අතවරයට පත්ව හෝ අනියම් ඇසුරුකම් නිසා ගැබිණියන් වූ තරුණ කතුන්ට ඇවැසි සත්කාර සමඟ රැකවරණය ලබාදී දරු ප්‍රසූතිය තෙක් රුකබලා ගන්නා එම උතුම් සමාජ සත්කාරය වෙනුවෙන් CSC Nation Lanka ආයතනය නොමිලේ පහසුකම් සලසන බවට ෆේස්බුක් හා වෙබ් අඩවිවල පළකරන ලද සංවේදී දැන්වීම් හා වීඩියෝ දර්ශන රැසකි. මේ හරහා විශාල පිරිසකගේ අවධානය දිනාගත් ආයතනයේ හිමිකාර මංජුල ලසන්ත උක්වත්ත නැමැත්තා “නුඹේ තාත්තාට නුඹේ ලේ සුවඳ නොදැනුණාට නුඹේ ලේ කිරි සුවඳ මට හොඳින් දැනෙනවා පුතේ” යැයි සටහන් තබා ඇත.
මේ සටහන සමඟ දැන්වීම් දුටු පිංවත් ජනතාව හැකි අයුරින් ගැබිණි මාතාවන් වෙත දානය පිළිගන්වා තිබුණි. “අම්මාවරුන් වෙනුවෙන් දිනපතා ලැබෙන දානමානවලට අනේක පිං... ආහාර වේල් ලබාදීමට අපේක්ෂා කරන අය පහත දුරකතන අංක වෙත අමතන්න....” යැයිද ආයතන හිමිකරු ආයාචනා කොට තිබුණි.
පෙර සඳහන් කළ ආයතනයේ සුරැකුම් මධ්‍යස්ථාන දෙකක් මොරටුව දහම් මාවත සහ සී.පී. ද සිල්වා මාවත යන තැන්වල පිහිටුවා තිබුණි. එම ගොඩනැගිලි සහිත ස්ථාන දෙකම කුලී පදනම මත ලබාගෙන තිබුණු ඒවාය. මාසයකට පමණ ඉහත දිනයකි. විදේශයක සිට පැමිණි තරුණ ගැබිණියක් මෙම ආයතනයේ රැකවරණය සොයා පැමිණියාය. එහිදී ඇයව නිරෝධායනයට ලක්කළ යුතු බවට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දන්වා තිබිණ. ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් ඇයව පරීක්ෂාවට ලක්කෙරුණද කිසිදු වෛද්‍ය වාර්තාවක් තිබී නැත. මාතෘ සංරක්ෂණය සම්බන්ධයෙන් කිසිදු ලේඛනයක් නොතිබුණු ඇය සම්බන්ධයෙන් වූයේ ගැටලුවකි. එබැවින් භාරකාරයකු සමග යළි පැමිණෙන ලෙස දන්වා ඇත.
මේ අතර එවැනි අසරණ ගැබිණි මාතාවන් රුසක් ඇය නවාතැන්ගත් ස්ථානයේ සිටින බවද පනහක පමණ පිරිසක් එම ස්ථානයට පැමිණෙන බවද කළුබෝවිල හා ලුනාව රෝහල්වල දරු ප්‍රසූතිය සිදුකරන බවද දැනගන්නට ලැබී ඇත. ඒ හරහා එම නිලධාරීන් පරිවාස ළමාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත විස්තර දන්වා තිබුණි. අදාළ විස්තර දැනගත් එම දෙපාර්තමේන්තුව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂිකා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ෂිකා කුමාරි මහත්මිය හමුවේ පැමිණිල්ලක් ගොනුකොට ඇත. සිදුවීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ඇරඹීමට නියෝග කළ ඇය ප්‍රථමයෙන් පරිවාස ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රකාශ සටහන් කිරීමට උපදෙස් දුන්නාය.
අනතුරැව විමර්ශන නිලධාරීන් CSC නේෂන් ලංකා ආයතනය අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචිය ලබා ඇතිදැයි සොයාබලා ඇත. එසේ නොවුණු විට පුණ්‍ය සමාජ සේවා ආයතනයක් වශයෙන් ලියාපදිංචි වී ඇතිදැයි සොයා තිබේ. එසේත් නොවුණු විට තවදුරටත් සොයාබැලීමේදී රාජ්‍ය නොවන සංවිධානයක් වශයෙන් හෝ කාන්තා කටයුතු අමාත්‍යංශයේවත් ලියාපදිංචියක් තිබී නැත. මේ හේතුවෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට විමර්ශන නිලධාරීහු ක්‍රියා කළහ.
