අපේ ජාතික අපනයන ආදායමෙන් අඩකට ආසන්න ප්‍රමාණයක දායකත්වය සලසන ඇඟලුම් කර්මාන්තයට කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා කණකොකා හඬන්නට පටන්ගෙන ඇත. අද ඇතිවී ඇති තත්ත්වය රටේ ජාතික ආර්ථිකයට මෙන්ම ඇඟලුම් කර්මාන්තයට සම්බන්ධ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට අහිතකර ලෙස බලපා තිබේ. රෙදිපිළි සහ ඇඟලුම් අපනයනයෙන් 2018 වසරේදී ලැබූ අමෙරිකානු ඩොලර් මිලියන 5317.7 ආදායම හා සසඳන විට 2019 දී සියයට 5.9ක වර්ධනයක් පෙන්නුම් කළේය. 2019 ලැබූ ඇඟලුම් අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 5596.5ක් විය. 2019 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව අනුව එම වසරේදී අමෙරිකා එක්සත් ජනපදයට අපනයනය කළ ඇඟලුම්වලින් ලද ආදායම ඩොලර් මිලියන 2338 දක්වා සියයට 3කින්ද යුරෝපා වෙළෙඳපොළට අපනයනය කළ ඇඟලුම් ආදායම ඩොලර් මිලියන 2153 දක්වා සියයට 4.9 කින්ද ඉහළ ගොස් තිබේ.
මෙවැනි පසුබිමක කොවිඩ් වසංගතය නිසා මෙම වසරේ ඇඟලුම් අපනයන ආදායම විශාල ලෙස පහත වැටෙනු ඇතැයි දැනටමත් පුරෝකථනය කර ඇත. පසුගිය නොවැම්බර් මාසයේදී ඊට පෙර මාසයට සාපේක්ෂව අපේ මාසික අපනයන ආදායම ඩොලර් මිලියන 238කින් අඩුව ඇති බවද වාර්තා වේ. අමෙරිකානු ඩොලර් මිලියන 1000 සිට මිලියන 762 දක්වා මෙම පහළ යාම සිදුව ඇති අතර මේ පිළිබඳ මුදල් අමාත්‍යංශය කළ සමීක්ෂණයකදී හෙළිදරව් වී ඇත්තේ ඇඟලුම් අපනයන ආදායම පහත වැටීම මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවය.
විශේෂයෙන් නිදහස් වෙළෙඳ කලාප ගණනාවකින් හෙබි ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඟලුම් කම්හල්වල සේවක සේවිකාවන්ගේ වැඩට පැමිණීම අඩුවීම නිසා ඇඟලුම් නිෂ්පාදනය පහළ වැටී ඇති අන්දම දැක්වේ. කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පමණක් සමස්ත සේවක සංඛ්‍යාව වන 32,000කින් පමණ මේ වනවිට සේවයට වාර්තාකර ඇත්තේ 20,000කට ආසන්න ප්‍රමාණයක් බව හෙළිවී ඇත. අනිකුත් නිදහස් වෙළෙඳ කලාපවල සහ ඉන් පිටත ඇඟලුම් කර්මාන්තශාලාවලද නිෂ්පාදනය අඩපණ වී ඇත්තේ සේවකයාගේ පැමිණීම පහළ වැටීම නිසාය. ඇඟලුම් කම්හල්වල කොරෝනා ආසාදිත වූ විට එය සීඝ්‍රයෙන් පැතිර යාම නිසා එය රැල්ලක් බවට පරිවර්තනය වී ඇත. මේ නිසා බියට පත්වන සේවක සේවිකාවෝ වැඩට පැමිණීමට මැලි වී සිටිති. වැඩට පැමිණි අයටද සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලින් බැහැරව සේවය කිරීමට සිදුවීම නිසා ඔවුහු දැඩි පීඩනයකට ලක්ව සිටිති.
එසේම සේවකයන් පැමිණිලි කරන්නේ තමන්ට රජයෙන් නියමකර ඇති වරප්‍රසාද පවා සමහර හාම්පුතුන් ලබා නොදෙන බවටය. කොරෝනා පිට දමා සේවයෙන් පහ කිරීම, වැටුප් හා දීමනා කප්පාදු කිරීම ආදිය සිදුකරන නිසා තමන් විශාල අසාධාරණයකට පත්ව ඇතැයි සේවක සංගම් පැමිණිලි කරයි. ඔවුන් කියන්නේ තම ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට කිසිදු බලධරයකු නොමැතිවීමෙන් තත්ත්වය තවත් උග්‍ර වී ඇති බවය.
