2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා

පළාත් සභා ඡන්දෙ දැන්ම තියන්න පුළුවන්ද?

 2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 57

1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 1987 වර්ෂයේදී ගෙනෙන ලද 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව 1987 අංක 42 දරන පළාත් සභා පනත සම්මතකොට පළාත් සභා පිහිටුවීම ආරම්භ විය. ජනාධිපතිවරයා විසින් 1988.02.05 වැනි දින ප්‍රසිද්ධ කරන ලද අංක 491/10 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් 1988.02.03 වැනි දින සිට පළාත් සභා ක්‍රියාත්මක වන බවත් 1988.03.31 වැනි දින අංක 499/10 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් පළාත් සභාවේ මන්ත්‍රීවරුන්  ගණනද, මැතිවරණ කොට්ඨාස ගණනද තීරණය කර ඇත.

ආණ්ඩුකාරවරයාගේ මූලිකත්වයෙන් යුතු පළාත් සභාවක අමාත්‍ය මණ්ඩලය ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළුව 05 දෙනෙකුගෙන් සමන්විත වියයුතු බව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(ඉ)1 හි දැක්වේ. මේ අනුව මෙරට ඡන්දදායකයන්ගේ මූලික අයිතිවාසිකමක් වන ඡන්දය භාවිත කිරීම හා මෙම පළාත් සභා නියෝජිතයන් තෝරා ගැනීම බැඳී ඇති බව අතිශය පැහැදිලි වන කරැණකි. මෙහිදී පළාත් සභාවන්හි කාලය වසර 05 කට සීමා කිරීමට ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(ඉ) අනුව ව්‍යවස්ථාව කටයුතු කර ඇත. එකී පස් අවුරුදු කාලය ඉක්ම ගියවිට එම පළාත් සභාව විසිර ගියා සේ සලකනු ලබයි.

කෙසේ වුවද සීමානිර්ණයේ ඇතිවූ ගැටලු හේතුවෙන් කල් ගිය, පළාත් සභා මැතිවරණය ලබන වසරේ (2021) සිංහල අලුත් අවුරුද්දෙන් පසු පැවැත්වීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු වී ඇත. ඇතැම් පළාත් සභාවල කාලය ඉක්මවා ගොස් දැනට වසර දෙකක්ද, ඇතැම් පළාත් සභාවල වසර හතරක්ද වෙයි.

පළාත්සභා මැතිවරණය පවත්වන්නේ පැරුණි ක්‍රමයටද, කොට්ඨාස ක්‍රමයටද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයකට තවමත් එළඹී නැති අතර පැරැණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නම් ඊට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කිරීමෙන් පසුව එය නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර එය පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙන් මැතිවරණය පැවැත්වීමේ හැකියාව පවතින බව වාර්තාවේ.

පරණ ක්‍රමයට නම් පනතට සංශෝධන ඕනෑ
පළාත් සභා, පළාත් පාලන කටයුතු රාජ්‍ය ඇමැති විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර

පසුගිය රජය කාලයේ පළාත් සභා මැතිවරණය පැවැත්වූයේ නැහැ. පරණ ක්‍රමයට ඡන්දය පැවැත්වීමට නම් දැනට පවතින පනත සංශෝධනය කරන්නට සිදුවෙනවා. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර වෙනස් කළ යුතුයි. වර්තමාන පනතට අනුව නම් මිශ්‍ර ක්‍රමය යටතේ දැනට මැතිවරණය පැවැත්විය යුතුයි. එහෙත් එම ක්‍රමවේදය වෙනස් කිරීමට මේ වනවිට කටයුතු සිදුකරමින් පවතිනවා. මිශ්‍ර ක්‍රමයට ඡන්දය පවත්වන්නේ නම් නැවත සීමානිර්ණය පාර්ලිමේන්තුවේ සම්මත කරගතයුතුයි. 

පසුගිය රජය කාලයේ සීමා නිර්ණය සම්බන්ධයෙන් කළ වාර්තාව පාර්ලිමේන්තුවේ අනුමත වූයේ නැහැ. කෙසේ වුවත් පළාත් සභාවලින් වන සේවාව සම්බන්ධව මේ වන විට අධ්‍යයනය කරමින් සිටින්නේ. මේ මැතිවරණයට අති විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කළ යුතු වෙනවා.

මේ පළාත් සභාවල කාර්යභාරය කුමක්ද? කාර්යක්ෂමතාවය කුමක්ද? යන කරැණ සම්බන්ධයෙන් අපි සැලකිලිමත් විය යුතුයි. ඇත්තෙන්ම පළාත් සභාවෙන් ජනතාවට සේවාවක් වෙනවාද කියන කාරණාව මේ වනවිට අධ්‍යයනය කරනවා.

ඡන්දෙ තියෙනවා නම් පරණ ක්‍රමය හොඳයි
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්

අපි පක්ෂයක් විදිහට පළාත් සභා ඡන්දය  සම්බන්ධයෙන් තවම  සාකච්ඡා කර නැහැ.  යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ආ විට ඒ ගැන සාකච්ඡා කළ යුතුයි. පළාත් සභා දිගටම පවත්වාගෙන යන්නේ නම් මැතිවරණය පැවැත්විය යුතුයි. එසේ නොමැතිව පළාත් සභා අහෝසි කරනවා නම් එය වෙනම සාකච්ජා කළ යුතුයි. මැතිවරණය පවත්වන්නේ නම් පැරුණි ක්‍රමයටම පැවැත්විය යුතුයි. 

පරණ ක්‍රමයට පවත්වන්නේ නම් අවුල් වියවුල් හුඟක් අඩුවෙන් මැතිවරණය පැවැත්විය හැකි බවයි මගේ පෞද්ගලික මතය වන්නේ. මැතිවරණය දැනටමත් බොහෝ කල් ගිහින් තියෙන්නේ. මැතිවරණය පවත්වන්න උත්සාහ කරනවා නම් අපි රජයට සහය දෙනවා.

යළිත් පනත් ගෙනල්ලා සංශෝධන ගෙනැවිත් කටයුතු කරන්න සැලකිය යුතු කාලයක් යයි. මැතිවරණය ඉක්මනින් පැවැත්විය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නේ. විශේෂයෙන්ම පළාත් සභා ක්‍රමය පවත්වාගෙන යනවා නම් මීට වඩා මුදල් ප්‍රතිපාදන ලබා දිය යුතුයි.

ඡන්දෙ තැබීමයි වැදගත්
එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය

පළාත් සභා මැතිවරණය අනිවාර්යෙන්ම පැවැත්විය යුතුයි. වඩා හොඳ මැතිවරණ ක්‍රමයක් යටතේ පවත්වන්නයි පසුගිය රජය සංශෝධන ගෙනාවේ. නමුත් කෙසේ හෝ පළාත් සභා කල් දැමුණා. නිසි ක්‍රමවේදයක් නැතුව මැතිවරණය අතරමැද නතර වෙලා  තියෙන්නේ. 

අපි කියන්නේ පළාත් සභා පැවැත්විය යුතුයි කියන කාරණාව පමණයි. පළාත් සභා විශාල අරගලයක් කර ලබාගත්ත දේශපාලන ව්‍යුහයක්. පළාත් සභා ක්‍රමයට විරුද්ධව අන්තවාදී ජනකොටසක් මේ රටේ ඉන්නවා.

අලුත් පනතේ වාසිය පක්ෂ දෙකකට විතරයි
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව

මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් කෙරෙන සාකච්ඡාවලදී  දක්නට ලැබෙන කාරණාවක් තමයි යම් මට්ටමක හෝ නියෝජනයක් සැකසීමක් ඇත්නම්, විවිධ මතවාදයක් තිබේ නම් ඒ මතවාදවලට ඉඩ නොදී මඟ අහුරණ යෝජනාවන් ගෙන ඒම. දැනට තියෙන නිර්නායක අනුව ප්‍රධාන පක්ෂ දෙකට පමණයි මෙයින් වාසි සැලසෙන්නේ. ඉතුරු දේශපාලන පක්ෂ අකර්මණ්‍ය කරන ආකාරයටයි මේ අලුත් පනත සකස්කර තියෙන්නේ.

පළාත් සභා සම්බන්ධයෙන් සාකච්ජා මූලික වශයෙන් ගත් විට සමානුපතික සහ කේවල ක්‍රමය යන ක්‍රමයන්ගෙන් පැනනැගුණත් ඒක අත්හිටුවන්න සිදුවුණේ සීමානිර්ණය සාධාරණ විදිහට සිදුනොවුණ නිසයි.

 හසිත් අංජන