කොවිඩ් වසංගතය මේ වනවිට ඉතාම බරපතළ තත්ත්වයකට පැමිණ ඇතැයි සෞඛ්‍ය අංශවල වගකිවයුත්තෝ පවසති. ඒ ඔවුන්ගේ පාලනයෙන් කෝව්ඩි වසංගතය මග හැරීයාම නිසාය. මෙතුවක් කල් සෞඛ්‍ය අංශවලට වඩා අනාවැකි කීවේ දේශපාලකයන්ය. ඔවුන් කීවේ සෞඛ්‍ය අංශවල පාලනයේ වෛරසය ඇති බවය. එය අමූලික රුවටීමකි. එනම් වෛරසයක් පාලනයේ තබාගත හැකිදැයි අද වනවිට අභියෝගයට ලක් වී ඇත. ඒ නිසා වෛරසයට දේශපාලන මුහුණුවරක් ලබාදීමේ අරමුණින් වෛරසය පාලනය කළ බව කීවත් වෛරසයක් කෙසේවත් පාලනය කර ගැනීමේ හැකියාවක් නැත. පාලනය කළ හැක්කේ මිනිස්සුන්ගේ ජීවන ක්‍රමය මිස වෛරසය නොවන බව ප්‍රථමයෙන්ම කිව යුතුය.
• අනතුරකට අත වැනීම
මේ දිනවල උත්සව සමය උදාවීමත් සමඟ බොහෝදෙනා සුපුරුදු ජීවන ක්‍රමයට නතුවෙමින් සිටිති. සියල්ල කැටුව ෂොපින් කරමින් අලුත් ඇඳුම් කැඩුම් ගැනීමට ඇතැම් අය වෙළඳසැල් අසල පොරකති. කිසිවකුට මේ වසංගතය ගැන කැක්කුමක්, බයක් නැත. ඒ නිසා මුල කියූ පරිදි වෛරසය පාලනය කළ නොහැක. පාලනය කළ හැක්කේ මිනිස්සුන්ගේ හැසිරීම් පමණි.
කෙසේ වෙතත් ඒ සියල්ල තඹයකට මායිම් නොකරන බොහෝ ජනතාව මේ වනවිට දරුණු අනතුරකට අතවනමින් සිටිති. ඒ නිසා ඉදිරියේ උත්සව පොකුරක් රටේ ඇතිවීම ඉතාම ආසන්න මොහොතක ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු ශ්‍රී ලංකා සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කර සිටියේ සමහරුන් අවදානම නොතකා කටයුතු කරන බවයි. ඒ නිසාම තම සංගමය ලබන 24 වැනිදා සිට 1 වැනිදා දක්වා සංචාරක සීමා පනවන ලෙසට ඉල්ලීම් කළ බව හෙතෙම සඳහන් කළේය. ඒ අනුව බස්නාහිර පළාත හුදෙකලා කිරීමටත් අනෙකුත් දිස්ත්‍රික්ක හරහා ගමනා ගමනය සීමාකරන්නත් ඔවුන්ගේ යෝජනාව වී ඇත.
එහෙත් මේ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය තවම ප්‍රකාශ කර නොමැත. යුද හමුදාපතිවරයා පසුගියදා ප්‍රකාශ කළේ ඒ උත්සව සමයේදී සීමා පනවනවාද නැද්ද යන්න ඉදිරියේදී තීරණය කරන බවය.
කෙසේ වෙතත් සංචාරක සීමා දැම්මත් නොදැම්මත් ජනතාවගේ අවධානයක් නැති අවදානම් සහිත වැඩකටයුතු නිසා ඉදිරියේ විශාල අනතුරක මුහුණදෙන්නට සිදුවනු ඇතැයි බොහෝදෙනා සඳහන් කරති.
