විකෘතිවීම් 23 න් 8 ක්ම මිනිස් සෛල හොඳින් ඩැහැගන්නටයි!
එන්නත් සඳහාත් ප්‍රතිරෝධී වන විකෘතියක්!
කුඩාදරුවන්ටද සරුව අසාදනය විමේ හැකියාවක්!
එංගලන්තයේ සසෙක්ස් ප්‍රාන්තය ඇතුළු ප්‍රදේශ කිහිපයක් තූළ කොවිඩ් 19 පැතිර යාමේ වේගය මේ මාසයේ ආරම්භයේ සිට අට ගුණයකින් ඉහළ ගොස් තිබුණි. රාජ්‍ය රහසක් ලෙස තිබූ මේ කාරණය නිසා ලන්ඩනය ඇතුළු දකුණු සහ නිරිතදිග ප්‍රදේශ ගණනාවක ලක්ෂ 1600ක ජනකායකට නත්තල තහනම් විය. සීමාබාධක දමා තමන්ට නත්තල අහිමි කළාය යන නෝක්කාඩුව අගමැති බොරිස් ජොන්සන්ට එරෙහිව කලින් නැගූ බොහෝ දෙනා දැන් නිහඬව ඔහුට ප්‍රශංසා කරන්නේ වඩාත් වේගයෙන් පැතිරයාමට සමත් කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේදයක් රටේ පළාත් පාලන ප්‍රදේශ 60කට වැඩි සංඛ්‍යාවකින් වාර්තා වී ඇති බව සනාථ වීමත් සමඟිනි. මේ නව වෛරසය 1000කට වැඩි පොකුරක් තනා ඇති අතර මේ වනවිට 04 දෙනකුගේ ජීවිත බිලිගෙන තිබීමද දැඩි භිතියකට හේතුවී තිබේ.
ලැව් ගින්නක් සේ පැතිරගිය හැකි අලුත් මාදිලිය සතු දැඩි ඉහළ සම්ප්‍රේෂණතා ගුණය හේතුවෙන් නුදුරේදීම මහා විනාශකාරී බලපෑමක් සිදුවිය හැකි බවට අනතුරු අඟවා තිබුණේ එංගලන්තයේ නැගී එන සහ නවක ස්වසන වෛරස බලපෑම් පිළිබඳ රාජ්‍ය උපදේශක සභාවේ (Nervtag) මහාචාර්ය ඩේවිඩ් ලිවර්මොර්ය. එංගලන්තයේ 60,000ට ආසන්න පිරිසක් දැනටමත් බිලිගෙන ඇති කොවිඩ් 19 වසංගතයට හේතුවූ SARS - Cov2 කොරොනා වෛරසය විකෘතියට ලක්ව අලුතෙන් තැනී ඇති – B.1.1.7,– ලෙස නම් තබා ඇති මේ කොවිඩ් සුපිරි මාදිලිය (Covid super-strain) දැන් ලෝකයම කැළඹීමට සමත්ව හමාරය.
එංගලන්තයේ ඩවුනිං වීදියේ නොම්බර 10 අගමැති නිල මන්දිරයෙන් එන අලුත්ම වාර්තා අනතුරු අඟවන්නේ මේ වනවිට රටපුරාම මේ නව ප්‍රභේදය පැතිර ගොස් ඇති බවටය. එහි විද්‍යාත්මක කටයුතු පිළිබඳ ප්‍රධාන උපදේශක ශ්‍රීමත් පැට්‍රික් කීවේ නියමාකාර සීමා පනවා ඉක්මනින් පාලන කටයුතු සිදු නොකොළොත් මෙය වෙනත් තැන් කරා පැතිර යාම වැළැක්වීමට අසමත්වනු ඇති බවය. මේ වනවිටත් ලන්ඩන් ඇතුළු රටේ ප්‍රදේශ 20ක් 4 වැනි මට්ටමේ අවදානම් සීමාකරණයට (Tier 4) යටත්කර තිබේ. මේ වනවිට 2 මට්ටමේ (Tier 2) අවදානම් සීමාකරණය යටතේ ඇති සසෙක්ස්, හැම්ෂයර් සහ ඔක්ස්ෆර්ඩ්ෂයර් ප්‍රදේශද 4 වැනි මට්ටමට සීමා බන්ධනය කිරීමට නියමිතය. නව ප්‍රභේදය මුලින්ම වාර්තා වූයේ කෙන්ට් ප්‍රාන්තයෙනි. ඒ සැප්තැම්බර් 20 පමණය. මෙම නව ප්‍රභේදය නොවැම්බරය වනවිට ලන්ඩනයෙන් හමුවන කොරෝනා වෛරස් රෝගීන්ගෙන් 1/4කටම වගකියා ඇති බවද හෙළිවේ. ලන්ඩනයේ වාර්තා වූ ආසාදිතයන් සියයට 60ක් පමණම මේ නව ප්‍රභේදයේ ගොදුරැ වූහ. දෙසැම්බර් මැද භාගය වනවිට එය 2/3 දක්වා වර්ධනය විය.
