2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා

ඉන්දියාව පරණ “ජිමික්” වැඩට බසී?

 2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 37


අයවැය 2021 විවාදයේ තුන්වැනි සහ අවසන් ඡන්ද විමසීම පසුගිය 10 වැනිදා බ්‍රහස්පතින්දා පැවැති අවස්ථාවේ දෙමළ ජාතික සන්ධානය (ටී.එන්.ඒ.) ඡන්දය දීමෙන් වැළකී සිටියේය. ඔවුන් සමඟම ඡන්දය දීමෙන් වැළකී සිටි උතුරේ එකම මන්ත්‍රීවරයා වූයේ ටී.එන්.ඒ. දේශපාලන ප්‍රතිවාදියකු වන විශ්‍රාමික විනිසුරු සී.වී. විග්නේෂ්වරන්ය. ටී.එන්.ඒ. සමඟ විරසකව සිටින දෙමළ ජාතිකත්ව මන්ත්‍රීවරුන් වන ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සහ ඔහුගේ සගයකු වන එස්. කජේන්ද්‍රන් අයවැයට විරැද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

තමන් අයවැයට විරුද්ධව ඡන්දය නොදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට හේතු ටී.එන්.ඒ. කිසිදු මන්ත්‍රීවරයකු තමන්ට ඡන්දය දුන් ඡන්දදායකයන්ට පැහැදිලි කළේ නැත. එසේ වුවද ටී.එන්.ඒ. මන්ත්‍රීවරුන් අයවැය විවාදය පැවැති අවස්ථාවේ කොවිඩ් වසංගතයෙන් රටම පීඩා විඳිද්දී සෞඛ්‍යයට වඩා ආරක්ෂක වැය ශීර්ෂයට විශාල මුදලක් වෙන්කර තිබීම ඇතුළු විවිධ අඩුපාඩුකම් ඇති බවට සඳහන් කරමින් අයවැයට එරෙහිව විශාල වශයෙන් කරුණු දක්වා තිබිණි.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට මෙරට දමිළ මාධ්‍යවේදියෙක් උතුරේ ප්‍රාදේශීය දේශපාලනඥයකු සම්බන්ධ කර ගත්තේය. ඔහු ප්‍රකාශ කර තිබුණේ මේ රජයේ උතුරේ සහ නැගෙනහිර “සංවර්ධන” යෝජනාවලට තමන් විරෝධය නොදක්වන බව පෙන්නුම් කිරීමට ටී.එන්.ඒ. ඡන්දය දීමෙන් වැළකී සිටි බවය. එසේ වුවද කලින් පැවැති ආණ්ඩුවේ අයවැයට ටී.එන්.ඒ. කිසිදු කොන්දේසියකින් තොරව සහාය දක්වා තිබිණි. එසේම එම රජය යටතේ පළාත් සභා ඡන්දය කල්දැමීමට ගෙන ආ යෝජනාවටද ඔවුහු නිහඬවම තම සහාය පළ කළහ. එසේ කළද ටී.එන්.ඒ. දිගින් දිගටම පළාත් සභා සඳහා වැඩි වැඩියෙන් ෆෙඩරල් බලතල වෙනුවෙන් විශාල ඉල්ලීම් කරමින් සිටියේය.

කෙසේ වුවද ඊළඟට එම දේශපාලනඥයා ඇත්ත කතාව හෙළි කළේය. ඊට අනුව ඡන්දය දීමෙන් වැළකී සිටිය යුතු බවට වන තීන්දුව නවදිල්ලියේදී කල්තබාම ගනු ලැබ තිබූ අතර එය ටී.එන්.ඒ. නායකත්වයට දැනුම් දී තිබිණි. පසුගියදා ශ්‍රී ලංකාවේ කෙටි සංචාරයක යෙදුණු ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් තම කාර්යබහුල කාලසටහනේ වෙලාවක් ටී.එන්.ඒ. නායක ආර්. සම්පන්දන් මහතා හමුවීමට වෙන්කර ගැනීම පිළිබඳව පුදුම විය යුතු නැත. එම හමුව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් නිල නිවෙස වන “ඉන්දියා හවුස්” හිදී සිදුවිය. මේ අතරම ටී.එන්.ඒ. නායකයන් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර හමුවක්ද නුදුරු දිනයකදී පැවැත්වෙන බවද සඳහන්ය. තමන්ගේ අභිලාෂයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රජය ප්‍රමාණවත් තරම් උනන්දු නොවන විටදී ශ්‍රී ලංකා රජයට ඒ පිළිබඳ පණිවුඩ උතුරේ දෙමළ දේශපාලනඥයන් හරහා දැනුම් දීමේ පරණ පුරුදු පිළිවෙතට ඉන්දියාව යළි අවතීර්ණ වී සිටින බව පෙනෙන්නට තිබේ.

- සන්ඩේ ටයිම්ස්


ඩොලර් මිලියන 480ක එම්.සී.සී. ප්‍රදානය ඉවත්කර ගනී

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (එම්.සී.සී.) මගින් ශ්‍රී ලංකාවට ලබාදීමට යෝජනා කළ ඩොලර් මිලියන 480ක ප්‍රදානය ඉවත්කර ගැනීමට තීරණය කළත් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට අමෙරිකාව දිගටම සහාය ලබාදෙන බව අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

එම්.සී.සී. ගිවිසුමට අනුව ශ්‍රී ලංකාවට සංවර්ධන කටයුතු සඳහා රුපියල් බිලියන 89ක ප්‍රදානයක් හිමිවීමට නියමිත විය. අමෙරිකානු තානාපති කාර්යාලයේ නිවේදනයට අනුව එම ප්‍රදානය එය අවශ්‍ය කරන වෙනත් රටක ආර්ථික වර්ධන ප්‍රමුඛතා සඳහා ලබාදෙනු ඇති බවද එම රටවල දිළිඳුභාවය අඩුකර ආර්ථිකය නැංවීම එමගින් සිදුවනු ඇති බවද එහි සඳහන්ය. අමෙරිකාව ශ්‍රී ලංකාවේ මිතුරකු වශයෙන් දිගටම ක්‍රියාකරන බවද කොවිඩ්-19 සහ ආර්ථික වර්ධන කටයුතුවලදී ශ්‍රී ලංකාවට දිගටම සහාය ලබාදෙන බවද කියයි.

එම්.සී.සී. ප්‍රදානය ලබාදීමේදී රටක නායකත්වය, විනිවිදභාවය සහ වගවීම පිළිබඳව අවධානය යොමු කෙරේ. රටවල් 30කට මේ දක්වා එම ප්‍රදානය ලබාදී ඇති අතර එහි වටිනාකම ඩොලර් බිලියන 13.5කි.


ජනාධිපතිවරණ වියදම අඩුවෙයි

පසුගිය නොවැම්බර් මාසයේදී පැවති ජනාධිපතිවරණය සඳහා වැය වී ඇත්තේ රුපියල් බිලියන 4.5ක් වන අතර එය ඇස්තමේන්තු කර තිබී ඇත්තේ බිලියන 7කට බවත් ජනාධිපතිවරණය පැවැත්වීමේදී නිසි ලෙස සිදුකෙරුණු මුදල් කළමනාකරණය හේතුවෙන් ඇස්තමේන්තුගත මුදල් ප්‍රමාණය මෙතරම් අඩු වීමට හේතුව බවත් මැතිවරණ කොමිසම කියයි.

සාමාජිකයන් පස් දෙනකුගෙන් සමන්විත අලුතින් පත්කරනු ලැබූ මැතිවරණ කොමිසමේ සමාරම්භක රැස්වීම පසුගිය බ්‍රහස්පතින්දා (17) පැවැති අතර මේ කරුණු අනාවරණය කෙරැණේ එහිදීය. නිමල් ජී. පුංචිහේවා මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කොමිසමේ සෙසු සාමාජිකයන් වන්නේ එම්.එම්. මොහොමඩ්, එස්.බී. දිවාරත්න, ජීවන් ත්‍යාගරාජා සහ කේ.පී.පී. පතිරණ මහත්වරුන්ය.

පළාත් පාලන ආයතනවල පවතින මන්ත්‍රී පුරප්පාඩු පුරවන්නැයි මහජන සේවා, පළාත් සභා සහ පළාත්පාලන ඇමැතිවරයා වෙත දැනුම්දීමටද කොමිසම මේ රැස්වීමේදී තීරණයක් ගෙන තිබේ.

- ඩේලි එෆ්.ටී.