ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල පසුගිය සමයේ සැලකියයුතු ලෙස පහළ ගොස් තිබුණු අතර එම මිල පහළයාමේ වාසිය තමාට ලැබේවි යැයි පාරිභෝගිකයෝ අපේක්ෂාවෙන් සිටියහ. ජාත්‍යන්තරව බොරතෙල් මිල ඉහළ යන සෑමවිටම මෙතෙක් බලයට පත්වූ සෑම රජයක්ම කළේ එය දඩමීමා කරගෙන රටේ ඛනිජ තෙල් මිල ඉහළ නැංවීමය. පසුගිය යහපාලන රජය සමයේ ඛනිජ තෙල් සඳහා මිල සූත්‍රයක් හඳන්වා දී තිබූ අතර සෑම මසකම එම මිල සූත්‍රය අනුව ඛනිජතෙල් මිල වෙනස් කිරීමට සිදුවූ බව අපට මතකය. මෙම මිල සූත්‍රය පිළිබඳවද මතබේද ඇතිවූ අතර රජයට ඛනිජ තෙල් මිල ඉහළ දැමීමට අවශ්‍ය වූ විට වුවමනාවෙන්ම මෙම මිල සූත්‍රයට පාදක කරගන්නා දත්ත වෙනස් කරන බවටද විශ්වාස කරන අය වූහ. මෙලෙස මසින් මස ඛනිජ තෙල් මිල වෙනස් කිරීම නිසා ඒ අනුසාරයෙන් තීරණය වන විවිධ භාණ්ඩ හා සේවාවල මිල නිතර වෙනස් කිරීමට සිදුවීම හේතුවෙන් විශාල ගැටලු නිර්මාණය වී තිබිණ.
ලෝක වෙළෙඳ පොළේ ඛනිජ තෙල් මිල පහළ ගිය පසුගිය සමයේ ජනතාවට එම සහනය ඉල්ලුම් කළද බලධරයන් විවිධ හේතු ඉදිරිපත් කරමින් එය ප්‍රමාද කරන තත්ත්වයක් උද්ගත වී තිබිණ. එහිදී රජය පැවසුවේ ඛනිජ තෙල්වලින් ලැබෙන අතිරික්ත ලාභය වෙනම ගිණුම්ගත කර එම මුදල් ජනතා සහනාධාර වැඩි කිරීම සඳහා යොදන බවය. එහිදී ඔවුන් පැවසුවේ තෙල් මිල අඩුකළහොත් එම වාසිය ධනවතුන්ටත් ලැබෙන නිසා මෙලෙස වෙනම තබාගෙන එය දිළිඳු ජනතාව වෙනුවෙන් වැය කිරීමට කටයුතු කරන බවය. එහෙත් අද වනතුරු එවැනි ගිණුමක් නිර්මාණය කර මුදල් රඳවාගෙන ඇති බවක් අපට දක්නට නැත. මේ පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විමසීමේදී එහි උසස් නිලධාරියකු පැවසුවේ එවැනි ගිණුමක් පවත්වාගෙන නොඑන බවකි. කෙසේ වුවද පසුගිය වසර තුළ පැවැති කොවිඩ් වසංගතය නිසා රජයට විශාල වශයෙන් සෞඛ්‍ය කටයුතු සඳහා මුදල් සම්භාරයක් වැය කරන්නට සිදුවීම නිසා මෙම මුදල් ඒ සඳහා වැයකළ බව රජයේ සමහරු පවසති. කවුරු කෙසේ පැවසුවත් බොරතෙල් මිල අඩුවීමේ වාසිය ජනතාවට මෙතෙක් ලැබී නොමැති බව නම් සත්‍යයකි.
එසේම මිල පහළ ගිය බොරතෙල් වැඩිපුර මිලට ගෙන ගබඩා කර තබාගැනීමට ඛනිජ තෙල් සංස්ථාවට පහසුකම් නොමැති බවටද පසුගියදා කතාබහට ලක්විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට තරග කරන අවස්ථාවේදී ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු වූයේ ත්‍රිකුණාමලයේ ඇති ඉන්දියාව පාවිච්චි කරන තෙල් ටැංකි ආපසු ලබාගන්නා බවය. එහෙත් එම ප්‍රතිඥාව තවමත් ඉටු වී නැති බවද ආණ්ඩුව ඒවා පවරා නොගෙන අලුතින් ටැංකි ඉදිකිරීමට විශාල මුදලක් වැයකිරීමට සූදානම් වන බවට ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති පැමිණිලි කරයි. මෙලෙස බොරතෙල් මිල පහළ ගිය අවස්ථාවේ එම මිලට තෙල් මිලදී ගෙන ගබඩා කර තැබීමට හැකි වූවා නම් එයින් සංස්ථාවට අතිරේක ආදායමක් ලබා ගැනීමට ඉඩ තිබිණි. එහෙත් අවාසනාවට වගකිවයුතු අංශ ඒ පිළිබඳ අවධානයක් යොමුකර නොමැත.
මේ වනවිට යළිත් ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල ඉහළ නගිමින් පවතී. පසුගිය දෙසැම්බර් 22දා වනවිට ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලය ඩොලර් 52.26ක් වූ අතර ඔපෙක් තෙල් බැරලය ඩොලර් 50.78ක් විය. වෙස්ට් ටෙක්සාස් බැරලයක මිල වූයේ ඩොලර් 47.9කි. අපේ රටේ වැඩිපුරම පරිභෝජනය කරනුයේ බ්‍රෙන්ට් හා ඔපෙක් බොරතෙල් වර්ගය. ඒ නිසා එම මිල වැඩිවීම අපට අහිතකර වේ.
මෙලෙස හදිසියේ බොරතෙල් මිල ඉහළ නගින්නට පටන් ගත්තේ ඔපෙක් (OPEC) සංවිධානය තෙල් නිෂ්පාදනය කපා හැරීමට තීරණය කිරීම බව දැනගන්නට ඇත. ඔවුන් බොරතෙල් බැරල් මිලියන පන්ලක්ෂයක් අඩු කිරීමට තීරණය කර තිබේ. ඔවුන් මේ වනවිට එම අඩුකිරීම පටන්ගෙන ඇති අතර එය ක්‍රමයෙන් සිදුවෙමින් පවතින අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් නුදුරේදී බොරතෙල් මිල මෙයට පෙර පැවැති තත්ත්වයට පත්වනු ඇතැයි ජාත්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය සමයේ තෙල් නිෂ්පාදනය කරන රටවල් මිල තීරණය කිරීම පිළිබඳ සම්මුතියකට එළඹීමට නොහැකිවීම නිසා මිල පහළ යාම සිදුවුවද මේ වනවිට එම රටවල් එක මතයකට එළඹ නිෂ්පාදන නිකුත් කිරීම අඩු කිරීමට තීරණය කර ඇති නිසා මෙලෙස මිල ඉහළ යාමට පටන්ගෙන ඇත.
මේ පිළිබඳ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඛනිජ තෙල් සැපයීම් අංශයේ උසස් නිලධාරියකු පැවසුවේ දැනට අප පාවිච්චි කර තිබෙන්නේ ඛනිජ තෙල් මිල අඩු අවස්ථාවේ ලබාගත් බොරතෙල් නිසා ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල සුළු වශයෙන් වැඩිවුවද ඒ අනුව අපේ තෙල් මිල වැඩි නොවන බවය. ලබන වසර පුරාවටම අප ගබඩා කර ඇති තෙල් පාවිච්චිකළ හැකි බව ඔහු පැවසීය. එසේම පසුගිය කාලයේ අපේ තෙල් මිල පහළ නොදැමීම නිසා විශාල ලාභයක් උපයා ගත් අතර, එම ලාභයද උපයෝගී කරගෙන ඛනිජ තෙල් මිල සාධාරණ මට්ටමකට පවත්වාගෙන යාමට උත්සාහ කළයුතු බවද කීවේය. කොරෝනා වසංගතයෙන් බැටකන ජනතාවට එය විශාල සහනයක් බවද ඔහුගේ අදහස විය.
