2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා

කොවිඩ් මිනීමරන හැටි

 2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 74

කොවිඩ් 19 මිනීමරන ආකාරය ගැන ඇඟ කිලිපොලා යන විද්‍යාත්මක වාර්තා කිහිපයක් මෑතකදී ප්‍රධාන පෙළේ විද්‍යාත්මක පර්යේෂණ පලකරන ප්‍රකාශනවල පලවී තිබේ. මේ වාර්තා මගින් පෙන්වා දෙන කරුණු අනුව හිටි අඩියේ මෙන් මිනිසුන් මියයාමත් පසුව ඔවුන් කොවිඩ් ආසාදිතයන් බවට හඳුනා ගැනීමත් අතර ඇති සබඳතාව වඩාත් පුළුල්ව පැහැදිලි කරගත හැකිව තිබේ. ලෝක ප්‍රසිද්ධ විද්‍යාත්මක ජර්නල වන Science සහ The lancet සඟරාවල පළවූ නවතම වාර්තා සනාථ කරන්නේ හුස්ම හිර කිරීමෙන් පමණක් නොව කොවිඩ් 19ට හිතූ හිතූ හැටියට මිනී මරන්නට හැකි බවය.

හිසේ සිට පාදාන්තය දක්වා මුළු සිරුරටම කොවිඩ් 19 සාදන SARS-Cov2 වෛරසය මාරාන්තික හානි පමුණුවන බව දැන් විද්‍යාඥයින් සනාථ කරගෙන තිබේ. අසාධ්‍ය තත්ත්ව යටතේ රෝහල් ගතවන පුද්ගලයන්, රෝග නිධානය සඳහා පරීක්ෂා කිරීමේදී ඔවුන්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව පොදු සාධකයක් ලෙස ඉදිරිපත්ව තිබේ.

හේතු සොයාගත නොහැකි හදිසි හෘදයාබාධ, ආඝාතය, වකුගඩු අකර්මන්‍ය වීම වැනි බරපතළ මාරාන්තික තත්ත්ව නිසා රෝහල් ගතවන ඇතැමුන් පරීක්ෂාවට ලක් කිරීමේදී එම රෝග සඳහා බලපාන හේතුසාධක කිසිවක් සොයාගන්නට නොහැකි වුවත් ඔවුන්ට Covid 19 වැළඳී තිබීම නම් අනිවාර්ය බව සනාථ වී තිබේ.

කොවිඩ් 19 මූලක ලෙසම හානිකරන්නේ පෙනහළු සහ ස්වසන මාර්ගය ආශ්‍රිත පටකවලට යැයිද ඒ නිසා ඔක්සිජන් අවහිර වීම නිසා මරණය සිදුවේ යැයිද කියා සිතා සිටියත්, කොවිඩ් 19 සාදන කොරෝනා වෛරසය සිරුරේ ඕනෑම පටකයකට දරුණු හානි පමුණුවා මරණය ළඟාකර දීමට තරම් විනාශකාරී බව ලොවපුරා වෛද්‍ය පර්යේෂණ වාර්තා 1000ක් පමණ කරුණු ඉදිරිපත් කර තිබේ.

වොෂින්ටන් සරසවිය, සෝල් විශ්වවිද්‍යාලය, ස්ටෑන්ෆර්ඩ් වෛද්‍ය විද්‍යා සරසවිය, කොලොම්බියා සරසවියේ අර්වින් වෛද්‍ය මධ්‍යස්ථානය, නිව්යෝර්ක් සරසවිය, ජෝන් හොප්කින්ස් වෛද්‍ය මධ්‍යස්ථානය ඇතුළු වෛද්‍ය පර්යේෂණ ආයතන 10කට වැඩි සංඛ්‍යාවක් මගින් කොවිඩ් 19 වෛරසය මිනීමරණ ආකෘතිය ගැන පුළුල් පරීක්ෂණ සිදුවෙයි. ඒ පර්යේෂණ මගින් මෙතෙක් ලැබුණු වාර්තා සනාථ කරන්නේ කොවිඩ් 19 වෛරසය පෙනහළු පමණක් නොව මොළය, හෘදය සහ රුධිර වාහිනී, ආමාශය සහ බඩවැල්, වකුගඩු, අක්මාව පමණක් නොව රුධිර නාල බිත්ති පවා කා දමමින් අවයව දුර්වල කරමින් බරපතළ හානි පමුණුවා මරණය ළඟා කරවන බවය.

Covid-19 හදන කොරෝනා වෛරසයට හොඳ නේවාසිකාගාරයක් ලෙස ක්‍රියාකරන දේහ සෛලවල ක්‍රියාකරන දේහ සෛලවල අන්තර්ගත ACE2receptovs නමැති වෛරස සම්බන්ධ කරගන්නා ස්ථාන බහුලව ඇති සෛල ගොනු ආවරණ තනා ඇති පටක සහිත අවයව සියල්ලම පාහේ මෙම වෛරසයේ දැඩි ප්‍රහාරයකට ලක්වන බව දැන් සනාථ වී තිබේ.

සමහර කොවිඩ් 19 රෝගීන් මොළයේ ආඝාත තත්ත්ව, නහර පුපුරා යාම, සිහියේ අවුල් සහගත බව සහ මොළයේ පටක ඉදිමීමේ එන්සපලයිටිස් තත්ත්ව ආදියට මුහුණ දෙන බව වාර්තාගතය. ඇස් ආවරණ සහ පටල ඉදිමීමේ ලක්ෂණද සමහර කොවිඩ් 19 රෝගීන් තුළ දක්නට හැකිය. කොවිඩ් 19 වෛරසය නාසයේ මුල් කොටස්වල ලැගුම්ගෙන හානි පැමිණ වූ විට ගඳ සුවඳ නොදැනීම පොදු ලක්ෂණයක් හැටියට ප්‍රකාශයට පත්වන බව සනාථ වී තිබේ. පෙනහළුවලට ඇතුළු වන වෛරසය සිදුකරන හානිය වඩාත් ප්‍රචලිතය. සියුම් වායු කුටීරයන්හි බිත්ති බිඳ දැමීම මගින්, ඔක්සිජන් සැපයුම වළක්වා, කැස්ස, උණ රෝගී තත්ත්ව නංවා අන්තිමේ හුස්ම ගැනීමේ අපහසුතාව ඔස්සේ මරණය ළඟාකර දෙන බව කලින්ම සනාථ වූ කොවිඩ් 19 හානි පිළිබඳ ලක්ෂණයන්ය.

හෘදය සහ රුධිර වාහිනී ආශ්‍රිතවද කොවිඩ් 19 බරපතළ හානිදායී ප්‍රහාරයක් එල්ල කරයි. රුධිර නාල ඇතුළත ආවරණය වෛරස රඳවා ගන්නා සරු නේවාසිකාගාරයක් බවට පත්ව ඇත්තේ එහි බහුලව ඇති ACE 2 ප්‍රතිග්‍රාහක නිසාය. මේ නිසාම වෛරස රුධිර නාලවලට ප්‍රහාරය එල්ල කර හදිසි හෘදයාබාධ, රුධිර කැටි හෝ හෘද පේශි ඉදිමුම හෝ හෘද අකර්මණ්‍යතාව වැනි මාරාන්තික තත්ත්ව ප්‍රතිඵල කරයි.

රෝහල් ගතවන කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාවෙන් අඩක්ම අක්මාව අඩපණ වීමේ තත්ත්වය පෙන්නුම් කරයි. දරුණු සටනක නිරත වෙන ස්වයං ප්‍රතිශක්ති පද්ධතියේ අධික ක්‍රියාකාරීත්වයත්, රෝගය පාලනයට සහ වැළැක්වීමට ලබාදෙන ඖෂධවල ක්‍රියාකාරීත්වයන් සමග අක්මාව අඩපණ වීම සුලබ ලක්ෂණයක් බවට පත්ව තිබෙන බව විද්‍යා වාර්තා කියයි.

කොවිඩ් රෝගය දරුණු බවට පත්වූ රෝගීන් තුළ බහුලව දක්නට ලැබෙන සුළු තවත් ලක්ෂණයක් වන්නේ වකුගඩු අඩපණ වීමය. වෛද්‍ය වාර්තා පෙන්වා දෙන්නේ වෛරසය කෙලින්ම වකුගඩුවලට ප්‍රහාර එල්ල කරනා අතරම ශරීරයේ හටගන්නා අධි රුධිර පීඩනය වැනි අනියම් රෝගී තත්ත්ව වල බලපෑම නිසා වකුගඩු ඉක්මණින් හානියට පත්වන බවය.

ඉතා ඉහළ ACE2 ප්‍රතිග්‍රාහක ගොනුවීමක් සහිත බඩවැලේ පහළ කොටස් ආශ්‍රිතවද වෛරසය දැඩි ලෙස තැන්පත්වීම සිදුවිය හැකිය. මේ හේතුවෙන් පාචනය ප්‍රමුඛ බඩවැල් ආශ්‍රිත දරුණු රෝගී තත්ත්ව හටගන්නා බව සනාථ වී තිබේ. කොරෝනා වෛරසය කෙලින්ම එලෙස සිරුරේ විවිධ පටක සහ අවයවවලට හානි කරනා අතරම වෛරසයේ බලපෑම හේතුවෙන් ඇතිවන ස්වභාවික ප්‍රතික්‍රියාවක් වන ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය හේතුවෙන්ද සිරුරේ ඕනෑම ස්ථානයක පටක සහ අවයවවලට දැඩි හානි සිදුවිය හැකි බව දැන් නිකුත් වී ඇති ඇතැම් පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි.

ආගන්තුක කොරෝනා වෛරසය ශරීර ගතවීමත් සමග අධික ලෙස ක්‍රියා කරන්නට ගන්නා ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් ලබාදෙන සංඥාවක් නිසා ඇතැම් ප්‍රතිදේහ සෛල ශරීරයේ නිරෝගී සෛලවලටද ප්‍රහාර එල්ල කිරීමට ගැනීම සිදුවෙයි. මේ නිසා මියයන පටක හේතුවෙන්, රුධිර නාල පුපුරා රුධිරය වහනය විම, හදිසි රුධිර කැටී ඇතිවීම, හදිසියේම රුධිර පීඩන තත්ත්වය පහළ වැටීම වැනි මාරාන්තික තත්ත්ව ඇතිවන අතරම ප්‍රධාන අවයව අක්‍රියව යාම සිදුවේ.

මේ තත්ත්වය වෛද්‍ය විද්‍යාවේදී "Cytokine storm"ලෙස හඳුන්වා දෙන අතර ප්‍රතික්‍රියාකාරී තත්ත්වයකි. කොඩිඩ් 19 වෛරස වසංගතය හේතුවෙන් හිටිඅඩියේ මිනිසුන් මියයාමට ප්‍රධානම සාධකය වන්නේ මේ ප්‍රතිදේහ හමුදා නොමග ගොස් නිරෝගී අවයවවලට සිදුකරන ප්‍රහාරය බව මෙම විද්‍යාත්මක වාර්තා මගින් පෙන්වා දී තිබේ. මෙබඳු ප්‍රහාරයක් හිසේ සිට පාදාන්තය දක්වා ඕනෑම අවයවයක ඕනෑම කොටසකට සිදුවිය හැකි බවත් එහෙයින්ම කොවිඩ් 19 යනු අපි හිතනවාට වඩා මාරාන්තික වසංගතයක් බවත් වෛද්‍ය විශේෂඥවරු පෙන්වා දෙති.

 සුගත් පී. කුලතුංගආරච්චි