පසුගිය දෙසැම්බර් 5 වැනිදා පෙරවරු 05.41ට පමණ රික්ටර් මාපක ඒකක 02ක ප්‍රබලත්වයක් සටහන් කළ භූ චලනයක් දිගන අලුත්වත්ත ප්‍රදේශය ආශ්‍රිතව සිදුවිය. එදිනම පස්වරු 4.00 සිට රාත්‍රී 7.00 දක්වා කාලය තුළ භූ කම්පන තුනක් සිදුවී ඇති අතර එම භූ චලනයන් වික්ටෝරියා ජලාශයේ භූ කම්පන මාපකවල සටහන්ව තිබිණි. වික්ටෝරියා ජලාශයේ කාර්යභාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය මහතාට අනුව මෙම සියලු කම්පන රික්ටර් මාපක ඒකක 02ට අඩු අගයක පැවතියේය. මෙම තත්ත්වය පල්ලෙකැලේ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ ඇති භූ කම්පන මාපකයේ රික්ටර් මාපක 2.2ක අගයක් සටහන් කර තිබිණි. එම අගය දරුණු භූ කම්පන තත්ත්වයක් නොවේ.
මින් ඉහත මෙම ප්‍රදේශයේ වරින්වර මෙවැනි භූ කම්පන කිහිපයක්ම සිදුවිය. පසුගිය අගෝස්තු මාසයේ 29දා පළමුවරමට කම්පන තත්ත්වයක් වාර්තා වූ අතර ඒවා වික්ටෝරියා ජලාශයේ වේල්ල දෙපස ජලාශය මධ්‍යයේ සවිකර ඇති භූකම්පන මානවල සටහන්ව තිබිණි. එහි අගය රික්ටර් මාපක 3.5ක් විය. ඉන්පසු සැප්තැම්බර් 02දා සහ 11දා වාර්තා වූ භූ කම්පන රික්ටර් මාපක ඒක 02 අඩුවෙන් වාර්තා විය. ඉන්පසු නොවැම්බර් 18 දා උදෑසන මහනුවර, හාරගම, අනුරගම, දිගන සහ අඹකොටේ යන ප‍්‍රදේශවලින් භූ කම්පන පිළිබඳව වාර්තා විය. ඒවා රික්ටර් මාපක 2.5ත් 3.5ත් අතර පැවතියේය. මෙම කම්පනය විනාඩි දෙකක පමණ කාලයක් පැවැති බවද නිවෙස්වල පියසි හා ජනේල දොරවල් දෙදරැමකට ලක්වූ බවද එම ප්‍රදේශයේ වැසියෝ කියා සිටියහ.
නොවැම්බර් 18 දින සිදුවූ භූ කම්පනයෙන් පසු ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට භූවිද්‍යාඥයන් සය දෙනකුගෙන් යුතු කණ්ඩායමක් පත් කොට තිබිණි. ඔවුන් විසින් එළිදැක්වූ වාර්තාවේ දක්වා තිබුණේ මේ සම්බන්ධයෙන් දිගුකාලීන අධීක්ෂණ වැඩසටහනක් කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බවටය. ඩොලමයිට් පතල් කැණීම සම්බන්ධ ව්‍යුහාත්මක ඉරිතැලීම් අධීක්ෂණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් එහි සඳහන් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට ලබා දී ඇති නිර්දේශ සැලකිල්ලට ගන්නා ලෙස දක්වා තිබේ. මෙම සිදුවීමට අදාල මූලාරම්භයේ තත්ත්වය තක්සේරු කිරීම වැදගත් බවත් කෙටිකාලීන සංවේදක තාවකාලිකව යෙදවීම නිවැරදි ප්‍රවේශය වන අතර එම කටයුතු වේගවත් කළ යුතු බවටත් ඉන් නිර්දේශ කර තිබිණි.
