2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා

මානව හිමිකම් දිනයේ මරාදැමූ ඇෆ්ගන් කාන්තා මාධ්‍යවේදිනිය

 2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 54

ලෝක මානව හිමිකම් දිනය යෙදුණු දෙසැම්බර් 10 වැනිදා නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ කාන්තා මාධ්‍යවේදිනියක නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කර තිබේ. ඇය මලාලායි මයිවාන්ඩ්ය. එනිකාස් රූපවාහිනියේ සහ ගුවන්විදුලි සේවයේ මාධ්‍යවේදිනියක වූ මලාලායි නැඟෙනහිර නන්ගාර්හාර් පළාතේ පිහිටි සිය නිවසේ සිට ජලලාබාද්හි පිහිටි තම සේවා ස්ථානයට යමින් සිටියදී තුවක්කුකරැවන් පිරිසක් විසින් ඇය ගමන්ගත් වාහනයට  වෙඩි තබා ඇති අතර ඉන් මලලායි ද ඇගේ රියදුරැ මොහොමඩ් තාහීර් නමැත්තාද ජීවිතක්ෂයට පත්වූහ. 

මෙම ප්‍රහාරයේ වගකීම කිසිදු කණ්ඩායමක් මෙතෙක් භාරගෙන නොමැත. මෙය අයි. එස් ත්‍රස්තවාදීන්ගේ හෝ තලේබාන් ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාවක් යැයි විශ්වාස කෙරේ. අයි.එස්. .ත්‍රස්ත සංවිධානයට අනුබද්ධ කණ්ඩායමක මූලස්ථානය පිහිටා ඇත්තේ නැඟෙනහිර ඇෆ්ගනිස්ථානයේ නන්ගර්හාර් ප්‍රාන්තයේය. පසුගිය කාලයේ ඇෆ්ගනිස්ථානයේ සිවිල් වැසියන්ට එල්ල වූ ප්‍රහාරවලින් වැඩි සංඛ්‍යාවක වගකීම එම කණ්ඩායම විසින් භාර ගෙන තිබේ. එමෙන්ම තලේබාන් සංවිධානය ද ප්‍රදේශයේ ක්‍රියාත්මක වේ. 

එක්සත් ජනපදය ප්‍රමුඛ හමුදා විසින් 2001 දී ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කොට තලෙබාන් පාලනය අවසන් කරන තෙක් ඇෆ්ගනිස්තාන  කාන්තාවෝ  තලේබාන් සංවිධානයේ දැඩි හිංසාකාරි නීතිවලින් පීඩාවට පත්ව සිටියහ. මාධ්‍යවේදිනියක මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරිනියක වන මලාලායි මයිවාන්ඩ් ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ගේ සහ දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි කාන්තාවකි. ඇෆ්ගනිස්ථානයේ කාන්තා මාධ්‍යවේදිනියන් මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් ඇය පසුගියදා ප්‍රසිද්ධ දේශනයක්ද කර තිබුණාය. මින් වසර පහකට පමණ ඉහත සමාජ ක්‍රියාකාරිනියක වූ ඇගේ මවද නාඳුනන තුවක්කුකරුවන්ගේ ගොදුරක් බවට පත්විය. තම මව  අන්තවාදීන්ට බිලි වුවද මලාලායි ඉතා නිර්භීතව මාධ්‍යවේදිනියක හා සමාජ ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කළාය. අවසානයේ ඇයද අන්තවාදීන්ගේ ගොදුරක් බවට පත් වූ අතර. ඝාතනය වන විට 26 වැනි වියේ පසුවූවාය.

නේටෝ සහ යුරෝපා සංගමය විසින් ඇෆ්ගනිස්ථානයේ මෑතදී සිදු වූ ඝාතන හෙළා දකිමින් ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් ටික දිනකට පසු මලලායි ඝාතනය කර තිබේ. මලාලායිට ප්‍රහාර එල්ල කළ පිරිස මේ වන විට එම  ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශක අතාඔල්ලා කොගියානි ප්‍රාදේශීය මාධ්‍යට ප්‍රකාශ කර තිබිණි..

වසර 15කට අධික කාලයක් පුරා ඇෆ්ගනිස්තානයේ මාධ්‍යවේදීන්ට එරෙහි ප්‍රචණ්ඩ රැල්ලක් ක්‍රියාත්මක වෙමින් තිබේ. එම සියලු ප්‍රහාර පිටුපස සිටින්නේ  අයි.එස් සහ තලේබාන් සංවිධානයයි. මලාලායි ඝාතනය සම්බන්ධයෙන් තලේබාන් ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කරනුයේ මෙම ඝාතනයට තම කණ්ඩායමේ මැදිහත්වීමක් නොමැති යැයි ඔහු ප්‍රකාශ කළ බවටය.

ගතවූ වසර කිහිපය තුළ ඇෆ්ගනිස්තානයේ ජනමාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකාරීන් සහ දේශපාලකයන් බොහෝ දෙනෙක් අන්තවාදීන්ගේ ගොදුරු බවට පත් වූහ. පසුගිය මාසයේ දකුණු හෙල්මන්ඩ් පළාතේ බෝම්බ පිපිරීමකින් අසාඩි ගුවන්විදුලියේ මාධ්‍යවේදියකු වූ එලියාස් ඩායි ඝාතනය කෙරිණි. ඔහු මරාදැමීමට හේතු වූයේ එරට නොනවතින ප්‍රචණ්ඩකාරි රැල්ල පිළිබඳව ඔහු දිගින් දිගටම අනාවරණය කිරීමය. කිසිදු කණ්ඩායමක් ඔහුගේ ඝාතනයේ වගකීම භාර ගත්තේ නැත. ප්‍රකට රූපවාහිනී නිවේදිකයකු වූ යමා සියාවාෂ් සහ තවත් දෙදෙනෙකු කාබුල්හි පිහිටි ඔහුගේ නිවස අසලදී මෝටර් රථයට බෝම්බයක් සවිකොට මරා දැමිණි. රේඩියෝ ලිබර්ටි හි වාර්තාකරුකු වූ අලියාස් දයී, ලෂ්කර්ගාහිදී සිදුවූ කාර් බෝම්බ ප්‍රහාරයකින් මිය ගියේය. ඇෆ්ගනිස්ථානයේ පළමු කාන්තා චිත්‍රපට අධ්‍යක්ෂවරියක නිළියක හා චිත්‍රපට නිෂ්පාදිකාවක වන සාබා සහාර්ට වෙඩි තැබුවේ කාබුල් නුවරදීය. එම ප්‍රහාරයෙන් දිවි ගලවා ගැනීමට ඇයට හැකි විය. 2020 දී ඇෆ්ගනිස්ථානයේදී ඝාතනයට ලක්වූ මාධ්‍යයට සම්බන්ධ දස වැන්නා මලාලායිය. 2019 වසරේ එරට මාධ්‍යෙව්දීන් සය දෙනකු ඝාතනය කර තිබිණි.

2001 සිට 2020 තෙක් 50කට අධික මාධ්‍යවේදීන් පිරිසක් ඝාතනය වී ඇතැයි  “ජනමාධ්‍යවේදීන් ආරක්ෂා කර ගැනීමේ කමිටුව” නමැති රාජ්‍ය නොවන සංවිධානය සඳහන් කරයි. එනිකාස් රූපවාහිනියේ සාමාජිකයන් මින් ඉහත ද තලේබාන්වරුන්ගේ ගොදුරු බවට පත්ව තිබේ. එම ආයතනයේ හිමිකරු වන ඉංජිනේරු සල්මේ 2018දී කප්පම් ලබා ගැනීම සඳහා පැහැර ගැනිණි. 

ඇෆ්ගනිස්තානයේ මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවන්නේ දෝහා කටාර්හි ඇෆ්ගනිස්ථාන බලධාරීන් සහ තලේබාන් සංවිධානය අතර සාම සාකච්ඡා අඛණ්ඩව පවතිමින් තිබෙන අතරය. දෙපාර්ශ්වය මූලික කාරණා සම්බන්ධයෙන් යම් ප්‍රගතියක් ලබා ඇති නමුදු සටන් විරාමයක් පිළිබඳව කිසිදු තීන්දුවක් ගෙන නොමැත. ගතවූ නොවැම්බරයේ පමණක් මෙම අන්තවාදීන් විසින් ඝාතනය කරන ලද සිවිල් වැසියන් සංඛ්‍යාව 200කට ආසන්නය. එරට පළමු කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රිනිය හා දෝහා කටාර්  සාම කතා පිළිබඳ ඇෆ්ගනිස්ථාන රජයේ නියෝජිතවරියක වන ෆවුසියා කූෆි ද පසුගිය අගෝස්තු මාසයේ ඝාතන ප්‍රයත්නයකින් දිවි ගලවා ගත්තේ අනූනවයෙනි. 2020 නොබෙල් සාම ත්‍යාගය සඳහා නිර්දේශ වී සිටින ඇය සාම සාකච්ඡා සම්බන්ධයෙන් මෙලෙස ප්‍රකාශ කර තිබේ. “තලේබාන් සමඟ සාමය හෝ කිසිදු ආකාරයක දේශපාලන විසඳුමක් හෝ ස්ථිර සාමයක් ඇති වේයැයි සිතිය නොහැකිය. මන්ද ඇෆ්ගනිස්ථානයේ සහ කලාපයේ විවිධ කැරළිකාර කණ්ඩායම් සිටින අතර සාමය සඳහා වන ගමනේදී අයි.එස් වැනි කණ්ඩායම්වලින් ඇතිවන බලපෑම්වලින් ගැලවිය නොහැකි බැවිනි..”

මලාලායිගේ ඝාතනය සම්බන්ධයෙන් ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජාතීන්ගේ සහායක මෙහෙයුම (Unama) නමැති කණ්ඩායම විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබිණි. “මාධ්‍යවේදීනි මලාලායි මයිවාන්ඩ් සහ ඇගේ රියදුරාගේ ඝාතනය සම්බන්ධයෙන් ශෝකය හා විරෝධය ප්‍රකාශ කිරීමට අපි එක්වෙමු. මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමට අප එක්විය යුතුයි. ඔවුන්ගේ මරණ විමර්ශනය කළ යුතු අතර මෙම අධම ක්‍රියාවට එම ඝාතකයින්ට නීතිය ක්‍රියාත්මක කළ යුතුය." යනුවෙන් එහි සඳහන් විය.

ඇෆ්ගනිස්ථානයේ ජනමාධ්‍යයට සහාය දක්වන සංවිධානයක් වන “නායි” නමැති සංවිධානය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, “මලාලායි වැනි මාධ්‍යවේදිනියන් ඝාතනය කිරීම හේතුවෙන් කාන්තා මාධ්‍යවේදිනියන් ක්ෂේත්‍රයෙන් බැහැර වෙමින් සිටින බවත් පෙර මෙන් තම රැකියාවේ නිරතවීමට ඔවුන් එඩිතර නොවනු ඇති බවත්.”ය.

මලාලායි ඝාතනය අතිශයින්ම නින්දිත ක්‍රියාවකැයි ඇෆ්ගනිස්ථාන රජය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ. ජනාධිපති අෂ්රෆ් ඝහනිගේ ප්‍රකාශකයකු වන සෙදිකි සිද්දිකි ඝාතනය  හෙළා දකිමින් එය  බියගුලු හා දරුණු ක්‍රියාවකැයි සඳහන් කරයි.

“ඇෆ්ගනිස්ථාන රජය එය තරයේ හෙළා දකින අතර ඇගේ පවුලේ සාමාජිකයන්ට සහ මිතුරන්ට අපගේ සංවේගය ප්‍රකාශ කරමි. වත්මනෙහි අපගේ ජනතාවට එරෙහි නිරර්ථක ප්‍රචණ්ඩත්වය අවසන් විය යුතුය” යනුවෙන් ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.”

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා