2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා

පරණ දේ අලුත් කරමින් ලොව මවිත කළ සෙනරත් පරණවිතාන

 2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 286

"පරණවිතාන පරණ දේට පණ පෙවීමට සමත් පැසුණු බුද්ධියෙන් පොහොසත් පරණ පන්නයේ පුද්ගලයෙකි. ඔහු අගනා මුතු රුඳුණ මුතු බෙල්ලෙකුට සමාන කළ හැකිය. බැලූ බැල්මටම මුතු බෙල්ලාගේ බාහිර පෙනීමෙන් කිසිවෙකු නොපැහැදේ. එහෙත් අභ්‍යන්තරයෙහි රුඳුණ මුතු කෙතරම් අගීද?

සෙනරත් පරණවිතාන විස්මයජනක අන්දමේ පුද්ගලයෙකි. ඇඳුම් පැළඳුම ගැන වැඩි සැලකිල්ලක් නොදක්වන කතාබහට වැඩිය නොපුරැදු, නොඑසේ නම් කතාබහ වැඩියෙන් නොහුරැ, එහෙත් ඇසූවන් විස්මයෙන් පාෂාණිභූත කරවන, තර්ක සහ අලුත් මත ඉදිරිපත් කරන්නෙකි."

"පරණ දේ අලුත් කරන පරණවිතාන" මැයෙන් 1957 මාර්තු 03 වැනිදා "බඹරපාද" (මීමන ප්‍රේමතිලක) විසින් සිළුමිණ පුවත්පතට ලිපියක් ලියා තිබුණි. මිසරයේ පිරමීඩයකට වැදී ටූටන් කාමන්ගේ මෘත ශරීරය සොයාගත් පුරාවිද්‍යාඥයා පුරාවිද්‍යාවට ජීවනයක් දුන් බව කියන "බඹරපාද" එනයින් බලන කල සෙනරත් පරණවිතාන, සිගරැට්ටුවක් නොහැර සිගරැට්ටුවක් බැගින් බිබී, කතා නොකර වැඩ කර කර පුරාවිද්‍යාවට කර ඇත්තේ අමරණීය සේවයක් බව පවසා ඇත.

පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ප්‍රථම මහාචාර්යවරයා වූ සෙනරත් පරණවිතාන ලංකාවේ පුරාවිද්‍යා කොමසාරිස් තනතුරට පත් ප්‍රථම ලාංකිකයා ද වෙයි. මහාචාර්ය පරණවිතාන විසින් ලියන ලද දෑ වලින් ශ්‍රේෂ්ඨතම ස්ථානයක් ගත්තේ සීගිරි කැටපත් පවුරෙහි ඇති කුරුටු ගී පිළිබඳව ලියූ "සීගිරි ග්‍රැෆිටි" (Sigiri Graffiti) කෘතිය බව විද්වතුන් පෙන්වා දී ඇත.

මහාචාර්ය පරණවිතානගේ විශ්වවිද්‍යාල ගෝලයන් අතර මහාචාර්ය විජේතුංග කරුණාරත්නට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. ඔහුට තම ආචාර්යවරයා ගැන තිබුණු මතක මෙසේය. (සෙනරත් පරණවිතාන - සංස්කෘති විශේෂ අංකය - 1972)
"1956 නොවැම්බර් මස එක් දිනෙක හවස් භාගය වන විට පේරාදෙණි විශ්වවිද්‍යාලයේ කලාගාරයෙහි හා එහි අවට විශාල පිරිසක් රැස්ව සිටියහ. මේ පිරිස අතර විශ්වවිද්‍යාලයේ උප කුලපතිතුමාද, මහාචාර්ය, ආචාර්යවරයෝද, බොහෝ ගිහි පැවිදි අයද වූහ." මොවුහු සියලුදෙනාම පුල පුලා බලා සිටියේ ශාස්ත්‍රාරම්බරය ඒකාලෝක කොට එහි දිග්විජයෙන් පසු ජය පානයට මෙන් පැමිණෙන පුරා විදු කොමසාරිස් සෙනරත් පරණවිතාන මහතා දැක ගැනීමටය. ඒ මහතා පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේ ගුරු, ශිෂ්‍ය පිරිස් ඇමතීම සඳහා එතෙක් කිසිදිනෙක පැමිණ තිබුණේ නැති බැවින් පැවතියේ කුතුහලයකි.

කලාගාරය පිටුපස ඇදුරන් සඳහා වූ ද්වාරයෙන් පරණවිතාන මහතා සභා ගැබට පිවිසීම නිසා එදා ශාලාවේ පිටුපස අසුන්වල සිටියවුන්ටත් ඊට පිටුපසින් එහි ආලින්දය දක්වා හිටගෙන සිටියවුන්ටත් ඔහු දැකගැනීම පහසු නොවීය. මහා පුරුෂයන් කායික වශයෙන් පරිමාණ කිරීමට පුරුදුව සිටි අයට ඔහු දැකීමෙන් ඇතිවූයේ තරමක දොම්නසකි. එහෙත් මහා බුද්ධිමතුන් යෝධයන් විය යුතු යැයි විශ්වවිද්‍යාල බුද්ධිමත් පිරිස අතර නම් අදහසක් නොවීය. ආරෝහ පරිණාහයෙන් යුක්ත නොවීම නිසා ඔහුගේ බුද්ධි මහිමය තවත් විශාල වී ඔවුනට පෙනුණා නිසැකය. පසුව පරණවිතාන මහතා විශ්වවිද්‍යාලයේ තනතුරක් ලැබ පැමිණීමත් සමඟ එය ක්‍රමයෙන්, කිහිප ගුණයකින් වැඩි වී ගියෙන් බොහෝ කලකින් ඔහු අසහාය බුද්ධිමතෙක් ලෙස කැපී පෙනෙන්නට විය.

1949 දී පමණ එකල ලංකාවේ තිබුණ මුල්ම හා එකම විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයන්ට "සඳකඩ පහණ" ගැන දේශනයක් පැවැත්වන බව විශ්වවිද්‍යාලයේ සුළඟක් සේ පැතිර ගොස් ඇත. ඔන්න උපාධි අපේක්ෂකයන්ගෙන් ශාලාව ඉතිරී ගියේය. දේශනය ආරම්භයේ සිට අවසානය දක්වා එතුමා ඉතිහාසයෙන් කරැණු ගෙනහැර පාමින් කළ උපහාසයෙන් පිරි කතාව ඇසීමෙන් පසු නොසිතූ දෙයක් සිදුවිය. සිසුන් මේ කතාවෙන් ලැබූ උද්දාමය කොතෙක්දැයි කීවොත් සිසුන් කිහිප දෙනෙක් එතුමාව උස්සාගෙන, අනික් පිරිස වටෙන් සිට එතුමා වෙනුවෙන් සින්දුවක් කියමින් ඔහුගේ මෝටර් රථය දක්වා ගමන් ගත්හ.

"පරණ විතානේ, පරණ විතානේ
ටෙන්සෙන්චරි පරණ විතානේ
පරණ විතානේ, පරණ විතානේ
පරණ විතානේ, නාකි පරාණේ"

දිනක් කාර්යාලයේ සිට ගෙදර යන්නට පරණවිතාන මහතා තම මෝටර් රිය අසලට ආවේය. රියැදුරා නොසිටි නිසා ආපසු කාර්යාලයට ගිය එතුමා තව විනාඩි කිහිපයකින් ඇවිත් බලන විටත් රියැදුරා සිටියේ නැත. දැන් ඔහුට ඉහිලුම් නැත. නැවතත් ඔහු කාර්යාලයට ගොස් පැයකට පසු නැවත පැමිණෙන විට රියැදුරා සිටියේය.

"කොහේද ගියේ" පරණවිතාන මහතා තරහෙන් ඇසීය.

"මම කාර් එකේ හිටියෙ සර්..."

"නෑ. කාර් එකේ සිටියේ නැහැ... මං දෙපාරක්ම ආවා."

"මම කාර් එකේ නිදාගෙන හිටියේ සර්."

"හොඳයි ඒ විදියට නිදාගන්නවා බලන්න." කියා පරණවිතාන මහතා යළිත් කාර්යාලයට ගියේය. ආපසු ඇවිත් කලින් සිටි අන්දමට හිටගත්තේය. එතැනට රියැදුරැ නම් පෙනෙන්නට නැත.

කාර් එක ළඟට පැමිණි පරණවිතාන මහතා "ආ හරි යමු"කියා රියට නැංගේය.

ශාස්ත්‍රීය පර්යේෂණවලදී මෙන්ම ඉතා සුළු කරුණුවලදීත් තමන්ට සම්පූර්ණයෙන්ම සැකහැර දැනගැනීමට පුරුදුව සිටි බවට සාක්ෂියකි මේ.

මේ සිද්ධිය 1963 මූ. අරුක්ගොඩ මාධ්‍යවේදියා "නවයුගය" සඟරාවට ලියූ "පිරුණු ජීවිත" විශේෂාංගයෙන් අපූරුවට විස්තර කර තිබුණි.

1896 දෙසැම්බර් මස 26 වැනිදා ගාල්ලේ මැටරඹ ගමේ උපන් සෙනරත් පරණවිතානගේ පියා වූයේ ඒබ්‍රහම් පරණවිතාන ගොවි මහතාය. පවුලේ අතබාලයා වූයේ සෙනරත්ය. වැඩිමලා ජොසලින් නම් සොහොයුරියකි. ඊළඟට රොබට් අයියා ය. රොබට් අයියා සෙනරත් මල්ලීට වඩා අවුරුදු 13කින් වැඩිමහල්ය. ජොසලින්, රොබට් හා සෙනරත්ගේ මෑණියන් වූ ලෝරා හෙට්ටිගේ ගිමාරා සැදැහැවත් බොදු කාන්තාවක් වූ අතර තම දූ පුතුන්ට ඒ සිල්වත් ගති පැවතුම් පුහුණු කළාය.

අන්නාසි හෙට්ටිගොඩ මෙතෝදිස්ත සිංහල පාසලින් ඉගෙනීම අරඹා උණවටුණේ බොනවිස්ටා ඉංග්‍රීසි පාසලින් වැඩිදුර ඉගෙන හීනටිගල රන්වලගොඩ විද්‍යාවර්ධන පිරිවනෙහි සිංහල, පාලි, සංස්කෘත භාෂා ඉගෙන, ඉංග්‍රීසි පාසල් හැරයාමේ සහතිකය සමත්ව ඉංග්‍රීසි උප ගුරැවරයකු ලෙස සේවය කර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර ශිලා ලිපි විමර්ශනය ධුරය හොබවා 1923 වසරේ පුරාවිද්‍යා ශිෂ්‍යත්වයක් ලැබ ඉන්දියාවට ගිය සෙනරත් ලංකා ශිලා ලිපි සංග්‍රහයේ කර්තෘ පදවිය ලබා, ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් දර්ශන විශාරද උපාධිය ලැබූ 1940 දී ලංකාවේ ප්‍රථම ලාංකික පුරාවිද්‍යා කොමසාරිස් දක්වා ගිය ගමන පුරාවෘත්තයක් බඳුය.

මේ තොරතුරු අපට හමුවන්නේ ඉන්ද්‍රානි වීරසිංහ විසින් 1995 රචිත "මහ ඇදුරු සෙනරත් පරණවිතාන" කෘතියෙනි. ඇය පරණවිතාන මහතාගේ ලේලියකි. ඇය පරණවිතාන මහතාගේ සොහොයුරිය වූ ජොසලින්ගේ දියණියයි.

ඉන්ද්‍රානි වීරසිංහ කියන ආකාරයට පරණවිතාන මහතා පස්පවින් වැළකී ජීවත් වූ අන් කිසිවකුට අයත් දෙයක් හෝ තමාට අයත් නොවූ දෙයක් හෝ කිසි දිනෙක එතුමා පෞද්ගලික ප්‍රයෝජනය සඳහා උපයෝගී නොකර ගත් බවය. එයට ඇය නිදසුනක් සපයන්නීය.

"වරෙකැ එතුමා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උසස් නිලධරයකු සමඟ පර්යේෂණයක් සඳහා ගුහාවක් කරා පැමිණීමට ඔරුවකින් ජලාශයක් තරණය කරමින් සිටියේය. පර්යේෂණය සඳහා අදාළ ඉටිපන්දම් සහ ගිනි පෙට්ටි කීපයක්ද නිලධරයා අතැ වීය. පරණවිතාන මහතාට සිගරැට්ටුවක් දල්වා ගැනීමට අවශ්‍ය විය. ඒ සඳහා තමාගේ ගිනි පෙට්ටියෙහි ගිනිකූරු නොතිබූ බව එතුමාට පෙනිණි. මෙය දැනගත් එක්ව සිටි නිලධරයාගෙන් ගිනි පෙට්ටියක් ලැබිණ. එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් එකක් වූ බැවින් පරණවිතාන මහතා දෙන ලද ගිනි පෙට්ටිය ආපසු දී සිගරැට්ටුව බීමේ අදහසද හැර දැමීය."

පරණවිතාන මහතා සතුන්ට ආදරය දයාව දැක්වූ බවත්, විවේක අවස්ථාවල බළලුන් සමඟ ක්‍රීඩා කිරීමෙන්ද තම නිවසේ ඇතිදැඩි වන බළලාට කෑමට යමක් දිගුකොට එය ලබා ගැනීමට ඌ උඩ පනින ආකාරය බලා ප්‍රීති වූ අවිහිංසාවාදියකු බව ලේලිය දක්වා තිබුණාය. 1967 ඔක්තෝබර් 14 වැනිදා එතුමාගේ දුක්මුසු සිත සසල කළ දිනයකි. සීගිරි චිත්‍ර කිහිපයක් විනාශ කොට තවත් චිත්‍ර කීපයක් සායම් ගා විකෘති කිරීම ගැන ආරංචි වූ එතුමා ඉකිබිඳිමින් ඇඬූ බව මෙහෙකරැවන්ගෙන් දැනගන්නට ලැබී ඇත. එතුමා ඒ තරම්ම සීගිරියට ආලය කළේය.

මහාචාර්ය පරණවිතාන හාස්‍යයට කැමැති විනෝදකාමියකු ලෙසද ප්‍රකටය. ලංකාවේ මුල්වරට සංස්කෘතික කටයුතු අමාත්‍යංශයක් පිහිටුවා ප්‍රථම සාහිත්‍ය සම්මේලනය 1957 කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙනේ පවත්වනු ලැබූ අතර එහි ප්‍රධාන දේශනය "කෝට්ටේ යුගය" නමින් පවත්වනු ලැබුවේ පරණවිතාන මහාචාර්යවරයා විසිනි. සිනහමුසු මුහුණින් කතාව ආරම්භ කළ එතුමා එක් පසෙක බිම ඉඳගෙන සිටි දේශපාලනඥයන් කිහිප දෙනෙකු දෙස බැලුවේය. බණ්ඩාරනායක අගමැතිතුමාද, ජයවීර කුරුප්පු ඇමතිවරයාද, රොබට් ගුණවර්ධන, සාගර පලන්සූරියය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද එහි සිටියහ.

ලබන සතියට