2020 වසර ගෙවී යන්නට තව ඇත්තේ දින කිහිපයක් පමණි. බලාපොරොත්තු බොහොමයක් හිතේ දරාගෙන මීට මාස දොළහකට පෙර දයාබරත්වයෙන් පිළිගත් 2020 වසර මෙරට පමණක් නොව ලෝකයේ බොහෝ රටවල ජීවත් වන ජනතාවට සුබදායී වසරක් වූයේ නැත.
2020 වසර ලබා මාස තුනක් යන්නටත් පෙර කොවිඩ්-19 වසංගතයේ මුල්ම ආසාදිතයා මෙරටින් වාර්තා වීමත් සමඟ මිනිසා තවත් මිනිසකුට බියෙන් ජීවත් වන තත්ත්වයකට පත්විය. නොදන්නා මිනිසුන් ගැන පමණක් නොව හිතවතුන්, කාර්යාලයේ මිතුරන්, අසල්වැසියන් ගැන පවා බියක් ඇතිකරවන තරමට කොවිඩ් වසංගතය දරුණු විය.
වෙන වසරවලදී මේ දිනවල කාර්යබහුල වන ජනතාව මෙවර වැඩි කාලයක් නිවෙස්වලට කොටු වී සිටියහ. එක්වරම ඇතැම් ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරිනීතිය පැනවෙද්දී එක්වරම ප්‍රදේශයකින් කොවිඩ් ආසාදිතයන් යම් ප්‍රමාණයක් වාර්තා වීමේදී මුළු ප්‍රදේශයේම ජීවත් වන ජනතාව සිටින්නේ මර බියෙනි.
”කලාකරුවන්ට 31 රෑ කියන්නේ හරිම අසිරිමත් රැයක්. ඉතා කාර්යබහුල රාත්‍රියක්. සංගීත කණ්ඩායම්වලට පවා වසර අවසානය කියන්නේ කාර්යබහුල කාලයක්. එකදිගට අපිට ගිය වසරවලදී වැඩ තිබුණා. නමුත් මෙවර ඒ සියල්ල නැවතුණා. මේ කොවිඩ් වසංගතය අපි හැමෝවම අසරණ කළා.” මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා එලෙසින් පැවසීය.
31 රෑ කොළඹ නගරය එකම සැණකෙළියකි. කොළඹ නගරයේ ජීවත් වන, ජනතාව මෙන්ම කොළඹට අවට ප්‍රදේශවල ජීවත් වන ජනතාවත් තම රථවාහනවලින් ගාලු මුවදොරට එක්වන්නේ වසර අවසානය තම හිතමිතුරන් සමඟින් සතුටින් ගත කරන්නටය. 31 රෑ කොළඹ නගරය මඟුල් සක්වලකි. ඇතැම්හු ගීත ගයති. ඇතැම්හු තැන තැන හිඳ සතුටු සාමීචියේ යෙදෙති. කුඩා දරුවෝ දැල්වෙන විදුලි එළියෙන් ගාලු මුවදොර පිටියේ සෙල්ලම් කරති. තවත් සමහරු මත්පැන් වීදුරුවක් අත තබා ගනිමින්, දුම්වැටියක් දල්වා තම මිතුරන් සමඟ වසර අවසානය ගත කරති.
ගාලු මුවදොර පිටිය එකම සැණකෙළියක් වෙද්දී ඒ අවට ඇති සුපිරි හෝටල් සියල්ල ද ජනතාවගෙන් පිරී යයි. මෙම සුපිරි හෝටල් සියල්ලටම කාර්යබහුල කාලයක් ලෙසින් වසර අවසානය හැඳින්විය හැක. නමුත් මෙවර සියල්ල වෙනස් විය. ඇතැම් හෝටල්වලින් ආසාදිතයන් කිහිප දෙනකු වාර්තා වීමත් සමඟ බොහෝ දෙනා එම හෝටල්වල සංචාරය කිරීමට මැළිකමක් දක්වති.
“මෙවර වෙනදා තරම් පිරිසක් හෝටල්වලට එන්නේ නැහැ. නමුත් නත්තල් දිනය ළං වෙද්දී යම් පිරිසක් හෝටලයට ආවා. නමුත් වෙනදා තරම් සතුටත් ඒ මුහුණුවල නැහැ. වෙනදා නම් ඒ හැමෝම නිදහසේ තම සතුට සැමරුවා. දැන් එහෙම නැහැ. අපිට දෙන ටිප් එකෙත් පොඩි වෙනසක් තියෙනවා. අපේ හෝටලේනම් අපි වෙන වසරවලදී වගේ නත්තලත් එක්ක සැමරුවා. හිතේ කනස්සල්ලෙන් ඉන්න මිනිසුන්ට මෙතනට ආවට පස්සේ ඒ හිතේ තියෙන කලබලය නැති කරලා එයාලට උපරිමයෙන්ම සතුටු වෙන්න පුළුවන් වාතාවරණයක් අපේ හෝටලය හදලයි තියෙන්නේ. හැබැයි තාමත් මිනිස්සු ඉන්නේ බයෙන්.” ගාලු මුවදොර පිටියට යාබද සුපිරි හෝටලයක සේවය කරන සේවකයකු පැවසුවේ එලෙසිනි.
නමුත් ඔවුන්ගේ සේවක පිරිසේ ද යම් අඩුවක් පවතින බව ද ඔහු පැවසීය. වෙනදාට කාර්යබහුලම හෝටල් මේ වසරේදී යම් පසුබෑමකට ලක් විය.
ගිය වසරේදී කොළඹ One Galle face වෙත පැමිණි පිරිස ඉතා විශාල විය. 31 රෑ ගාලු මුවදොරට පැමිණි බොහෝ දෙනා ඊට යාබදව පිහිටා ඇති One Galle face සංකීර්ණයට ගොස් තම සතුට උපරිමයෙන්ම භුක්ති විඳගත්තාහ. බොහෝ දෙනා One Galle face වෙත යන්නේ ඉතා සුන්දර ඡායාරූප පෙළක් මතකයට එකතු කර ගැනීමේ අභිලාෂයෙනි.
මෙවර ද විශාල නත්තල් ගස ඉදිවී තිබුණද ගිය වසරට සාපේක්ෂව One Galle face වෙත ආ පිරිසේ යම් අඩුවක් තිබුණි. එමෙන්ම එහි පවත්වාගෙන ගිය සුපිරි අවන්හල් බොහොමයක් මේ වසරේදී විවෘත කර තිබුණේ නැත. කොවිඩ් වසංගතය හේතුවෙන් වසර අවසාන දින ගණන කොළඹ දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරිනීතිය පැනවෙන බවට ඇතැමුන් ගෙන ගිය අසත්‍ය පුවත හේතුවෙන් One Galle face හි අවන්හල් පවත්වාගෙන ගිය සුපිරි අවන්හල් හිමිකරැවෝ අවිනිශ්චිතව පසු වූහ. එනිසාම ඔවුහු අවන්හල පවත්වාගෙන යාමට අවශ්‍ය අමුද්‍රව්‍ය හා ආහාරපාන මිලදී ගැනීමටත්, සැකසීමටත් කටයුතු නොකළහ. මේ වන විටත් එවැනි අවන්හල් කිහිපයක්ම වසා දමා අවසන්ය. නමුත් One Galle face වෙත යම් ජනතාවක් එන බව අපට දැකගත හැකි වුවත් ඔවුන්ගෙන් ඇතැමුන්ගේ මුඛ ආවරණය (face mask) නිසි පරිදි පළඳා තිබුණේ නැත. ඒ අතර මීටරේ දුර තියා මීටර් දෙකේ දුරවත් තිබුණේ නැත. ඡායාරෑප ගැනීමේ උනන්දුවෙන් සිටි ඒ බොහෝ දෙනාට තමන් පිළිපැදිය යුතු මූලික දේවල් පවා අමතක වූ බවක් පෙනිණි.
ගාලු මුවදොර පිටිය මෙන්ම ගල්කිස්ස මුහුදු තීරයේදීද වෙන වසරවලදී විවිධ උත්සව සංවිධානය විය. ඒ අතරේ බොහෝ දෙනා තම හිතවත් මිතුරන් සමඟ ගල්කිස්ස මුහුදු තීරයට පැමිණ විනෝද වූහ. මෙවර ද වසර අවසාන දින කිහිපයේදී වෙනදා තරම් නොවුණත් යම් සැලකිය යුතු පිරිසක් රාත්‍රී කාලයේදී ගල්කිස්ස මුහුදු වෙරළට එක්රුස් වෙති.
