2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා

ලංකාවටත් අත වනන බඩගින්නේ රතුඑළිය

 2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 135

වසංගතය කොතරම් බිහිසුණු වුවත් ජීවත් වීමට අවශ්‍ය මූලික පහසුකම් සපයා ගැනීමට මෙරට මෙන්ම ලොව පුරා බහුතර ජනතාව තවදුරටත් සමත් වෙති. එහෙත් පසුගියදාක තරමක බියක් අප තුළ ජනිත කරවන පුවතක් අසන්නට ලැබුණි.  එය කොවිඩ් වසංගතය හමුවේ ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර හිඟයක් පිළිබඳ පුවතකි. මෙය ලෝක ආහාර සංවිධානය නිකුත් කළ අනතුරු ඇඟවීමකි. ඊට අනුව කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට ජනගහනයෙන් සියයට විසි පහක් ඉදිරියේ දී ආහාර හිඟයකට මුහුණ දෙනු ඇතැයි කියැවේ. මෙම පුවත සමඟ ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතාව සහ ඉදිරියේ දී ඇතිවේ යැයි කියන මෙම ආහාර හිඟයට ඇති පිළියම් පිළිබඳව අපි සොයා බැලුවෙමු.

ආහාර හිඟය පිළිබඳ අනතුරු ඇඟවීම සම්බන්ධ තොරතුරු පසුගියදා කැබිනට් මණ්ඩලයට වාරිමාර්ග අමාත්‍යංශය විසින් දැනුම් දෙනු ලැබීය. ඒ සමඟ මෙහි තතු මාධ්‍ය වෙත නිරාවරණය විය. වසංගත තත්ත්වය හමුවේ ලෝක ආහාර සංවිධානය ආහාර හිඟයක් ඇතිවිය හැකි රටවල් පිළිබඳව පසුගිය සමයේ පුරෝකථනයක නිරත වී තිබේ. ශ්‍රී ලංකාව සම්බන්ධ අනතුරු ඇඟවීම ලක් රජය වෙත නිකුත් කිරීමට ඔවුන් පියවර ගත්තේ ද මේ අනුවය. මෙම ආහාර හිඟය ඇතිවිය හැක්කේ මෙරට පාරිභෝජනය කෙරෙන ආහාර ද්‍රව්‍ය ආනයනයට ජාත්‍යන්තරව සිදුවිය හැකි සීමා හරහා බව ලෝක ආහාර සංවිධානය පෙන්වා දී තිබේ. ඒ අනුව රටක් ලෙස වෙනත් විසඳුම් කරා ගමන් කළ යුතු බව ඔවුහු අප වෙත යෝජනා කර සිටිති. ඊට අනුව ලෝක ආහාර සංවිධානය පෙන්වා දී ඇති විසඳුම් කිහිපයකි. එම විසඳුම් පිළිබඳ යම් පමණක අවධානයක් වර්තමාන රජය විසින් පසුගිය කාලය තුළ යොමු කර තිබුණි. 

ආහාර හිඟය වළක්වා ගැනීමට ඉදිරිපත් වී ඇති මෙම යෝජනා අතර ප්‍රමුඛ යෝජනාව වන්නේ මෙරට වගා නොකළ ඉඩම් කඩිනමින් වගා කිරීමය. මෙම යෝජනාවෙන් දැනටමත් මෙරට තුළ ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳ අපි සොයා බැලුවෙමු. මේ වන විටත් ආහාර නිෂ්පාදන ජාතික ව්‍යාපෘතිය සඳහා වගා කළ හැකි ඉඩම් අක්කර 50,000ක් රජය විසින් හඳුනාගෙන තිබේ. එහෙත් මෙරට  ඉඩම් සම්බන්ධව තිබෙන නෛතික රාමුව ඉතා සංකීර්ණය. වගා කිරීම සඳහා ඉඩම් නිදහස් කරදීම වඩාත් ප්‍රායෝගික ක්‍රියාදාමයක් හරහා සිදු කළ යුතු බව මේ වන විට බලධාරීහු අවබෝධ කොටගෙන සිටිති. පසුගිය මැයි මාසයේ දී යෝජනා වී ඇති පරිදි  මාස 6ට බලපාන පරිදි තාවකාලික වගා බලපත්‍රයක් නිකුත් කිරීම සහ එම වගාවන් ඉලක්ක කළ පරිදි සිදු කරන්නේ නම් මාස 6ක් ඉක්ම ගිය පසු සාමාන්‍ය බදු ගිවිසුමක් අදාළ ඉඩම් සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සූදානම් කර තිබේ. ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය මේ සම්බන්ධව කටයුතු කරමින් සිටියි.

ඒ අතර කෘෂිකර්ම හා මහවැලි අමාත්‍යාංශය අදාළ වගාවන් සඳහා ආහාර බෝග වර්ග 17ක් හඳුනාගෙන තිබේ. ඊට අදාළ බීජ වර්ග ද ලබා දීමට රාජ්‍ය ආයතන මැදිහත් කිරීමට ද රජය බලාපොරොත්තු වෙයි. එසේම මේ දක්වා කෘෂි ව්‍යාපෘති සඳහා බදු පදනම මත ලබා දී ඇති ඉඩම්වල ගිවිසුම්ගත පරිදි වගාවන් සිදු නොවීම පිළිබඳ ද බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ. එම ඉඩම් යළි පවරා ගැනීමට ද කටයුතු යොදන බව කියැවේ. කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට අනුව රටේ සමස්ත ශ්‍රම බලකායෙන් සියයට 34කට ආසන්න ප්‍රමාණයක් සිටින ගොවීහු පොහොර හිඟය හේතුවෙන් අසරණ වී සිටිති. ඔවුන් මේ පිළිබඳ පසුගිය සමයේ කිහිප විටක්ම බලධාරීන් වෙත මෙන්ම මාධ්‍ය වෙතද ප්‍රකාශ නිකුත් කර තිබුණි. ඒ අනුව ඉදිරි ආහාර හිඟයක් සඳහා මෙම තත්ත්වයේ බලපෑම විය හැකි බව පෙනී යයි.

කෙසේ නමුත් ලෝක ආහාර සංවිධානය පවසන ආහාර හිඟයට පිළියමක් ලෙස දිවයින පුරා විසිරී ඇති පනස් දහසකට ආසන්න ග්‍රාමීය කුඩා වැව් අලුත්වැඩියා කර නඩත්තු කිරීමට දැනටමත් රජය තීරණය කර තිබේ. පුරාණ තාක්ෂණය සහ නූතන විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව දිවයින පුරා වැව් 5,000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන්නේ පසුගිය සැප්තැම්බර් මාසයේදීය. එසේම ජනාධිපති මැදිහත් වීම යටතේ දිවයින පුරා ඇති පුරන් කුඹුරු අක්කර 120,000ක් ආශ්‍රිතව “ජාතික ආහාර නිෂ්පාදන දායකත්ව වැඩසටහන ක්‍රියාත්මක වේ. වැව් පිළිසකර ව්‍යාපෘතිය කඩිනම් කිරීමට සිවිල් ආරක්ෂක බලකාය සහාය ලබාගෙන තිබේ.

ශ්‍රී ලංකාව වෙත ආහාර හිඟයක් පිළිබඳ අනතුරු ඇඟවීමක් ලැබුණ ද ලෝකයේ වෙනත් රටවලට සාපේක්ෂව ආහාර සුරක්ෂිතතාව අතින් යහපත් තත්ත්වයක අපි සිටිමු. ඊට හේතුව වී ඇත්තේ මෙරට ලක් පොළොව වගාවන් කෙරෙහි දක්වන සාරවත් බව සහ අනාදිමත් කාලයක සිට පැවත එන කෘෂි ආර්ථිකයයි. එහෙත් කොවිඩ් වසංගතය හමුවේ ආනයනික ආහාර ද්‍රව්‍ය සම්බන්ධව ඇතිවිය හැකි හිඟය වන පුරෝකථනය බැහැර කිරීමට නොහැක. එසේම විධිමත් සැලසුමකින් තොරව ආහාර අතින් ස්වයංපෝෂිත වීමට රටක් ලෙස අපට නොහැක.

මේ අතර ‘වසංගත යුගයේ ඔරොත්තු දෙන සහ තිරසාර ආහාර පද්ධති ගොඩනැගීම’ මැයෙන් සංවාදයක් එක්සත් ජාතීන් විසින් නිර්මාණය කර තිබේ. එය ලෝක මට්ටමින් සිදුවන අතර මෙරට තුළ ද යම් පමණකට සිදුවෙමින් ඇත. මෙරට තුළ වසංගත සමයේ ආහාර සැපයුම් ක්‍රියාවලිය තුළ නියුතු පිරිස මුහුණු දෙන අභියෝග මේ ඔස්සේ සංවාදයට ගෙන තිබේ. පසුගියදා මෙරට දී මෙම සංවාදය පැවති අතර ඊට අන්තර්ජාතික කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ අරමුදල (IFAD), ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන (WFP) ආදී ආයතන සම්බන්ධ වී තිබුණි. මෙම සංවාදයේ දී මතු වූ අදහස් කිහිපයක් ද ආහාර හිඟය පිළිබඳ අනතුරු ඇඟවීම පිළිබඳ අවබෝධ පුළුල් කර ගැනීම උදෙසා වටී.

මෙම සංවාදයට රජය පාර්ශ්වයෙන් සම්බන්ධ වූ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුරාධ කුමාරසිරි මහතා පවසා තිබුණේ ආහාර නිෂ්පාදන සැපයුම් පද්ධතියේ ඇතිවන බාධා විසඳීමට අපොහොසත් වීමේ බලපෑම COVID-19 විසින් ඇතිකරන බලපෑමට වඩා භයානක විය හැකි බවය. සමස්ත කෘෂිකාර්මික නිෂ්පාදිතයෙන් 80%කට ආසන්න ප්‍රමාණයක් සඳහා දායකත්වය සපයන්නේ  කුඩා වතු හිමියන් බැවින් දරිද්‍රතාවය අවම කිරීමට මෙන්ම සමාජ සංවර්ධනයට කෘෂිකර්මාන්තයේ දායකත්වය ඉහළ බව ඔහු පෙන්වා දී තිබේ. එම නිසාම 2021 අයවැයේ දී මෙන්ම රජයේ ප්‍රතිපත්ති සැලසුම් සකස් කිරීමේ ද මේ සම්බන්ධව අවධානය යොමු වී ඇති බව ඔහු පවසා තිබුණි.

මෙහිදී එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිං (Hanaa Singer) පෙන්වා දී තිබුණේ දේශගුණික කාලගුණික විපර්යාස සමඟ පොරබදමින් සිටින කුඩා වතු හිමියන් සඳහා සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය. ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) නියෝජිත ආචාර්ය සූබින් සන් (Dr. Xuebing Sun) ද මෙහිදී අදහස් දක්වා තිබුණි. නාගරික ආහාර සුරක්‍ෂිතතාව ඉහළ නැංවීම සඳහා සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයට අතිරේකව නාගරික කෘෂිකර්මාන්තය ජනප්‍රිය කිරීම අත්‍යවශ්‍ය බව ඔහු පැහැදිලි කර තිබේ. 

කොවිඩ් සමඟ එම ආහාර සම්බන්ධ කතිකාවේ දී තවත් සුවිශේෂී සටහනක් අපට හමු විය. එය මහාචාර්‍ය රොහාන් සමරජීව මහතා ඇඩ්වොකාටා නම් වෙබ් අඩවියක පසුගිය සමයේ පළ කළ ලිපියකි. ආහාර සුරක්ෂිතභාවය යනු අපට අවශ්‍ය ආහාර සියල්ල රට තුළම නිපදවා ගැනීම නොවන බව ඔහු එහිදී පෙන්වා දී තිබුණි. ශ්‍රී ලංකාවේ ආහාර සුරක්‍ෂිතතාවයේ තක්සේරුව අනුව 2019 දී රටවල් 113න් 66 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත් වී ඇති බව මෙහිදී සඳහන් විය. ඒ අනුව අප දකුණු ආසියාවේ සම රටවල්වලට වඩා ඉදිරියෙන් සිටිය ද ඉන්දුනීසියාව සහ ගිණිකොනදිග ආසියාවේ පිලිපීනය වැනි සම රටවල්වලට වඩා පසුපසින් සිටී. ඉන්දියාව 72 වැනි ස්ථානයට පත්ව ඇති අතර පාකිස්තානය 78 වැනි ස්ථානයට සහ නේපාලය 79 වැනි ස්ථානයට පත් වී සිටී. මේ ලිපිය ඔස්සේ පෙන්වා දෙන ආකාරයට ශ්‍රී ලංකාවේ තත්ත්වය එතරම් නරක් නොවූව ද මීට වඩා සාර්ථකත්වයක් අපට අත්පත් කර ගත හැකිය.

කෙසේ වෙතත් මෙම සියලු කරුණු සැලකිල්ලට ගැනීමේ දී කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට ජනගහනයෙන් සියයට විසි පහක් ආහාර හිඟයකට මුහුණ දෙනු ඇතැයි ලෝක ආහාර සංවිධානය අනතුරු ඇඟවීම සුළුකොට තැකිය නොහැක. අවදානමට පෙර සූදානම සෑම අතින්ම යහපත්ය. අප සුරක්ෂිත යැයි කියා අධි  තක්සේරුවෙන් සිටීමට මේ කිසිසේත්ම සුදුසු කාලයක් නොවේ. රජයක සූදානම මෙන්ම පුරවැසියන් ලෙස ඔබ අප හැම දෙනාගේ ද සූදානම මේ මොහොත උදෙසා අතිශය වැදගත් වෙයි.

 චමිඳු නිසල් ද සිල්වා