ඉන්පසුව අදාළ මධ්‍යස්ථාන වෙත ගිය නිලධාරීන්ට ගැබිණි මාතාවන් දොළොස් දෙනකුත් දරු ප්‍රසූතියෙන් පසුව මංජුල ලසන්ත උක්වත්ත නැමැත්තා විසින් වෙනත් පාර්ශ්වයකට බිළිඳුන් ලබාදුන් බව කී මව්වරු පස්දෙනකු හා දරු ප්‍රසූතිය සඳහා සූදානමින් සිටි මවුවරු දෙදෙනකුද රැඳී සිටිනු දැකගන්නට ලැබිණි. ආයතනයේ පාලිකාවගෙන් විස්තර විමසුවද නියමිත ලිපිලේඛන ගිණුම්වාර්තා කිසිවක් තිබී නැත. ආයතන හිමිකරු හෝ නොසිටි බැවින් ඇයගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබිණ. මේ අවස්ථාව වනවිට අදාළ මධ්‍යස්ථානයේ සිටි ගැබිණි කාන්තාවන් අතර දෙදෙනකු මානසික රෝගී තත්ත්වයකින් පෙළෙමින් සිටින බවද පෙනී ගොසි තිබේ. එම ස්ථානයේ සිටි කිසිදු මවකට භාරකරැවකු හෝ හිතවත් අයකු නොසිටීම කැපී පෙනුණි.
අසරණ රැඳී සිටි ගැබිණි කාන්තාවන්ගෙන් තොරතුරු විමසීමේදී එම කාන්තාවන් දරු ප්‍රසූතිය සඳහා සූදානම් වන අවසන් සතිය හෝ දෙක තුළ පමණක් එම ආයතනයේ රැඳී සිටින බවත් මාස ගණනක් තිස්සේ එතැන නවාතැන්ගත් කිසිවකු හෝ නොමැති බවත් සොයාගැනීමට හැකිවිය. ආයතනයේ හිමිකරු සමග ගිවිසුමක් අත්සන් තබා නවාතැන් ගැනීමට පැමිණි බවද දරුවා ප්‍රසූත කිරීමෙන් පසුව තෙවැනි පාර්ශ්වයක් වෙත දරුවා රැකගැනීම සඳහා බාරදෙන බවට පොරොන්දු වූ බවද එම පාර්ශ්වය තමා නොදන්නා බව තමුන් හා ගනුදෙනුවක් සිදුනොකර බවද එම ගැබිණි මව්වරුන් ප්‍රකාශකර ඇත. මෙසේ කී ගැබිණි කාන්තාවන් ප්‍රේම සම්බන්ධතා හේතුවෙන්, අනියම් සබඳතා හේතුවෙන් හා වැන්දඹුවන්ව සිටියදී හෝ විදෙස්ගතව සිටියදී අතවරයන්ට පත්වූ අය බවද සොයාගත හැකි විය.
අනවශ්‍ය ගැබ්ගැනීමක් නිසා තමාත් දරුවාත් සමාජයෙන් කොන්වනු ඇතැයි සිතා එම අසරණ සිතුවිල්ලෙන් සහනයක් සොයා එම කාන්තාවන් මෙහි පැමිණ ඇත. රහසේ සිදුවන සියල්ල අතර ජාවාරම්කරු ගැබිණියන්ට පවසා තිබුණේ බිළිඳුන් දරුවන් නැති අයට ලබාදෙන බව පමණය. පාලිකාව හරහා තොරතුරු අනාවරණය කරගැනීමෙන් පසුව ආයතනයේ මුදල් හිමිකරුගේ පෞද්ගලික ගිණුමක් වෙත බැරවන බව දැනගන්නට ලැබිණ. මේ අනුව යහපත් අරමුණක් ඉදිරියේ තබා බිළිඳුන් ජාවාරමක් සිදුකරන බව හඳුනා ගැනිණ. ඒ අතරතුර කිසිදු මොහොතක ආයතනයේ හිමිකරු ඉදිරිපත්ව තිබුණේ නැත. නමුත් දරුවන් හදාවඩා ගැනීමට බාරගත් පාර්ශ්ව කිහිපයකින් තොරතුරු සොයාගැනීමට හැකිවී තිබේ. එහිදී එක්දරුවකු වෙනුවෙන් රුපියල් ලක්ෂ එකහමාරක්ද තවත් කෙනකුගෙන් රු.170,000ක් වටිනා ශීතකරණයක් මෙන්ම තවත් අයකුගෙන් අඟල් 50 රූපවාහිනියක් හා අවන් ඇතුළු නවීන ගෘහ උපකරණ ලබාගෙන ඇතැයිද අනාවරණය විය. මේ ආකාරයට ලක්ෂ එකහමාර සිට විවිධ මිල ගණන් වලට බිළිඳුන් විකුණා ඇතැයි හෙළි වී තිබේ.
කාලයක සිට සිදුකරගෙන ගිය ජාවාරම මෙහෙයවූ මංජුල ලසන්ත උක්වත්ත (47) නැමැති සැකකරු විමර්ශන අතරතුර අත්අඩංගුවට ගැනුණේ මාතලේ උකුවෙල ප්‍රදේශයේ සිටියදීය. සැකකරු තරුණ වියේදීම ජාතික තරුණ සේවා සභාව හා එක්ව විවිධ සමාජසේවා කටයුතුවල නිරතව සිටියදී වසර කිහිපයකට පෙර රාජ්‍ය නොවන සංවිධානවල සේවය කර ඇත්තෙකි. පසුකලෙක ලාබ නොලබන සමාගමක් වශයෙන් සමාගම් මැඳුරේ ලියාපදිංචි කර CSC Nation Lanka ආයතනය ආරම්භ කර ඇත. ඒ යටතේ අසරණ ගැබිණි මව්වුරු හඳුනාගෙන දනට පිනට හිතැති අයවලුන්ගේ ආධාර උපකාර මත ආයතනය පවත්වාගෙන ගොස් ඇත. එහෙත් සියල්ල මැද ළමා ජාවාරම සිදුකිරීම ප්‍රධාන කාර්යයයි. ඒ බව සඟවන ආයතනය දස අවුරුදු සැලසුම නමින් සමාජසේවා ක්‍රියා පටිපාටියක් අන්තර්ජාලයෙන්ද ප්‍රසිද්ධ කර ඇත. එම මවාපෑම ඔස්සේ ජාවාරම සිදුකර තිබේ.
කෙසේ වෙතත් මෙවැනි ආයතනයක අවම වශයෙන් ප්‍රථමාධාර වෛද්‍ය පහසුකම් හෝ ගිලන් රථයක් තිබිය යුතුය. එවැනි කිසිවක් නොතිබීම බරපතළ ගැටලුවකි. ලංකාවේ නීතිය අනුව දරුවන් අලෙවි කිරීම තහනම් වේ. දරුවකු ස්ථීර හිමිකාරත්වයෙන් වෙනත් පාර්ශ්වයකට පැවරීමට දිසා අධිකරණය හරහා අවසර හිමිවිය යුතුය. එවැනි කිසිදු නෛතික වටපිටාවක් නොමැතිව සිදුකළ ජාවාරම හරහා අවුරුදු 65ක කාන්තාවකට දරුවකු ලබාදී තිබෙන බව හෙළිව ඇත. දරුවකු එසේ ලබාගන්නා විට දරුවාත් භාරකරුත් අතර අවම වශයෙන් අවුරැදු 21ක පරතරයක් හෝ තිබිය යුතු බව නීතියයි.
විදේශවල බේබි ෆාම් යනුවෙන් හඳුන්වන මෙම ක්‍රමවේදය මෙරට ජාවාරමකි. දණ්ඩ නීති සංග්‍රහයේ 360 වැනි වගන්තිය අනුව මිනිස් ජාවාරම් කිරීම ඉපදීමට පෙර කළලයක් විකිණීමට සැලසුම් කිරීම හා ඊට ආධාර අනුබල දීම යටතේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙරිණ. බිළිඳු දරුවන් 30 දෙනකු මුදලට අලෙවි කළේ යැයි සැකකරුට චෝදනා එල්ල වී තිබේ. සැකකරු දැඩි ඇප කොන්දේසි මත රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇප දෙකක් යටතේ මුදාහැරීමට අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා නියෝග කළේය.
සැකකරුට විදෙස් ගමන් තහනම් කර ආයතනයට ගැබිණියන් රැස් කිරීම තහනම් කර සෑම මසකම මුල් ඉරුදින ළමා හා කාන්තා කාර්යාංශයේ පෙනී සිටින ලෙසද නියෝග කර තිබේ. පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශ මූලස්ථානයේ අධ්‍යක්ෂිකා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා කුමාරි මහත්මියගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
සමන්ත ප්‍රදීප් විල්තෙර