ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය සම්බන්ධව ඉතිහාසයේ සුවිශේෂී තීන්දුවක් පසුගියදා ප්‍රකාශයට පත්විය. එනම් මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයන් 600 කට වැඩි පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදීමට රජය ගත් තීරණයයි. මෙය වූ කලි ඓතිහාසික තීන්දුවකි. විවිධ පාර්ශ්ව මේ හා සම්බන්ධව මතුකරනු ලැබුවේ එකිනෙක වෙනස් වූ මතයන්ය. එනිසාම මෙම තීන්දුවට අදාළ සමස්තය කියවා ගැනීමට අප උත්සුක වීමු.
මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නීතිඥ සුමිත් අලහකෝන් මහතා පසුගියදා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය. එම ප්‍රකාශ රාජ්‍ය සේවය තුළ යම් තැති ගැන්මක් ඇති කිරීමට සමත් විය.
“රජය තීරණයක් අරගෙන තිබෙනවා මෝටර් රථ දෙපාර්තමේන්තුවේ 2020 ජනවාරි පළමුවැනිදාට පෙර සේවයට වාර්තා කරපු සියලුදෙනාම මාරු කරන්න. එතකොට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ, ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ, ශ්‍රී ලංකා ඒකාබද්ධ සේවයේ වගේම දෙපාර්තමේන්තු පැත්තේ සේවාවල නිලධාරීන් මාරු කරන්න තීරණය කරලා තිබෙනවා. දෙපාර්තමේන්තුවේ පහුගිය කාලයේ ඇතිවුණ සිද්ධීන්ට විසඳුමක් විදිහට. මේක ජනතාවගේ පැත්තෙන් අල්ලස් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත ජනාධිපතිතුමා සහ අපේ අමාත්‍යතුමා එකතුවෙලා කරපු සාකච්ඡාවකදී ගනු ලැබූ තීරණයක්. ඒ අනුව සේවකයන් හයසීයකට වැඩි පිරිසකට ස්ථාන මාරු ලබාදෙනවා.”
මෙම ප්‍රකාශ සමග ඇති වූ අන්දෝලනය සුළුපටු නොවූ අතර සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ පැහැදිලි කිරීමක් බොහෝදෙනා අපේක්ෂා කළේය. ඒ අතර දෙසැම්බර් 18 වැනිදා දහවල් වනවිට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සේවකයන් සේවයෙන් ඉවත්වී මෙම තීරණයට විරෝධය පාන්නට වූහ. එවර සිදුවීම පිළිබඳ පැහැදිලි කිරීමට ඉදිරිපත් වූයේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාය. මෙම සිදුවීම පිටුපස වූ අභ්‍යන්තරය කරළියට ඒමට පටන් ගත්තේ එතැන් සිටය.
“අපි පහුගිය අවුරුද්දක කාලයක් මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු පිළිබඳව නිරීක්ෂණය කෙරුවා. බුද්ධි අංශ නිලධාරීන් යොදවලා යම් යම් තොරතුරු ලබා ගත්තා. ඒ අනුව දූෂිත නිලධාරීන් සහ දූෂිත නැති නිලධාරීන් කවුද කියලා හඳුනාගත්තා. බහුතරයක් නිලධාරීන් දූෂිත නිලධාරීන්. ඒ දෙපාර්තමේන්තුව තුළ නොසිටිය යුතු නිලධාරීන් යම් ප්‍රමාණයක් අපි හඳුනාගත්තා. මේ අය විතරක් මාරු කළොත් මේ අයට ගිහින් අලුත් රාජකාරී ස්ථානයේ වැඩකරන්න ප්‍රශ්නයක් වෙනවා. මොකද දූෂිත නිසා ඉවත් කෙරුවා කියන චෝදනාව එනවා. මේ අය ඇතුළුව වාර්ෂික ස්ථාන මාරු ලැබිය යුතු අය සහ ස්ථානමාරු ඉල්ලලා තිබෙන අය ඇතුළත්ව මේ ස්ථාන මාරුවීම් සිදුකරනවා.”
මෙම සමස්ත සිදුවීම එක්තරා සිදුවීම් පෙළක කොටසකි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වූ විගසම මෝටර් රථ දෙපාර්තමේන්තුව නිරීක්ෂණයට ගියේ කිසිවකුට නොදන්වාය. ඉකුත් වසරේ දෙසැම්බර් 26 වැනිදා සිදුවූ මෙම සිදුවීමට අදට වසරක් සම්පූර්ණ වී හමාරය. එදා ජනාධිපති මෙම අය වෙනුවෙන් නියෝග කිහිපයක් නිකුත් කළේය. සේවා සැපයීමේදී කිසිදු අක්‍රමිකතාවක් සිදු නොවිය යුතුයි යන්න ඉන් ප්‍රමුඛතම නියෝගය වූයේය.