කෙසේ වුවද දැනට ඇඟලුම් කර්මාන්තයට අත්ව ඇති ඉරණම අපේ රටේ ආර්ථිකයට ඉතාම අහිතකර ලෙස බලපායි. ආණ්ඩුව ආනයන සීමාකර අපනයන ඉහළ නැංවීමට උත්සාහ කරමින් සිටින විට මෙලෙස අනපේක්ෂිත ලෙස ඉහළ ආදායමක් ලබන ඇඟලුම් කර්මාන්තය කඩාවැටීම කොරෝනා වසංගතයෙන් සිදුව ඇති හානිය තවදුරටත් තීව්‍ර කරයි.
• ඇණවුම් කැන්සල් වෙන්නත් පුළුවන්
මේ තත්ත්වය රටේ ආර්ථිකයට බලපාන අන්දම පිළිබඳ කරුණු දක්වන කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු මහාචාරිණී ප්‍රේමා පොඩිමැණිකේ මහත්මිය පවසන්නේ මෙයින් සිදුව ඇති හානිය යළි ගොඩනැගීම සඳහා සෑහෙන කාලයක් ගතවිය හැකි බවය.
"ඇඟලුම් අපනයන ව්‍යාපාරය දැඩි තරගකාරී බවට පත්ව ඇති වකවානුවක් තමා මෙය. කර්මාන්තයේ ගුණාත්මක හා ප්‍රමාණාත්මක වෙනසක් ඇති කළ යුතු තත්ත්වයකයි දැනටමත් තිබෙන්නේ. මෙරටට ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ඔවුන්ට යම් යම් පහසුකම් ලබාදීමට කටයුතු යොදමින් තමා රජය සිටියේ. එවැනි වාතාවරණයකදී කුමන හේතුවක් යටතේ හෝ ඔවුන් අපෙන් ඈත්වන්නේ නම් එය ආර්ථිකයට විශාල ලෙස අහිතකර වෙනවා."
ඇය පවසන්නේ අපේ ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවකයන් පිළිබඳ ගැටලුද පසුගිය කාලයේ වර්ධනය වූ බවයි. සේවකයන්ට සහන සැලසීමට යම් යම් නීති පැනවීම සමහර අවස්ථාවල ව්‍යාපාරිකයන්ට අහිතකර ලෙස බලපාන බව ඇය කියයි.
"විශේෂයෙන් පෞද්ගලික අංශ සේවකයන් පිළිබඳ රජය විවිධ නීති දානවා. ඔවුන්ගේ විශ්‍රාම ගන්වන වයස දිගු කිරීම, වැටුප් මට්ටම් නියම කිරීම ආදිය සේවකයන්ගේ පැත්තෙන් හොඳ වුවත් ඒවා ආයෝජකයන්ට අහිතකර විය හැකියි. ඔවුන් සමග සාකච්ඡා නොකර තීරණ ගැනීම හිතකර නැහැ. එසේම කොරෝනා වසංගතය නිසා නිෂ්පාදනය අඩු වීමෙන් ගිවිසුම් ප්‍රකාරව ඇඟලුම් සැපයීමට නොහැකි වීමෙන් මේ වනවිට ඇතැම් ඇණවුම් අවලංගු වීමේ ප්‍රවණතාවක් ඇතිවෙලා තියෙනවා. එම ඇණවුම් අපෙන් ගිලිහී ගියහොත් වෙනත් රටවල් ඒවා අල්ලා ගනීවි. එවිට යළි අලුත් ඇණවුම් ලබා ගැනීමට අපට සිදුවෙනවා. එසේම ආයෝජකයන්ට අමතර වැයක් දැරීමට සිදුවීම නිසාද නිෂ්පාදන වියදම ඉහළ ගොස් තිබෙනවා. මෙවැනි තත්ත්ව ඇතිවූ බොහෝ රටවල් අපනයන ආයෝජකයන්ට යම් යම් සහන දී තිබෙනවා. නමුත් අපේ රටේ එවැන්නක් දක්නට නැහැ."
• දැඩි සීමා පැනවීමෙන් ආයෝජකයන් අමාරුවේ
නිදහස් වෙළෙඳ කලාප කර්මාන්තකරැවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධම්මික ප්‍රනාන්දු පවසන්නේ ආයෝජකයන් සහ සේවකයන් යන දෙපාර්ශ්වයම වර්තමාන තත්ත්වය හමුවේ දැඩි දුෂ්කරතාවලට පත්ව ඇති බවය. දැනට පවතින දැඩි සීමා නිසා ආයෝජකයන් අපහසුතාවට ලක්ව තිබෙන අතර ඇතැම් අය මෙරට ආයෝජන කටයුතු අතහැර දමා සිය රටවලට යාමේ ප්‍රවනතාවක්ද ඇතිව තිබේ යැයි ඔහු පවසයි.
"නිදහස් වෙළෙඳ කලාප 14ක් තුළ කර්මාන්ත ශාලා විශාල සංඛ්‍යාවක් පවතිනවා. කටුනායක, බියගම, කොග්ගල, නුවර ආදී ප්‍රදේශවල කර්මාන්තශාලා 280ක් පමණ තිබෙනවා. මේවායේ සේවය කරන 2,25,000ක් වූ සේවක සංඛ්‍යාව දැන් 1,32,000 දක්වා පහළ බැස තිබෙනවා. මේ නිසා නිෂ්පාදනය අඩුවී කර්මාන්තශාලා පවත්වාගෙන යාමට අපහසු බවට පත්වෙලා. මෙයට හේතු ගණනාවක් තිබෙනවා. වසංගතය නිසා සේවයට වාර්තා නොකිරීම මෙන්ම සමහර කර්මාන්තශාලා වසා තැබීමද හේතුවක්. මුළු ජාලයේම විශාලතම ආයතන 3-4 පමණ වසා දමලා. සමහර ඒවා වැඩකරන්නේ අඩක් පමණයි. මෙම බිඳවැටීම් නිසා මේ වසර තුළ මුළු අපනයන ආදායමෙන් සියයට 30-40 පමණ අඩුවෙන බව කිව හැකියි.
මෙහිදී සේවකයන් පමණක් නොව කර්මාන්තශාලා හිමියන්ද අමාරුවේ වැටිලා. ඇණවුම් නැතිව ගොස් ඇති අතර නිෂ්පාදන වියදමද වැඩිවෙලා. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අවනත වීම නිසා අමතර පිරිවැයක් දරන්නට සිදුව තිබෙනවා. අහඹු පී.සී.ආර්. පරීක්ෂණ සඳහා විශාල මුදලක් වැයකරන්නට සිදුවෙලා. නිදහස් වෙළෙඳ කලාපවලින් පිටත පවතින ආයතන මේ සඳහා රුපියල් මිලියන 233 වැයකර ඇති අතර වෙළෙඳ කලාප 14 තුළ කම්හල් සඳහා මිලියන 320ක් වැයකරන්නට සිදුව තිබෙනවා. මුළු පී.සී.ආර්. වියදම ඒ අනුව මිලියන 553ක්. මෙයට අමතරව සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදවලට අනුගත වීමට, සේවක ප්‍රවාහනයට අමතර ගමන් වියදම් ආදිය සඳහා තවත් රුපියල් මිලියන 1000 පමණ වැයකර තිබෙනවා. මෙම වියදම් ආයෝජකයන්ට දරා ගන්නට බැහැ. ස්වකීය මවු සමාගම් උපදෙස් දී තිබෙන්නේ මෙම ආයෝජන අතහැර දමා ආපසු එන ලෙසට. තත්ත්වය තවත් උග්‍ර වුවහොත් අපට එලෙස කටයුතු කරන්නට සිදුවෙනවා.
වෙනත් කර්මාන්තවල සේවක සේවිකාවන්ට පී.සී.ආර්. පරීක්ෂණ ආදිය සඳහා වියදම් දරන්නේ රජයයි. ඒත් අපට පමණක් මෙයට වැය කරන්නට සිදුවීම විශාල ගැටලුවක්. එසේම කම්කරු නීති ආදිය වෙනස් කිරීමද අපට විශාල හිරිහැරයක් වෙලා. විශ්‍රාම යන වයස වැඩි කිරීම අපේ ක්ෂේත්‍රවලට අහිතකරව බලපානවා. අවුරුදු 60 පැන්න අය තියාගන්න සිදුවීම අපේ නිෂ්පාදනවලට අහිතකරයි. වයස වැඩි අය නිසා අපේ ක්ෂේත්‍රවල කාර්යක්ෂමතාව අවම වීමට බලපානවා. අතපය වෙහෙසවෙලා වැඩ කරන්න වැඩි වයස් අයට අපහසුයි.
අප තවමත් වැඩ කරන අයට සම්පූර්ණ වැටුප ගෙවනවා. ඒත් ඇණවුම් අඩුවීම නිසා අතිකාල වැඩ අඩුවෙලා. මූලික වැටුප සහ දීමනා පමණයි ගෙවන්නේ. සේවක ආදායම මේ නිසා බාගයට බාගයක් බැහැලා. ඒ අයට තමන්ට පුරැදු ලෙස වියදම් කරන්න බැරිවෙලා. පාරිතෝෂික මුදල්ද මේ වසරේ අඩුවෙන් හෝ ගෙවා තියෙනවා. වැටුප් වැඩි කිරීම්ද සිදුකරලා. සේවකයන්ගේ පහසුකම්ද ඒ ආකාරයෙන්ම ඉටු කරනවා. නිෂ්පාදන ආදායම අඩුව තිබියදී මුලින් තිබූ සම්පූර්ණ වියදමට වැඩියෙන් දරන්නට සිදුවීම නිසා ආයෝජකයන් අපහසුතාවට පත්වෙලා.
මෙම කර්මාන්තයෙන් යැපෙන අයගේ සංඛ්‍යාව විශාලයි. සේවක සංඛ්‍යාවෙන් 3-4 ගුණයක් යැපෙන අය ඉන්නවා. වෙළෙඳ කලාප අයගෙන් හා පිටත සේවකයන් නිසා මිලියන 4ක් පමණ යැපෙන්නන් ඉන්නවා. ඇඟලුම් හැර වෙනත් අපනයන කර්මාන්තවලින් මිලියන 3ක් ආදී වශයෙන් මිලියන 7කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්වෙලා. එසේම රටේ ජාතික ආර්ථිකයට ඇඟලුම් හා ඇඟලුම් නොවන කර්මාන්තවලින් අමෙරිකානු ඩොලර් බිලියන 7ක පමණ විදේශ ආදායම අහිමි වී තිබෙනවා. මෙයද අපට මෙන්ම රටටද විශාල ගැටලුවක් බව කිව යුතුයි.
• සේවක පිරිස් සහ යැපෙන්නෝ ගැටලු ගොඩක
නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් පවසන්නේ අද පවතින වාතාවරණය නිසා ඇඟලුම් ක්ෂේත්‍රයේ සේවක සේවිකාවන් සහ ඔවුන්ගෙන් යැපෙන්නන් ඉමහත් දුෂ්කරතාවට පත්ව ඇති බවය. රැකියාවලින් ඉවත් කිරීම්, ඉවත් වීමට සැලැස්වීම්, වැටුප් සහ දීමනා නොගෙවීම් හා කපා හැරීම් නිසා ඔවුන් හිරිහැරයට පාත්‍ර වී ඇති නමුත් වගකිව යුත්තන් මේ පිළිබඳ අවධානය යොමු නොකිරීම බලවත් ඛේදවාචකයක් බව ඔහු කියයි.
"තවමත් සැලකියයුතු සේවක සංඛ්‍යාවක් සේවයට කැඳවා නැහැ. ඇතැම් අය කොරෝනා නිසා රෝහල්වල, නිරෝධායන මධ්‍යස්ථානවල නිවාසවල සහ බෝඩිම් වල කොටු වී සිටිනවා. ඒ අයට නිසි පහසුකම් නැහැ. ඔවුන්ට මූලික වැටුපෙන් අඩක් හෝ රැපියල් 14,500 මාසිකව ගෙවන්නට තීරණය වී තිබුණද එය හරියට කෙරෙන්නේ නැහැ. කටුනායක පිහිටි ඉතා විශාල ආයතනයක් මෙය ගෙවන්නේ නැහැ. මාර්තු මාසයේ සිට 1700ක් සේවකයන්ට රැපියල් 14,500 ගෙවන්නේ නැතුව එළියේ තබාගෙන ඉන්නවා.
පහුගිය දෙසැම්බර් 07දා කම්කරු කොමසාරිස් ජනරාල් සමග කළ සාකච්ඡාවේදී එකඟතාවකට ආවා සේවක නේවාසිකාගාර සහ අවට ප්‍රදේශ විෂබීජහරණය කිරීමට. දැන් සති දෙකකට ආසන්න වුවත් කිසිවක් සිදුව නැහැ. නේවාසිකාගාරවල කිසිදු සෞඛ්‍ය වැඩපිළිවෙළක් නැහැ. සේවා ස්ථානවලද ගත් තීරණ ක්‍රියාත්මක වන්නේ නැහැ. ක්‍රියාත්මක කරන්න ඔවුන්ට වුවමනාවක් නැහැ. කටුනායක විශාල ඇඟලුම් ආයතනයක් අප්‍රේල් මාසයේ බෝනස් දුන්නේ නැහැ. කොරෝනාවලට මුවාවෙලා. ඒත් ඒ ආයතනය කොරෝනා නිසා අප්‍රේල්වල සති දෙකයි වැඩ නොකළේ. ඒත් දෙසැම්බර් බෝනස්ද දුන්නේ නැහැ. සේවකයන් උද්ඝෝෂණය කළාට සිදුවූ දෙයක් නැහැ. ඇතැම් ආයතනවල අප්‍රේල් වැටුපත් ගෙවලා නැහැ. අප්‍රේල්වල නිවාඩු ගන්නා සේවකයන් ඒ දින ආවරණය කිරීමට මාර්තු මාසයේ නිවාඩු දිනවලත් වැඩ කළා. එහෙත් ඒ අයටත් අප්‍රේල් වැටුප ගෙවා නැහැ.
කොරෝනා 1 වැනි රැල්ලේදී හාම්පුතුන් මේ සියලු වරප්‍රසාද කප්පාදු කළා. දැනට දෙවැනි රැල්ලේදීද එයමයි කරන්න යන්නේ. සේවකයන් අඩුකරන්න විවිධ හේතු දක්වනවා. පරිවාස අය, වැඩි වයස් අය ඉවත් කළා. සේවකයන් අඩුකරලා ඉන්න අයගේ ශ්‍රමය සූරාකනවා. පී.සී.ආර්. පරීක්ෂණ කිරීම අනුමත කර ගත්තේද හරිම අමාරුවෙන්. සේවකයන් ආරක්ෂා කිරීමේ වගකීම ඇත්තේ ආයතන ප්‍රධානීන්ටයි. ව්‍යාපාරික සමාජයට වගකීම් ඉටුකරන බොහෝ ආයතන තම සේවකයන්ට සලකන්නේ නැහැ. ප්‍රචාරය සඳහා විවිධ අරමුදල්වලට පරිත්‍යාග කරලා කීර්තිනාමය ඔප්නංවාගෙන ආයෝජනය පුළුල් කර ගන්නවා. බදු සහන ලබාදුන්විට ඒ බර දරන්න සිදුවන්නේ ජනතාවටයි.
දැනට සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අනුව ලක්ෂ 9ක සමස්ත සේවකයන්ගෙන් සියයට 5.7කට රුකියා අහිමි වූ බව කීවත් සත්‍ය ලෙස අහිමි වූ සංඛ්‍යාව එයට වැඩියි. මේ සංඛ්‍යා පළමු රැල්ල ගැනයි. දෙවැනි කොවිඩ් රැල්ලේදී රැකියා අහිමි වීම මෙයට වඩා බොහෝ වැඩියි. හාම්පුතුන්ගේ සමීක්ෂණයක් අනුව පෙන්වා දී තිබෙනවා සියයට 21කට රුකියා අහිමි වූ බවට. එයින් අඩකට අහිමි වුණත් එය විශාල සංඛ්‍යාවක්. මේ සංඛ්‍යාලේඛන හදන්නේ ඔවුන්ට වාසි සහගත වන්නයි.
අපේ සේවකයන් අගතියට පත්වීම ගැන කතා කරන්න කෙනෙක් නැහැ. ජනාධිපති කාර්යසාධන බළකායේ මේ ගැන පැමිණිලි කරන්නට වගකිව යුත්තෙක් නැහැ. දෙසැම්බර් 15 දිනට පෙර ආයතනවල සෞඛ්‍ය කමිටු පිහිටුවන්න උපදෙස් දුන්නද සමහර ඒවායේ තවම පිහිටුවා නැහැ. මේවා පිහිටුවිය යුත්තේ සේවක - සේව්‍ය දෙපාර්ශ්වයම නියෝජනය වන ලෙසටයි. අපට සිදුව ඇති අසාධාරණය පිළිබඳ කම්කරු ඇමැති සමග සාකච්ඡා කළත් තවම විසදුමක් නැහැ. අපි අනිවාර්යයෙන්ම විවිධ බලපෑම් කරනවා. ඉදිරියට දැඩි ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා.
යසවර්ධන රුද්රිගු