
ජාතික හෙළ උරුමයේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ පාඨලී චම්පික රණවක මහතා එම තනතුරින් සහ ජාතික හෙළ උරුමය පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් විය. එම පක්ෂයේ විශේෂ ජාතික නියෝජිත සමුළුව පසුගිය දෙසැම්බර් 12 වැනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැත්වුණු අතර එම අවස්ථාවේ ඒ මහතා තම තීරණය දැනුම් දී තිබේ. පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන්ව සිටි කරුණාරත්න පරණවිතාන, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, නිරෝෂා අතුකෝරල ඇතුළු පිරිසක්ද තම තනතුරුවලින් ඉල්ලා අස්වූ අතර 25 දෙනකුගෙන් සමන්විත නව කාරක සභාවත් පත්කරගෙන තිබේ. ජාතික හෙළ උරුමයේ නව මහලේකම්වරයා ලෙස බන්දුල චන්ද්‍රෙස්කර පත්ව ඇති අතර නව සභාපතිවරයා ලෙස පත්ව ඇත්තේ හැඩිගල්ලේ විමලසාර හිමියන්ය.
පාඨලී චම්පික රණවක මහතා සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරයකු ලෙස මෙවර මහා මැතිවරණයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරයි. තමන් ජාතික හෙළ උරුමයෙන් ඉල්ලා අස්වීමට බලපෑ හේතු පිළිබඳව ඔහු මෙලෙස සඳහන් කළේය.
රට බාරගතයුතු නව යුගයකට පත්වෙමින් අප ඉන්නේ. එබැවින් නව සමාජ දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා ඉතා කණ්ගාටුවෙන් වුවත් ජාතික හෙළ උරුමයෙන් ඉවත් වී ඉදිරි ගමන ආරම්භ කිරීමට අපි කටයුතු කරනවා. භික්ෂූන්වහන්සේලා දේශපාලනඥයන්ට මැතිවරණවලදී උපකාර කරන්නේ ආමිස පූජා අපේක්ෂාවෙන් බැවින් උන්වහන්සේලාගෙන් ඉන් ඔබ්බට කිසිවක් අපේක්ෂා නොකළ හැකි බවට අද මේ රටේ චෝදනාවක් තිබෙනවා. තවත් පැත්තකින් මේ රටේ වැරදි ආකාරයෙන් ධනය උපයාගත් ඇතැම් පිරිසකගේ නියෝජිතයන්, ප්‍රකාශකයන් බවට අපේ බෞද්ධ භික්ෂූන්වහන්සේ පත්ව සිටිනවා. කිසිදාක බණ දේශනාවක් නොකරපු භික්ෂූන් ඇවිත් මෙවැනි දෑ ප්‍රකාශ කරනවා නේද කියාලා අද සමාජයේ කිසියම් ප්‍රකම්පනයක් ඇතිවී තිබෙනවා. එබැවින් දේශපාලකයන්ට යට නොවී සිවුරේ ගරුත්වය ආරක්ෂා කරගත් භික්ෂූන්වහන්සේලාගේ ව්‍යාපාරයක් අද අවශ්‍ය වී තිබෙනවා. එවැනි නව සමාජ ව්‍යාපාර නිර්මාණය කර ගැනීමට අප ඉදිරියේදි කැපවෙනවා. යනුවෙන් කියා සිටියේය..
පාඨලී චම්පික රණවක මහතා 2020 මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කය ජය ගනිමින් පාර්ලිමේන්තුවට පත්වූ සමගි ජනබලවේග කණ්ඩායමේ මන්ත්‍රිවරුන් 6 දෙනාගෙන් අයෙකි. එහිදී ඔහු ඡන්ද 65, 574ක් ලබා එම කණ්ඩායමේ පස්වැනි ස්ථානයට පත් විය. ජාතික සමගි ජනබලවේගය පක්ෂ කිහිපයකින් යුතු සංධානයක් වන අතර ඉදිරියේදී සමගි ජනබලවේගය නමින් දේශපාලන පක්ෂයක් බිහි කිරීමට සාකච්ඡා පැවැත්වෙමින් පවතින බවද, එක් පුද්ගලයක් වටා හෝ එක් කණ්ඩායමක් වටා හෝ බලය ගොනු වූ තවත් අලුත් එක්සත් ජාතික පක්ෂයක් ගොඩ නැඟීමට නොව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ව්‍යවස්ථාවක් සහිතව එම සමගි ජනබලවේගය පක්ෂය ගොඩනැඟෙනවා නම් ඔවුන් සමඟ එක්ව ගමනක් යෑමට තමන් සූදානම් බව ඔවුනට දන්වා ඇති බවද මේ වනවිට සුබවාදී ප්‍රතිචාරයක් ලැබෙමින් පවතින බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
පාඨලී චම්පික රණවක විදුලි ඉංජිනේරුවරයෙකි. ඔහු දේශපාලන ක්‍රියාකාරිකයකු වූයේ 1980 දශකයේ අගභාගයේදී විශ්වවිද්‍යාල සිසුවකු ලෙසිනි. මොරටුව විශ්විද්‍යාලයෙන් උපාධිය හිමිකරගත් ඔහුගේ දේශපාලන ක්‍රියාකාරකම් හේතුවෙන් වසර අටකට වැඩි කාලයක් විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙකු ලෙස ගත කිරීමට සිදුවිය. ජනතා විමුක්ති පෙරමුණට හිතවාදී ශිෂ්‍ය සංගමයක සාමාජිකයකු වූ ඔහු 1988 ජනතා විමුක්ති පෙරමුණු කැරුල්ල සමයේ සහ 1991 දී අත්අඩංගුවට පත් විය..
අතුරලියේ රතන හිමි, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, මාලින්ද සෙනෙවිරත්න වැනි පිරිසක් සමඟ ඔහු දේශපාලනික නොවන සංවිධානයක් වූ ‘ජනතා මිතුරෝ’ සංවිධානය පිහිටුවා ගත්තේය. එම සංවිධානයේ දක්ෂිණාංශික, දෙමළ විරෝධී මතවාදය සහ ක්‍රියා හේතුවෙන් බොහෝ දෙනකුගේ විවේචනයට ලක්විය. 1993 ජනාධිපතිවරණයේදී මේ පිරිස චන්ද්‍රිකා කුමාරතුංගගේ නායකත්වයෙන් යුත් පොදුජන සන්ධානයට සහාය දැක්වූහ.
1998 දී ඔහු ත්‍රස්තවාදයට එරෙහි ජාතික ව්‍යාපාරය නිර්මාණය කිරීමට දායක විය. පසුකාලයේ පාඨලී චම්පික රණවක සිංහල ජාතිකවාදී පක්ෂයක් වූ සිහළ උරුමය පක්ෂයට එක් විය. 2004 පාර්ලිමේන්තු මැතිවරණයට බෞද්ධ භික්ෂූන්වහන්සේ ඉදිරිපත් කිරීමට සහ 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට සහාය දැක්වීම සඳහා සිංහල උරුමය පක්ෂය ජාතික හෙළ උරුමය බවට පරිණාමය වූයේය. ජාතික හෙළ උරුමය සිය ප්‍රථම මැතිවරණයට තරග වැදුණේ 2004 දීය .ඒ අප්‍රේල් 2 පැවති මහ මැතිවරණයයි. එහි සියලු අපේක්ෂකයෝ භික්ෂූන් වූහ. පක්ෂය සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් 6ක් ලබාගත් අතර ආසන 9ක් දිනාගත්තේය. මැතිවරණයකට පෙර හදිසියේ එක්වූ භික්ෂූන් පිරිස තුළ රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් එකමුතුවක් නොමැති වූ බැවින් ගැටුම් ඇතිවිය. ඇතැම් හිමිවරු පක්ෂය හැර ගියහ.
2007 දී ජාතික හෙළ උරුමය රාජපක්ෂ රජයේ හවුල්කරුවෙක් බවට පත්විය. ඒ සමඟ එම පක්ෂයේ මන්ත්‍රීවරයකු වූ ඕමල්පේ සෝභිත හිමි ඉල්ලා අස් වූ අතර එම පුරප්පාඩුවට පාඨලී චම්පික රණවක ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කරනු ලැබීය. ඔහුට රාජපක්ෂ රජයේ පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍ය අමාත්‍ය ධුරය හිමිවිය.
ඔහු 2010 මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කළේය. ඡන්ද 120,333ක් ලබා ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් තෙවැනි ස්ථානයට පත් වූ අතර විදුලිබල හා බලශක්ති අමාත්‍ය ධුරයට පත් විය. 2015 ජනාධිපතිවරණයේදී පාඨලී චම්පික රණවකගේ සහය හිමිවූයේ මෛත්‍රීපාල සිරිසේනටය. පසුව එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් යුත් සන්ධානයට එක්විය. 2015 මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ ඔහු මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා විය.
කලක් පාඨලී චම්පිකගේ දකුණත බඳු වූයේ උදය ගම්මන්පිලය. ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය, සිහළ උරුමය හා ජාතික හෙළ උරුමය හරහා ඔහුගේ දේශපාලන ගමනෙදී ඔහු සමඟම සිටියේ උදය ගම්මන්පිලය. චම්පික රණවක පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ධුරයට පත් කළේද ඔහුවය. පසුව දෙදෙනා අතර තදබල විරසකයක් ඇතිවූ අතර ගම්මන්පිල ජාතික හෙළ උරුමයෙන් ඉවත්ව පිවිතුරු හෙළ උරුමය නමින් නව පක්ෂයක් බිහි කළේය. එතැන් සිට චම්පික රණවකගේ දරුණුම විවේචකයා වූයේ ගම්මන්පිලය..
පාඨලී චම්පික රණවක ජාත්‍යන්තර මැදිහත්වීම්වලට සෘජුවම විරෝධය පෑවෙකි. ශ්‍රී ලංකාවට එරෙහිව පියවර ගන්නා ඕනෑම අයකු ත්‍රස්තවාදයට සහාය දෙන බව පවසමින් ඔහු ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මැදිහත්වීම විවේචනය කර තිබේ. 2011 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාව ඔහු හැඳින්වූයේ “රාජ්‍යතාන්ත්‍රික ත්‍රස්තවාදය” යනුවෙනි. ලිබියාවට එරෙහි ගුවන් ප්‍රහාරවලට ඔහු තම විරෝධය පළ කළේය.
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී සන්දීප් සම්පත් නැමති තරුණයකු අනතුරට ලක් කොට බරපතල තුවාල සිදු කිරීම, එම අනතුරෙන් පසුව වාහනයේ රියදුරු මාරුකිරීම, රිය අනතුරක් සිදුකර පලායාම, පොලිසියට තොරතුරු වසන් කිරීම යන කරුණු සම්බන්ධයෙන් 2019 දෙසැම්බර් 18 දින ඔහු අත්අඩංගුවට පත් විය. පසුව ඇප මත නිදහස් කෙරිණි. ඊට අදාළ නඩුව තවමත් පවතී.
කෙසේ නමුදු පසුගිය සතියේ ජාතික හෙළ උරුමයෙන් ඉවත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට සමගි ජන බලවේගයේ උප සභාපති ධුරය ලබාදීමට එම පක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරන බවට වාර්තා වේ.. මුලින් ඔහුට සමගි ජන බලවේගයේ නියෝජ්‍ය නායක ධුරය ලබාදෙන බවට රාවයක් පැවතියද එම පක්ෂයේ යෝජිත ව්‍යවස්ථාවේ නියෝජ්‍ය නායක ධුරයක් නොමැති යැයි දැනගන්නට තිබේ. මේ වනවිට එම පක්ෂයේ නව ව්‍යවස්ථාව සකස් කෙරෙමින් පවතින අතර එය නුදුරු දිනයක විධායක සභාවට යොමු කර අනුමැතිය ලබා ගැනීමට නියමිත බවද වාර්තා වනවා.
ජාතික හෙළ උරුමයෙන් ඉවත් වූ පාඨලී චම්පික රණවක මහතා නිදහස් අධ්‍යාපනයෙන් උගත් විද්වතුන් ඒකරාශී කර ගනිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වියත් මග වැනි සංවිධානයක් බිහි කිරීමටද සැලසුම් කර ඇතැයි පැවසේ. එහෙත් ඔහුගේ ඉදිරිපිම්ම තවමත් තක්සේරු කිරීමට කල්වැඩිය.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා