2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා

මෙදා කොරෝනාවට වඩා භයානක වූ එදා මැලේරියාව

 2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 54

ශ්‍රී ලංකාව පහසුවෙන් වසංගත රෝග පැතිරෙන රටක් නොවේ. රට දූපතක් වීමත් ඉතා හොඳ සෞඛ්‍ය සේවාවක් (දකුණු ආසියාවේ සෙසු රටවලට සාපේක්ෂව) පවතින රටක් ලෙස සංවිධානය වීමත් නිසා අප රට තුළ කාලයක් තිස්සේ බෝවන රෝග බිය තුරන්ව තිබිණි. ශ්‍රී ලංකාව සංචාරක පාරදීසයක් වූයෙන් සොබා සෞන්දර්යය මෙන්ම සෙසු බාහිර සාධක ද ප්‍රශස්ත මට්ටමින් පැවතීම නිසාය. සුදු අධිරාජ්‍යවාදීන්ගේ කාලයේ සිට මෙම තත්ත්වය එසේම පැවතුණි.

එහෙත් වර්තමානයේ පැතිර යන කොරෝනා අනතුර මෙන්ම අතීත කාලයේදීත් අපට විටින්විට වසංගත රෝග අත්දැකීම් ලැබිණි. කොළරාව, වසූරිය වැනි වසංගත ව්‍යාප්ත වීම නිසා මෙරට සෑහෙන ජන පිරිසක් මරුමුවට පත්වූහ. ඒ බ්‍රිතාන්‍ය පාලන කාලයේය. එහෙත් වඩාත් ආන්දෝලනයට ලක්වූ වසංගතය 1930 දශකයෙන් ආරම්භ වූ වසර හත අටක් යනතුරු හමාර නොවූ මැලේරියා වසංගතයයි. එයින් ලංකාවාසීන් එක්ලක්ෂ විසිපන් දහසක් පමණ මරුමුවට පත්වූ බව අතීත වාර්තා පෙන්වා දෙයි.
මෙරට මැලේරියා වසංගතය පැතිර ගියේ ලොව පුරාම ආර්ථික අවපාතයක් හටගෙන තිබූ දෙවැනි ලෝක යුද්ධය ආසන්න කාලයේය. එය මෙරට බ්‍රිතාන්‍ය පාලකයන්ට ද පාලනය කරගත නොහැකිව තිබියදී හදිසියේම හටගත් මැලේරියා වසංගතය නිසා දැඩි ලෙස පීඩාවට පත්වූයේ කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් තුන්කෝරළේ ජනතාවය. තුන්කෝරළේ ජනතාව මැලේරියා උණ නිසා ආහාරපාන හා ඖෂධ පවා නොමැතිව පීඩා විඳිද්දී දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ, ඇන්.ඇම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන ආදී වාමාංශික නායකයන් ජනතාවට වෛද්‍ය ආධාර හා ආහාරපාන සැපයීමට ඉදිරිපත් වීම ඔවුන්ගේ දේශපාලන ගමනේ ආරම්භය ද සටහන් කළේය.

වාමාංශික නායකයන් තම තමන්ගේ ගම්දනව්වලට පැමිණ දුගී දුප්පත් ජනතාවට ආධාර උපකාර කිරීම හේතුවෙන් මුදලි මුහන්දිරම්වරුන්ගේ තර්ජන ද මේ පිරිසට එල්ල විය. එක්තරා මුදලිවරයකු මේ දිනවල තම මැඳුරේ සංවිධානය කළ සාදයකට ගිය වියදමින් තුන්කෝරළයේ ජනතාවට සතියක් ආහාරපාන සැපයිය හැකිව තිබූ බව ඇන්.ඇම්ලා පසුව කියා තිබිණි. ගිරිහෙල් කඳු තරණය කරමින් තුන්කෝරළේ විපතට පත් ජනතාව සොයා ගිය වාමාංශික නායකයෝ ඔවුන්ට බෙහෙත් මෙන්ම හෝර්ලික්ස්, හාල්, පරිප්පු, කිරිපිටි වර්ග, මාමයිට්, සැමන්, සීනි, තේකොළ ආදිය බෙදා දුන්හ. තුන්කෝරළය පුරා අධික කුල භේදයක් තිබිණි. කුලහීන යැයි ප්‍රභූන් විසින් කොන් කළ ජනතාව ඇන්.ඇම්ලාගේ සමාජ සාධාරණය ඉහළින් පිළිගත්හ.

ඇතැම් නිවෙසක ආහාරපාන නැතිව සිටි ජනතාවට ඇන්.ඇම්ලා ගෙන ගිය ආහාරපාන උයා දී කැඳ පිස දී උවටැන් කළ ආකාරය පසුව ලේඛනගත වි තිබිණි. මේ සත්කාර කරන්නට ගිය දොස්තර වික්‍රමසිංහ ඇන්.ඇම්. ඇතුළු පිරිසට සමහර දිනවල දහවල් කාලයේ කිසිම ආහාරපානයක්වත් ලැබී නොතිබිණි. එහි රදලවරු, වතු අධිකාරීවරු මොවුන්ගේ සේවාවන් සමච්චලයට ලක් කළහ. එකල තුන්කෝරළයේ එක්තරා බේකරියක් පවත්වාගෙන ගිය සිංහල ව්‍යාපාරිකයකු පමණක් ඇන්.ඇම්ලාට උදව් වූ බව සඳහන් වෙයි.

උඩුකය වැසෙන්නට ඇඳුම් ඇඳීම් පවා එකල කුලහීන ජනතාවට තහනම් කර තිබිණි. එහෙත් මැලේරියාවට බෙහෙත් සහ ආහාර රැගෙන පැමිණි ඇන්.ඇම්. දොස්තර වික්‍රමසිංහ ඇතුළු පිරිස ජනතාව සුවපත් කරන අතරතුර ඔවුන්ට තම අයිතිවාසිකම් හා යුතුකම් ගැන ද පහදා දුන්හ. මෙකල තුන්කෝරළයේ, විශේෂයෙන්ම රුවන්වැල්ල, යටියන්තොට ආදී ප්‍රදේශවල ජනතාව යැපුණේ රබර් කර්මාන්තය ආශ්‍රිත රුකියා වලිනි. වතුහිමියෝ කොළඹ ජීවත් වූහ. සේවකයන්ට ලැබුණේ ඉතාම සොච්චම් පඩියකි. ලෝක ආර්ථික අවපාතය නිසා මැලේරියා වසංගතය තදින්ම පැවති 1933 – 34 – 35 වර්ෂවල වතු වගාවෙන් ලද ආදායම සීමාවීම නිසා බ්‍රිතාන්‍ය පාලකයන්ට ද ජනතාවට සහන සැලසීමට තිබූ ඉඩකඩ ඇහිරිණි. ප්‍රාදේශීය පාලකයන් වූ ගම්මුලාදෑනින්, මුදලිවරුන් හා රටේ මහත්වරුන් මධ්‍යම රජයට ඒ සඳහා අවශ්‍ය නිර්දේශ ලබා නොදුන් බවද සඳහන් වෙයි.

ගම්මුලාදෑනි සහ මුදලිවරුන්ගේ පාලනය වෙනුවට පසු කාලයේ (1960) දශකයේ හඳුන්වා දුන් ග්‍රාමසේවක ක්‍රමය රටට අවශ්‍ය බවට ඇන්.ඇම්ලාගේ සිතේ මූලික අදහස ඇතිවූයේ මැලේරියා යුගයේදී බව කියැවේ.

ඇන්.ඇම්. පෙරේරා ඇතුළු පිරිස මහජන සේවාව තුළින් කොතරම් ජනතාවට සමීප වූවාද කිවහොත් ජනතාවට කන්නට පරිප්පු බෙදාදුන් මහත්තයා"පරිප්පු මහත්තයා"යන අන්වර්ථ නමක් ද ඔවුහු ඇන්.ඇම්ට පටබැන්ඳහ. පසු කාලයේ මෙම ජනතාව තමන්ට මැලේරියා සමයේ සහන සැලසූ ඇන්.ඇම්. පෙරේරා යටියන්තොට මන්ත්‍රීවරයා ලෙස රාජ්‍ය මන්ත්‍රණ සභාවටත් පාර්ලිමේන්තුවටත් යැවූහ. රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ ආරම්භ කළ ඇන්.ඇම්ගේ ජාතික මට්ටමේ දේශපාලනය පාර්ලිමේන්තුවේ ද අඛණ්ඩව වසර 30ක කාලයක් සිදු කළේය. ඔහු කිසිවකු අපේක්ෂා නොකළ ලෙස 1977 මහ මැතිවරණයෙන් පරාජය විය. ඔහුගේ පරාජය ගැන එදා වඩාත්ම දුක් වූයේ ඔහුගේ ප්‍රධානම දේශපාලන පසමිතුරා වූ මෙරට ප්‍රධාන විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන බව දන්නේ ටික දෙනෙකි.

 ප්‍රකාශ් ඉරුගල්බණ්ඩාර