සංස්ථාවට රාජ්‍ය ආයතනවලින් අයවීමට ඇති රුපියල් බිලියන 10කට අධික ණය මුදල අයකර ගන්නේ නම් සංස්ථාවට අලාභ නොවිඳ පවත්වාගෙන යාමට හැකි බවද ඔහු කීවේය. කෙසේ වුවද නව සභාපතිවරයා සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට සැලසුම් සකස් කරමින් සිටින අතර එය ඉදිරියේදී ජනතාවට දැනගත හැකිවන බවද ඔහු කියයි.
ආණ්ඩුව ජනතාවගේ ඇස් වහනවා
මේ පිළිබඳ අදහස් දක්වන සංවිධාන අතර ප්‍රමුඛත්වය ගන්නේ පැරුණිතම වෘත්තීය සමිතියක් වන ලංකා ඛනිජතෙල් සංස්ථා ජාතික සේවක සංගමයයි. එහි සංවිධායක සහ බලශක්ති වෘත්තීය සමිති සංවිධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත පවසන්නේ වර්තමාන රජය පත්වූදා සිටම ඛනිජතෙල් උපයෝගී කරගෙන ජනතාව රුවටීමට කටයුතු කරමින් සිටින බවකි. ඔහු පවසන්නේ වර්තමානයේ තෙල් මිල නියම කර ඇත්තේ බොරතෙල් බැරලය ඩොලර් 68ට පැවැති මිල පදනම් කරගෙන බවය. ඒ නිසා ඉදිරියේදී තෙල් මිල ඉහළ නැංවීමට සදාචාරාත්මක අයිතියක් ආණ්ඩුවට නොමැති බව ඔහු අවධාරණය කරයි.
තෙල් මිල නියම කළේ බැරලය ඩොලර් 68ට තිබියදී. ජනතාව ගෙවන්නෙ ඒ මිලම තමා. යහපාලන රජය අලුත් රජයට බාරදීමේදී තෙල් මිල පැවතුණේ ඩොලර් 41-42 මට්ටමේ. තවම බැරලය ඩොලර් 48ට වත් වැඩිවෙලා නැහැ. 2019 දෙසැම්බර් සිට දිගටම අඩුවුණා. කොරෝනා බෝවීමට ඉස්සර පවා ඩොලර් 52 දක්වා අඩුව තිබුණා.
ඔහු පවසන්නේ මහින්ද අමරවීර ඛනිජ තෙල් ඇමැති ලෙස සිටියදී තෙල් මිල අඩු නොකර ලැබෙන අධික ලාභයෙන් ජනතාවට සහන දෙන බව පැවසූ බවකි. ඒ අනුව ගැසට් එකක් මගින් සැමන් ටින් එක රුපියල් 100ටද මයිසූර් පරිප්පු රුපියල් 127ටද දෙන බවට මිල පාලනය කර කෙටි කාලයක් එම මිල ක්‍රියාත්මක කර ගැසට් පත්‍ර අවලංගු කළ බව ඔහු කියයි. ඊළඟට පැවසුවේ ඛනිජ තෙල් සංස්ථාවේ ණයබර අඩුකරන බව පැවසූ නමුත් එයද සිදුව නැත යන්නය. මේ වනවිටද සංස්ථාව ණයබර පියවා නැති අතර, මහජන බැංකුවට පමණක් සංස්ථාව මසකට රුපියල් බිලියන 1ක් ණය ගෙවන බව ඔහු කියයි.
ඔහු මෙසේද පවසයි.
ජනාධිපතිවරයා පත්වූ වසර 1ක් සැපිරෑ දිනයට ජනතාවට සහන සලසන බවද තෙල් මිල අඩුකරන බවද බලධරයන් ප්‍රකාශ කළා. ඒ දිනවල බන්දුල සහ ගම්මන්පිල යන ඇමැතිවරුන් තදින්ම මේ ගැන අවධාරණය කළා. පසුගිය නොවැම්බර් 16 දින වනවිට ආණ්ඩුව බාරගෙන වසරක් පිරුණා. ජනපති පත්වී අවුරුද්ද අවසන් වනවිට තෙල් මිල අඩුකරාවි යැයි ජනතාව විශාල බලාපොරොත්තු තබාගෙන සිටියා. ඒත් සිදුවූ දෙයක් නැහැ.
සංවිධායකවරයා අවධාරණය කරනුයේ 2007 මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේදී තම සංගමය පැවරු නඩුවකින් පැට්‍රල් ලීටරය රුපියල් 100ට අලෙවිකරන්නට අධිකරණ නියෝගයක් ලැබුණු අතර එය ඉතිහාසයේ මිල අඩු කිරීමක් කිරීමට එවැනි අධිකරණ නියෝගයක් ලැබුණු ප්‍රථම අවස්ථාව බවය. ඉන්ධනවලට රුපියල් 50ක් සෙස් බදු පනවා එම මුදල වෙනම ගිණුමක දමන බව පැවසුවේ යැයි ඔහු කියයි. ඒ සියල්ල වචනවලට පමණක් සීමා වූවා හැර කිසිවක් සිදුව නැත.
තවමත් රාජ්‍ය ආයතන සංස්ථාවට ගෙවීමට ඇති ණය පියවා නැහැ. එයාර් ලංකා ආයතනය බිලියන 10ක්, විදුලිබල මණ්ඩලය බිලියන 50ක් ඉක්මවූ ණය ගෙවීමට තිබෙනවා. ඒ හැර රජය සහනාධාර ලෙස බිලියන 400 ඉක්ම වූ මුදලක් සංස්ථාවට ගෙවිය යුතුය. ඒත් සේවකයන්ට වැටුප් වැඩි කිරීමක් හෝ කළේ නැහැ.
ඔහු පෙන්වා දෙන තවත් වැදගත් කරුණක් වන්නේ පසුගිය දිනවල බස්ගාස්තු ඉහළ දැමීමය. රජය බස් හිමියන්ට මිල අඩුකර ඉන්ධන දුන්නා නම් මේ ලෙසට බස් ගාස්තු වැඩිවෙන්නේ නැහැ. එසේ නොකළ නිසා මගීන්ට අසාධාරණ මිලක් ගමන්වලට ගෙවන්න වෙලා තියෙනවා. ඔහු පෙන්වා දෙයි.
චීන වරායේ තෙල් ටැංකි පිළිබඳ උද්ගතව ඇති අර්බුදය පිළිබඳ ඔහු ඊළඟට පවසන්නේ මෙසේය.
වර්තමාන ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිවම සඳහන් වන්නේ චීන වරාය තෙල් ටැංකි රජයට පවරා ගන්නා බවයි. එම ගිවිසුම අහෝසි කරන බවද ඔවුන් කීවා. යහපාලන රජය කාලයේ කොලොන්නාවේ සහ මුතුරාජවෙල තෙල් ටැංකි හයක් තනන්නට හදන විට වෘත්තීය සමිති උසිගන්වල උද්ඝෝෂණකළා ඒවා නොහදා චීන වරායේ තෙල්ටැංකි ගතයුතු බවට. 2015දී චීන වරායේ ඉන්දියානු තෙල් ටැංකි 99න් 15ක් තෙල් ගබඩා කිරීම ආපසු ගන්න උත්සාහ කළා. එයට එරෙහිව වැඩවර්ජන පවා මෙහෙය වූ අතර සියලුම තෙල්ටැංකි පවරාගන්නා ලෙසට බලපෑම් කළා. චීන වරායේ තෙල් ටැංකි පවරා ගන්නා බවට පොරොන්දු වූ ආණ්ඩුව මීට මාස 3කට උඩදී කොලොන්නාවේ තෙල් ටැංකි හයක් අලුතින් තනන්න ඉන්දියානු සමාගමේ කළමනාකරුගේ සහභාගීත්වයෙන් මුල්ගල් තිබ්බා. එයට වියදම රුපියල් බිලියන 3ක්. ඒ හැර චීන වරායේ ටැංකි පවරා ගැනීමට කිසිදු සාකච්ඡාවක් කර නැහැ. මුලින් පහුගිය ආණ්ඩුව උත්සාහ කළ ටැංකි 15 පවරා ගත්තා නම් එහි තෙල් මෙට්‍රික් ටොන් 12,000ක් ගබඩා කළ හැකියි. අපට ඒ අවස්ථාව අහිමිවුණා.
ඔහු පවසන්නේ දැනට ලෝක වෙළෙඳ පොළ පෙන්වලා ඉන්ධන මිල වැඩි කරන්නට ආණ්ඩුවේ සූදානමක් ඇති අතර තමන් ඇතුළු සංවිධාන එයට ඉඩ නොදෙන බවයි. ජනතාවට මේ ගැන අවබෝධ කරවා ඔවුන් එරෙහිව පෙළගස්වන බවට ඔහු සහතික වෙයි
තෙල් ටැංකි ආපසු පවරාගන්න බෑ
ඛනිජ තෙල් සංස්ථා පොදු සේවක සංගමයේ සභාපති අශෝක රංවල:
&චීන වරායේ ඇති ඉන්දියාව බලහත්කාරයෙන් පාවිච්චි කරන තෙල් ටැංකි පවරා නොගැනීම පිළිබඳ අප සංගමය පැවරෑ නඩුවක් තවම අධිකරණයේ විභාග වෙනවා. ඒ නිසා ඒ පිළිබඳ ප්‍රකාශ කිරීම අපහසුයි. කොහොම වුණත් අලුත් ආණ්ඩුව පිහිටවූ පසු පසුගිය අප්‍රේල්වල අලුතෙන් පත්වූ සභාපතිවරයා චීන වරායේ සංචාරයක නිරතවෙලා මෙම තෙල් ටැංකි රජය පවරා ගන්නා බවට මුහුණු පොතේ ප්‍රකාශයක් කළා. බොහෝ අය සතුටෙන් සිටියා එය ඉටුවෙයි කියලා. එහෙත් මුහුණු පොතේ ප්‍රකාශය ගියාට පසු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලිපියක් එව්වා එයට විරෝධය ප්‍රකාශ කරමින්. ඔවුන් විරෝධය ප්‍රකාශ කළා එය නීති විරෝධී වැඩක් කියලා. එසේම ඔවුන් සංස්ථාවේ සභාපති එයාලගේ භූමියට අනවසරයෙන් ගිය බවටද තර්ජනය කළා. පසුව අමාත්‍යංශයේ තිබුණු රුස්වීමකට මෙම ලිපිය ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳ බලධාරීන්ගේ තියුණු විවේචන එල්ල වුණා. පසුදිනෙක ඉන්දියානු මහ කොමසාරිස්වරයා අමාත්‍ය මහින්ද අමරවීර හමුවී සාකච්ඡා කළ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් අපේ විදේශ ප්‍රතිපත්තියේ වෙනසක් සිදුවූවාද යන්න පිළිබඳ නීතිපති විමසූ අතර එලෙස වෙනසක් සිදුවී නොමැති බවට ලැබුණු පිළිතුර අනුව ඉන්දියානු තෙල් ටැංකි පිළිබඳ මෙයට පෙර ආණ්ඩුව ඉන්දියාව සමග අත්සක් කර තිබූ ගිවිසුම තවමත් බලාත්මක බව සනාථ වුණා. ඒ නිසා කවුරු උත්සාහ කළත් මෙම තෙල් ටැංකි ආපසු පවරාගන්න පුළුවන් වේද යන්න සැක සහිතයි. මෙය ජනතාවගේ ඡන්දය ලබාගැනීම සඳහා දේශපාලන අවියක් වශයෙන් පාවිච්චි කිරීම පමණයි සිදුව ඇත්තේ.
යසවර්ධන රුද්රිගු