මුලතිව් නගරයේ සිට බී.297 කෝකිලායි මාර්ගයේ අලම්පිල් දක්වා කි.මී.12ක් ගමන්කර එතැනින් තුමුලමුනේ දෙසට තවත් කි.මී. 13ක් ගමන් කරන විට කුරුඳුමලේ නටබුන් ස්ථානය හමුවෙයි. පසුගියදා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මේ වනගත විහාරය ආශ්‍රිත සෙල්ලිපියක් ගැන භික්ෂූන් වහන්සේ දැනුම් දුන්හ. අපි ඒ අනුව කුරුඳුමලේ ගවේෂණයක් කළා. මේ සෙල්ලිපිය මෙයට පෙර කියවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංක 2057 යටතේ ලියාපදිංචි කළ එකක්. ඒ 1949දී. ඒ කාලේ පේළි 19ක ලිපියක් වශයෙන් කොටස් තුනකට කැඩුණු ගල් පුවරුවක් ලැබී තිබුණු බව පැරණි වාර්තාවල සඳහන්. අපි ගිහින් බලනවිට දැන් කෑලි 6කට කැඩී ගිහින්. එයට යටින් පොළොවේ තවත් සෙල්ලිපි කැබලි හමුවෙනවා. ඒවා වෙනත් ලිපියකද කියන සැකයක් මතුවෙනවා. ඒවා පිටපත් කරගෙන තිබෙන්නේ. ඉදිරි සති කීපය ඇතුළත කියවා ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙනවා. අප සමඟ එලෙස පැවසුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන සහ නාණක විද්‍යා අධ්‍යක්ෂ නාමල් කොඩිතුවක්කුය.
කුරුන්දමලේ ආරාම පරිශ්‍රය පිහිටා ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයේ මුහුදුබඩ පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තන්නිමුරුප්පු වසමේ නාගචෝලේ රක්ෂිත වනය තුළය. මළු තුනක් වශයෙන් සකසා ඇති කඳුගැටයක ඉහළම මළුවේ නටබුන් රාශියක් දැකගත හැකිය. කබොක් ගල්වලින් තැනූ දාගැබක නටබුන්, ප්‍රාකාර බැමි, ගල් කුලුණු, සඳකඩ පහණ, කැටයම් කළ ගල් උළුවහු ඒ අතර වේ. මේ කඳුගැටය පාමුල කුරුන්දි වැව පිහිටි අතර එයට නුදුරින්ද නටබුන් විහාරයක් වනගතව පවතී. මෙහි සිට මුහුදු වෙරළට එතරම් දුරක් නැත. මහාමාර්ගයේ සිට කඳු මුදුනට යා යුත්තේ වනය හරහා ගමන් කරමිනි.
මෙම කන්ද පුරාණයේ පියන්කල්ලු නමින්ද හඳුන්වා ඇත. කන්ද අක්කර 100කට වඩා වැඩිය. කඳු මුදුනේ ඕවලාකාර තැනිතලාවකි. අඩි 150ක් පමණ වට ප්‍රමාණයෙන් යුත් දාගැබ නිදන් හොරු හාරා ඇත. එල්ලාවල මේධානන්ද හිමි දශක කිහිපයකට පෙර මේ ස්ථානය ගවේෂණය කළත් උන්වහන්සේට සෙල්ලිපිය සොයා ගැනීමට ලැබී නැත.
උතුරේ බෞද්ධ විහාරවලට නිදසුන් සපයන කුරුන්ද වෙහෙර ගැන ඓතිහාසික මූලාශ්‍රවල විස්තර හමුවේ. අට්ඨකතාවල කුරුන්දක නමින් ගමක් ගැන කිහිප වතාවක්ම හමුවේ. කුරුඳුගමු රට ලෙස කඩයිම් පොත්වල සඳහන් වන්නේ මේ පෙදෙස විය හැකිය. පූජාවලිය සහ නිකාය සංග්‍රහය සඳහන් කරන්නේ කුරුඳු රටට සමීපව පදී රට පිහිටි බවයි. පදී රට යනු වර්තමාන පදවියයි.
2 වැනි පරාක්‍රමබාහු (1236 -1270) විසින් විනාශ කරන ලද කාලිංගමාඝගේ කඳවුරක් කුරුන්දියෙහි පිහිටි බව මූලාශ්‍රවල දැක්වේ. ඛල්ලාටනාග රජු (100-103) කුරුන්දාවශෝක නම් විහාරය කරවීය. 1 වැනි අග්බෝ රජු (571-604) කුරුන්ද නම් විහාරයක් කරවා කුරුන්දවාපි නම් වැවක්ද කරවීය. 1 වැනි විජයබාහු (1055-1110) රජු කුරුඳු විහාරය ප්‍රතිසංස්කරණය කරවා තිබේ.
මේ සියලු මූලාශ්‍ර පවසන්නේ අද මිනිස් පුළුටකින් තොරව වනගතව පැවතියද මේ විහාරය එකල ප්‍රකට පුදබිමක් වශයෙන් පැවති බවයි. අට්ඨකතා රචනා කළේ මිහිඳු හිමියන් පැමිණි දේවානම්පියතිස්ස රජ කාලයේය. ඒ යුගයේ සිටම කුරුන්ද නාමය සඳහන් වීමෙන් එහි පෞරාණිකත්වය හෙළිවේ. ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ සිට මේ අවට දියුණු කෘෂිකාර්මික පෙදෙසක් බවත් බෞද්ධයන් බහුලව පදිංචිව සිටි බවත් පැහැදිලිය.
පසුගිය දෙසැම්බර් 2 දා වව්නියාව ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලයේ නිලධාරීන් පිරිසක් කුරුන්දි වැවට පහළින් ඇති ප්‍රදේශය ගවේෂණය කිරීමේදී මෙම සෙල්ලිපි හමුව තිබේ. මෙම ප්‍රදේශය මුලින්ම පුරාවිද්‍යා රක්ෂිතයක් වශයෙන් ප්‍රකාශ කළේ 1933 මැයි 12 දාය. එම පැරණි මායිම් වර්ෂ 87කට පසු සොයාගැනීමේ කාර්යයද පසුගියදා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි. එහිදී අනාවරණය වූයේ සුද්දන්ගේ කාලේ සිටවූ මායිම්ගල්වලින් 90ක්ම වනය තුළ ආරක්ෂා වී පවතින බවය.
මේ ස්ථානය ගැන මෑත අතීතයේ මුලින්ම සඳහන් වන්නේ 1905 පුරාවිද්‍යා පාලන වාර්තාවේය. දාගැබක්, විහාරයක්, වටදාගෙයක් සහ ගල්කණු පිහිටි බව එහි සඳහන්ය. කුරුන්දාවශෝක විහාරයේ පිහිටි සෙල්ලිපියක් ගැනත් ඒ වාර්තාවේ දැක්වේ. කුරුන්දන්කුලම නම්වූ එම සෙල්ලිපිය තුන්වැනි මහින්ද රජුගේ කාලයට අයත් යැයි පැවසෙන අතර ජලය පිළිබඳ ආරාවුලක් විසඳීමට රජු එහි ගිය බවත් ඒ ප්‍රදේශය කුරන්ගම ලෙසින් හැඳින්වූ බවත් සඳහන් වේ. මිහිඳු රජු සිය බිසව හා දියණිය සමඟ පැමිණි සෙල්ලිපිය කරවා තිබේ. සී.ඩබ්ලිව්. නිකලස් සඳහන් කරන්නේ මේ ජල ප්‍රශ්නයට හේතුවන්නට ඇත්තේ තන්නිමුරිප්පු වැවේ ජලය බවයි.
1949 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති සෙල්ලිපියේ හමුවූ කොටස අනුරාධපුර යුගයේ අවසන් කාලයට අයත් හයවැනි උදය (946-954) රජුගේය. අභයගිරි ආරාමයට අයත් සිරිසඟබෝ නම් රජමහා විහාරයක් සම්බන්ධයෙන් ඊට කළයුතු පුද සිරිත් ගැන එහි සඳහන්ව තිබේ. භික්ෂූන් වහන්සේගේ එකඟත්වයෙන් තුන් නිකාය සමගි කිරීම සම්බන්ධව කතිකාවතක්, අභයගිරි විහාරයේ සේවයේ නියුතු නිලධාරීන් විසින් මෙම ස්ථානයේ තිබූ පධානඝරය, පිළිමගෙයට දෙන ලද දීමනා, වතාවත්, පුද සිරිත් පිළිබඳ එහි ඇතුළත්ව තිබූ බව දැක්වේ. සෙල්ලිපියේ ඉතිරි කොටස සොයාගැනීමට හැකියාව ලැබුණේ නම් දිවයිනේ ඊසාන දිග රාජ්‍ය පාලනය පිළිබඳ වැදගත් තොරතුරු රාශියක් අනාවරණය කර ගැනීමට හැකිවන බව 1949 පාලන වාර්තාවේ සඳහන්ය.
පසුගියදා වව්නියාව ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලයේ ගවේෂණ කණ්ඩායම විසින් සොයා ගත්තේ එම සෙල්ලිපියේ ඉතිරි කොටස බවට සැක කෙරේ. එහි දිග මීටර් 1.5ක් සහ පළල මීටර් 1කි. ලිපියේ පේළි 50කට අධිකව තිබේ. ලිපිය කියවූ පසු අප තුළ කුතුහලය දනවන කරුණු මතුවීමට ඉඩකඩ පවතී.
වර්ෂ 2018දී ගවේෂණ කටයුත්තක් සඳහා පුරාවිද්‍යා නිලධාරීන් කුරුන්ද විහාරයට ගියද ඔවුන්ට අතරමගදී හැරී ඒමට සිදුවූයේ ටී.එන්.ඒ. මන්ත්‍රීවරුන්ගේ විරෝධය හේතුවෙනි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ගවේෂණය ගැන ප්‍රදේශයේ පොලීසි සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල දැනුවත් කර තිබුණි. හිටපු මන්ත්‍රීවරු අධිකරණ නියෝගයක් ගත්තේ පුරාවිද්‍යා කටයුතු අත්හිටුවීමටය. කෙසේ වුවත් පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ගැසට් කරන ලද ස්ථානයකට යාමටත් දෙමළ ජාතික සන්ධානයෙන් අකුල් හෙළීම දැන් ඉතිහාසයට එක්ව ඇති පුවතකි.
කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ: අන්තර්ජාලයෙනි