පසුගිය දිනවල සුරාබදු දෙපාර්තමේන්තුව පිළිබඳ කතාබහක් ඇතිවූයේ රුපියල් කෝටි 300ට ආසන්න අයිස් හා හෙරොයින් මත් ද්‍රව්‍ය කිලෝ 199ක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු මාරවිල දකුණු තොඩුවාව ප්‍රදේශයේදී අත් අඩංගුවට ගැනීමත් සමඟය. සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධානතම කාර්යභාරය වනුයේ ශ්‍රී ලංකාවේ සුරා හෝ දුම්කොළ කර්මාන්තය තුළින් ආදායම් එකතු කිරීමත් එම කර්මාන්තවල නිත්‍යනුකූල නොවන නිෂ්පාදනයන් වැළැක්වීමත්, වසවිස, අබිං හා අන්තරායකාරී ඖෂධ පනත ක්‍රියාවට නැංවීමෙන් සමාජ ආරක්ෂාව සැපයීමත්ය.
රජයට ආදායම් උපයා දෙන ප්‍රධාන පෙළේ ආයතනයක් වන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවය. දිවයින පුරා පිහිටි සහකාර සුරාබදු කාර්යාල 13කින්, සුරාබදු අධිකාරි කාර්යාල 31කින් හා සුරාබදු ස්ථාන 63කින් ඔවුන්ගේ සේවය ඉටු කෙරේ.
මෙරට රාජ්‍ය ආදායමට සුරාබදු දෙපාර්තමේන්තුව විශාල දායකත්වයක් සපයයි. 2015 වසරේ සමස්ත රාජ්‍ය ආදායම රුපියල් මිලියන 1,454,878කි. ඉන් සුරාබදු දෙපාර්තමේන්තුව මගින් උපයා දුන් ආදායම රුපියල් මිලියන 105,349ක් විය. 2016 රුපියල් මිලියන 1,686,061ක් වූ සමස්ත රාජ්‍ය ආදායමෙන් අතර සුරාබදු දෙපාර්තමේන්තුව මගින් ඉපැයූ ආදායම රුපියල් මිලියන 118,839ක් විය. 2017 සමස්ත රාජ්‍ය ආදායම රුපියල් මිලියන 1,831,531ක් වූ අතර සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 111,238ක් උපයා තිබිණි. 2018 රුපියල් මිලියන 1,935,095ක් වූ සමස්ත රාජ්‍ය ආදායමෙන් රුපියල් මිලියන 110,276ක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් උපයනු ලැබීය. 2019 සමස්ත රාජ්‍ය ආදායම රුපියල් මිලියන 1,907,196ක් වූ අතර සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 116,443ක් උපයා තිබිණි.
රටට ආදායම් උපයන ප්‍රධාන ආයතනයක් වුවද එම දෙපාර්තමේන්තුව තුළ අර්බුද රුසක් පවතින බව වාර්තා වේ. එහි සේවය සඳහා අවශ්‍ය සේවක සංඛ්‍යාවේ විශාල අඩුවක් පවතී. 2020 ජුනි 30 වැනි දින වන විට එහි සිටිය යුතු සමස්ත සේවක සංඛ්‍යාව 1592ක් වුවද දැනට සිටින සේවක පිරිස 1300ක් පමණි. ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සිට ප්‍රාථමික මට්ටම දක්වා සේවකයන් 292කුගේ හිඟයක් පවතින බව වාර්තා වේ. ඇතැම් තනතුරු වසර පහකට අධික කාලයක් පුරප්පාඩුව පවතී. අනුමත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සංඛ්‍යාව 67ක් වුවද සිටින්නේ 32දෙනෙකි. තෘතියික මට්ටමේ සේවකයන් 381 සිටිය යුතු වුවද සිටින්නේ 315 දෙනකි., අනුමත ද්විතික මට්ටමේ සේවක සංඛ්‍යාව 872ක් වුවද සිටින්නේ 756 කි. ප්‍රාථමික මට්ටමේ සේවකයන් 272නකු සිටිය යුතු වුවද සිටින්නේ 197 දෙනෙකි. 2015 සහ 2016 යන වසරවල දෙපාර්තමේන්තුවේ සේවයට සෘජුවම අවශ්‍ය ජ්‍යෙෂ්ඨ සහ තෘතියික මට්ටමේ සේවකයන් 100ක පමණ හිඟයක් පැවති අතර 2019 දෙසැම්බර් 31 දින වන විට විවිධ හේතූන් මත වැඩතහනමට ලක්වූ නිලධාරීන් සම්බන්ධයෙන් වසර තුනකට අධික කාලයක් පුරා විනය පරීක්ෂණ සිදුකර නොමැති බවද වාර්තා වේ.
