වෙනදා සැනිටයිසර් හෙවත් විෂබීජනාශක දියර, ෆේස් මාස්ක් හෙවත් මුව ආවරණ තිබුණේ ෆාමසිවල පමණි. ඒත් කොවිඩ්-19 වසංගතය හමුවේ සියලු දෙනාටම අත් සේදීමට මුකවාඩම් බැඳීමට සිදුවීම හමුවේ අද සැනිටයිසර්, ෆේස් මාස්ක් පදික වේදිකාවල වෙළෙන්ඳන්, බස් රථවල, දුම්රියවල ජංගම වෙළෙඳුන් පවා විකිණීම දැකගත හැකිය. පසුගියදා පිටකොටුවේ බෝධිය අසලින් ගමන් කරන විට “සැනිටා රු. 100, 200 යි නෝ කොරෝනා, නෝ කොවිඩ්” යනුවෙන් කෑගසන වෙළෙන්ඳෙක් මට දැකගත හැකි විය. ඒ අවට ෆේස් මාස්ක් ජනතාවගේ ඇඟේ ගසන්නට තැත් කරන තවත් වෙළෙඳුන් කිහිප දෙනෙක් ද සිටියහ.
මේ සතිය ආරම්භයේදී ලොව මිලියන 78ක ජනතාවක් කොවිඩ් වසංගතයට ගොදුරු වී තවත් මිලියන 1.72ක් මරණයට පත්ව සිටිති. මේ නිසා කොවිඩ් ආශ්‍රිතව වෙනම උප සංස්කෘතියක් ද පසුගිය මාස කිහිපය තුළ සිදුව ඇත. නත්තල් කාලෙ උදාවීමත් සමඟ ලොව බොහෝ රටවල් නත්තල් සීයාගේ රුව රැගත් මුව ආවරණ නිකුත් කර තිබේ. ඒ විතරක් ද සාප්පුවල මහාමාර්ගවල සිටින නත්තල් සීයාට ද මුව ආවරණ දමාගෙන සිටීමට සිදුව ඇත. කොවිඩ් සම්බන්ධ අලුත් නත්තල් ගීතිකාත් බිහිවුණොත් පුදුම විය යුතු නැත.
පසුගිය මාර්තුවේ සිට ලොවම ලොක්ඩවුන් කර තිබූ කාලේ ඉන්දියාවේ රායිපූර්හි ප්‍රීති සහ විනේ වර්මා යුවලට උපන් නිවුන් දරුවන්ට නම් දුන්නේ කොරෝනා සහ කොවිඩ් වශයෙන් බව ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කළේය. දෙමාපියන් සඳහන් කර ඇත්තේ අවදානම් අවස්ථාව අනුස්මරණය කිරීමට තම දරුවන්ට එලෙස නම් දුන් බවයි. “කොවිඩ්-19 නිසා හැමෝම ඉන්නේ අවදානමක. ඒක අපට ඉදිරියේදිත් මතක් වේවි. ඒක හින්දා මමයි, මහත්තයයි දරුවන් දෙන්නාට කොවිඩ් (පිරිමි දරුවා) සහ කොරෝනා (ගැහැනු දරුවා) කියලා නම් තැබීමට තීරණය කළේ.” ප්‍රීති වර්මා සඳහන් කර සිටියාය.
“ඇත්තටම මේ වයිරසය අපේ ජීවිතයට බියක් ගෙනෙනවා. නමුත් ඒකෙන් මිනිසුන් සනීපාරක්ෂාව දෙසට වැඩිපුර තල්ලු කරනවා. ඒක හොඳ පුරුදු වර්ධනය කිරීමක්. ඇත්තටම රෝහලේ කාර්යමණ්ඩලයත් අපටයි පුතාටයි කතා කරන්නේ කොරෝනා සහ කොවිඩ් කියලයි.” මව පැවසුවාය.
පිස්සු වැඩවලින් කොහොමත් මුල්තැන ගන්නා ඉන්දියාවෙන් තවත් එවැනි නම් තැබීමක් ගැන වාර්තා වේ. ඒ ආන්ද්‍ර ප්‍රදේශයෙනි. එහි කඩප්පා දිස්ත්‍රික්කයේ මව්වරු දෙපළක් කොරෝනා කුමාරි සහ කොවිඩ් මේරි බිහිකර තිබේ. ශෂිකලා නම් කාන්තාව තම දියණියට කොරෝනා කුමාරි යන නමත්, රාමදේවි තම බිළිඳියට කොවිඩ් මේරි යන නමත් ලබා දී ඇත. ආරංචි පවසන්නේ මේ නම් තැබීමට මව්වරුන්ට උල්පන්දම් දී ඇත්තේ රෝහලේ වෛද්‍යවරු බවයි.
පසුගිය කාලයේ රාජස්ථානයේ ත්‍රිපුර පළාතේ යුවළකට පිරිමි දරුවකු ලැබුණි. ඒ ඉන්දියාව අඟුලු දමා තිබූ සමයයි. මේ පුතාට ඔවුන් ලබා දුන්නේ ලොක්ඩවුන් යන නමයි. ඒ ගැන ත්‍රිපුර ජනතාව බොහෝ උද්දාමයෙන් සිටින බව පුවත් වාර්තා සඳහන් කරයි.
තවත් එවැනි උදාහරණයක් උත්තර ප්‍රදේශයෙන් ද අසන්නට ලැබේ. එහි යුවළක් තම අලුත උපන් දරුවා. (සැනිටයිසර්) ලෙස නම් තබා තිබේ. දෙමාපියන්ගෙන් එලෙස නම් තැබීමට හේතුව විමසූ කල පවසා ඇත්තේ ජනතාවට දෑත් පිරිසිදුව තබාගැනීමේ වැදගත්කම දරුවාගේ නම කියන වාරයක් පාසා මතක් වීමට ඒ නම ලබා දුන් බවයි.
බොහෝ විට සිතෙන්නේ මෙවැනි විලම්බීත වැඩ ඉන්දියාවට පමණක් සීමා බවයි. නැත. දැන් ලෝකයම අවුල් වී ඇති කාලයකි. ඒ.එෆ්.පී. පුවත් සේවය වාර්තා කළේ පසුගිය අප්‍රේල් මාසයේ පිලිපීනයේ උපන් දරුවකුට කොවිඩ් මේරි ලෙස නම් තැබූ බවයි. “මට අවශ්‍ය වුණේ කොවිඩ් වසංගතය නිසා අපි කනස්සල්ලෙන් නොසිටිය යුතු බව කීමටයි. ඒක අපට යම් ආකාරයක ආශිර්වාදයක් ද බව පෙන්වීමටයි.” දරුවාගේ පියා පවසා තිබුණි. එරටින් වාර්තා වන තවත් නමක් නම් කොවිඩ් බයිරන්ට්ය. ඒ නම තබා ඇත්තේ පසුගිය ජනවාරියේ මියගිය අමෙරිකානු බාස්කට්බෝල් ක්‍රීඩක කොබේ බයිරන්ට් සිහිපත් වීමටය. කොවිඩ් රෝස් යනු පිලිපීනයේ දරුවකුට තැබූ තවත් නමකි. ඒ දරුවාගේ උප්පැන්න සහතිකය ද පින්තූරයක් ලෙස සමාජ මාධ්‍යවල සංසරණය විය. එලෙස දරුවන්ට තැබීමට සුදුසු නම් ලෙස සමාජ මාධ්‍යවල නම් රැසක් සංසරණය වෙමින් පවතී. පැන්ඩමිකා, ක්වරන්ටිනා, කොවි, එම්පෝරියා, සනී, මයිකොරෝනා, කොව්, කොරා, වයිරස් එවැනි නම් කිහිපයකි.
මිනිසුන්ට පමණක් නොවේ. සුරතල් සතුන්ට ද කොරෝනා උන්මාදය බෝවී අහවරය. අමෙරිකාවේ සුරතල් සතුන් සම්බන්ධ වෙබ්අඩවියක් වාර්තා කළේ 2020 අවුරැද්දේ බල්ලන් සහ බළලුන්ගේ නම් තැබීම් අතර කොවි, රොනා, කොරෝනා වැනි නම් ඉහළින්ම තිබුණු බවයි. සුරතල් සතුන්ගේ වඩාත් ජනප්‍රිය නම් ලැයිස්තුවේ ඉහළින්ම තිබුණේ කොවි අප් ය. එය 1159% ක් ජනප්‍රියව පැවතුණු අතර, රොනා නම 69% ක් ද කොරෝනා නම 24%ක්ද වශයෙන් භාවිත කර තිබුණි.
දැන් වසංගතයේ සාහිත්‍යය පැත්තටත් පොඩ්ඩක් හැරෙමු. මහාමාරිය නම් නවකතාව ලියමින් ඇල්බෙයා කැමු සඳහන් කළේ “එය පිටුවහල් කිරීමක් නම්, එය අපගෙන් බොහෝ දෙනකු තමන්ගේම නිවසකට පිටුවහල් කිරීමකි.” යනුවෙනි. අද ලේඛකයෝ ද නිවසටම පිටුවහල් වී සිටිති. අප රටේ පොත් සාප්පු රාශියක් වසා දමලාය. ඒ මරදාන මාස දෙකක් තිස්සේ ලොක්ඩවුන් නිසාය. මහාමාරිය නම් භයානක වසංගතය ගැන ලියූ තම පියාගේ පොත ගැන ඔහුගේ දියණිය කැතරින් කැමු මෙසේ පවසා තිබුණි. “සමහරවිට අඟුලු දැමීමත් සමඟ අපට සැබෑ දේ ගැන මෙනෙහි කිරීමට කාලයක් ලැබේවි. වැදගත් වනුයේ වඩාත්ම මනුෂ්‍ය වීමයි.”
ටෙනිසන් පෙරේරා ලියූ “කොරෝනා කාලේ අබිරහස් ජීවිත” නවකතාව පිටවූයේ මාස කිහිපයකට පෙරය. එහෙත් කොරෝනා අගුලු දැමීම නිසා ඔහුගේ පාඨකයන් රාශියකට තවමත් ඒ පොත මිලදී ගැනීම පවා අපහසු වී තිබේ. ඒ අතරම මිලින්ද රාජපක්ෂ ලියූ කොරෝනා ඩයරිය ද පසුගිය කාලයේ නිකුත් විය.
කුසුම්සිරි විජයවර්ධන