වෙනදා තිබූ නත්තල් අසිරිය මෙවර දකින්නට නැත. කොළඹ නගරයේ, තදාසන්න නගර ආශ්‍රයේ වෙනදා දකින්නට තිබූ කඩිසරකම අද දකින්නට නැත. එයට හාත්පසින්ම වෙනස් වූ පරිසරයක් කොළඹ නගරයේදී අපට දැකගත හැකි විය.
කොවිඩ් 19 වසංගතය ඒ සියල්ලම වෙනස් කර තිබේ. වර්තමානයේදී දකින්නට හැකිවෙන්නේ මිනිසා මිනිසාටම බියටපත් පරිසරයක්ය. කෙසේ හෝ මේ කොවිඩ් 19 වසංගතයෙන් බේරී සිටින්නට නම්, නිරෝගීමත් මිනිසුන් ලෙසින් නැගී සිටිමට නම් සෞඛ්‍ය අංශය හා ආරක්ෂක අංශය පනවා ඇති නීතිරීතිවලට අනුව පරිස්සමින් මේ කාලය ගෙවා දැමිය යුතුමය. වෙනදා මෙන් මහ ඉහළින් නත්තල් සමරන්නට ලබන වසරේදී වුවද අපට හැක. ඒ වෙනුවට මෙවර නත්තල අපි අපේ නිවැසියන් හා පමණක් එක්ව සමරමු. වසරක් ලබද්දී එහෙමය. එයද අපි නිවෙස්වලදී සමරන්නට වගබලා ගත යුතුය.
කොළඹ - පිටකොටුව නගරයේ වෙන වසරවලදී තිබූ කාර්යබහුලකම අද නැත. නත්තල ළංවෙද්දී රක්ත වර්ණයෙන් නෙක නෙක විලාසිතාවලින් පිටකොටුව සරසද්දී චීනයෙන් වැඩි වශයෙන් ගෙන්වූ සැරසිලිවලින් පදික වේදිකාවේ කුඩා තාවකාලික කඩ ඉදිවෙද්දී අද දක්නට ඇත්තේ වෙනස්ම ස්වරුපයකි. තැන තැන එවැනි කුඩා තාවකාලික සැරසිලි කඩ ඉදිව තිබුණද වෙනදා තිබූ තදබදය අද දක්නට නැත. පිටකොටුවට එක් භාණ්ඩයක් මිලදී ගන්නට ආ තැනැත්තකු වුවත් පළමු වැනි හරස්වීදිය, මල්වත්ත පාර, දෙවැනි හරස්වීදිය වැනි වීදි කරා ගමන්කොට මේ විසිතුරු සැරසිලි එකක් හෝ මිලදී ගන්නද අද පිටකොටුවට පැමිණෙන බොහෝ දෙනෙකුට ඒ සැරසිලි නෙත ගැටෙන්නේද නැත. අද ඔවුන්ට ඒ නෙක රටා සැරසිලි බලන්නට කාලය ඉඩ දෙන්නේ නැත.
“මේ දවස්වල මොන බිස්නස්ද? මිනිස්සු ඉන්නේ බයෙන්. මෙහෙම පාළුවට ගියපු පැත්තක්ද මේ. ගිය අවුරුද්දේ අපි මේවාගේ පුංචි කඩ කෑල්ලකින් සමහරදාට රුපියල් අටදාහ දහදාහ ලාභ ලැබුවා. ලාභය විතරක්. දැන් මේ එක ප්ලාස්ටික් කෑල්ලක් විකුණගන්න අපි ගිරිය කැඩෙනකම් කෑගහන්න ඕනේ. මේක හිතාගන්නවත් බැරි කාලයක්. අපේ ළමයි බඩගින්නේ.” පිටකොටුවේ වෙළඳාම් කරන රුවන් හෙට්ටි දේශයට පැවසීය.
බොහෝ දෙනෙකු මේ කාලයේදී පිටකොටුවට එන්නේ රාජකාරිය අවසන් වී නිවාස බලා යන්නට දුම්රිය නැවතුම්පළට හෝ බස් නැවතුම්පළට යන්නටය. විවිධ අවශ්‍යතාවයන්වලට පිටකොටුවට ආවද ඉතා ඉක්මනින් තම අවශ්‍යතාවය සපුරා නැවතත් හැකි ඉක්මනින් තම නිවෙස් වෙත යන්නේ මේ කොරෝනා වසංගතයෙන් බේරීමටය. විශේෂයෙන් මේ කාලයේදී කොවිඩ් 19 ආසාදිතයන් වැඩි වශයෙන් කොළඹ නගරය ආශ්‍රිතව වාර්තාවීමත් සමඟම බොහෝ දෙනා කොළඹ නගරයට පැමිණීමට බියක් දක්වති. මිනිසුන් තවත් මිනිසකුගේ අවශ්‍යතා වෙනුවෙන් ගනුදෙනුවක් කරන්නට කොළඹ නගරයට ඒමට වර්තමානයේදී දක්වන්නේ දැඩි බියකි.
නත්තල ළංවීමත් සමඟම බොහෝ කිතුනු නිවෙස්වල “නත්තල් කේක්” හැදෙයි. බොහෝ අය මේ නත්තල් “කේක්” සෑදීමට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ගෙන එන්නට පිටකොටුවේ තොග වෙළෙඳාම් කඩ වෙත එති. මේ නිසාම වෙන වසරවලදී මේ කේක් අමුද්‍රව්‍ය කඩවලට ඉල්ලුම්කරුවෝ විශාල පිරිසක් පැමිණෙති. සති ගණනාවක් තිස්සේ එම කඩහිමියෝ ඉතා කාර්යබහුල වෙති. නමුත් මෙවර නත්තල් සමරන්නට නත්තල් කේක් එසේ හැදෙන්නේ නැත. ඇතැම් පෞද්ගලික ආයතනවල බෝනස් මුදල සේවාදායකයන්ට ලබා දෙන්නේද මේ වසන්ත සමයත් සමඟය. මේ නිසාම නත්තල් කේක් විතරක් නොව විවිධ රසකැවිලි සෑදීමට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ගන්නට පිටකොටුව තොග කඩවලට පිවිසි කිතුණු ජනතාවට මෙවර බෝනස් නැත.
එදා වේල හම්බකර ජීවත් වූ ජනතාවට සති ගණනාවක් තිස්සේ අතට ලැබුණේ රජයෙන් ලබාදුන් රුපියල් පන්දහසේ දීමනාව පමණි. බොහෝවිට පිටකොටුව නගරයේ සුළු වෙළෙඳාමේ නිරත වන වෙළඳුන් බොහෝමයක් ජීවත්වන්නේ කොළඹ නගරයේ ආශ්‍රිතව ඉදිවී තිබෙනා මහල් නිවාසවලය. එසේ නැත්නම් කොළඹ නගරයේ අනවසර ඉදිකිරීම් නිවෙස්වලය. මේ බොහෝමයක් පහුගිය කාලවලදී ජීවත් වූයේ නිරෝධායන නීති යටතේ හුදෙකලා කර තිබූ ප්‍රදේශවලය. මේ ප්‍රදේශවලින් කිහිපයක් පහුගියදා නැවත විවෘත කළද තවමත් ඒ වෙළෙඳුන්ට හරිහමන් වෙළෙඳාමක් කරන්නට වටපිටාවක් තවමත් ගොඩනැගී නැත. මේ නිසාම වෙනදාට වසර අවසානය වසන්ත සමයත් වූ මොවුන්ට මෙවර මෙම වසර ගිම්හාන වසරක් කර අවසන්ය. එයට එකම හේතුව රටපුරා රුල්ලට හැඬූ කෝවිඩ් 19 වසංගතයයි.
මහරගම පමුණුව යනු ලාභදායී රෙදිපිළිවලට නම් දැරූ නගරයකි. උත්සව කාලවලදී මහරගම ඉතා කාර්යබහුලය. වෙනත් නගරවල වෙළෙඳුන් උදෑසන තම වෙළඳාම් කටයුතු ආරම්භ කළද මහරගම පමුණුව රැය නිදිමරමින් වෙළෙඳාමේ නිරත වේ. පමුණුවේ වැඩ ආරම්භ වන්නේ පාන්දර දෙකට තුනට පමණය. ඒ තොග වෙළෙඳුන් සඳහාය. පිට පළාත්වලින් පාන්දරට එන වෙළෙඳුන් ඇඳුම් පැළඳුම් තොග ලෙස මිලදී ගනිති. ඉතා අඩු මුදලට වැඩි රෙදි මිලදී ගන්නා ඔවුන් ඇඳුම් තෝරනු ලබන්නේ වීදි ලාම්පු එළියෙත්, තොග වෙළෙඳුන්ගේ හා තමන්ගේ අතේ ඇති විදුලි පහන්වලත් එළියෙනි. බොහෝවිට පාන්දර ජාමේ සිදුවන මේ වෙළෙඳාම් කටයුතු සිදුවන්නේ පමුණුවේ වෙළෙඳසැල්වල නොව ඒවා ඉදිරිපිට ඇති පදික වේදිකාවේය. උත්සව සමයේදී පමුණුව නොනිදන නගරයකි.
නමුත් කොවිඩ් වසංගතය පමුණුවේ රෙදිපිළිවලටත්, වැට බැඳිණි. පිටපළාත්වලින් මහරගම පමුණුවට ආ වෙළෙඳුන් අද දක්නට නැත. ගාල්ල, මාතර, නුවර, කෑගල්ල වැනි ප්‍රදේශවලින් මහරගම ආ වෙළෙඳුන්ට අද එන්නට බැරිය. ඒ වෙනුවට හුදෙකලා වුණු පමුණුවේ ගම්පහ, කළුතර, හොරණ වැනි ප්‍රදේශවලින් ආ සිල්ලර වෙළෙන්දෝ තොග මිලදීගෙන ඉක්මණින් පිටව යති.
“මිනිසුන්ට රෙදි ගන්නවා තියා කන්නවත් සල්ලි නැහැ. මේ කාලේදී වෙනදාට පමුණුවේ සෙනඟ පිරිලා. ඇඟේ ගෑවිලා, පොරකාලා, රෙදි කෑල්ලක් හොයාගන්න ඒ අවුරුදුවල හරි අමාරුයි. ඒකට දැන් මිනිස්සුන්ට වගේම අපිත් හරි අසරණයි. නිකං අපි අව්වට වේලෙනවා විතරයි පැය ගාණක් ඉඳලත් දවසේ වියදම් හොයාගන්නේ හරිම අමාරුවෙන්.” පමුණුවේ රෙදි විකුණන අනිල් පැවසීය.
එකල පමුණුව රෙදි වෙළෙඳාමේ නිරත වුණු වෙළෙඳුන්ට පමණක් ජීවිතය ජයගන්නට පාර කැපූ නගරයක් නොවේ. පමුණුවේ රෙදි තෝරද්දී ඇතැමුන් පාර අයිනේ අයිස් කැට යෙදූ දොඩම් වීදුරුවක් බොති. ගිනිගන්නා මද්දහනේ පමුණුවට ආ ජනතාවට මේ දොඩම් වීදුරුව දිව ඔසුවකි. තවත් අය අයිස්ක්‍රීම් කති. මිරිස්, ලුණු, ගම්මිරිස් යෙදූ අච්චාරුවට හොඳ ඉල්ලුමක් තිබුණි. සෙනඟ අස්සෙන් තවත් වෙළෙන්දෙක් ප්ලාස්ටික් බඳුන් පහක් රුපියල් සීයට විකුණයි. තවත් අය කපුරු බෝල විකුණයි. පුංචි වෙළෙඳාමෙන් පසුගිය වසරවලදී ඔවුහු යම් සැලකිය යුතු මුදලක් හොයාගත්හ. නමුත් ඒ සියල්ල අද නැත. කොවිඩ් 19 වසංගතය මේ සියලු වෙළෙඳුන්ගේ බලාපොරොත්තු බිඳ දමා අවසන්ය.
මහරගම මෙන්ම නුගේගොඩද උත්සව සමයේදී කාර්යබහුල, ජනාකීර්ණ නගරයෙකි. මහරගම තොග ඇඳුම්වලටත් අඩු මුදලකට ලාභදායී ඇඳුම් මිලදී ගත හැකි වුවත් නුගේගොඩ නගරයේ ඇති ඇඳුම් සාප්පු සල්වලින් ඉස්තරම් අලුත් පන්නයේ ඇඳුම් මිලදී ගත හැකිය. මේ නිසාම නත්තලටත්, අලුත් අවුරුද්දටත් පවුලේ සැමට වහළක් යටදී එකම වහළක් යටදී ඇඳුම් මිලදී ගත හැක. ඇඳුම් සාප්පු බොහෝමයක්ම නුගේගොඩ නගරයේ ඉදිවී ඇත. මේ නිසාම වෙනත් වසරවලදී මේ කාලයට නුගේගොඩ කාර්යබහුල නගරයක් වුණි. නමුත් වර්තමානයේදී තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්ය. වෙනදාට මේ වනවිටත් නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය ඉදිරිපිට නත්තල් සැරසිලි වෙළඳසල් කිහිපයක් ඉදිවී තිබුණද අද ඇත්තේ එයින් එකක් පමණි. ඒ වෙළඳසල්වලටද පාරිභෝගිකයකු පැමිණෙන්නේ ඉඳහිටය.
වෙනත් කාලවලදී නත්තලට ගෙවල් සරසන්නට සැරසිලි මෙන්ම ගවලෙන් විකුණන වෙළඳාමද එවැනි තැන්වල ඕනෑතරම් පාරිභෝගිකයන්ද දැකගත හැකි වුවද, මෙවර ඒ සියල්ල කොවිඩ් වසංගතය මගින් උදුරාගෙන හමාරය. ෙකාළඹ එසේ වුවද ෙකාළඹ අවට කිරිබත්ගොඩ වැනි උප නගරවල රෙදි පිළි වෙළඳසල් අසල ජනයා රැස්කමින් සිටි බව අපට වාර්තාවිය.
“තොග අවසන් කළ මහ සේල්” යැයි ගැසූ පුවරුව, 60% දක්වා මහ සේල්, සේල් සේල්” පුවරු සොයා සාප්පු සවාරි ගිය වසර අවසානය මේ වසරේ නැත.
කෙසේ වුවද කොවිඩ් 19 වසංගතයෙන් බේරී සිටීමටද වගබලා සිටීම ඉතා වැදගත් වේ. වෙනදා මෙන් තැන තැන රෙදිපිළි නොතිබුණද කවදාකවත් නුදුටු ලෙස මුඛ ආවරණ සහ විෂබීජනාශක දියර වෙළඳුන් ඕනෑතරම් නගරවල අපට දැකගත හැකිය. කෙසේ වුවද මේ උත්සව සමයේ වෙනදා මෙන් සාද හා උත්සව නොපවත්වා සෞඛ්‍ය අංශය සහ ආරක්ෂක අංශවල උපදෙස්වලට අනුව අප ජීවත්විය යුතුමය. ගිම්හාන කාලයකට පසුව වසන්ත කාලයක් එනවාමයි. එතෙක් ඉවසිය යුතුමය.
දිශානි ජයමාලි කරෙුණාරත්න