• කොවිඩ් පොකුරු බස්නාහිරෙන් පිට
පසුගිය කාලය පුරාම ඉතාම ඉහළ මට්ටමකට බස්නාහිර පළාතෙන් කොවිඩ් රෝගීන් වාර්තා වුණත් අද වනවිට එය බස්නාහිරෙන් බැහැරව රටපුරාම ව්‍යාප්ත වෙමින් ඇත. ඇතැම් දිස්ත්‍රික්කවල ගම්මාන වලින් දිනකට රෝගීන් 10කට එහා හමුවෙමින් තිබේ. පුදුමය නම් ඒ අහම්බයෙන් සිදුකරන PCR පරීක්ෂණය හරහාය. ඒ නිසා මහජන පරීක්ෂකවරුන් සඳහන් කරන්නේ මෙය ඉතාම බරපතළ තත්ත්වයක් බවයි. ඒ නිසා හැකි ඉක්මනින් ප්‍රධාන වශයෙන් හඳුනාගත් ස්ථානවල PCR පරීක්ෂණ සිදුකළ යුතු බව ඔවුහු පෙන්වා දෙති.
• මුස්ලිම් ගම්මාන අනතුරේ
අධික ජනගහනයක් ජීවත් වන මුස්ලිම් ගම්මාන තුළ වෛරසය වේගයෙන් පැතිර යාමේ තත්ත්වය වැඩිවී ඇතැයි සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහන් කරති. ඔවුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කර සිටියේ මේ තත්ත්වය දැන් ඉහළ යමින් ඇති බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සෙවීමේදී දැනගන්නට ලැබුණේ කොවිඩ් නිසා මියයන ඉස්ලාම් ජාතිකයන්ගේ මළසිරුරු ආදාහනය මෙයට හේතුව වී ඇති බවයි. එය ඔවුන්ගේ ආගමික ක්‍රමයට පටහැනි නිසාත් මරණයෙන් පසුව අලුත් ජීවිතයක් ලැබීමට භූමදානය කළයුතු බව ඔවුන්ගේ විශ්වාසය නිසාත් ඔවුහු තමන්ට කොවිඩ් වෛරසයේ රෝග ලක්ෂණ ඉස්මතු වුවත් නොකියන තැනට පත්ව සිටිති. ඒ නිසා රෝගය සඟවාගෙන සිටීම නිසා ඉක්මනින් රෝගය පැතිරයාමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. එම ගම්මානවල තත්ත්වය මේ හේතුවෙන් ඉතාම තීරණාත්මක වී තිබේ.
• සමාජ මාධ්‍යවල යන බෙහෙත් වට්ටෝරු බොන්න එපා
පසුගියදා සෞඛ්‍ය අමාත්‍යංශය ඉහත කී සිරස්තලය යටතේ නිවේදනයක් යොමු කළේය. එයට හේතුවුණේ ඒ වනවිටත් සමාජ මාධ්‍ය තුළ මේ වසංගතය වෙනුවෙන් විවිධ වර්ගයේ බෙහෙත් හඳුන්වා දෙන පිරිස් දුසිම් ගණනින් මතුවීම නිසාය. එපමණක් නොව ඔවුහු බෙහෙත් වට්ටෝරුද ජනතාවට ඉදිරිපත් කරති. එහෙත් ඒ කිසිදු බෙහෙතක් රජයේ අනුමත හෝ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමත බෙහෙත් නොවන්නේය. ඒ නිසා කෝවිඩි හැදුණොත් ගොඩ වෙදකම් සිදුනොකර කඩිනමින් අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ යුතුව ඇත.
එහෙත් පුදුමය නම් ඒ සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන බෙහෙත් වට්ටෝරු සහ විවිධ වර්ගයේ වෙදුන් ඇතැම් මාධ්‍යයද කර තියාගෙන යාමය. මෙවන් මොහොතක ජනතාවට මේ වැනි වැරදි තොරතුරු ලබාදීම ඉතාම වැරදි සහගත දෙයකි. නාළිකාවල ජනප්‍රියතාවය රුකගැනීම සඳහා මේ ආකාරයෙන් වැරදි බෙහෙත් වට්ටෝරු ජනතාවට පෙන්වීම &සූර්යග්‍රහණය මොහොතේ ලස්සන වන්නට වදකහ බිව්වා* හා සමානය. ඒ නිසා වගකිව යුතු මාධ්‍ය කළයුත්තේ අනවශ්‍ය අවදානමක් රටතුළ ඇති නොවන සේ කටයුතු කිරීමය.
• කොවිඩ් වාර්තාව
මේ වනවිට රටේ කොවිඩ් රෝගීන් 35,000කට එහාය. මරණ 160 කට වඩා වැඩිය. දිනකට හමුවන රෝගීන් සංඛ්‍යාව 500 කට වැඩිය. ඉන් 2/3 ක්ම කොළඹ රෝගීන්ය. අනෙක් පිරිස පිට පළාත්වලින්ය. කොළඹින් හමුවන රෝගීන් අහඹුව සිදුකරන PCR පරීක්ෂණ හරහා තහවුරු වන බහුතරයකි. මීට පෙර කොවිඩ් ආශ්‍රිතයන් හරහා හමුවන පිරිසක් හිටියත් අද වනවිට බොහොමයක් හමුවන්නේ ආශ්‍රිතයන් නොව මූලාශ්‍ර සොයා ගැනීමට නොහැකි රෝගීන්ය. කොළඹ බොහෝ ආයතනවල රැකියා කරන පිරිස් අතර පවා වෛරසය වේගයෙන් පැතිරෙන්නට පටන් ගෙන ඇත. මේ නිසා පොදු ප්‍රවාහනය පවා ඉතාම අවදානම් තැනකට පත්ව තිබේ.
කෙසේ වෙතත් පොදු ප්‍රවාහනයේ එහාමෙහා වන රෝගීන් හඳුනාගත නොහැක. එක ළඟ වාඩිවී ගියත් අනෙකාට හඳුනාගැනීමේ හැකියාවක් නැත. මෙකී හේතුව නිසා ඉදිරි උත්සව සමය ඉතාම තීරණාත්මක වන බව මුල කී ලෙසටම දැන්විය යුතුය. එනම් ගෙවල්වල ඉන්න පිරිස් පවා එකට පොදු ප්‍රවාහනයේ ගමන් කිරීම, මුදල් සංසරණය වීම, වැනි කාරණා හේතුවෙන් අවදානම සුළුපටු වන්නේ නැත. ඒ නිසා ජනතාවගෙන් ඉල්ලීමට ඇත්තේ එක දෙයකි. එක දිනෙක සතුටක් වෙනුවෙන් මුළු ජීවිතයම කැපකරනවාද? නැත්තන් මුළු ජීවිතය වෙනුවෙන් එක දවසක් අමතක කරනවාද යන්නය?
කෙසේ වෙතත් ලෝකය මේ වනවිට තම රටේ ජනතාවට අලුතින් හඳුනාගත් ඖෂධ එන්නත් කරන විට, ඒ වෙනුවෙන් උපරිම මැදිහත් වනවිට අපේ රටේ ආර්ථිකය අනුව එවැනි තොගයක් මිලදී ගැනීමේ හැකියාවක් නැත. අපට ඇත්තේ පරිත්‍යාග පමණි. ඒ නිසා ඒ පරිත්‍යාගද දෙකෝටි විසි ලක්ෂයකට එකවර ලැබෙන්නේ නැත. ලැබෙන්නේ ඉතාම සුළු පිරිසකට පමණි. අපි විවිධ පැණි හොයාගත් බවට කීවත් ඒවා තවම සායනිකව හෝ රසායනාගාර ක්‍රමයකින් හෝ තහවුරු කරගෙන නැත. ඒ නිසා අපට ඇති එක ඖෂධය වසංගතයෙන් ආරක්ෂා වීම පමණි. එසේ නොවී වගකිම් විරහිතව ඔබ වැඩකටයුතු කරනවා නම් ඔබ අනතුරේ හෙළන්නේ ඔබේ ජීවිතේ පමණක් නොව රටේ සමස්ත ජනතාවගේම ජීවිත බව අමතක කළයුතු නැත.
ගයාන් ගාල්ලගේ