ලෝකයේ හැමතැනකම කොවිඩ් කලබැගෑනිය තිබේ. උවදුර ගැන බලවත් භීතියක් ඇත. එන්නතක් සොයා ගැනීම සම්බන්ධයෙන් සිදුවන පර් යේෂණ සාර්ථක වී ඇති බවට තොරතුරු පළවෙයි. මිත්‍යාව පසෙක තිබිය දී යථාර්ථය පිබිදෙමින් තිබේ. පරිසරය වනසන, දරුණු තීන්දු ගත් මිනිස්සු විසින්ම පරිසර හිතකාමී පියවරවලට අවතීර්ණ වෙමින් සිටිති. ගෝලීය උණුසුම, කාලගුණ විපත්, වස විස ආහාර සහ එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඉතිහාසයේ නොතිබුණු රෝග පැතිරෙන කාල වකවානුවක මිනිස් ප‍්‍රජාව තමන්ගේ යහපත වෙනුවෙන් අලුතින් හිතන බව පෙනේ. කොවිඩ් වසංගතය ගැන අවධානය තිබිය දී කාබන් විමෝචනය අවම කරන පියවර අනුගමනයට සූදානම්ය. විදුලිය බලයෙන් ධාවනය කරන වාහන එහි එක පියවරකි. පොදු ජනතාවගේ ප‍්‍රවාහනය සේ ගැනෙන බස් රථ විදුලිය බලයට හැරවීම සෑම රටකම බලවත් ප‍්‍රයත්නයක් වී ඇත. වියදම අඩු සහ පරිසර හානියක් නැති බස් රථ ධාවනයට එකතු කරන සැලසුම් නන් දෙසින් වාර්තා වෙයි.
විදුලිය බස් කර්මාන්තයේ දී චීනය ඉදිරියෙන් සිටී. පසුගියදා වාර්තා වූ පරිදි චීනයේ ෂෙන්ෂෙන් හි දිනකට විදුලිය බලයෙන් ධාවනය වන බස් රථ විසි දහසක් තිබේ. ඒ හා සමාන ටැක්සි බලඇණියක් ද නගර පුරා ධාවනය වෙයි. ඉදිරි කාලයේ දී ඉදිකිරීම් කර්මාන්තයේ දී බහුලව භාවිත කෙරෙන බර වාහන විදුලිය බලයට හැරවෙනු ඇත. මෙම සියලු වාහනවලට විදුලිය සැපයෙන්නේ සූර්ය තාප බලයෙනි. හිරු එළියෙන් විදුලිය ජනනය වන බැටරි පද්ධති වාහනවලට සවි කර ඇති අතර සෑම තැනකම ඉතා වේගයෙන් ආරෝපණය කරන ස්ථාන පිහිටුවා ඇත. ෂෙන්ෂෙන් චීනයේ නිරිතදිග ප්‍රදේශයේ පිහිටා ඇති වාණිජ කේන්ද්‍රස්ථානයකි. එහි සාප්පු සවාරිය, කොවිඩ්වලට කලින් කාලවකවානුවේ දී ලෝකයේ ජනප‍්‍රිය අංගයක් වී තිබුණු බව මතක් කළ යුතුය. බස් රථ පමණක් හාර ලක්ෂ විසි දහසක් ඇති එම ප‍්‍රදේශයේ විදුලිය බලයෙන් ධාවනය වන බස් රථ ගණන සුළු ප‍්‍රමාණයක් සේ පෙනෙන නමුත් එම ව්‍යාපාරයම ලෝක ප‍්‍රජාව තුළ දැවැන්ත පියවරක් වී ඇත. ඉන්දියාව, අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍ය, සිංගප්පූරුව, නොර්වේ ඇතුළු ස්කැන්ඩිනේවියානු රටවල් හා යුරෝපා ප‍්‍රජාව තුළ විදුලිය බස් භාවිතය ඇරුඹී තිබේ. එකම විදුලිය බස් රථයක් හෝ නැති පමණක් නොව ධාවනයට එකතු වන දිනයක් ගැන සිහිනයක් හෝ නොපෙනෙන රටවල් සෑහෙන ප‍්‍රමාණයක් තවමත් පවතී. වෙනස් වෙමින් සහ වේගයෙන් පරිවර්තනය වෙමින් පවතින යුගයක විදුලිය වාහන නැතිකමත් බලවත් දුප්පත්කමක් සේ සැලකිය හැකිය.
