අපේ ඇත්තෝ කොවිඩ් පැණියකට අඩව් කස්තිරම් අල්ලද්දී ලෝකයේ විවිධ රට රාජ්‍ය සිය රටවැසියන් කොවිඩ් 19 අනතුරෙන් මුදා ගැනීම උදෙසා විවිධ උපක්‍රම, ප්‍රතිකර්ම හඳුන්වා දෙමින් සිටිති. මේ වනවිට එංගලන්තය, අමෙරිකාව, කැනඩාව ඇතුළු රටවල් කිහිපයකටම ෆයිසර් එන්නත ලැබී හමාරය. ඔවුන් සිය රටවල වැඩිහිටි සහ වඩාත් අවදානම් පුද්ගල කණ්ඩායම් හඳුනාගනිමින් එන්නත්කරණය අරඹා හමාරය. මේ වනවිට වැඩිම කොවිඩ් 19 රෝගීන් සහ මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති අමෙරිකාව පසුගිය සතියේ සිය ජනහිත සුව පිණිස තවත් පියවරක් හඳුන්වා දුන්නේය. එරට ආහාර සහ ඖෂධ නියාමන FDA අධිකාරිය අලුත්ම පන්නයේ කොවිඩ් 19 ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණ කට්ටලයක් උදෙසා අනුමැතිය ලබාදීමත් සමගය. ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදිත මෙම කොවිඩ් පරීක්ෂණය තමන්ටම ගෙදර සිටම කරගන්නට හැකි මට්ටමේ සරල, පහසු සහ ලාබදායී පරික්ෂාවකි.
අමෙරිකාව තුළ සෑම මිනිත්තුවකටම කොවඩ් 19 ආසාදිතයකු මියයන අතර මේ වනවිට එයද ඉක්මණින් ඉහළ යමින් තිබේ. ඔවුන්ගේ රටේ මරණ සංඛ්‍යාව ලක්ෂ 03ද පන්නා හමාරය. කොවිඩ් එන්නතද රටේ සියල්ලන්ටම ලැබෙන්නට ලබන වසරේ මුල් කාර්තුව අවසන් වනතෙක් බලා සිටින්නට සිදුවන නිසාත්, එය අවසන් ප්‍රතිකර්මය ලෙස තවම ඔප්පු වි නැති නිසාත්, දිනෙන් දින ආසාදිත සංඛ්‍යාව ඉහළ යමින් ආශ්‍රිත පොකුරු ඉළ යන නිසාත්, ආසාදිතයන් වෙන්කර හඳුනාගැනීමේ වැදගත්කම එරට බලධාරීන් වඩාත් තදින්ම තේරුම් ගෙන හමාරය. මේ නිසාම ඔවුහු මේ ළඟ එන උත්සව සමයේ රට තුළ සිදුවන මහා පරිමාණ සංචරණ කටයුතුවලදී ආරක්ෂිතව භාවිතා කළ හැකි බවට තහවුරු වි ඇති, ප්‍රතිදේහජනක ඉක්මන් ගෘහස්ථ පරීක්ෂණ කට්ටල නිවෙස්වලදී භාවිත කිරීමට අනුමැතිය ලබාදීමට කටයුතු කර ඇත.
මේ ඕස්ට්‍රේලියානු පරීක්ෂා කට්ටලය තමන්ටම ගෙදරදීම කොවිඩ් 19 පරීක්ෂා කරගත හැකි ආකාරයට නිපදවූ එකකි. එය සාමාන්‍ය ෆාමසියකින් අපි පැනඩෝල් ගන්නාක් මෙන් වෛද්‍ය තුණ්ඩුවක් රහිතව ලබාගත හැකිය. එසේ ලබාගන්නා පරීක්ෂණ කට්ටලයේ “ස්වොබ් කූර” තමන්ටම නාසයට රැවා ලබාගන්නා තරල සාම්පල පරීක්ෂණ කට්ටලයේ ඒ සඳහා ඇති කුටීරයේ තැන්පත් කළ පසු විනාඩි 15ක් ඇතුළත කොවිඩ්-19 වැළැඳී ඇති නැති බව සියයට 90ක්ම නිවැරුදිතාවයකින් යුතුව දැකගන්නට හැකි බව කියයි.
මේ පරීක්ෂණ ප්‍රතිඵල වාර්තාව එසැණින් ලැබෙන්නේ සිය ස්මාර්ට් ෆෝනය හරහාය. ඒ සඳහා විශේෂිත APP එකක් හඳුන්වා දී තිබේ. ප්‍රතිදේහ ජනක පරීක්ෂාවක් වන මෙම ගෙදරදීම සිදුකරගත හැකි පරීක්ෂණයේදී පරීක්ෂණ කට්ටල මගින් වෛරස සහිත බවට වාර්තා වූවන් සියයට 96ක්ම නිවැරදිව හඳුනාගත හැකි අතර පී.සී.ආර්. මගින් ආසාදිතයන් නොවන බවට හඳුනාගත් පිරිස සියයට 100ක්ම නිවැරුදිව හඳුනාගෙන තිබේ.
මූලික රෝග ලක්ෂණ නොමැති අය අතරින් වෛරසය සහිත උදවිය සියයට 91ක්ම නිවැරුදිව හඳුනා ගන්නටත්, එසේම වෛරස රහිත උදවිය සියයට 96ක්ම නිවැරුදිව හඳුනාගන්නටත් සමත්ව ඇත. මෙම නවතම ගෘහස්ත පරීක්ෂණ කට්ටලය නිපදවන Ellume නමැති ඕස්ට්‍රේලියානු සමාගම, ජනවාරිය වනවිට පරීක්ෂණ කට්ටල ලක්ෂ 30ක් මුලින්ම බෙදාහැරීමට බලාපොරොත්තුව සිටියි. මෙම ටෙස්ට් කට්ටලයක් ලංකාවේ මුදලින් රුපියල් 5600/-ට පමණ මිලකර තිබේ. කොවිඩ් 19 සීඝ්‍රව පැතිර යන අතර එහෙයින්ම එය පැතිර යන අවදානම් කලාප හඳුනාගැනීමේ වැදගත්කම ලෝකයම තේරැම්ගෙන හමාරය. මේ නිසාම ලෝකයේ රටවල් 190කට ආසන්න ප්‍රමාණයක් දිනපතා සිය රට රාජ්‍යවල කොවිඩ් 19 තත්ත්ව වාර්තාව නිකුත් කරන අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජෝන් හොප්කින්ස් සරසවිය ඇතුළු ආයතන ගණනාවක්ම වෛරසය ව්‍යාප්තිය පිළිබඳ දත්ත සජීවීකරණයට ලක්වන සිතියම් මගින් ලෝකයේ දැනුම්වත් කිරීම සිදුකරයි. මෙය වෛරසය හා සටන් වැදීමට එහි අවදානම් පැතිරයාම පිළිබඳ කල්තබා අනතුරු ඇඟවීම් ලබාදෙන ප්‍රධාන උපක්‍රමය වී තිබේ. රටවල් බොහෝමයක් මේ දත්ත මත යැපෙමින් සිය සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද යාවත්කාලීන කරමින් මාර්ගෝපදේශ සකසමින් කටයුතු කරති.
ඔක්තෝබරයේ සිදුවූ ආසාදනයේ සීඝ්‍ර පැතිර යාමෙන් පසු දැන් යුරෝපයේ බොහෝ රටවල දිනපතා වාර්තා වන ප්‍රමාණයේ පසුබැසීමක් දක්නට තිබේ. එසේ වුවද බොහෝ යුරෝපීය රටවල් එළැඹෙන උත්සව සමයේ ජනතාව කල්ලි ගැසීම සහ ඒ හේතුවෙන් අතිශය භයානක කොවිඩ් 19 නව රැල්ලකට ඉඩ සැකසිය හැකි බව වටහාගන රටවල් හෝ කලාප වශයෙන් වසා දැමීමට කටයුතු යොදා තිබේ.
දෙසැම්බර් 15දා සිට ප්‍රංශය සිය රට තුළ ජනතාවට පනවා තිබූ බාධක ඉවත්කළද රාත්‍රී 9 සිට පසුදා උදෑසන 7 වනතුරු ඇඳිරි නීතිය තවමත් පනවා තිබේ. එය නත්තල්දා සවස්වරුවේ ඉවත් කිරීමට කටයුතු කළද ඔවුන් නව වසර උදාව සමරන්නට යන්නේ ඇඳිරිය යටතේ කල්ලිගැසීම් සමූහ උත්සව රහිතවය. මේ අලුත් ඇඳිරි නීතිය ජනවාරි 20 වනතුරු පවත්වාගෙන යන්නට ප්‍රංශ බලධාරීන් තීරණය කර ඇත. ඔවුන්ගේ පාසල් විවෘතකර ඇති නමුත් විශ්වවිද්‍යාල පෙබරවාරි වනතෙක් වසා දමා තිබේ.
ජර්මනිය පසුගිය 16දා සිට අලුතෙන් ලොක්ඩවුන් කිරීමට එරට චාන්සලර්වරිය ඇන්ජෙලා මර්කල් තීන්දු කළාය. ඒ අනුව ජර්මනිය ලබන වසරේ ජනවාරි 10 වනතුරු වසා දමා තිබේ. අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර ආයතන, රෙස්ටුරන්ට්, බාර් ආදියද වසා දමා ඇත. පාසල්ද වහලාය. නිවසේ පවා රැස්ව සිටිය හැක්කේ 5 දෙනෙකුට පමණි. මේ බාධක දෙසැම්බර් 24 සහ 26 ලිහිල් කරන්නට නියමිතය. එසේ බාධක රහිත වුවද ඒ දින දෙකේදී සිය නිවසට පිටතින් ගෙන්වාගත හැක්කේ දන්න කියන සමීපතමයන් 4 දෙනෙකු පමණය. හැබැයි දරුවන් ගෙන ඒම තහනම්ය.
ග්‍රීසියද ලබන ජනවාරි මස 7 වනතුරු සිය රට වසා දමා තිබේ. පිටතට යන්නට හදිසිම කාරණයක් ඇතිවිට රජයෙන් ලබාදී ඇති අංකයකට SMS පණිවුඩයකින් විස්තර ලබාදී අවසර ලබාගත යුතුය. නත්තල් කාලේ කොණ්ඩා සකසා ගන්නට සහ තෑගි සඳහා පොත් ලබාගන්නට එකී වෙළඳ ආයතන විවෘත කිරීමට අවසර දී තිබේ. රූ 10 සිට පාන්දර 5 දක්වා ක්‍රියාත්මක ඇඳිරිය සහ අනෙකුත් බාධක නත්තල් කාලයේද එලෙසම පවතිනු ඇත.
ඉතාලිය රතු, තැඹිලි සහ කහ කලාප ලෙස ප්‍රදේශ වෙන්කර හඳුනාගෙන ඒ ඒ මට්ටමට අයත් නීති රීති සහිතව රට අර්ධ ලෙස වසා දමන්නට කටයුතු කර ඇත. රෑ 10 සිට පාන්දර 5 දක්වා ඇඳිරිය ඇත. එසේ වුවද දෙසැම්බර් 21 සිට ජනවාරි 6 දක්වා රටේ විවිධ ප්‍රදේශ අතර සංචරණය මහජනයාට තහනම් කර තිබේ. නත්තලට, ඊට පෙර බොක්ස්ඉන් දිනට හෝ අලුත් අවුරුදු දිනට සිය නිවාසවලින් පිටතට යාම පුරවැසියන්ට තහනම්ය. එසේ යනවා නම් ඉතා හදිසි අත්‍යවශ්‍ය කරුණකට පමණි අවසර ලබාදෙන්නේ.
ස්පාඤ්ඤයේ නත්තල් කාලයේදී මෙතෙක් තිබූ බාධක මඳක් ඉහිල්කර තිබේ. දෙසැම්බර් 23 සිට ජනවාරි 6 දක්වා වූ මේ කාලයේ සමීපතමයන් බලන්නට යා හැකිය. නත්තල, බොක්ස් ඉන් දිනය සහ අලුත් අවුරුදු දා ඕනෑම තැනක රැස්විය හැක්කේ 10 දෙනෙකුට පමණි. දරුවන්ද එම ගණනට ඇතුළත්ය. නත්තල කියා වෙනසක් නැතිව ලබන වසරේ මැයි මස වනතුරුම ස්පාඤ්ඤය තුළ රාත්‍රී 11 සිට පසුදා පාන්දර 6 වනතුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මකය. වයස අවුරුදු 06ට වැඩි සෑමදෙනාම මුහුණු ආවරණ පැළඳීම එරටදී අනිවාර්යය.
බෙල්ජියම තුළ කොවිඩ් 19 සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදය තදින්ම ක්‍රියාත්මකය. නිවසට පැමිණිය හැක්කේ “සමීපතම ආශ්‍රිතයා” ලෙස හඳුන්වනු ලබන එක් තැනැත්තෙකුට පමණි. පිටතදී කල්ලි ගැසෙන්නට හැකි උපරිමය 4කි. නව අවුරුදු උදාවන සවස ගිනිකෙළි සංදර්ශන තහනම්ය. එදිනට ඇඳිරිය පමණක් මඳක් ලිහිල් කර ඇත. දෙසැම්බර් 01 සිට කඩසාප්පු විවෘත නමුත් ඒවා තුළ කෙනෙකුට ගතකළ හැක්කේ මිනිත්තු 30ක් පමණි. රටේ හැම තැනකම හැම විටකම මුහුණු ආවරණ පැළඳ සිටිය යුතුමය.
පෘතුගාලයේ නිවසේ සිට වැඩ කිරීම අනිවාර්ය කර තිබේ. ඒ ඉහළ විධායක මට්ටම් 4 අයත් සියයට 80ක් පමණ වූ පිරිසටය. රෑ 11 සිට පසුදා පාන්දර 5 වනතුරු ඇඳිරිය ක්‍රියාත්මකය. නත්තල වෙනුවෙන් 23 සිට 28 දක්වා නීති රීති මඳක් ඉහිල් කරන්නට යෙදේ. නත්තල් දිනයේ ඇඳිරිය පැය 3කට සීමාකර ඇත. හෝටල් සහ භෝජනාගාර සඳහාද සවස 1.00 වනතුරු විවෘතව තබාගන්නට අවසරය දී ඇත. නෙදර්ලන්තය අලුත් ලොක්ඩවුන් සමයකට එළැඹුණේ දෙසැම්බර් 15 සිටය. ජනවාරි 19 වනතුරු අත්‍යවශ්‍ය නොවන සියලු කඩසාප්පු ව්‍යාපාර වසා දමා ඇත. ව්‍යායාම් මධ්‍යස්ථාන පාසල්, සිනමා ශාලාද එසේය. නත්තල් දින 3 අතර මේ සීමා මඳක් ඉහිල් කර ඇත. නමුත් නිවසකට යා හැකි අමුත්තන් ගණන 03 දෙනකුට සීමාකර ඇත. වයස 13 අඩු දරුවන්ට මේ සීමාව අදාළ නැත. අවුරුදු දා බෙල්ජියමේදී ගිනිකෙළි සංදර්ශන තහනම්ය. රටපුරා සංචරණය ලබන මාර්තුව තෙක් තහනම්ය.
චෙක් ජනරජයද දෙසැම්බර් 18 සිට අලුතෙන් රට වසා දැමීය. කල්ලි ගැසිය හැක්කේ උපරිම 6කට පමණි. නමුත් කඩසාප්පු විවෘතය. රූ 11 සිට පසුදා පාන්දර 5 වනතුරු රටපුරා ඇඳිරිය ක්‍රියාත්මකය. ඩෙන්මාර්කයද ජනතාව එක් රැස්වීම සීමාකර තිබේ. දෙසැම්බර් 9 සිට කෝපන්හේගන් ඇතුළු ප්‍රධාන නගර අර්ධ ලෙස වසා දමා ඇත. දෙසැම්බර් 09දා සිට ජනවාරි 03 දක්වා මේ නව නීති ක්‍රියාත්මකය. කොවිඩ් 19 වසංගතයෙන් වැළකීමට පනවා ඇති මේ නීති යටතේ එක්රැස්විය හැක්කේ උපරිම 10 දෙනෙකුට පමණි. නත්තල කියා මෙහි වෙනසක් නැත. මීටරේ දුර තබා ගැනීම මේ රටේදී අතිශය වැදගත් කාරණාවක් ලෙස සැලකෙයි. රෙස්ටුරන්ට්, බාර් යන නයිට් ක්ලබ් ආදිය ජනවාරි 03 තෙක් වසා දමලාය. අයර්ලන්තය දෙසැම්බර් 18 සිට රටේ විවිධ ප්‍රදේශ කරා යන්නට පනවා තිබූ තහනම ඉවත් කළේය. මේ නිසා තම තමන්ගේ සමීපතමයන් සමග නත්තල ගත කිරීමට මේ රට වැසියන්ට හැකිය. පවුල් 3ක සාමාජිකයන්ට නත්තල් කාලේ එකට එක්වී උත්සව සැමරීමට හැකිය. සති 5ක් වසා තිබූ හෝටල, ආපන ශාලා කෑම කඩ දෙසැම්බරයේ මුල සිට දැන් විවෘතය. දේව මෙහෙයන්ටද බාධා නැත. ස්විඩනයේ නත්තල් කාලේ අවන්හල් සහ ආපනශාලා කලින් වසා දැමීමට නියමකර තිබේ. බස් සහ දුම්රිය ගමන සීමාකරන ලෙස ජනතාවට දක්වා තිබේ. එකට රැස්විය හැක්කේ අටදෙනෙකුට පමණි. වයස 16ට වැඩි දරුවන් ඔන්ලයින් අධ්‍යාපනයට කලින් සිටම යොමුකර තිබූ අතර, 13 සිට 15 දක්වා දරුවන් ලබන ජනවාරියේ සිට එම මාර්ගගත අධ්‍යාපනයට යොමුකරන්නට යෙදෙයි. ස්විඩනය කොරෝනා වසංගතයට එරෙහිව දැඩි තහංචි ජනතාව මත පනවා නැත. මුහුණු ආවරණ පැළඳීමද එහෙයින්ම තදබල නීතියක් නොවේ. නමුත් සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම පිළිබඳ නිතර අවවාද අනුශාසනා ලබාදෙනු දක්නට හැකිය.
ආසියාකරයේ රට රාජ්‍ය බොහොමයක් මුහුණු ආවරණය, සමාජ දුරස්ථභාවය, අත් සේදීම වැනි සෞඛ්‍ය පුරුදු අනිවාර්ය කර තිබේ. මේ බොහෝ රටවලට ඇත්තේ මැජික් එන්නතක් පිළිබඳ සිහිනයකි. ආසියන් රටවල් 10 සහ තවත් ආසියානු ජාතීන් 30ක් වැඩිදුර බලාපොරොත්තු තබා ඇත්තේ රුසියාව සහ චීනයේ නිෂ්පාදිත එන්නත් ගැනය. නැත්නම් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් එන්නත් බෙදාදීම සඳහා සැකසූ Covax වැඩපිළිවෙළ ගැනය. බ_නෙයි Covax සාමාජිකත්වය ගත්තේ නොබෝදාය. රටේ සියයට 50%ට අවශ්‍ය එන්නත් මිලදී ගන්නට ඔවුන් දැනටමත් සූදානම්ය.