දැන් යුරෝපය ප්‍රමුඛ වෙනත් රටවල් කිහිපයකින්ද නව ප්‍රභේදය වාර්තා වී ඇත. ස්කොට්ලන්තයෙන් 9ක් වාර්තා වූ අතර තවත් 9ක් ඩෙන්මාර්ක්වලින්ද වාර්තා විය. බෙල්ජියමේ හතරදෙනෙක්ද ඉතාලියේ දෙදෙනෙක්ද, ඕස්ට්‍රේලියාවේ දෙදෙනෙක්ද සහ නෙදර්ලන්තයෙන් එක් අයකුද ලෙස රටවල් 5ක අලුත් ප්‍රභේදයේ ගොදුරු බවට පත්වූ පිරිස වාර්තාගතය. මේ අතර මෙයට සමාන සහ විශේෂ වෙනස්කම් සහිත තවත් අලුත් මාදිලියක් දකුණු අප්‍රිකාවෙන් වාර්තා වී තිබේ. මේ අනුව එංගලන්තයේ මෙන්ම ලෝකයේම නව කොවිඩ් රැල්ලක් මේ සමග ඇරඹෙනු ඇතැයි දැන් සැක පළවී හමාරය.
නව වෛරස් ප්‍රභේදයේ ආක්‍රමනය ගැන වාර්තා එළියට පැමීණිමත් සමඟ රටපුරා මහත් කැළඹීමක් හටගෙන තිබේ. ආහාර තොග ගණනින් මිලදී ගැනීමට පෙළැඹීම නිසා මෙන්ම පිටතින් එන ආහාර ලොරි සහ ගුවන් ප්‍රවාහනය ඇනහිටීමත් නිසා මෙවර උත්සව සමය තුළ බ්‍රිතාන්‍යයන්හට ආහාර අහේනියකට මුහුණදීමට සිදුවෙතැයි සැක පළවී හමාරය. වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය වාර්තා වීමත් සමග රටවල් 30 එංගලන්තය සමග ගුවන් ගමන් අත්හැර දැමුවේය. උත්සව සමයේ සංචරණය සීමා කළේය. මේ නිසා බ්‍රිතාන්‍ය ගුවන් තොටුපළ රැසක 30,000කට අධික පිරිසක් අතරමං වූහ. යුරෝපයේ රටවල් ගණනාවක්ම බ්‍රිතාන්‍යය සම්බන්ධයෙන් මේ වනවිට ගමන් තහනම් (Travel Bans) පනවා ඇත. අයර්ලන්තය, බෙල්ජියම, ප්‍රංශය, ඉතාලිය සහ නෙදර්ලන්තය දැනට ඒ අතර වේ. නෙදර්ලන්තය දැනුම් දී තිබෙන්නේ 2021 ජනවාරි 1 වැනිදා දක්වා අවම වශයෙන් මේ තහනම බලපැවැත්වෙන බවයි. ප්‍රංශය ගුවන් ගමන් පමණක් නොව භාණ්ඩ ප්‍රවාහනයද තාවකාලිකව නවතා දමා ඇත. යූරෝටනලය ද ජල මාර්ගය හරහා සිදුකෙරෙන සියලු ගමන් තාවකාලිකව අත්හිටුවා තිබේ. මේ අතර කැනඩාවද එක්සත් රාජධානියෙන් පැමිණෙන ගුවන් ගමන් අවලංගු කර ඇත.
