කොවිඩ්-19 වසංගතයත් සමඟ වසා දැමුණු පාසල්වල අධ්‍යාපන කටයුතු සුපුරුදු පරිදි කරගෙන යාම සඳහා විදෙස් රටවල්වල මෙන් අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීම් (Online education) ක්‍රමයක් රජය විසින් හඳුන්වා දුනි. මෙය එක වසරේ සිට උසස් පෙළ දක්වා දරුවන් වෙත ලබා දෙන බවට ප්‍රකාශ වූ අතර එය කොයි තරම් දුරට සාර්ථක විසඳුමක්දැයි දක්වමින් බොහෝ දෙනා විවිධ අදහස් පළ කළහ.
නාගරික පාසල්වල ඉගෙනුම ලබන නාගරික ප්‍රදේශවල ජීවත් වන දරුවන් යම් තාක් දුරකට මෙම online ඉගැන්වීම් ක්‍රමයට හැඩගැසුණද, කොළඹින් පිට පළාත්වල පවත්වාගෙන යන දුෂ්කර පාසල්වල ඉගෙනීම ලබන දරුවන්ට එය දුෂ්කර කටයුත්තක් විය. ඔවුන්ට ඒ සඳහා සංඥා පහසුකම් පවා නොතිබිණි.
කෙසේ වුවද මාස ගණනාවක් තිස්සේ පවත්වාගෙන යන මෙම online ඉගැන්වීම් ක්‍රමයට හුරුවුණු දරුවන්ගෙන් දිනකට දරුවන් තිස් දෙනකු පමණ විවිධ දෘෂ්ටි රෝග හේතුවෙන් රෝහල්වලින් ප්‍රතිකාර ලබන බව අක්ෂි ශල්‍ය වෛද්‍ය විශේෂඥ ප්‍රියංග ඉද්දවෙල මහතා පවසා තිබුණේ ඒ අතරය.
පළමු වසරේ සිට උසස් පෙළ දක්වා මෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දරුවන් ද මෙම අන්තර්ජාලය ඔස්සේ පැවැත්වෙන අධ්‍යාපන රටාවට එක්ව සිටියද බොහෝවිට පළමු වසරේ සිට පහ වසර දක්වා දරැවන් වැඩි වශයෙන් online ඉගැන්වීම් රටාවට දිනපතා එක් නොවීම හේතුවෙන් අක්ෂි ප්‍රතිකාර ලබාගැනීම සඳහා එම වයස් සීමාවේ දරුවන් වැඩිපුර නොසිටීමද, පහ වසරේ සිට විශ්වවිද්‍යාලය දක්වා ඉගෙනුම ලබන දරුවන් මෙම රෝගී තත්ත්වය පෙන්නුම් කරන බව වෛද්‍ය විශේෂඥ ප්‍රියංග ඉද්දවෙල මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම වසරේ මාර්තු මස කොවිඩ්-19 ආසාදිතයකු මුල්වරට මෙරටින් වාර්තා වීමත් සමඟ පාසල් පළමු වාර නිවාඩුව ඉතා ඉක්මනින් ලබා දීමට රජය තීරණය කළ අතර පාසල් නැවතත් ආරම්භ වූයේ අගෝස්තු මාසයේදීය. නමුත් කොවිඩ් වසංගතය නැවත හිස එසවීමත් සමඟම නැවතත් ඔක්තෝබර් මස සිට පාසල් වසා තැබිණි. එය 2021 වසරේ නැවත ආරම්භ කිරීමේ දිනය අදටත් තීරණය කොට නැත.
මේ හේතුවෙන් Online ක්‍රමයෙන් ඉගැන්වීම් කටයුතු ආරම්භ කළ ද ගුරුවරයකු ඉදිරියේ අධ්‍යාපනය නොලැබීම හේතුවෙන් මෙම online ක්‍රමය ප්‍රායෝගික නොවන බව බොහෝ දෙනාගේ අදහස විය.
එකම නිවෙසේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන් දෙදෙනකු හෝ තිදෙනකු සිටීමෙන් එකම මොහොතක තම දරුවන්ට online ක්‍රමයෙන් ඉගැන්වීමට අවශ්‍ය මෙවලම් ලබාදීමේ හැකියාවක් නොමැතිව අසරණ වුණු මව්පියෝ ද අප සමාජයේ ඕනෑ තරම් සිටිති.
බොහෝ විට නාගරික නොවන මව්පියන්ට මේ සම්බන්ධව ප්‍රමාණවත් වැටහීමක් ද නැත. පාසල් අධ්‍යාපනයට අමතරව අමතර පන්තිවල ඉගැන්වීම් ද අන්තර්ජාලය ඔස්සේ පැවතුණද අමතර පන්ති සඳහා අයකරන මුදල ටියුෂන් ගුරුවරයාගේ හෝ ගුරුවරියගේ බැංකු ගිණුමට බැර කරන මව්පියෝ දරුවාව අමතර පන්ති online class එකට ද සම්බන්ධ කරලීමට උත්සාහ ගනිති. පසුගිය කාලයේදී මේ ඇතැම් ඉගැන්වීම් ආරම්භ කරන ලද්දේ උදෑසන හයටය. එසේත් නැතිනම් රාත්‍රී අටට පමණය. සාමාන්‍ය පරිදි පාසල් ගොස් අධ්‍යාපනය ලබන කාලයේදී බොහෝවිට දරුවා සිටියේ නිවෙසේය. රාත්‍රී කාලයේදී නම් නින්දට ගොසිණි. නමුත් දිනකට එකදිගට උදෑසන සිට රාත්‍රී කාලය දක්වා මෙම online ඉගැන්වීම් ක්‍රමයට සහභාගි වීම නිසා බොහෝ දරුවන් සිටින්නේ හෙම්බත්වය. නැතිනම් මානසික පසුබෑමකය.
