2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා

නීති දාල විතරක් ලෙඩේ පාලනය කරන්න පුළුවන්ද?

 2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 24

කොවිඩ් 19 වයිරසය නොසලකා හැරීම නිසා අතිශය භයානක ප්‍රතිඵල උදාවිය හැකි බව අමෙරිකාව, ප්‍රංශය, ඉතාලිය වැනි රටවල් හොඳින්ම පෙන්නුම් කර දී තිබේ. ශ්‍රී ලංකාවේ දෙවැනි කොවිඩ් රැල්ල තවම පාලනය වී නැත. ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කවලින් දිනපතාම නව ආසාදිතයෝ සියය - දෙසීය අතර සොයා ගැනෙති.

කොවිඩ් වැළැක්වීමේ එකම උපාය මාර්ගය රටවල් වසා තැබීම නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශනවල සඳහන්ය. ඇඳිරිනීතිය පැනවීම හා ප්‍රදේශ වසා තැබීමෙන් කළ හැක්කේ පුද්ගලයන්ගේ සංචරණය නැවැත්වීම පමණි. නිසි සෞඛ්‍ය උපදේශන අනුගමනය කරන්නේ නම් සංචරණය ගැටලුවක් වන්නේ නැත. එහෙත් සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් නිසිලෙස ජනතාව පිළිපදිනවාද යන්න පිළිබඳ සාධාරණ සැකයක් ඇත.

කොවිඩ් වසංගතයේ බලපෑම්කාරී ප්‍රධාන අතුරුඵලය වන්නේ ආර්ථිකය බිඳ වැටීමය. සමස්ත ලෝක ආර්ථිකය කොවිඩ් - 19 නිසා බලවත් අර්බුදයකට ලක් වී ඇත. 2021 වන විට අමෙරිකාවේ මිලියන දොළහකට රැකියා අහිමි වන බව පුරෝකථනය වී ඇත. යුරෝපා රටවල් සියල්ල පාහේ මේ අර්බුදයට මුහුණදෙන අතර දියුණු වෙමින් පවතින රටවලට එය දැඩි බලපෑමක් එල්ල කරයි. ශ්‍රී ලංකාවට මේ වනවිටත් විදේශ රැකියා විශාල ප්‍රමාණයක් අහිමි වී ඇත. ඒ අනුව මෙරට රැකියා ක්ෂේත්‍රයෙහි නව අර්බුදයක් මතුවීම නොවැළැක්විය හැකිය. දකුණු ආසියාවේ බංගලිදේශය හැරුණු‍කොට අනෙක් සෑම රාජ්‍යයකම ආර්ථිකය ඍණ මට්ටමට වැටී ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථිකය 1.7‍කින් ඍණ මට්ටමේ පවතී. මේ අනුව තවදුරටත් රට වසා තැබීම අර්බුද රැසකට හේතුවක් වනු ඇත.

නිරෝධායන ඇඳිරි නීතිය පැවැතිය ද පොලිස් ඇඳිරි නීතිය පැවැතිය ද එය ජන ජීවිතයේ දෛනික ක්‍රියාවලියට බාධාවකි. මෙබඳු තත්ත්වයක් යටතේ රජයේ ආදායම් පහළ යයි. එහෙත් වියදම් වැඩිවෙයි. මේ වනවිටත් ජනතා සහන වෙනුවෙන් රජය විශාල මුදලක් වියදම් කරයි. ඒවා සැලකිය හැක්කේ ආර්ථික සැලැසුමෙන් බැහැර අමතර වියදම් හැටියටය. ඍණ ආර්ථික තත්ත්වයක් යටතේ මෙබඳු වියදම් දරාගැනීම රජයට බරක් වෙයි. ආර්ථිකය සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කිරීම පහසුය. එහෙත් වසංගත තත්ත්වයක් යටතේ ආර්ථිකය පවත්වා ගැනීම පහසු නැත. රජය මේ මොහොතේ එම අසීරු තත්ත්වයට මුහුණ දී සිටී. අපහසුතා මධ්‍යයේ වුවද ජනතාවට සහන දීමට ඉදිරිපත් වීම ගැන ආණ්ඩුවට කෘතඥ විය යුතුය.

පරෙස්සම් නූනොත් උත්සව පොකුරු හමුවේවි
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ

කොවිඩ් රෝගයේ ව්‍යාප්තිය මේ වනවිට රටපුරාම පැතිරිලා තියෙනවා. සෞඛ්‍ය අංශ විසින් නිරතුරැවම ජනතාව දැනුවත් කළත් ඇතැම් ජනතාව එම සෞඛ්‍ය අංශ මගින් දැනුවත් කරන දේ පිළිපදින ආකාරයක් නැහැ. ඇත්තටම එය කණගාටුවට කරුණක්. ඉදිරියේදී එළැඹෙන්නේ උත්සව සමය. මේ උත්සව සමයේදී ජනතාව වගකීම් විරහිතව කටයුතු කළහොත් නත්තලෙන් පසුව සහ මේ උත්සව සමය අවසන් වනවිට තවත් කොවිඩ් රෝගීන් පොකුරු හමුවෙන්න පුළුවන්. රජය මේ පිළිබඳව යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. එසේ නොමැති වුවහොත් මේ තත්ත්වය පාලනය කරගන්න අමාරු වෙනවා.

ජනතාවගේ පැත්තෙන් අපි බලනවා: ඒ අයගෙ කැපවීමත් ඕනෑ
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ

උත්සව සමයේ සංචරණ නීතී රිතී පැනවීම පිළිබඳව සාකච්ඡාවක් පසුගිය 13 වැනිදා අපි පැවැත්වූවා. එහිදී නිරන්තරයෙන් සාකච්ඡා වුණ කාරණය තමයි දැන් අපි ජනතාවගේ පැත්තෙන් බලන්න ඕනේ සහනශීලිව. ඒ වගේම අපි බලන්න ඕනේ රෝගය මැඩපැවැත්වීමට පියවර ගන්න ඕනේ කියන කාරණය. තවම එහෙම තීරණයක් අරන් නෑ. නත්තල් කාලෙට අවුරුදු කාලෙට රට ලොක්ඩවුන් කරන්න කියලා. නමුත් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අපි හිතමු කවුරු හරි කට්ටියක් හෙට කොහේ හරි ලොකු පාටියක් දාලා සාදයක් දාලා සෞඛ්‍ය අංශවලට කියන්නේ නැතිව පොලීසියට කියන්නේ නැතිව, ඒ කොහේහරි ඇතුළකට එනවා කොවිඩ් හැදිච්ච දෙන්නෙක් අහුවෙනවා. දැන් අපිට වෙනවා ඒ  පාටි දාපු තැනයි ඒ ප්‍රදේශයයි හුදකලා කරන්න. අපි විශ්වාස කරනවා එහෙම තීරණයක් ගන්න වෙන එකක් නෑ. හැබැයි යම් ප්‍රදේශයක ජනතාවගේ කැපවීම මත තමයි ඒ ප්‍රදේශ වැහෙනවා ද ඇරෙනවා ද කියලා තීරණය වෙන්නේ.

අපේ රටට ආරක්ෂිත තත්ත්වයක් තිබෙනවා
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්

රෝගය සමාජයේ තිබුණු පලියට සමාජගතවීම කියන විද්‍යානුකූල නිර්වචනයට ඒක අදාළ වෙන්නෙ නෑ. මේ සොයාගන්නා රෝගීන්ගෙන් වැඩි කොටසක් තවත් රෝගියකු හා සම්බන්ධවීමට තිබෙන බවට අපිට සියලු පැහැදිලි සාක්ෂි තියෙනවා. ඉතින් ඒ තත්ත්වය යටතේ තමයි අපි මේක තවදුරටත් පොකුරක් විදියට කටයුතු කරන්නේ. අපි පාලන කටයුතු කරන්නේ ඒ පදනමින්. එහෙම නැතිව සමාජයෙන් මතුවෙනවාය කියන පදනමින් කතා කළොත් එහෙම අපේ සම්පූර්ණ පාලන ක්‍රියාවලිය වෙනස් කරන්න සිද්ධ වෙනවා. ඒක කරන්න තරම් කාලය නෙමෙයි කියලා තමයි සියලුදෙනාගේ මතය වෙලා තියෙන්නේ. අපි පටන් ගන්නකොට තිබුණු මිනුවන්ගොඩ ප්‍රදේශය මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය වෙලා තියෙනවා. ඒ හරහා අපි හිතනවා මොනතරම් දරුණු තත්ත්වයකට ලෝකය පුරා මේ රෝගය පැතිරැණත් අපිට ආරක්ෂා සහිතව ඉන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා.

 හසිත් අංජන

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03