කාම්බෝජයට සිදුව ඇත්තේ ඉන්දියාව, චීනය හෝ රුසියාවේ පිහිට පතා සිටින්නටය. ඉන්දුනීසියාවට නම්, මේ වනවිටත් චීන එන්නතෙන් ලක්ෂ 90ක් දැනටමත් ලැබී හමාරය. සිනෝවැකි නමැති මේ එන්නත එක වඩියක් සඳහා එරට මුදලින් ලක්ෂ 2ක්වත් වියදම් කරන්නට සිදුවනු ඇත. මේ දෙරටටම එන්නත් ලබාගන්නට මුදල් දෙන්නට ඕස්ට්‍රේලියාව සූදානම්ය. ලාඕසය මේ වනවිටත් රුසියානු එන්නත පරීක්ෂා කරන්නට ආරම්භ කළ රටකි. මැලේසියාව සිය රටේ පුරවැසියන්ට එන්නත් නොමිලේ ලබාදෙන්නට සූදානම්ය. ෆයිසර් එන්නත මිලියන 12.8ක් ලබාගන්නට මුල්වටයේදීම ඔවුන් සාකච්ඡා කර හමාරය. බුරුමයද Covax හෝ Gavi වැඩසටහන් යටතේ එන්නත් ලැබෙනතුරු බලා සිටියි. පිලිපීනය 2021 ජූනි මස සිට එන්නත්කරණය ඇරුඹීමට යයි. සිංගප්පූරුවට තමන්ගේම වූ (ලූනා) එන්නත ඇත. ලබන වසර මුලදී එය ජනතාවට ලබාදෙන්නට නියමිතය. තායිලන්තය දැනටමත් ඇස්ට්‍රා සෙනෙකා සමඟ ඩොලර් මිලියන 79ක ගිවිසුමක් ගසා 2021 දී එන්නත් ලබාගන්නට සූදානම්ය.
වියට්නාමයට තායිලන්ත සමාගමකින් නිපදවෙන මෙඩිගන් එන්නත මිලියන 3-10ත් අතර ප්‍රමාණයක් 2021දී ලැබෙන්නට නියමිතය. ඇෆ්ඝනය සිටින්නේ රට වසා දමා චීනය හෝ රුසියාවෙන් එන්නත් ලැබෙන තුරුය. බංග්ලාදේශයට එන්නත් මිලියන 30ක් ඉන්දියාවෙන්ද Gavi පහසුකම යටතේ තවත් මිලියන 68ක්ද ලැබීමට නියමිතය. බහරේනය මේ වනවිටත් චීනයේ Sinopharm එන්නත විදීම අරඹා හමාරය. හොංකො රාජ්ජය සියලු පුරවැසියන්ට එන්නත් නොමිලේ ලබාදීමට සූදානම්ව සිටියි.
අසල්වැසි ඉන්දියාව දැනටමත් එන්නත් නිෂ්පාදනය සඳහා බටහිර රටවල් සමග එක්ව සිටිති. එහෙයින්ම 2021 පෙබරවාරි - මාර්තු අතර කාලයේ ඔවුන්ට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා හෝ භාරත් බයෝටෙක් ආයතනයේ නිපදවන එන්නත් ලැබෙනු ඇත. වඩාත් සූදානම් සහිත කාණ්ඩවලට අයත් මිලියන 300ක් 2021 ජූලි අවසන් වනවිට එන්නත්කරණයට ලක්කර කොවිඩ් 19ට එරෙහි සටනින් ජයග්‍රාහී පියවර අරඹන්නට ඔවුන් සූදානම්ය.
සුගත් පී. කුලතුංගආරච්චි