අබ්දුල්ලා මොහොමඩ් මහරුෆ් මහතා හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකි. හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මහජන කොංග්‍රස් පක්ෂයෙන් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කර පාර්ලිමේන්තුවට පැමිණි අයෙකි. ඉකුත් ආණ්ඩුව සමයේ ලංකා සතොස ආයතනයේ වාහන අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් සැකපිට ඔහු පසුගිය 14 වැනිදා රාත්‍රියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැණින.
අදාළ චෝදනාවට ඔහු සමගම අත්අඩංගුවට ගත් මාතලේ ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් අස්ලාම් නැමැත්තා හා හිටපු නියෝජ්‍ය ඇමතිවරයා තවදුරටත් ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කොට තිබේ. ඒ ඉකුත්දා අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට 17 වැනිදා තෙක් දින දෙකක් රක්ෂිත බන්ධනාගාර ගත්කිරීමෙන් අනතුරුව නඩුව එදින යළි කැඳවූ පසුවය.
හිටපු ඇමතිවරයා සමග අත්අඩංගුවට පත් අනෙක් සැකකරු වන ෆාරුක් මොහොමඩ් එවකට ලංකා සතොස ආයතනයේ හිටපු ඉංජිනේරුවරයෙකි. ඔහු ඉහත කාරණය සම්බන්ධයෙන් ආධාර අනුබලදී ඇතැයි යන චෝදනාවට අත්අඩංගුවට ගෙන තිබේ. පවතින වසංගතය හමුවේ සැකකරුවන් අධිකරණයට යොමුකිරීමට නොහැකි වීමෙන් අවශ්‍ය කටයුතු කෙරුණේ ස්කයිප් තාක්ෂණය ඔස්සේය. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් කියා තිබුණේ නඩුවේ ප්‍රධාන සැකකරු වන හිටපු ඇමතිවරයා සතොස ආයතනයට කුලී පදනම යටතේ ලබාගත් වාහන තුනක් අවභාවිතා කොට තිබෙන බවට තොරතුරු හෙළිව ඇති බවකි.
මේ හරහා එක් වාහනයකට මසකට රුපියල් 195,000 ක් බැගින් ගෙවීම නිසා රුපියල් ලක්ෂ 12කට අධික මුදලක් අවභාවිත කොට ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබිණ. හිටපු වරාය නියෝජ්‍ය ඇමතිවරයා සතොස ආයතනයට කුලීපදනම යටතේ ලබාගත් වාහන තුනක් සිය පෞද්ගලික පරිහරණයට යොදාගෙන අවභාවිතා කොට ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණ. එසේම වර්ෂ (2015 - 2019) අතර කාලය තුළදී ලංකා සතොස ආයතනයට අයත් වාහන මෙසේ අවභාවිතයක් කොට ඇතැයි කියන පැමිණිල්ල මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව දන්වා තිබිණ.
අබ්දුල්ලා මොහොමඩ් මහරුෆ් මහතා හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ දේශපාලන පක්ෂයේ සාමාජිකයෙකු බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත. නමුත් පසුගිය මහ මැතිවරණයට සමගි ජනබල වේගය පක්ෂයෙන් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයට තරගකොට ඇති ඔහු එහිදී පරාජය වූවෙකි. ලංකා සතොස ආයතනයේ සිදුවීම ගණනාවක් සම්බන්ධයෙන් වූ චෝදනා රැසකි. විමර්ශන ක්‍රියාත්මකව තිබියදී නඩු කටයුතුද පැවැත්වෙමින් තිබේ. ඉන් ප්‍රබල චෝදනා කිහිපයක් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාටත් එල්ලවී තිබිණ. ඒ අතර මෙරට සහල් අතිරික්තයක් තිබියදී සතොස හරහා සහල් ආනයනය කර රජයට පාඩු කළේ යැයි චෝදනා එල්ල කෙරිණ. තවද මහජන මුදල් අවභාවිත කරමින් මැතිවරණ නීති උල්ලංඝනය කර පැවති ජනාධිපතිවරණයක් සඳහා ඡන්දය භාවිත කිරීමට අවතැන් වූවන් ප්‍රවාහනය කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ යොදාගත් බවටද චෝදනා එල්ලවිය. මෙවැනි නීතිවිරෝධී ක්‍රියාවලට අධාර අනුබල දුන් පිරිස් සම්බන්ධයෙන්ද වාර්තාවී තිබේ. මේ සියල්ලට අමතරව රිෂාඩ් ඇමතිවරයාට එරෙහි චෝදනා දහයකට අධිකව දක්වමින් විශ්වාස භංග යෝජනාවක්ද ඉදිරිපත් කළේය.
ලංකා සතොස ආයතනයේ වාහන අවභාවිත කිරීම සම්බන්ධව හිටපු වරාය නියෝජ්‍ය ඇමතිවරයාට එරෙහි නඩුව ලබන 30 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.
සමන්ත ප්‍රදීප් විල්තෙර