උදාවන නත්තල ලෝකවාසී සියලුදෙනාට සුවිශේෂී වූ නත්තලකි. ඉතිහාසය අන් කවරදාවත් අත්නොවිඳි ප්‍රමාණයක් වූ බාධාවන් රැසක් මෙවර නත්තල අභිමුව ලෝකවාසී අප සැම ඉදිරියේ පවතී. එනිසාවෙන්ම අසිරිමත් නත්තල වෙනුවෙන් සැමට සුබපැතුම් එක්කරන අතරේ මෙවර නත්තලේ අරුත ඔබට පසක් කරදීම සඳහා අප අගරදගුරු පදවි මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය කැමිලස් ප්‍රනාන්දු පියතුමන් සමඟ සංවාදයක් ගොඩනගා ගතිමු.
සමස්ත ලෝකවාසී ජනතාවගෙන් අති බහුතරයක් දෙනා සමරණ නත්තල මේ වසරේ උදාවන විට ලෝකයම කිසිදිනක බලාපොරොත්තු නොවුණු අසරණ තත්ත්වයකට ලෝ වැසියෝ පත්වී සිටිති. නමුත් දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් ලෝකයට පැමිණෙන්නේ උන්වහන්සේගේ ජීවිතය ලබාදී ජනතාව පාපයෙන් ගලවා ගැනීම සඳහායි. ඒ නිසාවෙන් මේ නත්තලේදී අප ඔබට සිහිපත් කළයුතු මූලික කරුණ වන්නේ කොරෝනා වෛරසය, බුරවී සුළි කුණාටුව, සේනා දළඹුවන් ආදී සියලු විනාශයන් තුළින් ඔප්පුවන මනුෂ්‍ය බලයේ නිරුත්තර බවයි.
අද ඇති වී ඇති බොහෝ ප්‍රශ්නවලට මිනිස් බලයෙන් උත්තර හොයාගන්නට බැරි බව පක්ෂ, පාට, ජාති, ආගම්, කුල ගෝත්‍රවලින් තොරව අපිට පෙනී ගොස් තිබේ. නමුත් අප දෙවියන්වහන්සේ පිළිබඳ විශ්වාසය තුළ කටයුතු කළා නම් දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ පැමිණීම තුළ මේ නත්තලේ අලුත් තත්ත්වයක් ඇතිවනු ඇත. එවිට අප තුළ විශ්වාසයක් නිර්මාණය වෙයි. එය ඉතා වැදගත්ය. නත්තලේ රැගෙන එන පණිවිඩය සමස්ත ලෝකය පුරා පැතිර ගොස් ලක්ෂ කෝටි සංඛ්‍යාත ජනතාවක් උන්වහන්සේ වැඳ නමස්කාර කරනු ඇත. එය සිදුවනුයේ උන්වහන්සේ තුළින් අප ලබාගන්නා මහත් වූ වටිනාකම් පද්ධතිය නිසයි.
එම නිසාම මෙම නත්තල දෙවියන් වහන්සේ තුළ ජීවත් වෙමින් උන්වහන්සේගේ යහපත අත්දකින වසරක් වේවි යැයි අපි විශ්වාස කරමු. අප ලෝකයේ ඇති දැනුම තොරතුරු පිළිබඳ විශාල ආඩම්බරයක් බලාපොරොත්තුවක් සහිතව සිටි ජනතාවක් වග සිහිපත් කළ යුතුය. ඇත්තෙන්ම අප දැනුම සහ තොරතුරු පටලවාගෙන සිටින ජනතාවකි. දැනුමෙන් සියල්ලම ජයගත හැකි බව අපි සිතා සිටියෙමු. එසේම තොරතුරුවලින් සියල්ල කළ හැකි බවද අපි විශ්වාස කළෙමු. එහෙත් වර්තමාන කොරෝනා වසංගතය හමුවේ තොරතුරු දැනුම පවා ප්‍රශ්න කිරීමට ලක්වෙයි.
විසි එක්වැනි සියවසේදී අඟහරු බ්‍රහස්පති ලෝකවල නවාතැන් ගන්නට මනුෂ්‍ය වර්ගයා සිතා සිටියේය. එහෙත් අද වනවිට ඇසට නොපෙනෙන අදෘෂ්‍යමාන මොකක්දෝ බලවේගයක් හේතුවෙන් සමස්ත ලෝකවාසී ජනතාව පීඩාවට පත්ව සිටිති. මේ තත්ත්වයට වසරක් ගතවී ඇතත් ප්‍රත්‍යක්ෂ ඖෂධයක් තවම වෛද්‍ය විද්‍යාවෙන් පවා සොයාගෙන නැත. මේ සම්බන්ධව පරීක්ෂණ කරන පිරිස අප අගය කළ යුතුය. නමුත් අප තේරුම් ගතයුතු දෙය නම් දැනුමටත් සීමාවක් ඇති බවයි. එම නිසාම දෙවියන් වහන්සේ තුළට නැවත නැවත අප හැරවෙන ලක්ෂයක් ලෝකය පුරා පෙන්නට තිබේ.
