පාතාලෙට අලුතෙන්ම වෙපන් හදලා එක එක කල්ලිවලට විකුණන කොල්ලෙක් ඉන්නවා. ඕනෑම වෙපන් එකක් මිනිහට හදන්න පුළුවන්. ඒවා නම ගියපු අයට දීලා මූ ගේමක් ගහනවා. නැතුව කොළඹදී වෙපන් හදන්නෙ ඌරො මරන්න නෙවෙයිනෙ...
යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු මේ තොරතුර විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය වෙත දන්වා තිබිණ. යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරු අනුව, මූ අංගොඩ ලොක්කා සහ සෝල්ටා කියන අයටත් වෙපන් හදලා දීපු එකෙක්. ටික දවසක් කොළඹින් මිසින් වෙලා දැන් ගාල්ල පැත්තෙ කැරකෙනවලු. මොකක් හරි ගේමකට ලෑස්තිවෙනවා ඇති යැයි වැඩිදුරටත් දන්වා තිබිණ. විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය වෙත ලැබුණු බුද්ධි තොරතුර සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාට පැවසීමත් සමඟ වහාම මෙහෙයුමක් ආරම්භ කිරීමට උපදෙස් ලබා දෙනු ලැබීය.
ඒ අනුව සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති රංජන දිසානායක මහතා යටතේ බුද්ධි මෙහෙයුම ආරම්භ කෙරිණ. ඒ මීට දින ගණනාවකට ඉහතදීය. සුමිත්‍රා ආරච්චිගේ දොන් උදාර නෙරංජන නැමැති මොහු හිටපු පාතාල නායකයකු වශයෙන් හැඳින්වෙන අංගොඩ ලොක්කාගේ ගෝලයකු බව වාර්තා විය. ඔහු මෑතකදී කොළඹ ප්‍රදේශයේ සිට පොළොන්නරුව ප්‍රදේශයට ගොස් සැළකියයුතු කාලයක් එහි ගෙවා තිබිණ. හිතවතකුගේ උපකාරයෙන් එහි රුඳී සිටි ඔහු හිටිහැටියේම කොළඹ නොයා ගාල්ල ප්‍රදේශයට ගොස් තිබුණි. ඒ හෝඩුවාව අනුව විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ කොට්ඨාස නිලධාරීහු ගාල්ල ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් සිදුකළහ.
එහිදී සැකකාර උදාර නැමැත්තා කොටුකරගෙන ප්‍රශ්න කිරීමේදී දැන්නම් මගේ ළඟ බඩු මොකුත් නෑ. හදපු එකක් තියෙනවා ඒක වැල්ලම්පිටියෙ තැනක හැංගුවා. පහුගිය දෙවැනිදා තමයි හැංගුවේ. ඒක විතරයි තියෙන්නෙ. මම ඒක දෙන්නම්. කියා ඇත. සැකකාර පාතාල සගයාගේ තොරතුර සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ නිලධාරීන් ආයුධ සඟවා තිබූ වැල්ලම්පිටියට ගොස් තිබිණ. එහි ගිය පිරිසට සැකකරු පවසා තිබුණේ සිරිපැරකුම් මාවතේ නිවසකට යායුතු බවය. අදාළ නිවස වෙත ගිය පසු කිසිවකුටත් සැක නොසිතෙන අයුරින් ආරක්ෂිතව සඟවා තිබූ පාර්සලයක් පෙන්වා ඇත. එය පරීක්ෂා කිරීමේදී ටී 56 වර්ගයේ ගිනිඅවියක් සහ එම වර්ගයේ පතුරම් 18ක් හමුවී ඇත. ඒත් සමඟ අත්අඩංගුවට ගත් සැකකරු 37 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අත්අඩංගුවේ පසුවන පාතාල සගයා අංගොඩ ලොක්කාගේ ගෝලයෙකි. එසේම පාතාල කෙරුමෙක් වූ සෝල්ටා නැමැත්තාගේ හිතවතෙකි. උදාර අතිශය දක්ෂ වන්නේ අවි ආයුධ නිපැයුමටය. ඔහුට යම් ගිනි අවියක් ඇසුරෙන් එවැනිම එකක් ප්‍රති නිර්මාණය කළ හැකිය. සඟවා තිබියදී සොයාගෙන ඇත්තේ ඔහු නිර්මාණය කළ අවියකි. මෙසේ සකසන ගිනිඅවි පාතාලයන්ගේ අවශ්‍යතා උදෙසා විකිණීමට උදාර නැමැත්තා ක්‍රියාකර ඇත. ඒ ආකාරයට අවස්ථා කිහිපයකදීම අවි ගනුදෙනු කොට ඇතැයි හෙළිව තිබේ. මොහු මීට ඉහතදී බෝර 12 ගිනි අවියක් නිර්මාණය කොට තිබිණ. මේ කටයුතු සඳහා මොහුට ඇන්තනී නැමැත්තකු සහාය වී තිබෙන අතර ඔහු හමුදාවෙන් පලාගිය අයකු බව වාර්තාවේ.
අංගොඩ ලොක්කාගේ ගෝලයකු බවට ඔහු විසින්ම පවසන නමුත් මොහු ගිනිඅවි නිර්මාණය කොට සපයන්නකු බැවින් තවත් පාතාලයන් හා ඇසුරක් පවතින බවට සැකකෙරේ. මුදල් කොල්ලකෑම්, වෑන් රථයක් පැහැර ගැනීම, ගිනිඅවි හා පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගැනීම ඇතුළු සංවිධානාත්මක අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා පවතින මේ සැකකාර උදාර නැමැත්තා 2006 වර්ෂයේදී අත්බෝම්බ 2ක් සමඟ අත්අඩංගුවට පත්වූවෙකි. ඒ අනුව පැහැදිලි වන්නේ සැකකරු අවුරුදු 20කට අධික කාලයක් පාතාල සාමාජිකයන් හා වෘත්තීය වශයෙන් කටයුතු කරන බවය. පාතාල නායකයකු බව කියන අංගොඩ ලොක්කාගේ සමීපතමයකු වන සෝල්ටා පොලිස් නිලධාරීන්ට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට යාමේදී පොලිස් වෙඩිපහරකට ලක්ව මියගියේ ඉකුත් අගෝස්තු මාසයේදීය. ඔහු අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරුවෙකි. ඒ ඇසුර උදාර සමඟත් කාලයක පටන් තිබූ එකකි. වරෙක වැල්ලම්පිටිය ප්‍රදේශයේදී මිරිස් කුඩු ගසා සිදුකළ මුදල් කොල්ලයට මොහු හවුල්කරුවෙකි.
පසුගිය 2 වැනිදා සඟවා තැබූ බව කියන මේ ගිනි අවිය සහ උණ්ඩ ඊට ආසන්න දිනකදී පොලිෂ් කොට නුදුරු දිනක භාවිතයට ගැනීමේ පහසුවට සැඟවූවකි. පොළොන්නරුව හා ගාල්ල ප්‍රදේශවල සැරිසරමින් මෙකී පාතාල සගයා යම්කිසි කුඩු ජාවාරමක් හෝ යමකු ඝාතනය කිරීමකට උත්සාහ කළේද යන්න පවතින සැකයකි. මේ අතර විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය මගින් සමීර නැමැති පාතාල සාමාජිකයකු පසුගියදා මහරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තේ පිස්තෝලයක්, මිලිමීටර 9 ගිනිඅවියක් කඩුවක් හා රම්බො පිහියක් සමගය. ඊට අමතරව මන්නා රමේෂ් නැමති පාතාල කල්ලි සාමාජිකයා අත්අඩංගුවට ගනු ලැබුවේ අවිස්සාවේල්ල ගුරුගල්ල ප්‍රදේශයේදීය.
විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය විසින් මෙහෙයුම් සිදුකරයි.
සමන්ත ප්‍රදීප් විල්තෙර