නත්තල වෙනුවෙන් ලන්ඩනය, කෙන්ට් ඇතුළු ප්‍රධාන නගර ගණනාවකට ගෙන එමින් තිබූ භාණ්ඩ, එංගලන්තයෙ මාවත්වල සිර වී පේළි ගැසී තිබේ. ඩෝවර් වරාය අසල M20 මාර්ගයේ පමණක් ප්‍රංශය ප්‍රමුඛ විදේශයන්හි සිට භාණ්ඩ රැගෙන පැමිණි ට්‍රක් සහ ලොරි රථ 800කට වැඩි ප්‍රමාණයක් නගරයෙන් පිටවීමේ මාර්ග වසා දැමීම නිසා අතරමංව තිබුණි. නත්තල සමරන්නට තමන් එනතුරු සිය දරු පවුල් මඟබලා සිටින බව කියමින් ඒ රථ රියැදුරෝ මැසිවිලි නඟමින් සිටිති. ලොරි රියැදුරන් සියල්ල පරීක්ෂාකර බලා වෛරස ආසාදනය වී නැති පිරිස පමණක් රටින් පිටකරන බව කී අගමැති බොරිස් ජොන්සන් අනතුරු ඇඟවූයේ මෙම නව ප්‍රභේදය පෙර පැවති තත්ත්වයට වඩා 70%ක වේගයෙන් පැතිරෙන බවයි. බ්‍රෙක්සිට් පලහිලව්ව නිසා අවුල්ව ඇති ආර්ථිකයත් රට වසා දැමීමේ අනතුර හමුවේ ආයෝජන අනතුරට ලක්වීම ගැන තැවෙන ව්‍යාපාරික පිරිසගේ සැකසහිත හැසිරීමත් හේතුවෙන් ලන්ඩන් ආර්ථිකයද මේ වනවිට අඩපණව ගොසිනි. කොවිඩ් 19 වෙනුවෙන්ම පවුම් මිලියන 220ක් වැයකර ලහිලහියේ ඇටවූ නයිටිංගේල් රෝහල්ද මේ වනවිට කාර්ය මණ්ඩලය රහිතව අක්‍රීයව ගොසිනි. මේ නිසා හටගෙන ඇති දේශපාලන කුණාටුව හේතුවෙන් අගමැති බොරිස් ජොන්සන්ගේ ආණ්ඩුව පත්ව ඇත්තේද මහත් අලකලංචියකටය.
විකෘතියට ලක්වූ නව වෛරස ප්‍රභේදයේ දැඩි ව්‍යප්තිය හේතුවෙන් රටේ එන්නත් කරන වැඩපිළිවෙළද තර්ජනයට ලක්ව තිබේ. මේ වනවිට අවදානම ඉහළ 50,000කට වැඩි පිරිසකට එන්නත මුල් වඩිය ලබාදී තිබුණද, නව වෛරසය මැඬීමට මේ එන්නත සමත් නොවනු ඇතැයි සෞඛ්‍ය අංශ තුළ සැක පහළ වී තිබේ. මේ අතර ලොව මුල් වරට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලියාපදිංචි කරන ලද රුසියාවේ Sputnik V එන්නත; එංගලන්තය සහ යුරෝපය කළඹමින් පැතිර යන නව කොරෝනා ප්‍රභේදයට ඉතා සාර්ථකව ඔරොත්තු දෙන බව ඒ සඳහා මුදල් යෙදූ රුසියානු Russian Direct Investment Fund සමාගමේ විධායක නිලධාරී Kirill Dmitriev කියා තිබුණි. ඔහු ප්‍රකාශ කර ඇත්තේ කොවිඩ් 19 වෛරසයේ S-ප්‍රෝටීනයේ වන වෙනස්කම්වලට Sputnik V එන්නත සාර්ථකව ප්‍රතිචාර දක්වන බවයි. ඒ අනුව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය අනුබද්ධව එරට AstraZeneca ඖෂධ සමාගම නිපදවූ 62%ක සාර්ථකත්වයක් පෙන්වන එන්නත රුසියාවේ මෙම Sputnik V (සාර්ථකත්වය 96%කි) සමඟ ඒකාබද්ධ කර පර්යේෂණයන් කිරීමට ගිවිසුමක් අත්සන් කර ඇති අතර එම පර්යේෂණයන් මේ වනවිට සිදුකරමින් පවතී.
කොරෝනා වෛරසයේ තිබෙන විශේෂම ලක්ෂණයක් බවට විකෘති ඇති කිරීමට තිබෙන සුලබ හැකියාව කැපී පෙනේ. මේ අනුව චීනයේ වූහාන් නගරයෙන් මීට වසරකට පෙර මෙම වෛරසය ගැන අනාවරණය වූ විටද, ලෝකයේ සතර දෙසින් මතුවූයේ එම වෛරසයේ එකම ආකාරය නොවේ. 2020 පෙබරවාරි මාසයේදී යුරෝපය පුරා එහි විකෘතියක් වූ D614G බහුලව සොයා ගැනිණි. පසුව මුළු ලෝකය පුරාම එය වේගයෙන් ව්‍යාප්ත විය. යුරෝපය පුරා පැතිර ගිය තවත් ප්‍රභේදයක් වූයේ කොරෝනා වෛරසයේ A222V ප්‍රභේදයයි. ස්පාඤ්ඤයේ පැතිර ගියේ මෙයයි.
කඩිනමින් පැතිර යන අලුත් වෛරස මාදිලියේද සිදුව ඇති විකෘති 23ක් පමණ දැනට සොයාගෙන ඇත. විශේෂයෙන්ම වෛරසය මිනිස් සෛල හා සම්බන්ධ කෙරෙන එහි පිටත ඇති ප්‍රෝටීනමය උලේ හැඩය වෙනස් කරන විකෘති 8ක් සිදුව ඇති අතර එම විරෑපතාවයන් හේතුවෙන් වෛරසය වඩාත් දැඩිව මිනිස් සෛලවල ACE2 ප්‍රතිග්‍රාහකය ඩැහැගන්නට සමත් වන බව පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි. එසේ මිනිස් සෛලවල ඇති වෛරසය හා සම්බන්ධවන ACE2 ප්‍රතිග්‍රාහකය හොඳින් අල්ලා ගැනීමට හැකිවන අන්දමට වෛරසය තුළ සිදුව ඇති එක් විරූපතාවයකට හේතුවූ “N501Y” නමැති ජාන සැකසුම පැහැදිලිවම හඳුනාගෙන ඇත. නව වෛරසයේ විකෘතිවීම් සම්බන්ධයෙන් එළිදරව්ව ඇති නවතම සහ වඩාත් භයානක කාරණාව වන්නේ මෙය කුඩා දරුවන්ටද සරුව අසාදනය වීමේ හැකියාව සහිත බවට ලැබී ඇති හෝඩුවාවන්ය.
මේ අන්දමට අසාමාන්‍ය ලෙස දැඩි විකෘතියකට භාජනය වී ඇති මේ නව මාදිලිය ඉතාමත් දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් සහිත රෝගියෙක් හෝ රෝගීන් පිරිසකගේ සිරුරු තුළ සරුවට වැඩී ඒ නිසාම හොඳහැටි විකෘතිවීම්වලට ලක්ව සමාජගත වූ ඒවා යැයි අර්ථදැක්වීමක් දැන් ඉදිරිපත්ව තිබේ. ග්ලාස්ගොව් සරසවියේ මහාචාර්ය ඩෙවිඩ් රොබට්සන් අනතුරු අඟවන්නේ නව මාදිලිය එන්නත් සඳහා ප්‍රතිරෝධී බවද විකෘතියක් ලෙස ඉක්මණින්ම වර්ධනය කරගන්නවා ඇත කියාය. ඒ අනුව මෙය පැතිරයාම කඩිනමින් සීමා නොකළහොත් එන්නත්වලින් පාලනය කළ නොහැකි වඩාත් විනාශකාරී ප්‍රභේද ඉතා මෑතකදීම බිහිවනු ඇත.
සුගත් පී. කුලතුංගආරච්චි