අදත් එදත් ආගමික විශ්වාසයක් නොතිබූ පිරිසක් වෙති. ඔවුහු කොවිඩ් වසංගතය පැමිණි පසු ආගම් තිබුණා නම් ඇයි මොකවත් කරන්න බැරි යනුවෙන් අසමින් සිටිති. ඒ ප්‍රශ්නය හරහාම ඔවුන් තුළ ආගමික දැක්මක් නැතිබව ඔප්පුවෙයි. අපිට පිපාසය දැනුණු විට අප වතුර සොයන්නේ පානය කිරීම වෙනුවෙනුයි. එසේම අද මිනිස්සු දෙවියන් වහන්සේව සොයන්නේ අපට දෙවියන් වහන්සේ අවැසි නිසායි. නත්තලේදී මෙලොවට බිහිවෙන්නේ උන්වහන්සේගේ පුත්‍රයායි.
මේ නත්තලේ අප ඔබට පසක් කර සිටිය යුත්තේ පරණ ගිවිසුමේ ජෝබ්ගේ කතාව මිනිසා සැබවින්ම දෙවියන්වහන්සේට දක්වන ප්‍රේමයට භක්තියට කදිම නිදසුනක් බවයි. මිනිසකුට අත්විඳිය නොහැකි තරම් ව්‍යසනයන්ට යක්ෂයා විසින් ගොදුරු කරනු ලැබුවත් ජෝබ් ඒ සියලු දේ විඳදරා ගනිමින් පැවසුවේ දෙවියන් වහන්සේට ප්‍රසංසා වේවා කියායි. උන්වහන්සේ දුන් සේක. උන්වහන්සේ ගත් සේක. උන්වහන්සේට ප්‍රශංසා වේවා. මෙය තමයි සත්‍යයකි.
අද දෙවියන්වහන්සේගෙන් ඈත්වෙමින් විද්‍යාව නව තාක්ෂණ දෙවියන් කරගනිමින් තොරතුරු දැනුම කියා සිතූ නිසාවෙන්මයි සමස්ත ලෝකයටම අද අර්බුදයකට මුහුණපා සිටියි. තොරතුරු සහ දැනුම යනු දෙකකි. තොරතුරු කාලීනව තත්ත්පර ගණනකින් වෙනස් වෙයි. දැනුම එසේ වෙනස් නොවේ. මේ වසංගතයට ඖෂධයක් සොයා ගැනීම පමා වී ඇත්තේද මේ හේතුව මතයි. ආවට ගියාට කෙනෙක්ට ඔලුවෙන් යමක් සොයා ගැනීමට නොහැකිය. දෙවියන් වහන්සේට ඉහළින් විශ්වාස කළ නව තාක්ෂණය විද්‍යාව මිනිස්සුන් අතහැර දමන තත්ත්වයක් උද්ගත වී ඇත්තේද මේනිසාය.
මේ නත්තල අපට අලුත් පොරොන්දුවක් ලබාදෙයි. එදා පොරොන්දු දේශයට හතළිස් වසරක් දමනය වෙනකොට විප්‍රවාසී ජනතාව තුළ කාලෙන් කාලෙට විශ්වාසය හීන වී ආඩපාලි කීවත් දෙවියන් වහන්සේ ඔවුන් අත් නොහැර ඔවුන් සමඟ සිටි බව අප දනිමු. මේ සිද්ධියේදීත් මිනිසුන් ඒ වගේ කල්පනා කිරීම ඉඩ තිබේ. වහල්කමේ හිටියා නම් හොඳයි කියා පරණ ගිවිසුමේ මිනිසුන් සිටි අයුරින්ම අද මිනිස්සු කල්පනා කරනු ඇත.
නමුත් මේ නත්තල වෙනදා අපි ගතකළ නත්තල මෙන් නොවේ. මේ නත්තල අපිට අලුත් තත්ත්වයන් ගෙන එයි. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් සිදුවිය හැකියි. හැම මනුෂ්‍යයකුම එකම තත්ත්වයක තැබිය හැකියි. ස්වර්ගයේ වැඩසිටින අපගේ පියාණන් කියා කීවාම ඒක දෙවියන් වහන්සේයි.
මුළු ලෝකයම ආශ්වාස ප්‍රාශ්වාස කරන්නුයේ එකම හුස්ම බව අද අප අවබෝධ කරගෙන සිටිමු. එනිසාම එළඹෙන වර්ෂය නව ජීවනකට පාර කියන අලුත් ආරම්භයකට මඟක් වේවා කියා අපි ප්‍රාර්ථනා කරමු. ඔබට සුභ නත්තලක් වේවා....!
සංවාද සටහන - චමිඳු නිසල් ද සිල්වා