ජාත්‍යන්තර වාර්තා අනුව වායුගෝලයට කාබන්ඩයොක්සයිඩ් එකතු කරන ප‍්‍රධාන කාරණා අතර බස් රථ හතරවැනි තැන ගනී. පළමු තැන සේ සලකන්නේ අභ්‍යන්තර ගුවන් ගමන්ය. දෙවනුව දීර්ඝ ගුවන්යානා සහ තෙවනුව කාර්වලින් කාබන්ඩයොක්සයිඩ් පිට කෙරේ. හතරවැනි තැනට එන බස් රථවලින් කිසිම වායුවක් විමෝචනය නොවන තැනට පත්කර ගැනීම අභිලාශය වී ඇත. එක බස් රථයකින් එම රථයේ භාවිත කාලය තුළ අමෙරිකානු ඩොලර් ලක්ෂ දෙකක ඉන්ධන භාවිත කරන බව ගණන් බලා ඇත. පිටකරන දුම මහත් විනාශයක් බව සැලකිය යුතුය. මුල් කාලයේ දී සෑම විනාඩි පහකට වතාවක් විදුලි බස් රථය නතර කර චාර්ජ් කරගත යුතු අතර දැන් එය අධික වාහන තදබදයක් ඇති අවස්ථාවක ගමන් කරන බස් රථය තිරිංග තද කරන විට පවා විදුලියක් නිපදවා බැටරිය ආරෝපණය කරන තරමට දියුණු වී තිබේ. තවත් වසර දහයක් දොළහක් ගතවන විට බැටරි තාක්ෂණය දියුණු වුවහොත් ප‍්‍රවාහනය තෙල් භාවිතයක් නැති යුගයකට හැරවෙන බව නිසැකය.
ඉන්දියාව පවා එරට බස්වලින් සියයට දහයක් විදුලියට හරවන වෑයමක සිටී. ඔස්ට්‍රේලියාවේ නාගරික බල ප‍්‍රදේශයේ සියයට පනහක් සහ 2024 වන විට සිඩ්නි නගරයේ බස් හත් දහසක් විදුලියට හැරවෙනු ඇත. නිව් යෝක් හා වොෂින්ටන් නගරවල ද සෝලා විදුලිය බස් දැකිය හැකි දර්ශනයකි. ඇමැස්ටඩෑම් නගරය ඉන්ධන භාවිත කරන වාහන 2030 වසරේ සිට නගරයට ඇතුළු කිරීම තහනම් කිරීමට යයි.
පොසිල ඉන්ධන භාවිතය අත්හරින රටවල් ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් තිබේ. ඉන්ධන දැවීමෙන් සිදුවන පාරිසරික හානිය තක්සේරු කරන අතර හිරු එළියෙන් නිපදවන පිරිසුදු විදුලිය ජනජීවිතයට ආශිර්වාදයක් බව පිළිගෙන ඇත. විශේෂයෙන් පොදු ප‍්‍රවාහනයට භාවිත කරන බස් රථ විදුලියෙන් ධාවනය කරන ඒවා බවට හැරවීම නොයෙක් රටවල බලවත් ප‍්‍රයත්නයකි. වායුගෝලය පිරිසුදු කරන උවමනාවෙන් විදුලිය වාහන හඳුන්වා දෙන රටවල් ජනතාව වෙනුවෙන් විවිධ සහන හඳුන්වා දෙන බව ද පෙන්වා දිය යුතුය. එස්ටෝනියාව එයින් එකකි. එස්ටෝනියාවේ ටලින් නගරයේ ධාවනය කරන පොදු ප‍්‍රවාහන සේවා සම්පූර්ණයෙන්ම ගාස්තුවලින් තොරය. එයින් කොටසක් විදුලියෙන් ධාවනය වෙයි. එස්ටෝනියාව උතුරු යුරෝපීය රටකි. කාලයක් සෝවියට් දේශය යටත් කරගෙන සිටියේය. මිලියන 1.5ක පමණ ජනගහනයක් ජීවත්වන අතර 1991 වසරේ දී ස්වාධීනත්වය ලැබීය. එස්ටෝනියාව ආණ්ඩුකරණය ආරම්භ කළේ රට නිදහස ලබා අවුරුදු හයක් වන විටදීය. අද වන විට පුරවැසියන්ට සිය උවමනා එපාකම්වලින් සියයට අනූ නමයක්ම අන්තර්ජාලය සම්බන්ධ කරගෙන කරගත හැකි තරමට දියුණුය.
ඉන්ධන භාවිතය අත්හැරීම, විදුලිය බලයෙන් ධාවනය වන වාහන සහ බස් ගාස්තු නැති නගර යනාදී වශයෙන් ජගත් ප‍්‍රජාව ප‍්‍රවාහනයේ අලුත් රාමු හඳුන්වා දෙමින් සිටී. මේවායෙන් අත්පත් කරගන්නා අවස්ථා ජනසමාජයේ පැවැත්මට ඉතා යහපත්ය. අලුතින් හිතන්නට අවශ්‍යය. පරිසරයේ සුරක්ෂිතතාව ජන ජීවිතයේ ඉතා ප‍්‍රබල සාධකයක් බවට පත්වෙමින් තිබේ. ශ‍්‍රී ලංකාවට ඉතිහාසයක් ඇත. රාවණා යුගයක් ගැන අප‍්‍රමාණව කතාන්දර තිබේ. දඬුමොණරය ගැන කතා කරන්නේ ආඩම්බරයෙනි. ලෝකයේ අනෙක් රටවල් හිරු එළියෙන් බස් ගමන අරඹන අතරවාරයේ ශ‍්‍රී ලංකාව පසුවන තැන ගැන කල්පනා කිරීම සුදුසුය.
මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.
මිලින්ද මොරගොඩ