දෙපාර්තමේන්තුවට ආදායම් ඉපැයිය හැකි මාර්ග කිහිපයක්ද මඟහැරී තිබේ. 1999 අංක 8 දරන දුම්කොළ බදු පනතේ 2 වැනි වගන්තිය අනුව මෙරට නිපදවන සෑම සුරුට්ටු, බීඩි හා පයිප්ප දුම්කොළ කිලෝග්‍රෑමයක් සඳහාම බදු අය කළ යුතු වුවද සුරුට්ටු සහ බීඩි සම්බන්ධයෙන් බදු අය නොකෙරෙන බැව් අනාවරණ වේ. 2019 වසර වන විට මෙරට බීඩි හා සුරුට්ටු නිෂ්පාදකයන් 500කට ආසන්න පිරිසක් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී සිටියහ. ගතවූ සිව් වසර තුළ මෙරට නිෂ්පාදනය කෙරුණු බීඩි හා සුරුට්ටු ප්‍රමාණය දල වශයෙන් ඒකක බිලියන 16ක් පමණ විය. තෝරාගත් ආයතන 30ක පමණක් 2018/ 2019 වාර්ෂික බීඩි නිෂ්පාදනය ඒකක 31,348,500ක් විය. ඒ අනුව ආයතන 500කට අධික ප්‍රමාණයකින් රජයට විශාල බදු ආදායමක් අහිමි වී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් අනාවරණ වේ.
2019 නොවැම්බර් 30 දින සමාගම් දෙකක් ස්ප්‍රීතු ආනයනය සඳහා නිත්‍යනුකූලව අවසර ලබා දී තිබූ ප්‍රමාණය ඉක්මවා ලීටර් 3,760,319.53ක් ආනයනය කර තිබේ. ස්ප්‍රීතු ආනයනය කරන සමාගම් තුනකට අදාළව රේගු දෙපාර්තමේන්තුවේ දත්තවල සහ ආනයනය කරන ලද ස්ප්‍රීතුවල ප්‍රමාණය අතර ලීටර් 4,553,811.7ක වෙනසක් පැවතියේය. ඒ අනුව ස්ප්‍රීතු ආනයනය කිරීමේදී ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව මගින් නිසි නියාමනයක් සිදුකරන්නේද යන ගැටලුව මතුව තිබේ. වසරකට මෙරටට අවශ්‍ය ඊතයිල් මධ්‍යසාර ප්‍රමාණය පිළිබඳව සුරාබදු දෙපාර්තමේන්තුව මගින් නිෂ්චිත හඳුනාගැනීමක් සිදු කර නොමැති බවද වාර්තා වේ. වැඩිපුර ආනයනය සම්බන්ධයෙන් දඩමුදලක් පැනවීමට අවශ්‍ය නීතිරීති සම්පාදනයටද මෙතෙක් කටයුතු කර නැතැයි පැවසේ. අයදුම් කළ ප්‍රමාණයට වඩා වැඩි ස්ප්‍රීතු ප්‍රමාණයක් මෙරටට ආනයනය කිරීමට ව්‍යාපාරිකයන්ට හැකිව ඇත්තේ එම දුර්වලතා හේතුවෙනි.
2019 දෙසැම්බර් 31 වැනි දිනට මත්පැන් නිෂ්පාදන සමාගම් පහකින් වසර 5ක කාලයක් තුළ සුරාබදු දෙපාර්තමේන්තුවට අයවීමට තිබූ හිඟ බදු මුදල රුපියල් මිලියන 479.9ක් වූ අතර ප්‍රමාද ගාස්තු එකතුව රුපියල් මිලියන 1,896.3ක් විය. මින් සමාගම් දෙකකට එරෙහිව නීතිමය පියවර ගැනුණද ඉතිරි සමාගම් තුන සම්බන්ධයෙන් කිසිදු නෛතික ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද වාර්තා වේ.
විශේෂ වාර්තාකරුවකු විසිනි