2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා

ධීවර කර්මාන්තය උඩුයටිකුරු කළ හැකි මඟ

 2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 320

ආර්ථිකයේ විශාල පරිවර්තනයක් ඇති කළ හැකි ක්ෂේත‍්‍රයක් වශයෙන් ධීවර කර්මාන්තය දැක්විය හැකිය. එහෙත් වෘත්තීය පිළිගැනීමක් නැත. රට තුළ සහ රටට එපිටින් ඇති සාගරයේ කරන ධීවර කටයුතු පුනර්ජීවනයකට හේතු කරගත හැකිය. පසුගියදා මෙම ලියුම්කරු සමඟ අදහස් දක්වන ලද තරුණ විද්වතකුට අනුව කෘෂිකර්මයෙන් බැහැර වෙනම ආර්ථික ඵලදායීතාවක් සහිත ක්ෂේත‍්‍රයක් සේ සලකන්නට හෝ උවමනාවක් රටට නැත. එය දුප්පතුන්ගේ රස්සාවක් වී තිබේ. අවදානමක් සහිතව මුහුදු යන ධීවරයන් ගොඩබිමට ගෙන එන මසුන් මිලදී ගන්නා ව්‍යාපාරිකයෝ ධනය උපයති. ගොවියන් දුප්පත් නමුත් සහල් මෝල් හිමියන් ඉසුරුමතුන් වී ඇති පරිදි ධීවරයෝද එදිනෙදා ජීවිකාවේ යෙදෙති. අතරමැදියෝ ගජ පොහොසතුන්ය.

පසුගියදා ඉදිරිපත් කළ අය වැය ලේඛනයේදී මසුන් ආනයනය නතර කර මෙරට නිෂ්පාදනය නැංවීම ගැන අවධානය යොමු කෙරිණි. ජනාධිපතිවරයා පමණක් නොව අගමැතිවරයාද නොයෙක් අවස්ථාවල කර්මාන්තයේ දියුණුව ගැන අවධානය යොමුකර තිබේ. මෙරට ආණ්ඩු හැම අවස්ථාවකම ධීවර කටයුතු ගැන සොයා බලා තිබේ. සාගර විශ්වවිද්‍යාලයක්ද ඇත. මුහුද ගැන සොයන, මතස්‍ය සම්පත කළමනාකරණය කරන ආයතනික ව්‍යුහයක් තිබේ. එහෙත් නීතිපතා රටට අවශ්‍ය මාළු, කරවල උම්බලකඩ හා ටින් මාළු ආනයය කෙරේ.

දූපතකට මාළු ආනයනය කරන්නට ලැබෙන අවසරය

රජය වරින්වර ආනයනික මාළු සඳහා අයකරන බදු අඩු වැඩි කරයි. එය රජයේ ආදායමේ කොටසක් බවට පත්වෙයි. ධීවරයන්ට ලැබෙන අනුබලය ගැටලු සහගතය. 1978 සාගර කලාප සීමානිර්ණය අනුව රටට සැතපුම් 200 ඉක්මවන මුහුදු සීමාවක අයිතිය ලැබුණි. වාර්තා පෙන්වන අන්දමට එය වර්ග කිලෝමීටර් 517,000 ක සාගර කලාපයකි. රට වටා ඇති වෙරළ තීරය කිලෝමීටර් 1,771ක් දිග බව දැක්වෙයි. මෙම වෙරළ තීරය තුළ ස්වභාවික වරාය සෑහෙන ප‍්‍රමාණයකි. වැඩිදියුණු කරන ලද තැන් ගණනාවකි. එහෙත් මෙම දූපතට අවශ්‍ය මත්ස්‍ය නිෂ්පාදනවලින් සෑහෙන කොටසක් ආනයනය කෙරේ. එය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. අවස්ථා ගණනාවකදී යුරෝපා කොමිසම ශ‍්‍රී ලංකාවට ජී.එස්.පී. සහන ලබා දී ඇත. මෙරට මත්ස්‍ය අස්වැන්න යුරෝපයට අපනයනයේ දී සහන බදු අය කෙරේ. එහෙත් මෙරට මුහුදු තීරයේ ලංකාවේ ධජය සහිතව මසුන් අල්ලන්නේ විජාතික ධීවරයෝය. ගොඩබිමට ගෙන එන එම අස්වැන්න මෙරට වාසිය සහිතව යුරෝපයට යැවේ.

අනෙක් අතට ඉන්දීය අනවසර ධීවරයන් ගැන විශාල ආන්දෝලනයක් තිබේ. දෙරට අතර රාජ්‍ය තාන්ත‍්‍රික සාකච්ඡා වට ගණනාවක් පසුගිය වසර දහය තුළ පවත්වා ඇත. එම සාකච්ඡාවලදී, කිසිම අවස්ථාවක අනවසර ධීවර කටයුතු නතර කරන තීරණයකට එළැඹ නැත. දෙරට අතර කතාබහ තිබියදී තමිල්නාඩු ධීවරයෝ දස දහස් ගණනින්, සංවිධානාත්මකව බෝට්ටුවලින් පැමිණ මෙරට මුහුදු සීමාවේ මසුන් අල්ලාගෙන යති. කච්චතිව් දූපත මෙම ධීවර කටයුතුවලට ප‍්‍රයෝජනයට ගන්නා බව ප‍්‍රකාශ වෙයි. ඉන්දු ශ‍්‍රී ලංකා සහයෝගීතාවය යටතේ මෙරට අයිතිකාරීත්වය පිළිගෙන ඇති කච්චතිව් දූපත නැවත ඉන්දියාව අයිති කරගන්නට වැරදරන තරමට ධීවර අයිතිවාසිකම් ප‍්‍රශ්න සංකීර්ණ බව සඳහන් කරන්නට අවශ්‍යය. කර්මාන්තයෙහි නියැලි පිරිස සෑහෙන ප‍්‍රතිශතයක් වන අතර අල්ලනන මත්ස්‍ය සම්පත බහුල නමුත් මෙරට පාරිභෝගිකයෝ මුහුදු මාළු වෙනුවෙන් ගෙවන මිල අධිකය. මිල ගණන් හෙයින් සාමාන්‍ය ජනතාවගේ මාළු පරිභෝජනය අඩු වී තිබේ. කුකුළු මස් භාවිතය ඉහළ ගොස් ඇත. ඔමේගා තෙල්වල ඇති වැදගත්කම දන්නා රටවල් කොතැනකින් හෝ මාළු ආනයනය කරන අතර මෙරට ජනයා අහිතකර සත්ව තෙල් පරිභෝජනයෙන් සතුටට පත්වෙති.

• මත්ස්‍ය නිෂ්පාදන ආනයනයට යන වසරක වියදම

ශ‍්‍රී ලංකාව ඉතා හොඳ ආර්ථික තත්ත්වයක නැත. විදේශ විනිමය හිඟය බරපතළව දැනේ. රට තුළ නිපදවා ගත හැකි දේ ආනයනයට සීමා පනවා තිබේ. මෝටර් රථ ගෙන්වීම සීමාකර ඇත. කෘෂි නිෂ්පාදන සෑහෙන ප‍්‍රමාණයක් ආනයනය නතර කර ඇත. ගෘහණියන්ට අත්‍යවශ්‍ය කහ ගෙන්වීම නතර කිරීමද එයින් එක පියවරකි. ආනයනය පාලනය කිරීම තුළ රට තුළ නිෂ්පාදනයක් සිදුවනු ඇතැයි ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ විශ්වාසය වී ඇති බව පෙනේ. 2018 වසරේදී මෙරටට ගෙන්වන ලද මතස්‍ය නිෂ්පාදනවල ප‍්‍රමාණය මෙට්‍රික් ටොන් 84,463 ක් බව දැක්වෙයි. එහි වටිනාකම රු. මිලියන 32,720 කි. 

ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දත්ත දක්වන ආකාරයට 2017 වසරේ මෙරට මත්ස්‍ය නිෂ්පාදනය මෙටි‍්‍රක් ටොන් 449,400 කි. මෙයින් පසු ඉලක්කම් වාර්තා නොවේ. 2012 වසරේ මෙටි‍්‍රක් ටොන් 486,170 ක් නිෂ්පාදනය කර ඇති අතර එය හා සසඳන විට පසුබෑමක් තිබේ. අවුරුද්දක ඒක පුද්ගල මත්ස්‍ය නිෂ්පාදන පරිභෝජනය කිලෝ ග‍්‍රෑම් 47.0ක් බව දැක්වේ. එවැනි ප‍්‍රතිශතයකින් සෑහීමකට පත් විය නොහැකි බව පෝෂණ විශේෂඥයන්ගේ අදහසයි. රට තුළ ඇති සම්පූර්ණ බෝට්ටු ප‍්‍රමාණය 110,731කි. බහුදින යාත‍්‍රා ගණන 8,392 කට සීමා වී තිබේ. මේවා අයිති ධීවරයන්ට නොවේ. වෙළෙන්දන්ටය. විසි දහසකට වැඩි එන්ජිමක් නැති බෝට්ටු තිබේ. මේවායෙන් ගැඹුරු මුහුදට ප‍්‍රවේශ විය නොහැකිය. රට තුළ කරන කර්මාන්තය බහු දින යාත‍්‍රා සුළු ප‍්‍රමාණයකට පමණක් සීමාවීම ප‍්‍රශ්නයකි.

එක ගමන් වාරයකදී රැස්කරගත හැකි අස්වැන්න වැඩිකර ගතහොත් බෝට්ටුවක පිරිවැය පහත වැටේ. ක‍්‍රමානුකූල දත්ත රහිතව මුහුදු යන යාන්ත‍්‍රික බෝට්ටු හිමියෝ ගැඹුරු මුහුදට අවතීර්ණ නොවන අතර වෙරළ අවට ප‍්‍රදේශයෙන් කුඩා ඉඩ ප‍්‍රමාණයකින් අල්ලා ගන්නා මසුන් ගොඩබිමට ගෙනැවිත් එහි වියදම පියවා ගන්නා තැනට පත්ව තිබේ. එවිට මාළු මිල ඉහළ මට්ටමක පැවැතීම අරුමයක් නොවේ. දැනට වාර්තා වන ආකාරයට මෙරට මත්ස්‍ය නිෂ්පාදනයෙන් සියයට 68ක් පමණක් නොගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තයෙන් ලබන අස්වැන්නකි. මුහුද අත්හැර දමා ඇති තරම ගැන මෙයින් අවබෝධයක් ලබාගත හැකිය.

• අභ්‍යන්තර ධීවර කටයුතු ගැනද අවධානයක්

මුහුද පමණක් නොව මෙට අභ්‍යන්තර ජලාශවලද ධීවර කටයුතුවලට ඉඩක් ඇත. රට පුරා වැව් දහස් ගණනකි. මේවායේ මිරිදිය මසුන් ඇති කළ හැකිය. තායිලන්තය, ජපානය වැනි රටවල අභ්‍යන්තර ජලාශවල මසුන් ඇති කිරීම ප‍්‍රචලිතය. ඉන්දුනීසියාව, පිලිපීනය වැනි රටවල මුහුදේ මසුන් වගා කරන බව අනාවරණය වෙයි. මාළු පමණක් නොව මුහුදු පැලෑටි වගාව ඉන්දුනීසියාවේ බහුලව කෙරේ. ඉන්දුනිසියාව දූපත් දහ හත් දහසකින් සමන්විත අතර අති විශාල වෙරළ තීරයක් හිමිය. හොඳින් හිරුරැස් වැටෙන නොගැඹුරු මුහුදේ වගාකරන මුහුදු පැලෑටි නිෂ්පාදනයට එරට කාන්තාවන් යොමුකර තිබේ. ඒවායෙන් රටට අවශ්‍ය ජෛව ප්ලාස්ටික් නිපදවා ගැනීම එරට ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ අදහසයි. ඒවා අලුත් අදහස්ය. සාගරය ප‍්‍රයෝජනයට ගැනීම ගැන යොමුකරන අවධානයක තරමය. 

මෙරට කලපු ආශි‍්‍රතව ඉස්සන් වගාව සිදුවෙයි. වාර්තා අනුව ඉස්සන් වගාව පිරිහී තිබේ. පරිසර ප‍්‍රශ්න මතු කරන අතර ඉස්සන් වගාව අධෛර්යයට පත් කරති. 2015 වසරේ වගා බිම්වලින් ඉස්සන් මෙටි‍්‍රක් ටොන් 7,090ක් ලබාගෙන ඇති අතර 2018 වනවිට එය මෙටි‍්‍රක් ටොන් 4,630 තෙක් පසු බැස තිබේ. ඉස්සන්, කකුළුවන් පොකිරිස්සන් හා කවච සහිත මුහුදු සත්වයන් නොගැඹුරු මුහුදේ ආරක්ෂිත දැල් තුළ වගා කිරීම කළ හැකිය. මුහුදු කූඩැල්ලන් හා මුහුදු පැලෑටි වගාව ද වෙනම අංශයකි. ඉතාම දියුණු පර්යේෂණ අනුව සාර්ථක ආදායම් ඉපැයිය හැකි මාර්ග බවට පත්ව තිබේ. පටු අදහස් ඇති පිරිස් පරිසරය හානි කරන අතර බලහත්කාරයෙන් ඉඩම් අල්ලාගෙන කරන අකටයුතුකම් රටට කර ඇති විනාශය සුළු පටු නොවේ. රාජ්‍ය ප‍්‍රතිපත්ති වෙනස් කළ හැකිය. ධීවර කටයුතු වෙනුවෙන් කලාප සංවර්ධනය කළ හැකි අතර මුහුදු ජීවීන් වගා කිරීමට නිසි ප‍්‍රමිතියකට අනුව මුහුදේ සීමා වෙන්කරදීමට බැරිකමක් නැත. 

වැව් හා ජලාශ ආශි‍්‍රතව ධීවර කර්මාන්තය කරගෙන යන අතර අභ්‍යන්තර ජලාශවල අලුත් මාළු වෙනුවෙන් සෑහෙන ඉල්ලුමක් තිබේ. සංක‍්‍රමණික ටෑන්ක් ක්ලීනර් මාළුවා අභ්‍යන්තර ජලාශවල මහා පරිමාණයෙන් බෝ වී ඇති බව රුහුණු විශ්ව විද්‍යාලය වරක් අනාවරණය කළේය. එම මත්ස්‍යයා ආහාරයට ගත හැකි ආකාරය හා එයින් සැමන් නිෂ්පාදනය කළ හැකි බව පර් යේෂණාත්මකය තහවුරු කර ඇත. රටට ලැබෙන අලුත් අදහස් වහා ව්‍යවසායකයා වෙත ලැබෙන හා ක‍්‍රියාත්මක වන පිළිවෙළක් ඇති කළ යුතුය.

• මහා පරිමාණ ව්‍යවසායකයන්ටද රජයෙන් අනුබලයක්

2018 වසරේ නෝර්වේ පර් යේෂණ නෞකාවක් මෙරට මුහුදු සම්පත් ගැන සොයා බැලීය. නොරාඩ් ආයතන හා නොර්වේහි මුහුදු පර් යේෂණ ආයතනය එකතු වී කරන ලද ගවේශණයෙහි තෙරතුරු රජයට භාර දී තිබේ. එම වාර්තාව මෙරට මුහුදේ මත්ස්‍ය සම්පත, මුහුදු ජීවීන් හා ආක‍්‍රමණික සිද්ධි ගැන සඳහන් කර ඇත. මෙම විද්‍යාත්මක කරුණු අනුව මෙරට ධීවර කටයුතු වල විප්ලවයක් කරන්නට බැරිකමක් නැත. රටට ඇති අවස්ථා පැත්තකට කරන බලධාරීහු අත්හැර දමා ඇති බස් හා දුම්රිය මැදිරි තෝරාගෙන සාගරයේ ස්ථාන එක්දහස් හත්සිය ගණනක ගිල්ලවන්නට සූදානම් වෙති. මෙම සැකිලි ආශ‍්‍රිතව පරිසර පද්ධති හැදෙන අතර මසුන් බෝවනු ඇති බව උපකල්පනය කරන බව පෙනේ. බෝ කිරීම පමණක් නොව අල්ලා ගැනීමට ද ක‍්‍රම අවශ්‍යය. ධීවරයන් සංවිධානය නොකළහොත් මෙම පද්ධති වල හැදෙන මසුන් වෙනත් රටවලින් අල්ලාගෙන යන අතර නැවතත් මෙරටට කරවල, ටින්මාළු, උම්බලකඩ සහ වෙනත් නිෂ්පාදන වශයෙන් ලැබෙන්නට බැරි නැත. 

ස්කැන්ඩිනේවියානු රටවල් ධීවර කර්මාන්තයෙහි අත්දැකීම් අතින් සහ තාක්ෂණයෙන් පොහොසත්ය. තායිලන්තය, ජපානය වැනි රටවල් පවා මහා පරිමාණයෙන් ධීවර කර්මාන්තයෙහි යෙදේ. ඉන්දියාවේ පවා ශ‍්‍රී ලංකාවට වඩා විශාල යාත‍්‍රා උපයෝගී කර ගනිමින් මසුන් ඇල්ලීමෙහි නිරතය. මුහුදේ ඇති මතස්‍ය සම්පත නිසි ආකාරයට ගොඩබිමට ගැනීමට හැකි ආකාරයට අලුත් යෝජනා සලකා බැලීම වැදගත්ය. මෙරට ධීවරයන්ට තාක්ෂණය හඳුන්වා දිය යුතුය. මසුන් බහුල ස්ථාන හඳුනා ගන්නා ක්‍රම හා සන්නිවේදනය අවශ්‍යය. දක්ෂ ව්‍යවසායකයන් ආයෝජනයට යෙදවිය යුතුය. වාණිජ බැංකුණය සැපයිය යුතු රන් උකස් ගැනීමට පමණක් නොවේ. ධීවරයන්ට අවශ්‍ය මූල්‍ය සහාය සැපයිය යුතුය. බහුදින යාත‍්‍රාවකට එකවරක් මුහුදු යෑම සඳහා ලක්ෂ ගණනක ඉන්ධන, ජලය හා ආහාර අවශ්‍යය. මුදල් නැති ධීවරයෝ ණයට ගෙන මුහුදු යති. රජයේ වාණිජ බැංකු වල වාර්ෂික ලාභය බිලියන විස්ස ඉක්මවා තිබේ. මෙයින් කොටසක් ධීවර කටයුතු නැංවීමට යොදවන්නට හැකියාවක් තිබේ. එහෙත් ප‍්‍රතිපත්ති සකස් වෙන්නේ නැත. 

කර්මාන්තය සම්බන්ධ පවතින ආකල්ප වෙනස් කිරීම අවශ්‍යය. අලුත් තාක්ෂණය කර්මාන්තයේ ප‍්‍රගතියට ඉවහල් වන ආකාරයට හඳුන්වා දිය යුතුය. හැකිය. සුළු ධීවරයන්ට සහන දෙන ආකාරයට මහා පරිමාණයෙන් ධීවර කර්මාන්තයට ඇතුළුවීමට සූදානම් වන ව්‍යවසායකයන්ද දිරිගැන්වීමට පියවර ගත යුතුය. ආයෝජනවලට හවුල් අවස්ථා ඇති කළ හැක. මහා පරිමාණයෙන් මසුන් අල්ලන ක‍්‍රම වලින් හැර මෙරට මත්ස්‍ය නිෂ්පාදනය වැඩිකරන හැකියාවක් නැත. සීමිත ශ‍්‍රම බලකායකින් වැඩිම අස්වැන්නක් ලබාගත යුතුය. වියදම අඩුකරන සහ නිෂ්පාදනය වැඩිකරන ක‍්‍රමවේදයකින් පොදු ජනතාවට අඩු මිලට මාළු මිලදී ගැනීමට හැකි පසුබිමක් සම්පාදනය කළ හැකිය. එය රටට විනිමය ගෙන එන පියවරක්ද වනු ඇත.

 ගාමිණී සරත් ගොඩකන්ද

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03