත් පක්ෂය වූ ශ්‍රී ලංකා පොදුජන පක්ෂය රටේ බලයට පත්ව සිටියදී අනෙක් පැත්තෙන් එදා එජාප ජනාධිපතිවරයකු වූ රණසිංහ ප්‍රේමදාසගේ පුතා වූ සජිත් ප්‍රේමදාස අලුත් පක්ෂයක් හදාගනිමින් අද විපක්ෂ නායකයා වී සිටීමය. කනගාටුව නම් මේ සියල්ලට මහගෙදර වූ එජාපයත්, ශ්‍රීලනිපයත් අද දේශපාලන වශයෙන් ඉතාම අන්තිම අඩියකට කඩා වැටීමය. මේ සම්බන්ධයෙන් වෙනම කතාකළ වුවත් ඒ සඳහා මෙය අවස්ථාවක් නොවන නිසා එය පැත්තකින් තබා සමගි ජනබලවේගයේ අලුත් ආරම්භය ගැන මෙසේ සනිටුහන් කරමු.
සමගි ජනබලවේගය පසුගිය මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට හදිසියේ සොයාගත් පක්ෂයකි. ජනාධිපතිවරණයෙන් පසුව එජාප පක්ෂ නායකත්වය ලබානොදීම නිසා සජිත් හිතවාදී පිරිසෙහි තිඹිරිගෙය බවට පත්වුණේ මේ සමගි ජන බලවේගය පක්ෂයයි. අවසානයේ එම පක්ෂයෙන් ඡන්දය ඉල්ලූ ඔවුහු අද විපක්ෂයේ අසුන්ගෙන සිටිති.
කෙසේ වෙතත් එම පක්ෂයෙන් හදිසියේ ඡන්දය ඉල්ලුවත් එම පක්ෂය සඳහා ඔවුන් විසින් සකසාගත් පක්ෂ ව්‍යවස්ථාවක් තිබුණේ නැත. ඒ නිසා ඔවුන් පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව සමගි ජනබලවේගය ඔවුන්ගේ පක්ෂය කරගනිමින් අලුත් ව්‍යවස්ථාවක් සැකසීම ආරම්භ කර තිබුණි.
ඒ අතර සති දෙකකට පෙර සජිත් ප්‍රේමදස මහතා විසින් හදිසියේ පක්ෂ ව්‍යවස්ථාවක් එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබිණි. එම ව්‍යවස්ථාව හැම දෙනාගෙම විවේචනයට නතු වූ අතර එයට හේතුවූයේ පක්ෂයේ නායකයා පත්කරන ආකාරයත් ඉවත් කරන ආකාරයත් කිසිදු සටහනක් එහි සඳහන් නොවීමය. එසේම එම පක්ෂයේ විධායක සභාවට සමාජිකයන් සියයක් පත් කිරීමේ බලයක්ද නායකයාට හිමිවුණ අතර පක්ෂයේ සියලු තනතුරු පක්ෂ නායකයා විසින් පත්කිරීමද මෙහි ඇතුළත් විය. මේ ව්‍යාවස්ථාව දුටු සියලුදෙනාම එකහෙළා ඊට විරුද්ධ වූ අතර පසුව හෙළිවූයේ එම ව්‍යවස්ථාව සකසා ඇත්තේ ජලනි ප්‍රේමදාස මහත්මියගෙන් යුත් කමිටුවක ෆර්මාන් කාසිම්, තිසර විජේවර්ධන, ලක්ෂ්මන් ෆොන්සේකා සහ රවී ජයවර්ධන බවය. පසුව පක්ෂයේ පිරිසගේ විරෝධය මත එම ව්‍යවස්ථාව ඉවත්කළ අතර නව යෝජනා ලබාදෙන ලෙසට මන්ත්‍රීවරුන්ට පක්ෂ නායකත්වය ඉල්ලීම් කළේය.
ඒ අනුව අලුත් ඉල්ලීම් සහ යෝජනා රැසක් සමගින් පසුගියදා ජනබලවේගය ව්‍යවස්ථාව සම්මත විය. එය ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට සකස් කළ ව්‍යවස්ථාවක් වූ අතර එහි ප්‍රධාන වගකීම් ජනතා ඡන්දයෙන් පත්වන අයට පවරා තිබීම විශේෂත්වයක් විය.
ඒ අනුව සමගි ජනබලවේගය ස්ථර හතරකින් සමන්විත වෙයි. උඩින්ම ජාතික සම්මේලනය, ඊට පසුව විධායක සභාව, ඊටපසුව කෘත්‍යාධිකාරී මණ්ඩලය, ඊටත් පසුව කළමනාකරණ කමිටුව වශයෙනි. ජාතික සම්මේලනය සඳහා සියලු පාක්ෂිකයන් අයිතිවන අතර විධායක කමිටුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු, පළාත් පාලන මන්ත්‍රීවරු, පළාත් භාර නායකයන් සමිතිවල නායකයන් ඇතුළු 500 කට ආසන්න පිරිසක් සම්බන්ධ වේ. එම 500න් 50ක් පත්කිරීම නායකයා සතුවේ. කෙසේ වෙතත් මෙය මීට පෙර 100ක් වූ අතර මෙවර 50 දක්වා පහත වැටී ඇත.
එසේම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජිකයන් සංඛ්‍යාව 75 කි. ඉන් 19 දෙනෙකු පත් කිරීමට නායකත්වයට හැක. එසේම කළමානකරණ කමිටුවේ සාමාජිකයන් සංඛ්‍යාව 15 කි. ඒ 15 දෙනාම පක්ෂ නිලධාරීන් බව සඳහන් වේ. ඒ ආකාරයෙන් පක්ෂයේ පාලන තන්ත්‍රය සැකසී ඇත.
නායකත්වය ඇතුළු සියලුම පක්ෂයේ තනතුරු සඳහා වන නම් කළමනාකරණ කමිටුව විසින් යෝජනා කරන අතර පසුව එය කෘත්‍යාධිකාරී මණ්ඩලයට දී සම්මත කරගනු ලබයි. කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අනුමත වූ පක්ෂයේ තනතුරු පසුව නායකත්වය විසින් පත්වීම් ලබාදෙන අතර එහෙත් නායකත්වය සඳහා වන නම කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් සම්මත වී විධායක කමිටුවට ගොස් එහි බහුතර කැමැත්තෙන් එකඟ වී ජාතික සම්මේලනයෙදී එය ස්ථිර කරගත යුතුව ඇත.
කෘත්‍යාධිකාරී මණ්ඩලය මසකට වරක් රුස්වෙන අතර විධායක කමිටුව වසරකට වතාවක් රැස්වෙයි. එහෙත් එය ඕනෑම වේලාවක නායකත්වයට කැඳවීමේ අවස්ථාව හිමිවේ. කෙසේ වෙතත් නායකත්වය හැර ඕනෑම පක්ෂ තනතුරක් සඳහා ලබාදෙන පත්වීම් කාලය වසරකි. එය නැවත වසරකින් අලුත් කළ යුතුව ඇති අතර ඉහත කී ආකාරයට නැවත ක්‍රියාත්මක වීම සිදුවේ.
එහෙත් මේ වනවිට ඇතැම් සමාජ මාධ්‍යවල පළවන්නේ අලුත් ව්‍යවස්ථාව අනුව නායකත්වය වසරකින් අඩුවන බවය. එහෙත් එය අසත්‍යකි. එලෙස වසරකින් අවසන් නොවන අතර එහෙත් ඕනෑම අවස්ථාවක විධායක කමිටුවේ බහුතර කැමැත්ත මත නායකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ හැකියාව ඇත. එහෙත් එය වසරකින්ද දෙකකින්ද පහකින්ද යන්න දන්නේ නැත. ඒත් ඕනෑම මොහොතක විධායක කමිටුව රුස්වන අවස්ථාවක නායකත්වය සම්බන්ධයෙන් තීන්දු ගත හැක.