පරිගණකයක් නැති බොහෝ දරුවන් මෙම ඉගැන්වීම් රටාවට එකතු වන්නේ ජංගම දුරකථනය ඔස්සේය. පරිගණක තිරයට වඩා ජංගම දුරකථනයේ තිරය මත සටහන් වන අකුරු ඉතාම කුඩා ඒවාය. අඛණ්ඩව පරිගණක තිරය මත හෝ ජංගම දුරකථන තිරය දෙස බලා සිටීම ඇස්වලට කිසිසේත්ම සුදුසු වන්නේ නැත. එබැවින් වෛද්‍යවරුන් සඳහන් කරන්නේ අඩුම වශයෙන් මිනිත්තු විස්සෙන් විස්සට තත්ත්පර විස්සක හෝ විවේකයක් ගන්නා ලෙසය.
ඉහළ වසරවල දරුවන්ට වඩා බොහෝ විට එක වසරේ සිට හය වසර දක්වා දරුවන් මෙම අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීම් රටාවට දක්වන්නේ මැළිකමකි. මේ නිසා බොහෝවිට එවැනි අවස්ථාවලදී දරුවන් පරිගණක තිරය හෝ ජංගම දුරකථන තිරය ඔස්සේ ඉගැන්වීමට එකතු වන්නේ නැත. ඒ නිසාම ඇතැම් මව්පියෝ දරුවා ළඟම අසුන්ගෙන බල කරමින් දරුවා online ඉගැන්වීමට එක් කරති. නමුත් එය කිසිසේත්ම සාර්ථක වන්නේ නැත. නමුත් බලකිරීම මත, හිතේ කිසිම කැමැත්තක් නොමැතිව online ඉගැන්වීමට දරුවා එකතු වී කල් යත්ම දරුවා යම් රෝග ලක්ෂණයක් පැවසුවද, මව්පියෝ එය විශ්වාස නොකරති.
“දරුවා පාඩමට ඉන්න අකැමැත්තට බොරු කියනවා” යැයි ඇතැම් මව්පියන් තුළ පවතින විශ්වාසය නිසා දරුවාගේ රෝග ලක්ෂණයන් පිළිබඳව වැඩි අවධානයක් යොමු නොකිරීමෙන් පසුකාලීනව දරුවා අක්ෂි රෝග තත්ත්වයට ද පත්විය හැක. බොහෝවිට යම් අක්ෂි රෝගයක් ඇති දරුවන් විශේෂයෙන් මෙලෙස අඛණ්ඩව පරිගණක තිරය හෝ ජංගම දුරකථන තිරය දෙස බලා සිටීමෙන් වැළකිය යුතුය. වෛද්‍යවරුන් පවසන පරිදි කෙටි විවේක කාලයක් ලබාගත යුතුය.
එකදිගට online ඉගැන්වීම් ක්‍රමයට එකතු වීමෙන් වමනය, ඇස් වේදනාව, ක්ලාන්තය, ඇස්වලින් කඳුළු ගැලීම වැනි රෝග ලක්ෂණ වැඩි වශයෙන් දරුවන් තුළින් දැකගත හැකිය. වෛද්‍ය විශේෂඥ ප්‍රියංග ඉද්දවෙල මහතා පවසන්නේ එවැනි රෝග ලක්ෂණ කල් යත්ම තත්ත්වය උත්සන්න වී විවිධ වෛද්‍ය පරීක්ෂණ හා වෛද්‍ය සායනවලට ද දරුවන් ඇතුළත් කරලීමට සිදු වූ බවය.
පරිගණක තිරයට වඩා ජංගම දුරකථනයේ තිරය ඉතා කුඩා වීම නිසා එයින් online ඉගැන්වීම්වලට සම්බන්ධ වන දරුවෝ වැඩි වශයෙන් මේ තත්ත්වයට මුහුණ දෙති. ජංගම දුරකථනයෙන් සම්බන්ධ වීමෙන් වැඩි වශයෙන් ඇස් වෙහෙසට පත් වෙයි. එයින් ඇසේ තෙත ගතිය නැති වී වේළීම වැඩි වේ.
දරුවන්, මව්පියන් මෙන්ම මේ පිළිබඳව ගුරුවරුන් ද දැනුවත් වීම ඉතා වැදගත් වේ. අඛණ්ඩව දරුවන්ට පාඩම් කියා දීමෙන් වැළකිය යුතුය. දරුවා ඉගෙන ගන්නා අතරතුර කාලයේදී සුළු විවේකයක් හෝ ලබා ගැනීමට දරුවාට ඉඩ ලබා දිය යුතු අතර එසේ නොමැතිව අඛණ්ඩව මෙලෙස අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීමෙන් දරුවන්ට ඇස් කණ්ණාඩි පවා නිර්දේශ කිරීමට සිදුවනු ඇත.
දිශානි ජයමාලි කරුණාරත්න