සේවය ලබා ගැනීමට රාජ්‍ය ආයතන වෙත පැමිණෙන කිසිවෙකු අපහසුතාවට පත් නොකර කඩිනම් නිවැරුදි සහ ප‍්‍රශස්ත සේවාවක් ලබාදීමට කැපවීම සමස්ත රාජ්‍ය සේවකයන්ගේ වගකීම බව ජනාධිපවරයා එහිදී කියා සිටියේය. මාසයක කාලයක් ඇතුළත, පවතින ගැටලු විසඳා සියල්ල විධිමත් කරන ලෙසද ජනාධිපතිවරයා එදින මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත එහිදී උපදෙස් ලබා දුන්නේය. එතැනින්ද නොනැවතුණු ජනාධිපතිවරයා මෙවන් ආයතනවල අභ්‍යන්තර තොරතුරු සොයා බැලීමට බුද්ධි අංශ වෙතද නියෝග නිකුත් කර තිබුණි.
ජනපති ගමනින් පසුව දෙපාර්තමේන්තුවේ මෙන්ම වේරහැර පරිශ්‍රයේද යම් යම් වෙනස්කම් සිදුවිය. වේරහැර පරිශ්‍රය වෙත නව නිලධාරීහු පත්කරනු ලැබූහ. ජනතාව වෙනුවෙන් සේවය කඩිනමින් කරන්නට සැලසුම් දියත් කරන ලදී. ඔන්ලයින් ක්‍රමය කොවිඩ් සමඟ නව දුරකථන අංක ආදී බොහෝ වැඩසටහන් හරහා යමක් කිරීමට නිලධාරීන් කිහිප දෙනෙක් උත්සුක වී තිබිණි. එහෙත් අභ්‍යන්තරයේ කිඳා බැස තිබූ ඇතැම් වංචනික කටයුතු ඉතා හොර රහසේම ඉදිරියට ගියේය. එනිසාම කොවිඩ් සමඟ නව පරිපාලන නිලධාරීන්ට සිය ඉලක්ක සාධනය කර ගැනීමටද නොහැකි විය. මේ අතර ජනාධිපතිවරයා විටින් විට මෙම දෙපාර්තමේන්තුව පිළිබඳ සොයා බැලූ බවද කියැවේ.
අවසානයේ ජනාධිපතිගේ ගමනින් වසරකට පසුව බුද්ධි අංශ හෙළිකර තිබුණේ වෙනම කතාවකි. මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වංචනික ලෙස ලියාපදිංචි කරන ලද වාහන හත්සීයක පමණ තොරතුරු බුද්ධි අංශ හෙළිකරගෙන තිබුණි. පසුගිය වසර පහ, හයක කාලයේදී පමණක් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ඉහළ සිට පහළට තනතුරු දරන නිලධාරීන්ගේ සහාය ඇතිව ප්‍රාඩෝ, ඩිෆෙන්ඩර් ඇතුළු රථ හැත්තෑවක ප්‍රමාණයක් අනිසි ලෙස ලියාපදිංචි කර එම වාහනවල පොත් මාරුකර ඇතැයිද ඒ අනුව කියැවිණි. ජනාධිපති සහ විෂය භාර අමාත්‍යවරයා අතර සාකච්ඡාවේදී මෙම තීන්දුව සඳහා පදනම නිර්මාණය වී ඇති අයුරු ඒ අනුව මේ වනවිට පැහැදිලිය.
කෙසේ වෙතත් මෙම තීරණය පිළිබඳ වෙනම කෝණයකින් ලැබුණු අර්ථකථනයක් ද වන බව කිවයුතුය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව මහතා හරහා මෙම මතය පළමුව සමාජ ගතවිය. ඔහුට අනුව වංචා දූෂණවලට සම්බන්ධ වූවන් යැයි පවසා මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයන් 600කට හදිසි ස්ථාන මාරැවීම් ලබාදීම පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් පවතියි.
“දැන් මත්කුඩු සම්බන්ධයෙන් විරෝධයක් හදනවා. හැබැයි එම විරෝධය පාවිච්චි කරන්නේ තමන්ගේ දේශපාලන බල වුවමනාවන්ට. බන්ධනාගාරය තුළ මරන්න වුවමනා කෙනෙක් ඉන්නවා නම් ඒක පාවිච්චි කරනවා. තමන්ට හික්මවා ගන්න බැරිනම් හික්මවා ගැනීමට මේක පාවිච්චි කරනවා. ඒ නිසා පළමුව එන්නේ ලේබල් එක. ඊටපස්සේ මරණවා. දැන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට කරන්න යන්නේත් ඒක. දැන් මෙම දෙපාර්තමේන්තුව කොටස් කර විකිණීමේ ව්‍යාපෘතියක තමයි මේ රජය ඉන්නේ.”
හුදෙක්ම දේශපානික යැයි ඇතැමෙක් ප්‍රතික්ෂේප කළද මීට සමගාමීව කියැවෙන කරුණුද සැලකීම වටී. ඊට අනුව රථවාහන අංක තහඩු සහ ලයිසන් නිකුත් කිරීම මේ වනවිටත් පෞද්ගලික අංශයට පවරා තිබේ. ඊ මෝටරින් යන සංකල්ප ඔස්සේ වාහන ලියාපදිංචියත් සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශය ලබාදීමේ සැලසුමක් පවතියි. කෙසේ නමුත් මෙම චෝදනා සම්බන්ධව ප්‍රශ්නය කිරීමට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ බලධාරියකු දුරකථන මාර්ග ඔස්සේ සම්බන්ධව කර ගැනීමට අප කිහිපවිටක් දැරූ උත්සාහය ව්‍යාර්ථ විය.
මේ අතර ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාට අනුව මෙම දෙපාර්තමේන්තුවේ දූෂණ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන අරඹා තිබේ. අක්‍රමිකතා පිළිබඳ අමාත්‍යාංශ මට්ටමින් සිදුකළ විමර්ශනවල වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත භාරදී තිබේ. ඒ අනුව මෙම තීන්දුවට අමතරව දූෂිතයන්ට නීතියෙන්ද ඉදිරියේදී දඬුවම් ලැබෙනු ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
“මේකෙදී ඉතාම පැහැදිලිව නොයෙකුත් ව්‍යාජ ලේඛන ඇත්ත වශයෙන්ම ව්‍යාජ ලේඛන කියන්නත් බෑ පරිගණක පද්ධතියට ඇතුළුවෙලා හරි ලේඛන හදලා තියෙනවා ව්‍යාජ විදියට. නියමිත වාහන නොවන වාහන ඇතුළත් කරලා තියෙනවා. හැබැයි මේවා හොයාගන්න පුළුවන්. මේ වගේ රථවාහන යම් ප්‍රමාණයක් අපි භාරදීලා තිබෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අංක සහිතව. මේ ව්‍යාජ ලියාපදිංචි කරන අය කරන්නේ වාහන අරගෙන හදලා දෙපාර්තමේන්තුවේ සමහර අයත් එක්ක එකතුවෙලා වෙන පාර්ශ්වයකට විකුණනවා. එතකොට අනෙක් පාර්ශ්වය දෙපාර්තමේන්තුව හරහා තමන්ගේ නමට මේක පැවරුනහම හොර වාහනයක් කියලා හිතන්නේ නෑ. බහුතරයක් මේ වාහන දැන් තියෙන්නේ මුල් අයිතිකාරයා ළඟ නොවෙයි. එතකොට මේ වන්දිය ගෙවන්න වෙන්නේ මේ රථය තියෙන අයට.”
මෙම ප්‍රකාශයට අනුව පරීක්ෂණවලදී එම වාහන මිලදීගත් පුද්ගලයන්ගෙන්ද ඉදිරියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු විමසීමට ඉඩ ඇත.
මෙම සිදුවීම් පෙළ අවසානයේ දෙපාර්තමේන්තුවේ ස්ථානමාරු ලැබීමට නියමිත පිරිස පාර්ශ්වයෙන්ද නැගෙන ප්‍රශ්න ගැටලු පිළිබඳ යමක් සඳහන් කළ යුතුය. කිසිවෙක් වරදකරුවා නොකොට පොදුවේ ක්‍රියාත්මක කරන මෙම තීරණය හමුවේ දූෂිතයන් නොවන තමන් සමාජ ගැරහුමකට ලක්වන බව පිරිසක් චෝදනා කරති. ආයතනික ගැටලු විසඳීමේ විධිමත් ක්‍රමවේදය මෙය නොවන බවත් මේ හරහා සිදුවන්නේ ආයතනික බිඳවැටීමක් පමණක් බවත් ඇතැමෙක් පෙන්වා දෙයි. කෙසේ නමුත් මෙම ස්ථානමාරු ක්‍රියාවලිය බලධාරීන් විසින් මේ වනවිටත් තහවුරු කර ඇති අතර ඒ හරහා සිදුවන ගැටලු මඟහරවා ගැනීමට විවිධ උපාය උපක්‍රමය හඳුන්වා දී තිබේ. එනිසාම අප රාජ්‍ය සේවයේ මෙම ඓතිහාසික තීරණය ක්‍රියාත්මක වන ආකාරය පුරවැසියන් ලෙස අවබෝධයෙන් බලා සිටිමු.
චමිඳු නිසල් ද සිල්වා