මේ අතර පක්ෂයේ ආසන සංවිධායකවරුන් පත් කිරීමද කළමනාකරණ කමිටුව විසින් සොයා බැලීමෙන් පසුව එකී නම් කෘත්‍යාධිකාරී මණ්ඩලයට යෝජනා කරනු ලබයි. එහිදී එම නම් ලබාගනු ලබන්නේ එම ආසනයේ සිටින පාක්ෂිකයන්ගේ කැමැත්ත මතය. එසේ ලබාගන්නා නාමයෝජනා පසුව කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත ඉදිරිපත් කරන අතර කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් එය සම්මත කිරීමෙන් පසුව පක්ෂ නායකත්වය විසින් වසරකට එම පත්වීම් ලබාදෙනු ලබයි. එහෙත් වසරක් තුළ ප්‍රමාණවත් වර්ධනයක් ආසන සංවිධායකවරයා විසින් නොපෙන්නුවහොත් ඔහුට විරුද්ධව ක්‍රියාකරනු ඇත.
මෙම ව්‍යවස්ථාව මගින් පාක්ෂියකයාට විශාල වරමක් ලැබී ඇති බවත් එයට හේතුව මේ සෑමතැනකම ජනතා නියෝජිතයන් බහුතරයක් මූලිකත්වය ගැනීම බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සහ එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
මේ ආකාරයෙන් සජබ පක්ෂ ව්‍යවස්ථාව ප්‍රධාන වශයෙන් සකස් වී ඇති අතර තවත් යම් යම් කාරණා රුසක්ද අන්තර්ගත වේ. කෙසේ වෙතත් මෙහි සඳහන් කළේ ප්‍රධාන වශයෙන් කතාවෙන කාරණා ගැන පමණි.
කෙසේ වෙතත් මේ වනවිට බොහෝ දෙනා කතාවෙන්නේ පක්ෂය සාදාගෙන එනවිට එය පාඨලි චම්පික ඇතුළු පිරිසක් කඩාගෙන යයිද යන්න ගැනය. එහෙත් මේ සම්බන්ධයෙන් සොයා බැලීමේදී හෙළිවුණේ චම්පික විසින් සමගි ජනබලවේගයේ එක්තරා කණ්ඩායමක් නියෝජනය කිරීමට පාර සකස් කරමින් සිටින බවය. ඒ බෞද්ධ ජනතාව සහ වෘත්තීයවේදීන් නියෝජනය කිරීම සඳහාය. එසේ නියෝජනය කරමින් ඊළඟ මැතිවරණ සඳහා එම ජනතාවගේ සහය එම පක්ෂය වෙත ලබාගැනීම අරමුණ වී ඇත.
එහෙත් එක දෙයක් කිවයුතුය. ඊළඟ ජනාධිපතිවරණය සඳහා ජයග්‍රාහී අපේක්ෂකයා අවම වශයෙන් ලක්ෂ 75ක ඡන්ද සංඛ්‍යාවක්වත් ලබාගත යුතුය. එසේ නම් චම්පික නියෝජනය කරන්නේ එකී 75හේ බහුතර ඡන්ද සංඛ්‍යාවය. එවන් මොහොතක තව වසර තුනකින් චම්පික රණවකගේ ඡන්ද මල්ල වැඩිවුවහොත් සමගි ජනබලවේගයට චම්පික අභියෝගයක් වනු ඇත. එසේ වුවහොත් අපේක්ෂකත්වයට කාසිය වාසිය බලන්නට වනු ඇත. එදාට ජනතාවට තීරණය ගන්නට සිදුවනු ඇත. ඒ නිසා සටන ආරම්භ වන්නේ එදාටය. එහෙත් චම්පික දැන් හෙළඋරුමයේ නැත. චම්පික ඉදිරියේ මෙම පක්ෂයේ සමාජිකයෙකි. එකී චම්පිකට බෞද්ධ පදනම රැකගත හැකිවේද? එය ලොකුම ප්‍රශ්නයකි. එහෙත් කියන්නට දෙයක් ඇත. මේ ව්‍යවස්ථාව අනුව නායකත්වයට වඩා කමිටු බලවත්වය. ඒ නිසා ඉදිරියේදී හිතන්නට බැරි දේවල් සිදුවන්නට ඉඩ ඇත. සිදුනොවීමටද හැකිය. එතෙක් අපි බලා සිටිමු.
I ගයාන් ගාල්ලගේ