මිනිසකුගේ ජීවිතයේ අවසානම අවස්ථාවේ එම මිනිසුන්ගේ කඳුළුවලින් තම සාක්කුව පුරවා ගන්නා නොමැරෙන බව සිතන මුදල් නෝට්ටු මත පමණක් ජීවිතයට ලංසුවක් තබන නොමිනිසුන් පිළිබඳව කථාවක් වසර 30ක අත්දැකීම් ලත් අවමංගල්‍ය ආයතන සේවකයෙක් හෙළි කරයි.
ඔහුගේ කතාවට අනුව මිනිසුන් මළ පසු එම මළමිනිය තුළින් මුදල් නෝට්ටු අසීමිත ලෙස උපයන ආත්මාර්ථකාමී මිනිසුන් මෙම මනුෂ්‍ය සමාජය තුළ ජීවත්වීම පිළිබඳ හෙළි කරන්නේ ජුගුප්සාවෙනි. පරණ පත්තර කැබලි, පිදුරු ඉටි රෙදි, බාල වර්ගයේ ලෑලි සහ කෘත්‍රිම රසායනික යෙදූ ආලේප (ස්ප්‍රේ) යොදාගනිමින් බාල ලීයෙන් තැනූ මිනීපෙට්ටි වර්ණ ගන්වන්නේ බුරුත, තේක්ක, නැදුන්, අගිල් වැනි වටිනා දැවයෙන් සැදූ ආකාරයට පෙනෙන ලෙසටය.
මෙලෙස විවිධ වටිනා දැව වර්ගයේ රසායනික ආලේපන කර (ස්ප්‍රේ) කැටයම් යොදා සකස් කරන මිනීපෙට්ටියක මිල රුපියල් ලක්ෂ 08 සිට ලක්ෂ 12 දක්වා මිලකට ගැනුම්කාර පාර්ශ්වයට අලෙවි කෙරෙයි.
මිනීපෙට්ටි සාදනු ලබන්නේ තේක්ක, බුරුත හෝ අගිල් නැමති දැව යොදාගෙන නොවන අතර පාරිභෝගිකයා ඉතා කූඨ ලෙස රවටමින් අගිල් නැමති දැවයෙන් සැකසූ මිනීපෙට්ටි මළසිරුර යොදා පුළුස්සන විට (ආදාහනය කරන විට) සුවඳක් හමන බවට පවසමින් මෙම මිනීපෙට්ටි වෙළෙඳ ආයතනවල සිටින ඇතැම් කූඨ සේවකයෝ ද පාරිභෝගිකයා රැවටීමට ලක් කරති.
මෙලෙස අගිල් දැවයෙන් සැකසූ මිනීපෙට්ටියක බහා යම් මළසිරුරක් ආදාහනය කරන විට එම මළසිරුර පුළුස්සා එයින් පිටවන දුමාරයේ සුවඳ ආඝ්‍රණය කිරීමට තරම් මානසික තත්ත්වයකින් මියගිය පුද්ගලයාගේ ඥාතීන් නොසිටින බව බොහෝ දෙනා නොදන්නා කරුණකි. බොහෝ විට වැදගත් ධනවත් යහමින් මිල මුදල් තිබෙන පවුල්වල සාමාජිකයෙක් හෝ සාමාජිකාවක් මියගිය විට එම අයගේ අවසන් කටයුතු සිදු කිරීම ප්‍රභූ සේවාව යටතේ බිල් තුනකට ගෙවීම් පත්‍රිකා/ සකස් කර පාරිභෝගිකයාට ලබා දෙන අවමංගල්‍ය භාණ්ඩ සපයන ආයතන එක් බිලක් ප්‍රවාහනයට යැයි සඳහන් කර එයට ලක්ෂ 08ක මුදලක් ද ඉතා වටිනා මිනීපෙට්ටියක් විදේශ රටකින් ආනයනය කළ බව සඳහන් කර ලක්ෂ 15ක බිලක් ද ඉදිරිපත් කර මුදල් ලබාගැනිණි.
චිතකය (මළ සිරුර ආදාහනය කරන කොටස) කොටස් පහකට සැකසීමට එක් චිතකයක් සඳහා රුපියල් ලක්ෂ 06 බැගින් අය කෙරෙයි. මේ අයුරින් ප්‍රභූවරයකු අවමංගල්‍ය කටයුතු සියල්ල නිමා කිරීමට (මෙය අධ්‍යක්ෂවරු යැයි කියාගත් ටයි කෝට් හැඳගත් කිහිප දෙනෙක් අධීක්ෂණය කරති.) ඇතැම් මිනීපෙට්ටි සාප්පු හිමියන් රුපියල් ලක්ෂ 55ක් පමණ මුදලක් අයකරන බව මෙම ජාවාරම පිළිබඳව අපට හෙළි කළ දිගු කලක් එම සේවාවන්හි යෙදුණු අපට තොරතුරු ලබා දුන් පුද්ගලයා ප්‍රකාශ කළේය. මිනීපෙට්ටියට ලක්ෂ ගණනින් මුදල් අයකරන ඇතැම් මිනීපෙට්ටි කඩකරුවෝ ජනතාවට ගල් පැලෙන බොරු කියමින් කෙසේ හෝ තම ආයතනයට මියගිය කාගේ හෝ කටයුතු නිමාකර ගන්නට තැරුව්කරුවන් මගින් ද කටයුතු යොදති.
එක් අවමංගල්‍යයක් (ප්‍රභූ සේවා) සඳහා රුපියල් ලක්ෂ 50ක් පමණ අයකරන ඇතැම් අවමංග්‍ය සේවා සපයන ආයතනවල සේවයේ නියුතු සේවකයන් සඳහා ලැබෙන්නේ ද දිවා - රාත්‍රී සේවය කළත් මාසිකව සියලු දීමනා සහිතව රුපියල් තිස් දහසක (30,000/-) මුදලක් පමණි. මිල අඩුම මිනීපෙට්ටිය ද රුපියල් හැට දහසකි. ඇල්බීසියා ලීයෙන් තනා විදේශීය රටවලින් ගෙන්වූ විශේෂ වර්ණක බව පවසා මෙරට තැනූ දියර වර්ගයක් ස්ප්‍රේ කර එම මිනීපෙට්ටිය ඉතා වටිනා එකක් ලෙසට පාරිභෝගිකයා රවටා අලෙවි කරන්නට ද ඇතැම් මිනීපෙට්ටි සාප්පුකරුවෝ ඉතා සූක්ෂමව කටයුතු කරති.
ඇතැම් මිනීපෙට්ටි සාප්පුකරුවන්ට විවිධ තැරැව්කරුවෝ සිටිති. රෝහල්වල සේවයේ නියුතු ඇතැම් කනිෂ්ඨ සේවකයෝ මෘත ශරීරාගාරවල සේවයේ නියුතු ඇතැම් කම්කරුවන්, තැරැව්කරුවන් ලෙස මිනීපෙට්ටි අලෙවිසල් හා සම්බන්ධතා පවත්වමින් රෝහලේදී මියයන පුද්ගලයන්ගේ මෘතදේහයන් කොමිස් මුදල් යටතේ ඒ ඒ ආයතනවලට බාර දී අත යට ගනුදෙනු ද ලබා ගනිති.
රෝහලේ අවසන් හුස්ම හෙළන මොහොතේම ඇතැම් සේවකයන් විසින් මිනීපෙට්ටි සාප්පුකරුවන් හා සම්බන්ධ වන්නේ මියගිය තැනැත්තාගේ පවුලේ ඥාතින් හා ඉතා සූක්ෂම කුළුපග වෙමිනි. මේ සඳහා ඇණවුම ලැබුණු පසු මිනීපෙට්ටි සාප්පුකරුවන් හරහා එම තැරුව්කරුවන් අතට මුදලක් ලැබෙයි. එම මුදල ද අය කරනු ලබන්නේ මළසිරුර සම්බන්ධයෙන් සියලු කටයුතු භාරගන්නා මිනීපෙට්ටි සාප්පු හිමියන් විසිනි.
බොහෝ විට තම පවුලේ සමීප ඥාතියා මියගිය විට දුකට පත්ව සිටින මියගිය අයගේ ඥාතින් කෙරෙහි අනුකම්පාවක් දක්වමින් ඔවුන් වෙත ළංවෙන තැරැව්කරුවන් හඳුන්වන්නේ මිනී කාක්කන් ලෙසය. මෙම මිනී කාක්කෝ බොහෝ විට මල්ශාලා (මිනීපෙට්ටි සාප්පු හිමිකරුවන්) සමඟ සබඳතා පවත්වති. ඔවුන් නිතර ගැවසෙන්නේ රෝහල් අසලය. එසේ නැත්නම් මළසිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන මෘත ශරීරාගාර අසලය. අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාල අසලය. බොහෝ විට මිනී කාක්කන්ගේ ක්‍රියාකාරකම්වලට ඇතැම් රෝහල් සේවකයන් මෙන්ම කාරුණික වෛද්‍යවරුන් ද කිසිදා සහායක් නොදක්වන බව අපට තොරතුරු හෙළි කළ තැනැත්තා පැවසීය.
රටේ ඉහළම ප්‍රභූවරයකු මියගිය විට එම ප්‍රභූවරයාගේ අවසන් කටයුතු සඳහා ඇතැම්විට රාජ්‍ය ආයතන මැදිහත් වී මුදල් ප්‍රතිපාදන ලබාදෙන විට ඇතැම් රාජ්‍ය ආයතනවල ඇතැම් නිලධාරීන් ප්‍රසිද්ධ අවමංගල්‍ය සේවා සපයන ආයතනවලට ගෙවන මුදල් ප්‍රමාණය බිල් මගින් (ගෙවීම් පත්) දෙගුණ තෙගුණ කර ගෙවීමට කටයුතු යොදා එයින් ද අත යට මුදල් තම සාක්කුවට දමා ගන්නේ අවමංගල්‍ය ආයතනයේ ද අනුදැනුම මතය.
ඇතැම් ප්‍රභූ සේවා අවමංගල කටයුතු නිමාව සඳහා පැකේජ ක්‍රමයක් හඳුන්වා දී ඇත. එම පැකේජ ක්‍රමය යටතේ රුපියල් ලක්ෂ 75ක පමණ මුදලක් අයකිරීමට ද අවමංගල්‍ය සේවා ආයතන කටයුතු කරයි. ඇතැම් ආයතන මාසිකව උපයන මුදල රුපියල් කෝටි ගණනකි. මිනිසුන් මැරෙන විට ඒ දෙස ඇස ගසාගෙන සිටින රෝහල් අවට ගැවසෙන මිනී කාක්කන් ලෙස හඳුන්වන පුද්ගලයන් අසරණ මිනිසුන් ගසාකන්නේ ඉතා කූඨ ලෙස මිනීපෙට්ටි සාප්පුකරුවන් හා සබඳතා පවත්වමිනි.
ඉතාම අඩු ආදායම්ලාභී පවුලක සාමාජිකයකු හෝ සාමාජිකාවක මියගිය විට එම පුද්ගලයාගේ මළසිරුර තැන්පත් කිරීමට මිලදී ගත හැකි මිනීපෙට්ටිය අඩුම මුදල රුපියල් 15,000/-කි. බොහෝ මිනීපෙට්ටි අලෙවි ආයතන විවිධ නම්වලින් පෙනී සිටියි. අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන් ලෙස පෙනී සිටින ඇතැමුන් අධ්‍යක්ෂවරුන් වන්නේ කළු කෝට් එකෙන් පමණකි. ඔවුන් බොහෝ අවමංගල්‍ය සේවා සපයන ආයතනවල ඉතා සුළු වැටුපක් ලබන සේවකයන් පමණි.
පාරිභෝගිකයන් ඉතා අසරණ වූ අවස්ථාවක කූඨ ලෙස ඔවුන් ගසාකන ඇතැම් සුපිරි යැයි කියාගන්නා මිනීපෙට්ටි සාප්පුකරුවන් ඔවුන් යටතේ සේවය කරනු ලබන සේවකයන්ට දෙනු ලබන්නේ ඉතා සොච්චම් පඩියකි.
මෙම සේවාව මිනිසුන්ට නැතිවම බැරි සේවාවකි. එහෙත් කිසිදු නියාමනයක් නැත. ජීවිතේ අවසන් ගමන් යන තම සමීපතම ඥාතියා වෙනුවෙන් කණ කර උගස් තබා දස අතේ ණය වී මුදල් සොයාගන්නා අසරණ මිනිසුන් අන්තිමට මිනීපෙට්ටි කඩකරුවාට ණය නොවී තම සමීපතමයාගේ අවසන් කටයුතු ඔහුට අගෞරවයක් නොවන ලෙසට ඉටු කිරීමට වගබලා ගනිති.
එහෙත් අසරණ මිනිසුන් ගසාකන ඇතැම් මිනීපෙට්ටි සාප්පුකරුවන් හිතක් පපුවක් නැති ලෙසින් මිනිසුන්ගෙන් ලක්ෂ ගණනින් මුදල් හම්බ කරන්නේ ද එම පාරිභෝගිකයා විවිධ රුවටිලිවලින් වෙලා ගනිමින් බව මිනීපෙට්ටි සාප්පුවල සේවාව ලබාගැනීමට පැමිණෙන ජනතාව නොදනිති.
රුපියල් දස දහසෙන් අඩුව මිනීපෙට්ටියක් ලබාගන්නට කිසිදු අවමංගල්‍ය සේවා සපයන ආයතනයකින් නොහැකි බවද අප වෙත තොරතුරු ලබා දුන් තැනැත්තා ප්‍රකාශ කළේය.
(මෙම ලිපිය සැකසීමට තොරතුරු ලබා දුන්නේ අවමංගල්‍ය ආයතන රැසක වසර ගණනාවක් සේවය කර අත්දැකීම් ලද සේවක මහතෙකි. ඔහුගේ ඉල්ලීම මත නම් ගම් හෙළි නොකරමි.)
I ජේ.ඒ.එල්. ජයසිංහ