ඉස්සර උණ, හෙම්බිරිස්සාව, කැස්ස කියන පොඩි පොඩි ලෙඩ ගැන ලොකු බියක් තිබුණේ නැත. ඒ ලෙඩ කොතෙකුත් අප අත්විඳ ඇත්තෙමු. සාමාන්‍ය ජීවිතයේ නිතර ඇසූ දුටු ඒ ලෙඩ රෝගවල ලක්ෂණ සහිත කොවිඩ් 19 අද ලොව පුරා පැතිරුණු බරපතළ වසංගතයකි. මේ රෝගීන් හඳුනාගැනීමට ඇති ලොව පිළිගත් එකම ක්‍රමවේදය පී.සී.ආර්. පරීක්ෂණයයි.
රෝගය සම්බන්ධයෙන් යම් සැකයක් වේනම් එය තහවුරු කර ගැනීමට කළ යුත්තේ පෙර කී පරීක්ෂාවයි. ඒ සඳහා පෙනී සිටීම ප්‍රතික්ෂේප කිරීම නම් මරු වසඟයට ගැනීමකි. එමෙන්ම රෝගය ව්‍යාප්ත කිරීමට එක හෙලාම උදව් කිරීමකි. නොපෙනෙන වෛරසයක් හඳුනාගැනීමට සමත් පී.සී.ආර්. පරීක්ෂණය ආසාදිතයකු නිශ්චය කරනවා හැර කෙනකුට දඬුවමක් නොවන බව වටහා ගත යුතුය.
එහෙත් පී.සී.ආර්. පරීක්ෂණවලට පෙනී නොසිට, සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස්වලට පටහැනිව කටයුතු කරන ඇතැම් පුද්ගලයන් පිළිබඳව වාර්තා වෙයි. එපමණක් නොව පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන අවස්ථාවලදී එය මගහරින අය ගැනද අත්‍යවශ්‍ය පෞද්ගලික තොරතුරු වෙනුවට අසත්‍ය තොරතුරු ලබාදෙන පිරිස් සම්බන්ධයෙන් වාර්තා වන බවද සෞඛ්‍ය අංශ වාර්තා කරයි. මෙකී පිරිස්වලට එරෙහිව අපරාධ නීතිය යටතේ සහ නිරෝධායන නීතිය යටතේ දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසීය. මෙවැනි පුද්ගලයන් රටට ද්‍රෝහිකම් කරන අය මෙන්ම කොවිඩ් වෛරසය තවත් පිරිස් වෙත ව්‍යාප්ත කරවීමට හිතාමතා කටයුතු කරන්නන් වශයෙන් සලකා නීතිය ක්‍රියාත්මක කරන බවද කීය. ඒ අනුව ඔවුන්ගේ නිශ්චල හා චංචල දේපළ මුද්‍රා තැබීමට කටයුතු කිරීමට පොලීසියට ප්‍රතිපාදන පවතී.
පී.සී.ආර්. පරීක්ෂණය සිදුකිරීමට යාමේදී ඇතැමුන් ව්‍යාජ තොරතුරු ලබාදීමට කටයුතු කොට තිබෙන බැවින් ඔවුන්ට එරෙහිව අන් අයකු ලෙස පෙනී සිටීමේ වරද යටතේ නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. දැනට හුදෙකලා කර ඇති ඇතැම් ප්‍රදේශවල ජනතාව සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව ක්‍රියාකරන බවට තොරතුරු වාර්තා වන බැවින් එම පිරිස් හඳුනාගෙන නිරෝධායන නීතිය යටතේ ක්‍රියා කිරීමට අදාළ පොලිස් නිලධාරීන් දැනුම්වත් කොට තිබේ.
එම පිරිස් වෙත දින ගණනාවක් පුරා දැනුවත් කොට ඇති අතර තවදුරටත් එම උපදෙස් පිළි නොපදින්නේ නම් පැමිණිලි බී වාර්තා මගින් අදාළ පුද්ගලයන් පිළිබඳව අධිකරණයට වාර්තාකර, හුදෙකලා කාලසීමාව අවසන් වූ වහාම නඩු පැවරීමට කටයුතු කරන බවද අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. එහිදී සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව කටයුතු කරන්නන්ගේ නිශ්චල සහ චංචල දේපළ සියල්ල නිරෝධායන නීතිය යටතේ මුද්‍රා තැබීම කෙරෙනු ඇත.
පී.සී.ආර්. පරීක්ෂණය සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගෙන සිටින අයද වෙති. ඒ පිළිබඳව අන්තර්ජාලය හරහා ව්‍යාජ තොරතුරු දක්වා පරීක්ෂණය සිදු නොකිරීමට තරම් අනුබල දුන් සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද කීය. එවැනි වරදකරුවන්ට එරෙහිව වසර තුනක සිර දඬුවම් නියම කිරීමට හැකිය.
පසුගිය දිනක අටලුගම ප්‍රදේශයේ පී.සී.ආර්. පරීක්ෂණ කිරීම සඳහා හාරසිය දෙනකු කැඳවා තිබුණද ඒ සඳහා පැමිණ සිටියේ පනස් දෙනකු පමණක් බව සෞඛ්‍ය අංශ වාර්තා කළේය. එමෙන්ම පසුගිය 02 වැනිදා එම ප්‍රදේශයේ ආසාදිත පුද්ගලයකු රුගෙන ඒමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට ආසාදිත පුද්ගලයකු විසින් කෙළ ගැසීමේ සිද්ධියක්ද වාර්තා විය. සිදුවීම නිසා තාවකාලිකව නියමිත පරීක්ෂණ සිදු නොකිරීමට සෞඛ්‍ය අංශ බලධාරීහු පියවර ගත්හ.
බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ කොවිඩ් මර්දන කමිටුව නමින් සංවිධානයක් පිහිටුවා ගැනීමට මේ වනවිට පියවරගෙන තිබේ. ඒ සඳහා සිවිල් සංවිධාන සහ රාජ්‍ය නිලධාරීහුද ඇතුළත්ව සිටිති. මෙහිදී හඳුනා ගන්නා රෝගීන් රෝහල් ගත කිරීමට කටයුතුකොට මරණ සංඛ්‍යාව වළක්වා ගැනීමට කටයුතු කිරීම ප්‍රධාන පරමාර්ථයයි. මේ ආකාරයෙන් නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ ඇතැම් පිරිස්ද පී.සී.ආර්. පරීක්ෂණ මගහරින තත්ත්වයක් උද්ගතවී තිබිණ.
බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ විසි දහසක් පමණ ජනතාව ජීවත් වෙති. ඔවුන් අතුරින් සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලින් තුනෙන් එක කට පමණ මේ වනවිට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. බරපතළ ලෙස අටලුගම ප්‍රදේශය තුළ වෛරසය පැතිරීම හේතුවෙන් හුදෙකලා කළ තත්ත්වයක් තුළ ජනතාවගේ නොමනා හැසිරීම හේතුවෙන් අර්බුදයක් බවට පත්ව තිබිණ. තත්ත්වය පාලනයට යුද හමුදාව යෙදවීමටද සිදුවිය.
කොවිඩ් වසංගතයට සීමා මායිම් නැත. එබැවින් අටලුගම හෝ තිහාරිය අදාළ නැත. කවුරුත් එක්ව වෛරසය මෙරටින් තුරන් කිරීමට එක්විය යුතුය. ඒ සඳහා සෞඛ්‍ය අංශ වෙත ඇවැසි සහාය ලබාදීම යුතුකමය.
සමන්ත ප්‍රදීප් විල්තෙර