කෙසේ වුවත් ඇතැමුන්ට කොවිඩ් වසංගතය පිළිබඳව තවමත් ඇත්තේ සැහැල්ලු මානසිකත්වයකි. තම පෞද්ගලික සතුට, නිදහස ගැන පමණක් හිතන ඔවුහු මේ වසර අවසානයේදී තම නිදහස ගැන සිතා නුවරඑළිය වැනි ප්‍රදේශවලට යාමට උත්සාහ ගනිති. නමුත් එයින් සිදුවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් සංක්‍රමණය වීමත් සමඟ කොවිඩ් වසංගතය වෙනත් පළාත්වලට ද ව්‍යාප්ත වීම පමණි. අවදානම් ප්‍රදේශවල සිට සංචාරය කිරීමෙන් මුළු රටම අවදානමට ලක් කිරීම සුදුසු වන්නේ නැත. මේ නිසාම දීර්ඝ නිවාඩුවක් පවතින මේ සති අන්තයේ මුළු රටේම ඇඳිරිනීතිය පැනවේ යැයි බොහෝ දෙනා විශ්වාස කළහ. මේ නිසාම ඇතැම්හු ඊට පෙර සිටම කොළඹින් බැහැර වන්නට පවා තීරණය කළහ.
කොවිඩ්-19 වසංගතයට අමතරව තවත් වෛරස ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතී. එංගලන්තයේ මෙම වෛරස ප්‍රභේදය වාර්තා වී දින දෙකකට පසුව ඔස්ට්‍රේලියාවෙන් ද මෙම ප්‍රභේදය වාර්තා විය. මේ නිසාම අප රට සුරක්ෂිත යැයි පැවසිය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.
“පවතින තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහාත්, අලුත් ප්‍රභේදය රට තුළට ඒම වළක්වා ගැනීමටත්, එය පැමිණියත් ව්‍යාප්ත වීම වළක්වා ගැනීම සම්බන්ධයෙන් අප අවශ්‍ය පියවර ගත යුතුයි. මේ නිසා ජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් පිළිබඳව තවදුරටත් දැඩි අවධානයක් දැක්විය යුතුයි.” යැයි වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් පැවසීය.
මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන් වතු ආශ්‍රිත ප්‍රදේශවල කොවිඩ් වෛරසය පැතිර යාමේ දැඩි අවදානමක් පවතින බැවින් එළඹෙන උත්සව සමයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයට පැමිණීම සීමා කරන ලෙසත්, ශ්‍රී පාද වන්දනාවේ පැමිණීමෙන් වළකින ලෙසත් නුවරඑළිය දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව සඳහන් කරයි.
කොවිඩ් වසංගතය කෙතරම් අවදානම් වුවද ඇතැම්හු මේ උත්සව සමයේදී, දෙසැම්බර් 31 වැනිදා රෑ කොළඹින් පිට ගත කිරීමට විවිධ පළාත්වලට ගමන් කිරීමට උත්සාහ ගනිති. මේ නිසා බස්නාහිරින් වෙනත් පළාත් සඳහා පිටව යන අයගෙන් අහඹු ලෙසින් ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කරනු ලබන ස්ථාන වැඩි කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර ඇත. මේ හේතුවෙන් කොළඹ සිට ප්‍රධාන මාර්ග දහයකටත් වැඩි ස්ථාන ප්‍රමාණයකින් මෙය ආවරණය වේ. එහිදී කළ පරීක්ෂණයේ ප්‍රතිඵලය ඒ මොහොතේදීම ලබාගත හැකිය.
“ඉදිරියට එන අලුත් අවුරුදු උදාවත් සමඟ දැනට පවතින අවදානම් ප්‍රදේශ සහ බස්නාහිර පළාතේ සංචරණය සීමා කළ යුතු වෙනවා. එසේ නොමැති නම් බස්නාහිර පළාත වගේම අනෙක් ප්‍රදේශවලට මේ රෝගීන් ව්‍යාප්ත වීම සිදුවෙන්න පුළුවන්. ඒ නිසා අපි රජයෙන් සහ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා මේ නත්තල් සහ අලුත් අවුරුදු උදාව ඔවුන්ගේ සීමාව තුළ හිඳ සමරන්න අවස්ථාව දෙන්න. දිස්ත්‍රික්ක මායිම්වලින් පිටතට යාම අත්හිටුවමින් වහාම සංචරණ සීමා පනවන්න කටයුතු කරන්න යැයි අපි ඉල්ලා සිටිනවා. එහෙම නැති වුණොත් අපට මේ අලුත් අවුරුද්ද උදාවෙන් පසුව ඉතාම අවාසනාවන්ත තත්ත්වයන්ට මුහුණ දෙන්න සිදු වේවි.” යැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.
දිශානි ජයමාලි කරුණාරත්න