2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා

යලිත් යුද ප්‍රකාශ කරන සේනා දළඹුවා

 2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 53

2018 වසරේ සිට මෙරට පැතිර තිබූ සේනා දළඹු උවදුර සති කිහිපයක සිට යළිත් හිස ඔසවමින් සිටින බවට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වේ. පසුගිය කාලයේ යම් මට්ටමක පාලනයකට නතුව තිබුණද මේ වන විට අනුරාධපුර, මහවිලච්චිය ගලෙන්බිඳුණුවැව, එප්පාවල, කරුවලගස්වැව, ගල්ගමුව, දඹුල්ල පොතුවිල් සහ ලග්ගල, මහියංගනය, බලංගොඩ, වලස්මුල්ල හා හම්බන්තොට  ඇතුළු ප්‍රදේශ කිහිපයක සේනා දළඹු උවදුර යළි ව්‍යාප්ත වෙමින් තිබේ. 

සේනා දළඹුවාගෙන් වැඩිම හානිය සිදුව ඇත්තේ බඩ ඉරිඟු වගාවටය. රටතුළ වගාකළ හැකි බෝග විදේශයන්ගෙන් ආනයනය නොකොට මෙරටදීම වගා කිරීම රජයේ ප්‍රතිපත්තියට අනුව බෝග වර්ග 16ක් එලෙස වගා කිරීමට පියවර ගෙන ඇති අතර. බඩ ඉරිඟුද ඉන් එක් බෝගයකි. මෙරට වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ පහක් පමණ වේ. කුඩා දරුවන් හා ගැබිණි මාතාවන් සඳහා ලබා දෙන ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහාද කුකුළු ආහාර නිපදවීමටද වැඩිවශයෙන්ම භාවිත කෙරෙනුයේ බඩඉරිඟුය. පසුගිය කාලයේ බඩඉරිඟු අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම සපුරා ගැනීම ‍නොහැකි වීම මත ඒවා ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් ආනයනය කිරීමට සිදු විය. බඩ ඉරිඟු ආනයනයට වාර්ෂිකව වැය කරන මුදල රැපියල් මිලියන 40ක් පමණ වන බව පැවසේ. නව රජය බඩ ඉරිඟු ආනයනය 2020 ජනවාරියේ සිට තහනම් කළේ මෙරට ගොවීන්ගෙන්ම එම අවශ්‍යතාව සපුරා ගැනීමටය.  මහවැලි ඉඩම් හෙක්ටයාර දස දහසක බඩ ඉරිඟු වගා කිරීමේ ජාතික වැඩසටහන පසුගිය කාලයේ ආරම්භ වූයේ ඒ අනුවය.  එහෙත් මේ වන විට ආක්‍රමණශීලි පලිබෝධකයකු වන සේනා දළඹුවා නිසා බඩඉරිඟු වගාවට කණකොකා හඬමින් තිබේ.

සේනා දළඹු වසංගතය මෙරට දී මුලින්ම අනාවරණ වූයේ 2018 වසරේ ඔක්තෝබරයේය. ඒ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇලයාපත්තුව හා අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය යන ප්‍රදේශවලිනි... බඩඉරිඟු වගාවට විශාල වශයෙන් හානි කරමින් සීග්‍ර යෙන් ව්‍යාප්ත වූ මෙම දළඹු වර්ගය තල, කුරක්කන්, රටකජු, වී, කව්පි, උක්, කෙසෙල්  වැනි වගා රැසකට මෙන්ම එළවළු වගාවගාවටද හානි කිරීමට සමත් විය. මෙම දළඹු උවදුර පාලනය කිරීම සඳහා සාර්ථක පිළියමක් මෙතෙක් සොයා ගැනීමට නොහැකි විය. කෙසේ නමුදු කෙටි කලක් දළඹු ව්‍යාප්තිය පාලනය වී තිබුණද යළි මේ වන විට දිවයිනේ ප්‍රදේශ රුසකට එය ව්‍යාප්ත වෙමින් තිබේ. 

පසුගිය මහ කන්නයට වඩා මෙවර මහකන්නයේ වගාවට සේනා දළඹුවාගෙන් වැඩි හානියක් සිදුවී ඇතැයි කෘෂිකර්ම නිලධාරීහු පෙන්වා දෙති. ඊට එක් හේතුවක් වී ඇත්තේ කඩින්කඩ වගා කිරීමයි. එක් ප්‍රදේශයක බඩ ඉරිඟු වගාකරන ගොවීන් සියලු දෙනා කඩින්කඩ වගා ආරම්භ නොකොට එකවර වගා ආරම්භ කිරීමෙන් හානිය අවම කරගත හැකියැයි ඔවුහු පෙන්වා දෙති. සේනා දළඹුවා ස්වභාවික ක්‍රම මගින් පාලනය වන බවත් කෘමිනාශකවලින් පමණක් පාලනය කළ නොහැකි බවත් ඔවුන්ගේ මතයයි. අළු සහ වැලි වැනි ද්‍රව්‍ය ශාඛයේ ගොබය තුළට ඉසීමෙන් මෙම උවදුර අවම කරගතහැකි වන අතර රසායනික මෙන්ම පරිසර හිතකාමි පලිබෝධ නාශක ක්‍රමද මේ සඳහා භාවිත කිරීමට සිදුවන බවද කෘෂි නිලධාරීන්ගේ මතය විය. එහෙත් ගොවීන් පවසන්නේ මෙතෙක් කළ කිසිදු ප්‍රතිකර්මයකින් දළඹුවා විනාශ කිරීමට නොහැකි වී ඇති බවයි.

කෘෂිකර්මෙ මහත්තුරු අපිට කිව්වේ බෙහෙත් ගහන්න කියලායි. අපි ඒ කිව්ව බෙහෙත් ජාති ගහල බැලුවා. බෙහෙත්වලට තාවකාලිකව පාලනයක් සිදු වුණත් ඒ එකකටවත් මේ පණුවා මැරෙන්නේ නැහැ. අපි දැන් අන්තිම අසරණ වෙලා. මේව කළේ ණයට සල්ලි අරන්. දැන් ණය ගෙවන්නවත්, ජීවත් වෙන්නවත් කිසිම ක්‍රමයක් නැහැයි බඩඉරිඟු ගොවීහු ප්‍රකාශ කරති. බොහෝ ගොවීන් කියා සිටියේ තමන් පත්ව ඇති තත්ත්වය පිළිබඳව විමසන්නට කිසිදු නිලධාරියකු නොපැමිණි බවයි. තම බිරින්දෑවරුන්ගේ කණකර බඩු උගසට තබා හෝ පොලියට මුදල් ගෙන වගාකළ ගොවින් විශාල පිරිසක් සිටිති. පලිබෝධ නාශක සඳහාද විශාල මුදලක් වැය කරන්නට තමන්ට සිදුව ඇතැයිද එහෙත් ඉන් කිසිදු ප්‍රයෝජනයක් අත් නොවූ බවද ඔවුහු පවසති. සේනා දළඹුවා සඳහා වරක් කෘෂි රසායන යෙදූ පසු දෙවැනි වතාවට කෘෂි රසායන යොදන විට පළමු වතාවේ මෙන් දෙගුණයක ප්‍රමාණයක රසායන යෙදිය යුතුයැයි පැවසේ. එහෙත් බොහෝ ගොවීන් හට දෙවැනි වර එපමණ මුදලක් වැය කිරීමට නොහැකිය. එහෙයින් සේනා දළඹුවා පාලනය කිරීම අසීරු වී තිබේ.  ඔවුන් කියන්නේ තමන්ගේ දුක දෙවියන්ටවත් නොපෙනෙන බවකි.

සේනා දළඹුවා මුලින්ම හානි කරනුයේ ශාකයේ පත්‍රවලටය. ක්‍රමයෙන් ගස තුළට ගොස් එහි ගොබය කා දමා ගස සම්පූර්ණයෙන්ම විනාශ කරයි. වැඩි වශයෙන් නොමේරෑ පත්‍රවලට මොවුන්ගෙන් සිදුවන හානිය අධිකය. මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල අක්කර දහස් ගණනක් සේනා දළඹුවාගේ ගොදුරු බවට පත්ව හමාරය. කාෂිකර්ම නිලධාරීන්ද, ගොවීන්ද මේ සඳහා විවිධ පලිබෝධ නාශක යොදාගනිමින් මෙම කෘමියා මර්දනය කිරීමට උත්සාහ කළද ඒ සියලු  ප්‍රයත්නයන් අසාර්ථක විය. එහෙයින් ඇතැම්  ප්‍රදේශවල ගොවි ජනතාවට තම වගා විනාශ කර දැමීමටද සිදු විය.  

කෙසේ වුවද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින් මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අම්පාර සහ මොණරාගල යන දිස්ත්‍රික්කවලට ගොස් ඇති අතර පලිබෝධ නාශක ගොවීන්ට ලබා දීමටද පියවර ගෙන ඇති බවය. රජය මෙම උවදුර පාලනය කිරීම සඳහා ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවත් අවශ්‍ය වුවහොත් අලාබහානි සිදූවූ ගොවීන්ට වන්දි ලබාදීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි..
Spodopetera Frugiperda යන විද්‍යාත්මක නාමයෙන්ද ‘ෆෝල් ආමිවර්ම්‘ යන ඉංග්‍රීසි නමින්ද හැඳින්වෙන සේනා දළඹුවා දකුණු ඇමෙරිකානු සම්භවයක් සහිත කෘමි විශේෂයකි. මෙම කෘමින් පිළිබඳව මෑත කාලයේ වැඩිවශයෙන් වාර්තා වූයේ නයිජීරියාවෙනි. ඒ 2016 වැනි කාලයේය. 2018දී ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයෙන් වාර්තා විය. 2018 වසරේ මැද භාගය වන විට අප්‍රිකානු රටවල් 42කට මෙම කෘමියා ව්‍යාප්ත වී තිබිණි. උන් වැඩියෙන්ම හානි කර තිබුණේ බඩ ඉරිඟු සහ සෝගම් වගාවන්ටය. 

සේනා දළඹුවන් මර්දනය කිරීම සඳහා ඇමෙරිකාවෙන් ආනයනය කරන ලද එම්ටීවී නමැති වෛරසය ඉදිරි දින කිහිපය තුළ බෙදාහැරීමට නියමිත බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව් වීරකෝන් මහතා ප්‍රකාශ කරයි. මෙම වෛරසය ලංකාවට ගෙන්වා ඇත්තේ මීට වසර එකහමාරකට පමණ ඉහතදීය. එම වෛරසය යොදාගනිමින් සිදුකළ 
පර්යේෂණවලින් සාර්ථක ප්‍රතිඵල අත්වීම නිසා මේ වන විට ප්‍රදේශ රැසක එම වෛරසය ඉසීමට පියවර ගෙන තිබේ. විශේෂයෙන් සේනා දළඹුවාගෙන් වැඩිම හානියට පත්ව ඇති අම්පාර, මොණරාගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල මෙම කටයුතු සිදුවේ. සේනා දළඹුවාට පමණක් හානි කරන පරිසර හිතකාමි වෛරසයක් වන මෙම වෛරසය භාවිතයෙන් රසායනික පලිබෝධ නාශකවලින් තොරව සේනා දළඹුවා විනාශ කළ හැකි යැයි පැවසේ.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා