කොවිඩ් වසංගතය හමුවේ ලාංකික මුස්ලිම්වරුන්ගේ භූමදාන ගැටලු සුවිසල් ජාතික අර්බුදයක් නිර්මාණය කර තිබේ. පසුගියදා මෙම ගැටලු ජාත්‍යන්තරකරණය වීමද අප අත්දැක්කේය. එම නිසාවෙන්ම මෙම ගැටලු සම්බන්ධව කාලීන තතු එකිනෙක විමසා බලනු වටී.
පසුගිය දින කිහිපය තුළ මේ හා සම්බන්ධව සිදුවීම් රැසක් වාර්තා වූයේය. කොරෝනා වෛරසය ආසාදිත වූ බව පැවසෙන දින විස්සක් වයසැති බිළිඳෙකු බලහත්කාරයෙන් ආදාහනය කරා යැයි ආණ්ඩුවට එල්ල වූ චෝදනාව මින් ප්‍රමුඛ විය. ඇතැමුන් බොරුල්ල කනත්ත ඉදිරිපස සුදු ලේන්සු බැඳ සිය විරෝධය ප්‍රකාශ කළ අතර, එයට එරෙහිව බ්‍රිතාන්‍යයේද උද්ඝෝෂණ දියත් වූයේය. එය කොතරම් බරපතල වීදයත් බී.බී.සී. වෙබ් අඩවිය වාර්තා කරන පරිදි නියෝජ්‍ය ඇමතිවරයෙකු ඇතුළු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු කොරෝනා වෛරසය ආසාදිතව මියගිය මුස්ලිම් ජනතාව ආදාහනය කිරීමේ %කුරිරු^ (draconian) නීතිය වෙනස් කරන්නැයි ශ්‍රී ලංකා ආණ්ඩුවට බලපෑම් කරන ලෙස බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් ඉල්ලා ඇත.
මීට අමතරව මාලදිවයින රජයෙන් මුස්ලිම් සිරුරු භූමදානයට ලක් රජය උපකාර පැතීම පිළිබඳ වූ කතිකාවද ඉතා විශේෂිත විය. මෙය රට දැනගත්තේ මාලදිවයින් විදේශ අමාත්‍යා අබ්දුල්ලා සාහිඩ් තැබූ ට්විටර් සටහනක් හරහාය. ඊට අනුව කියැවුනේ ශ්‍රී ලංකා ජනාධිපති කළ ඉල්ලීමකට අනුව භුමදානයන ඇති හැකියාව පිළිබඳ මාලදිවයින් ජනාධිපති සොයා බලමින් සිටින බවයි. ෙමම ට්විටර් පණිවිඩය සමඟම එරට හිටපු විදේශ ඇමතිවරිය දුන්නා මහමුද් තවමත් සටහනක් තබා තිබුණි. ඒ හරහා කියා තිබුණේ ශ්‍රී ලංකාවේ සිටින මුස්ලිම්වරු මලදිවයිනට ගෙන්වා ගතයුතු බවයි. එම ප්‍රකාශ මෙරට සිංහල සමාජයේ ඇතැම් භාරගත්තේය වෙනස්ම ආකාරයකටය. එසේ කළ හැකි නම් ලොකු උදව්වක් බව දක්වමින් වෛරී ප්‍රකාශ දහස් ගණක් සමාජ මාධ්‍ය තුළ සංචරණය විය. මේ හරහා මුස්ලිම් සමාජය දැඩි කම්පනයකට පවත්වූ බව පෙනෙන්නට තිබුණි.
ඒ අතර ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදයක් දක්වා මෙම ගැටලු උත්සන්න වූ අතර මේ වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටි අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා දැඩි කලකිරීමකට පත්ව සිටියේය. ඔහු ඉල්ලා අස්වීමේ සූදානමකින් සිටි බව දැනගන්නට ලැබුණි. එහෙත් මෙම සිරුර භූමදානයට අවසර ලබාදීම සම්බන්ධව විරෝධය ගොනුකරන පිරිසක් ආණ්ඩුව අභ්‍යන්තරයේම වේ. එනිසාවෙන් මේ සම්බන්ධව දැඩි දේශපාලන අර්බුදයකට ආණ්ඩුව මැදිවි සිටියි. මුස්ලිම් සමාජයේ මෙම ඉල්ලීමට මෙරට බහුතර සිංහල සමාජය විරෝධය පායි. ඊට ජාතික සංවිධනය සහ ඇතැම් භික්ෂු බලවේගයද එක්ව සිටිති. යම් හෙයකින් ආණ්ඩුව මෙම භූමදානය සඳහා අවසර ලබාදුනහොත් ආණ්ඩුවේ ජනප්‍රියත්වය වේගයෙන් බිඳවැටෙනු ඇත. මන්ද ආණ්ඩුවහට හිතවාදී සිංහල බහුතරය තුළ මුස්ලිම් භූමදානයට ඇත්තේ විරෝධයකි.
මෙම භූමදාන ඉල්ලීම හේතුකොට ගෙන රටේ විවිධ තැන්වල සිදුවීම් කිහිපයක්ද වර්තා විය. මග්ගොන ප්‍රදේශයේ මියගිය අසූ හැවිරිදි මුස්ලිම් කාන්තාවකට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බව තහවුරු වීමෙන් අනතුරුව ප්‍රදේශය භාර හදිසි මරණ පරීක්ෂකවරයාට පිරිසක් මරණ තර්ජන එල්ලකොට තිබුණි. පීසීආර් පරීක්ෂණයකින් තොරව මළසිරුර නිදහස් නොකළ නිසා මෙම මරණ තර්ජන එල්ල වූ බව මුස්ලිම් ජාතිකයකු වූ මරණ පරීක්ෂකවරයා විසින්ම ප්‍රකාශ කර තිබේ. මේ සම්බන්ධව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා දැනුවත් කිරීමට ශ්‍රී ලංකා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමයේ කළුතර දිස්ත්‍රික් සංවිධායක කටයුතු කර තිබුණි.
කොරෝනා ආසාදනයෙන් මියයන මුස්ලිම් ජනතාවගේ මෘතදේහයන් ආදාහනය කිරීමට එරෙහි බේරුවල නගර සභාව ඉදිරියේදී නිහඬ විරෝධතාවක් පැවතියේය. රටවල් 184 කොරෝනා මෘතදේහ භූමදානෙට අවසර දී තිබියදී ලංකාවේ පමණක් ඊට අවසර දී නැති බව විරෝධතාකරුවන් කියා සිටියහ. බේරුවල නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම විරෝධතා සංවිධානය කර තිබූ අතර මුස්ලිම් ජාතික මෘත දේහ භූමදානය කිරීමට අවසර ලබාදෙන්නැයි ඔවුන් ජනාධිපති අගමැති ඇතුළු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියහ.
කෙසේවෙතත් කෝවිඩ් සිරුරු භූමදානය සම්බන්ධව නිශ්චිත පැහැදිලි කිරීමක් විද්‍යාත්මකව සිදුවී නොමැත. පිරිසක් මෙහි ගැටලුවක් නොවන බව පවසති. එහෙත් පසුගිය සමයේ මෙරට ජනප්‍රිය වූ මතවාද අනෙකකි. වෛරසය භූගත ජලයට එකතුවීමේ අවදානමක් ඇති බව ඊට අනුව කියැවුණි. තෙත් කලාපයේ හා වියළි කලාපයේ යන දෙකේම භූගත ජල මට්ටම ඉතාම නොගැඹුරු වීම හේතුවෙන් කෝවිඩ් සිරුරු භුමදානයට ලංකාවේ පාංශු ස්වභාවය සරිලන්නේ නැති බවට විද්වත් මතයක් පළවී තිබුණි. ගැටලු ආරම්භයේදී එක්තරා මහාචාර්යවරියක් මාධ්‍ය වෙත මෙවන් මතයක්ද දක්වා තිබුණි.
"ලංකාවේ ජල මූලාශ්‍ර බහුලව තිබෙනවා. එසේ භූමදාන කළහොත් වෛරසය අපේ ගංගා, ඇළදොළ, ළිංවලට එක්වීම වැළැක්විය නොහැකියි. මියගිය පුද්ගලයකුගේ කිලෝ එකක අපවිත්‍ර ජලය ලීටරයක් තිබෙනවා. ඒ නිසා තමයි ළඟම ආදාහනාගාරයක ඉහළ උෂ්ණත්වයකදී කිසිම පුද්ගලයකු සහභාගි කර නොගෙන දේහයන් ආදාහනය කරන්නේ."
මේ අතර මෙම ගැටලු උත්සන්න වීමට මුස්ලිම් ජනතාවගේ විශ්වාස පිළිබඳ සිංහල බහුතරයක අවබෝධක් නොවීමද හේතුකි. කෙසේ වෙතත් විවිධ පාර්ශ්ව එම විශාල පිළිබඳ එකින් එකට වෙනස් මත පළකරනු ලක්නට ලැබේ. ගැටලු ආරම්භයේදී මුස්ලිම්වරු භූමදානය පිළිබඳ මෙතරම් උනන්දුවක් දැක්වීම සම්බන්ධව සමස්ත ලංකා ජයිමතුල් උලමා සංවිධානයේ සිදුකල ප්‍රකාශයක් අපි උපුටා දක්වමු.
"මුස්ලිම්වරයකු අභාවයට පත්වූ විට එම දේහය ස්නානය කරවීම, කෆන් නම් සුදු රෙද්දක් ඇන්දවීම, ජනාසා සලාතය ඉටුකර භුමිදාන කිරීම හෙවත් වළලා දැමීම මුස්ලිම්වරුන්ට ෆර්ලු කිෆායා ගණයේ වගකීමක් වන්නේය. ෆර්ලු කිෆායා යනු සියලුම මුස්ලිම්වරුන් මත ඇති වන අනිවාර්ය වගකීමක් වන නමුත් එය කිහිප දෙනෙකු ඉටුකළ විට එම වගකීමෙන් සියල්ලන්ම නිදහස් වන්නේය. එම වගකීම කිසිවෙකු හෝ ඉටු නොකළවිට අදාළ සියලුම මුස්ලිම්වරුන් වරදකරුවන් වේ."
මුස්ලිම් සිරුර භූමදානය සම්බන්ධ ගැටලුවේ අගමික විද්‍යාත්මක සමාජ දේශපාලනික පදනම කවරක් වුවත් අවසානයේ රටම සලකා බැලිය යුතු කරුණක් තිබේ. අමාත්‍ය අලි සබ්රි පසුගියදා සිදුකළ ප්‍රකාශ ඉතා වැදත්ය. කොරෝනා මෘතදේහයන් භූමදානයට අවස්ථාවක් ලබානොදීම මුස්ලිම් තරුණයන් අන්තවාදයට පෙළඹීමේ අවදානමක් ඇති බව ඔහු කියා තිබුණි. සැබවින්ම වෛරසයකට වඩා වෛරය භයානක බව අප දනිමු. සහරාන්ලා වැනි අන්තවාදීන්ට මෙය කදිම අවස්ථාවක් වීමට ඉඩ තිබේ.
සැබවින්ම අන්තවාදී ගිනි පුළිඟුවලට ඇවිලෙන්ට අප කිසිවෙක් පිදුරු කඳු ගොඩගැසීම අනුවණ කමකි. මුස්ලිම් ජනතාවගේ මෙම ඉල්ලීම පිළිබඳ ආණ්ඩුව මෙන්ම සෙසු ජාතික සංවිධාන සහ ක්‍රියාකාරීන්ද සබුද්ධිකව සිතා බැලිය යුතුව ඇත. විසඳුම කඩිනම් වියයුතුය. විද්‍යා විශ්වාස සහ ආගමික විශ්වාස එකින් එක ඉක්මවා නොයා යුතුය. අවසානයේ වෛරසයෙන්ද වෛරයෙන්ද ලක්වාසීන් රුකගැනීම නිත්‍ය වශයෙන්ම සිදුවිය යුතුය.
චමිඳු නිසල් ද සිල්වා