දෙසැම්බර් 5 වැනි දින ඇති වූ භූ කම්පනවලින් පොළව අභ්‍යන්තරයෙන් වූ බවට වාර්තා වන්නේ එක් සුළු භූ කම්පනයක් පමණක් යැයි භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා ප්‍රකාශ කළේය. එම සුළු කම්පනය මහකනදරාව හා පල්ලේකැලේ භූ කම්පන මධ්‍යස්ථානවල සටහන්ව ඇති නමුත් අනෙක් ස්ථානවල සනිටුහන්ව නොතිබිණි. පෘථිවි අභ්‍යන්තරයේ සිදුවන කම්පන සනිටුහන් වන්නේ භූකම්පන මධ්‍යස්ථානවල ස්ථාපනය කර ඇති භු කම්පන මානවල පමණක් වන අතර වික්ටෝරියා ජලාශයේ වේල්ලෙහි සවිකර ඇති සංවේදකවල පෘථිවි අභ්‍යන්තරයේ කම්පන සටහන් වන්නේ නැත. සෙසු කම්පන තුන සම්බන්ධව භූ කම්පන මධ්‍යස්ථානවල සටහන්ව නොමැති අතර වික්ටෝරියා ජලාශයේ භූකම්පන මානවල සටහන්ව තිබේ. එම කම්පන තුන පොළව අභ්‍යන්තරයේ සිදුවූ ඒවා නොව පෘථිවි පෘෂ්ඨය මත සිදුවූ කිසියම් කම්පන තත්ත්වයක් නිසා ඇති විය හැකි ඒවා විය හැකි යැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය පවසයි.
මෙම ප්‍රදේශයේ වරින්වර ඇතිවන භූ කම්පන පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලය, භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය, සහ මහවැලි අධිකාරියේද සහය ඇතිව පුළුල් විමර්ශනයක් කිරීමට පියවර ගෙන තිබේ. එම විමර්ශනයේ නිර්දේශ අනුව ඉදිරි පියවර ගැනෙනු ඇත.
මෙම භූ කම්පන හේතුවෙන් වික්ටෝරියා ජලාශයට හා වේල්ලට කිසියම් බලපෑමක් ඇතිවිය හැකිදැයි අප විමසා සිටියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාගෙනි. ඒ සම්බන්ධයෙන් ඔහු ප්‍රකාශ කළේ මෙවැනි අදහසකි.
“කම්පන සිදුනොවන ස්ථානවල පවතින ජලාශයකට කිසිදු බලපෑමක් නැහැ. කම්පනයක් සිදුවෙනව කියන්නේ අනිවාර්යයෙන්ම බලපෑමක් තියෙනවා. එම බලපෑම කෙතරම්ද කියා ප්‍රකාශ කළ නොහැකියි. දැනට ඇතිවී තිබෙන්නේ ඉතා කුඩා කම්පන නිසා තවම දැනෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ජලාශයක් ඉදිකරන්නේ රික්ටර් මාපක 3.5 ක පමණ කම්පනයකටත් ඔරොත්තු දෙන පරිදියි. ඒ නිසා දැනට ඇතිවන කම්පනවලින් ජලාශයට ගැටලුවක් ඇතිවන්නේ නැහැ. ඒ වුණාට ඉදිරි අනාගතයේදී මෙම ප්‍රමාණය ඉක්මවා යන කම්පන ඇතිවේදැයි කිව නොහැකියි. දැන් වරින්වර කම්පන ඇතිවන වන බැවින් එවැන්නක් සිදු නොවේ යැයි කිසිවකුට ස්ථිරයෙන් කිව නොහැකියි. විදේශයක ආචාර්ය උපාධියක් හදාරන අපේ කෙනෙක් මේ සම්බන්ධව සොයා බලා තිබෙනවා. .අපට එවා තිබෙන සිතියමකට අනුව පසුගිය කාලය පුරා වර්ග කිලෝමීටර් තුන හතරක් ඇතුළත කම්පන 16ක් පමණ සිදුවී ඇති බව පෙනෙනවා. ලංකාවේ පමණක් නොවෙයි ලෝකය පුරාම පොළොව අභ්‍යන්තරයේ ඇතිවන ක්‍රියාකාරකම් පිළිබඳව සියයට සියයක් මෙතක් හඳුනාගෙන නැහැ. ඒ නිසා ඉදිරි කාලයේ විශාල කම්පන සිදු විය නොහැකි යැයි කිසිවකුට කිව නොහැකියි.
කුඩා කම්පන කිහිපයක් එකම ස්ථානයක සිදුවෙනවා කියන්නේ පොළොව අභ්‍යන්තරයේ කිසියම් දෙයක් සිදුවන බවයි. එබැවින් අනතුරක් සිදුවීමට පෙර ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතුයි. මේ සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යනයක් කළ යුතුයි. අපට ඒ සඳහා අවශ්‍ය දැනුම තිබෙනවා. එහෙත් උපකරණ නැහැ. ඒවා සවිකරන ලෙස අපි ඉල්ලා තිබෙනවා. පතල් හා කැණීම් කාර්යංශයෙන් සහ මහවැලි අධිකාරිය සමඟ එක්ව මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරනවා. ඒත් රජයෙන් ගතයුතු නායකත්වය අපට තවම ලැබී නැහැ. නොවැම්බර් 18 වැනිදා ඇතිවූ භූමිකම්පාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකොට එහි වාර්තාව එළි දැක්වුණා. ඒ අනුව අප කටයුතු කරනවා. මේ ප්‍රදේශයේ සිදුකෙරෙන හුණුගල් කැඩීම මෙම භූ කම්පනවලට බලපෑ හැකියි. කමිටුවෙනුත් ඒ පිළිබඳව ප්‍රකාශ කර තිබෙනවා. නමුත් හුණුගල් කැඩීම නැවැත්වීමට තවමත් පියවර ගෙන නැහැ. උදේ සිට රෑ වෙනතෙක් නොනවත්වාම හුණුගල් කඩනවා. මේවා නියාමනය කිරීමට බලය ඇත්තේ භූ විද්‍යා හා පතල් කාර්යාංශයට. ඔවුන් මේ සම්බන්ධයෙන් කුමන පියවරක් ගෙන තිබේදැයි කිව නොහැකියි.” යනුවෙන් මහාචාර්යවරයා සඳහන් කළේය.
මහවැලි කලාපයේ ජලාශ කිහිපයක්ම ඉදිවී තිබේ. මෙම කලාපය හුණුගල් සහිත ප්‍රදේශයකි. මෙම ජලාශ සියල්ල ඉදිකර තිබෙන්නේ විදේශ විශේෂඥයන්ගේ නිර්දේශ මතය. එම ජලාශවලට රික්ටර් මාපක 3.5ක භූ කම්පනයකට ඔරොත්තු දිය හැකිය. එහෙත් යම් හෙයකින් ඊට වඩා ප්‍රබල භූ කම්පනයක් සිදුවුවහොත් ඇතිවන තත්ත්වය එතරම් යහපත් නොවේ. රටේ මධ්‍යම කඳුකරය අතිශයින් ම වැදගත් වන්නේ විශාල ජලාශ කිහිපයක්ම එම කලාපයේ ඉදිකර ඇති බැවිනි. මෙය ‘ඉහළ ජලාධාර ප‍්‍රදේශ’ වශයෙන් හැඳින්වෙයි. හුණුගල් බහුල මෙවැනි ප්‍රදේශයක ජලාශ ඉදිකිරීම නිසා අනාගතයේ සිදුවිය හැකි බලපෑම සම්බන්ධයෙන් භූවිද්‍යාව පිළිබඳ විශේෂඥයකු වූ මහාචාර්ය පී.ඩබ්ලිව්. විතානගේ මහතා රජයට කියා සිටියද ඒ පිළිබඳ එතරම් තැකීමක් නොකෙරිණි. එහෙයින් විශාල විනාශයක් සිදුවීමට පෙර මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකොට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම වැදගත්ය.
මේ අතර ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ජලාශ හා වේලි අධ්‍යක්ෂ ඉංජිනේරු එස්. ආර්.කේ අරුප්පොල මහතා පවසන්නේ පසුගියදා සිදු වූ භූ කම්පන තත්ත්වය මෙන් දස ගුණයක භූ කම්පනයක් ඇතිවුවද වික්ටෝරියා ජලාශයට කිසිදු හානියක් සිදු නොවන බවටය.. මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පසුගිය 10 වැනිදා පැවැති භූ කම්පන පිළිබඳ විද්වත් කතිකාවෙන් පසු ඔහු මෙම අදහස් පළකර තිබේ. මේ වන විට වික්ටෝරියා ජලාශය සාදා වසර 30ක් පමණ ගතවී ඇති බවත්, එය තවත වසර 150ක් පමණ භාවිත කළ හැකි බවත් ඔහු කියා තිබේ. අති දැවැන්ත භූ කම්පනයකින් විනා වේල්ලට කිසිදු හානියක් සිදු නොවන බවත්, කිසියම් ගැටලුකාරි තත්ත්වයක් නිර්මාණය වුවහොත් ජලාශයේ ජලය ක්‍රමවත් ලෙස බැහැර කිරීමේ ක්‍රියාවලියක් පවතින අ,තර ඇතිවිය හැකි වෙනත් ආපදා පිළිබඳව විධිමත් ක්‍රියාමාර්ග තමන් සතු බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා