2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා

නත්තලට අලුත් අවුරුද්දට විලංගු දැමූ රටවල්

 2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 34

නත්තල යනු යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපත සිහිපත් කරන වාර්ෂික උත්සවයක්  වන අතර එය සෑම වසරකම දෙසැම්බර් 25 වන දින පැවැත්වෙන්නකි. ලොව පුරා රටවල් 160ක පමණ කිතුනුවෝ මෙම ආගමික හා සංස්කෘතික උත්සවය සමරති. නව වසරද ලොවපුරාම උත්සවශ්‍රීයෙන් සැමරෙන අතර සමස්ත ලෝ වැසියෝ දෙසැම්බර් 31 රාත්‍රියේ එළඹෙන නව වසර පිළිගනිමින් උත්සව පවත්වති.

2020 වසර ලොව පුරා දැවැන්ත ව්‍යසනයක් නිර්මාණය කළේය. ඒ කොවිඩ් 19 වසංගතයයි. මේ වන විට ලොව පුරා එම වසංගතයට ගොදුරුව ඇති සංඛ්‍යාව 79,057,616 ක් වන අතර ඉන් සිදුවූ මරණ සංඛ්‍යාව 1,737,751 කි. මෙවැනි වාතාවරණයක් යටතේ 2020 නත්තල සහ 2021 නව වසර බොහෝ රටවලට උදාවන්නේ කිසිදු උත්සවයකින් තොරවය. නත්තල් උත්සවය සමරන වැඩිම පිරිසක් සිටින්නේ යුරෝපයේය. එහෙත් බොහෝ යුරෝපා රටවල් කොවිඩ් දෙවැනි රැල්ලට ගොදුරු වී ඇති හෙයින් නත්තල් දිනයේ සිට ජනවාරි පළමු සතිය තෙක් තම රටවල් අගුලු දැමීමටත් පෞද්ගලික හා පොදු හමුවීම්වලට සීමා පැනවීමට. පියවර ගෙන තිබේ.

• ජර්මනිය - උපරිමය 5යි

ලොව පුරා ඇති අගුලු දැමීම් (ලොක්ඩවුන්) සහ පෞද්ගලික හා පොදු හමුවීම්වලට සීමා පනවා ඇති රටවල් අතුරින් ඉදිරියෙන්ම සිටින්නේ ජර්මනියයි. රට තුළ දිගින් දිගටම ව්‍යාප්ත වන කොරෝනා වෛරසය හේතුවෙන් නිවාඩු කාලය තුළ ජනතාව සංචරණයේ යෙදීම වැළැක්වීම සඳහා 2020 දෙසැම්බර් 23 දින සිට 2021 ජනවාරි 10 වැනි දින දක්වා රටම අගුලු දැමීමට ජර්මනිය පියවර ගෙන තිබේ. මෙම කාලය තුළ පෞද්ගලික හමුවීම් සීමාකර ඇති අතර නිවෙස් දෙකක පුද්ගලයන්ට පමණක් හෝ උපරිමයෙන් පස් දෙනකුට වඩා එක්විය නොහැකි බවට නියෝග පනවා තිබේ. මේ කාලය තුළ විවෘතව තැබිය හැක්කේ අත්‍යවශ්‍ය ආහාර අලෙවි ස්ථාන, ඖෂධහල්, ගෑස් අලෙවිසල් සහ තැපැල් කාර්යාල පමණි. නත්තල් බැති ගී ගායනා කිරීම සහ එළිමහනේ මත්පැන් පානය කිරීම තහනම් කර ඇති නමුදු නත්තල් ගස් වෙළෙන්දන්ට ඒවා අලෙවි කිරීමට අවසර දී තිබේ.
නව වසර සඳහා ද පූර්වාරක්ෂක ක්‍රමවේද ඉදිරිපත් කර ඇති අතර. ගිනිකෙළි අලෙවිය මෙන්ම සියලු මහජන එක්රැස් වීම් තහනම් කර තිබේ.

• බ්‍රිතාන්‍යය - හුදෙකලා වෙයි

මේ වනවිට බ්‍රිතාන්‍යය පුරා සීඝ්‍ර යෙන් ව්‍යාප්ත වෙමින් ඇති නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ලන්ඩනයේ සහ ගිනිකොනදිග එංගලන්තයේ ඇතැම් ප්‍රදේශවල නත්තල් උත්සවය අවලංගු කර ඇතැයි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ප්‍රකාශ කර තිබේ. නත්තලට දින පහකට පෙර සිට ස්ථර 4ක් යටතේ රට අගුලු දැමීමට පියවර ගෙන තිබේ. බ්‍රිතාන්‍ය පුරා මේ වන විට නව කොරෝනා වෛරස ප්‍රභේදයක් පැතිර යමින් පවතී එරට විද්‍යාඥයන් එය නම් කර ඇත්තේ VUI - 2020/12/01 නමිනි. නව වෛරසයේ පැතිරීම පෙර පැවැති වෛරසයට වඩා 70ක ප්‍රබලත්වයක් පවතින බවට වාර්තා වීම නිසා ලොව බොහෝ රටවල් එංගලන්තයට ගුවන් ගමන් අත්හිටුවා තිබේ. අවසර ලත් ස්ථාන හැර අනෙකුත් සියලු ව්‍යාපාරික ස්ථාන වසා තැබෙන අතර දැඩි සීමා යටතේ මෙම ප්‍රදේශවල වෙසෙන ජනතාවට නිවෙස් තුළම රැඳී සිටීමට සිදුවේ. එම කාලයේ එංගලන්තය පුරා සංචරණ සීමා කර තිබේ. නත්තල් දිනයේ නිවෙස් තුළ පමණක් උත්සවය සැමරිය හැකිය.

• ඩෙන්මාර්කය - නත්තල් පාටියට 10ක් පමණයි

දෙසැම්බර් 25දා සිට ජනවාරි 03 දක්වා ඩෙන්මාර්කයේ අගුලු දැමීමක් සිදුකරන බැව් අගමැති මෙට් ෆ්‍රෙඩ්රික්සන් නිවේදනය කර තිබේ. දෙසැම්බර් 16 දින රෝගීන් 3,692 ක් වාර්තා වීම මත එම තීරණයට එළැඹ තිබේ. එය දිනක් තුළ එරටින් සොයාගත් වැඩිම රෝගීන් සංඛ්‍යාවයි.

අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ වෙළෙඳසල් හැර අනෙකුත් සියලුම ව්‍යාපාර දෙසැම්බර් 25 සිට ජනවාරි 3 දක්වා වසා තැබිය යුතුය.
සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් 10 දෙනෙකුට පමණක් නත්තල් සැමරැම් සඳහා එක්රුස් විය හැකිය. නව වසරේ උදාව සඳහා නීති රීති දෙසැම්බර් අගදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

• පෝලන්තය - නගර අතර ගමන් බෑ

පෝලන්තය දෙසැම්බර් 28 සිට ජනවාරි 17 දක්වා රටපුරා අගුලු දමන බවට නිවේදනය කර තිබේ. දෙසැම්බර් 31 දින රාත්‍රී 7 සිට අලුත් අවුරැදු දිනයේ උදෑසන 6 තෙක් නගරය තුළ හෝ නගර අතර ගමන් කිරීම තහනම්ය. නව අවුරුදු දිනයේ පස්දෙනකුට වඩා හමුවිය නොහැකි වන අතර විවාහ මංගල සාද පැවැත්වීමද තහනම් කර තිබේ.
වයස අවුරුදු 16 ට අඩු පාසල් දරුවන්ට පාසල් නිවාඩු කාලයේ  වැඩිහිටියන් නොමැතිව  නිවසින් බැහැර විය නොහැකිය.

• නෙදර්ලන්තය - බාර්, රෙස්ටුරන්ට් වැසෙයි

දෙසැම්බර් 14  දින සිට 2021 ජනවාරි 19 දක්වා සති පහක  කාලයකට නෙදර්ලන්තය අගුලු දැමීමට එරට රජය පියවර ගත්තේය. අත්‍යවශ්‍ය නොවන සියලුම වෙළෙඳසල් වසා දමන ලෙසට නියෝග කර ඇති අතර මත්පැන් අලෙවිසල් සහ අවන්හල් නැවත දන්වන තෙක් විවෘත කළ නොහැකිය.

සියලු වැසියන්ට 2021 ජනවාරි 19 වන තෙක් හැකි තරම් තම නිවෙස්වලම රුඳී සිටින ලෙසට දන්වා තිබේ. මෙම කාලය තුළ නිවෙසකට කැඳවිය හැක්කේ වෙනත් ප්‍රදේශයක වාසය කරන වැඩිහිටි අමුත්තන් දෙදෙනෙකු පමණි, එහෙත් නත්තලට පෙර දින රාත්‍රියේ හෝ  නත්තල් දිනයේ තිදෙනකුට පැමිණිය හැකිය.
කොරෝනා වෛරස වසංගතය හේතුවෙන් නෙදර්ලන්තයෙන් රෝගීන් 600,000 කට අධික සංඛ්‍යාවක් සහ මරණ 10,000 ක් පමණ වාර්තා වී තිබේ.

• රුමේනියාව - නීති කැඩුවොත් ඩොලර් 3800ක දඩයක්

රුමේනියාවේ මේ වනවිටත් පවතින අගුලු දැමීම ජනවාරි 15 ​​දක්වා දීර්ඝ කර තිබේ. දිනපතා රාත්‍රී 11 සිට උදෑසන 5 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර. එය නත්තල් දිනයට හා අලුත් අවුුරුදු දිනයටද අදාළය.
පොදු ස්ථානවල, නිවෙසේදී සහ එළිමහනේදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබේ. ගෘහස්ථ හා එළිමහන් රාජ්‍ය හා පෞද්ගලික නත්තල් සාද සියල්ල තහනම් කර ඇති අතර එම නීති කඩකරන ඕනෑම පුද්ගලයකුට උපරිම වශයෙන් ඩොලර් 3,800 ක දඩ මුදලක් නියම කළ හැකිය.

• හංගේරියාව - සියලු සාද තහනම්

පසුගිය නොවැම්බර් 10 සිට හංගේරියාව පුරා රාත්‍රී 8 අලුයම 5 දක්වා ඇඳිරිනීතිය ක්‍රියාත්මකය. පවුල් හමුවීම් 10 දෙනෙකුට සීමා කර ඇති අතර. නත්තල් දිනයට පෙර දිනයට  සහ නත්තල් දිනයටත් අලුත් අවුරැදු දිනයටත් මෙය වලංගුය. අග්‍රාමාත්‍ය වික්ටර් ඕර්බන් පවසා ඇත්තේ  රටපුරා සියලු සාද තහනම් කර ඇති බවයි.

• චෙක් ජනරජය - ඇරපු හෝටල් වසයි

චෙක් ජනරජය අගුලු දමා ඇත්තේ අර්ධ වශයෙනි. එරට අත්‍යවශ්‍ය නොවන සියලු  ව්‍යාපාර දෙසැම්බර් 18 දක්වා වසා දැමීමට පියවර ගෙන තිබේ. සියලු හමුවීම් දැන් සය දෙනෙකුට සීමා කර තිබේ. වසා දමා තිබී දෙසැම්බර් මස ආරම්භයේ විවෘත කළ සියලු අවන්හල් සහ හෝටල් නැවත වසා දමන ලෙසට රජය ඉල්ලා තිබේ.  රාත්‍රී 11 සිට අලුයම 5 දක්වා රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ. අප මුහුණ පා සිටින අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස මේ වසරේ නත්තල් උත්සවය වෙනත් වසරවලට වඩා සහමුලින්ම වෙනස් වනු ඇතයි. එරට සෞඛ්‍ය අමාත්‍ය ජෑන් බ්ලැට්නේ ප්‍රකාශ කර තිබේ.

• ඉතාලිය - මුළු රටම රතු කලාපයක

ඉතාලිය කොරෝනා වෛරසයෙන් විශාල ලෙස බැට කෑ රාජ්‍යයකි. දෙසැම්බර් 21 සිට ජනවාරි 6 දක්වා නිවාඩු සහ සති අන්තවල සංචරණය සඳහා දැඩි සීමාවන් සහිතව මුළු රටම රතු කලාපයට ඇතුළත් කර තිබේ.
අත්‍යවශ්‍ය නොවන සාප්පු, ආපනශාලා සහ මත්පැන්සල් වසාදමා ඇති අතර, ඉතාලියානුවන්ට රැකියා, සෞඛ්‍ය හා හදිසි හේතූන් මත පමණක් ගමන් කිරීමට අවසර දී ලැබේ. පවුල් වශයෙන් එකරැස් වීම තහනම්ය. දෙසැම්බර් 24 සිට 27 දක්වා සහ දෙසැම්බර් 31 සිට ජනවාරි 3 දක්වා කාලය තුළ රජය විසින් ජාතික අගුලු දැමීමක් ප්‍රකාශයට පත් කිරීමට නියමිත යැයි ඉතාලි පුවත්පත් වාර්තා කර තිබේ. &නත්තල් දිනයේ සිට ජනවාරි 3 හෝ 6 දක්වා කාලය තුළ, දැඩි සීමාවන් පැනවීම වැදගත්* යැයි ඉතාලියේ ප්‍රාදේශීය කටයුතු අමාත්‍ය ෆ්‍රැන්චෙස්කෝ බොකියා පවසා තිබේ.

• තුර්කිය - රාත්‍රියේ වසා දමයි

බහුතර මුස්ලිම් ප්‍රජාවක් සිටින රටක් වන තුර්කියේ නත්තල් උත්සවය සමරනු ලබන්නේ අතලොස්සක් වන පිරිසකි. එහෙත් දෙසැම්බර් 24 දින සිට 2021 ජනවාරි 4 දක්වා රාත්‍රි 9 සිට අලුයම 5 වන තෙක් මුළුරටම අගුලු දැමීමට පියවර ගෙන තිබේ. මෙම තහනම එරට වැසියන්ට පමණක් බලපැවැත්වෙන අතර විදේශීය සංචාරකයන්ට බලපැවැත්වෙන්නේ නැත.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා