
අතළොස්සක් තරුණයන්ගේ උන්මාදනීය සතුට සොයා අධිවේගී යතුරුපැදි ඉවක් බවක් නොමැතිව ධාවනය කිරීම කොළඹ රටේ නොව ඈත ගම්වලත් ඉලන්දාරීන්ට විජ්ජාවකි. ලයිසන් ගන්නට වයසක් නැති කකුල් බිම තබා යතුරුපැදියේ ඉඳගන්නට තරම්වත් කරදඬු උස්මහත් නැති කොලු රැලේ මේක නව ප්රවණතාවකි. ෆේස් බුකියේ ටික් ටොක් ආශාව සංසිඳුවීමට රේස් ගිය මෙවන් එකකු අවසානයේ ගැබිනි මවකගේ කුස තුළ මෝරන තුන්මස් කළලයද ඇයගේ දියණියන් දෙදෙනාද මරා දැමුවේ කාගේත් හිත් සසල කරමිනි.
මෙලොව එළිය දකින්නට පෙරුම් පුරමින් සිටි කළලයද සමඟ එක බඩවැල කඩාගෙන ආ ආදරණීය සොයුරියන්ද මහමග ජීවිතක්ෂයට පත්කර දරුවන්ගේ මවට බරපතළ ලෙස තුවාල සිදුකරන්නටත් ටික් ටොක් මානසික යතුරුපැදි අනතුර ප්රබලව තිබිණ. සංවේදී මිනිසුන්ගේ නෙතග කඳුලින් තෙත්කර ඇසූ දුටු කාගේත් හුස්ම මොහොකට හිර කරන්නට ඒ අනතුර පෙරමුණ ගත්තේය.
මොරටුව ගාලුපාරේ එගොඩඋයන මෝසස් පටුමඟ අසල පදික මාරුවේදී නූපන් කළලයක් සහ දරුවන් දෙදෙනෙකුට දිවි අහිමි කළ යතුරුපැදි අනතුර නොදන්නා කෙනකු නැත. එහි සැකකරු සමාජජාලා ගිණුම්වල සිය වීඩියෝ පළකරමින් එම ධාවනයට මුදල් ඔට්ටු තබා රේස් පදිමින් තරුණ ජවය පෙන්වා සල්ලි ගරන එවැනිම කඩප්පුලි මිතුරු කල්ලියක් ආශ්‍රය කළ පුද්ගලයෙකි.
නමින් ලහිරු ෆර්නැන්ඩෝ නම් ඔහු 20 හැවිරිදි තරුණයෙකි. සෑම දිනකම රාත්‍රීයේ පානදුර හා මොරටුව අතර ගාලුපාරේ පුරුද්දක් වශයෙන් රේස් පැද ඒවා වීඩියෝ පටිගත කර ෆේස්බුක්, ටික් ටොක් වැනි සිය සමාජජාලා ගිණුම්වල පළ කිරීමට ඔහු කටයුතු කර ඇතැයිද බොහෝවිට ඊට ඔට්ටු තබමින් මුදල් උපයා ඇතැයිද එගොඩ උයන පොලිස් ස්ථානාධිපතිවරයා කීය. එසේම ඔහු සඳහන් කළේ අධික වේගයෙන් රිය පදවා ඇති සැකකරු මීට පෙරද රිය අනතුරක් සම්බන්ධයෙන් පානදුර පොලිසිය විසින් අත්ඩංගුවට ගෙන අධිකරණයෙන් දඩ නියම වූ අයකු බවය.
ජීවිත තුනක් විනාශකොට එක් අයෙකුට බරපතළ තුවාල සිදුකළ අනතුරෙන් පසුව මාධ්‍ය ඇමතූ සැකකරුගේ පෙම්වතිය තම පෙම්වතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන ලෙසත්, එම පවුලට මුදලින් උපකාර කිරීමට සුදානම් බවත් පවසා තිබූ බවද දැකගත හැකිය. සිය පාර්ශ්වයේ සිත් වේදනාවට කුමන ඉල්ලීම් කළද රටේ පවතින නීතිය කාටත් පොදුය. ඒ අනුව නොසැලකිලිමත්ව අධික වේගයෙන් යතුරුපැදිය ධාවනය කොට පදික මාරුවක් මතදී අනතුරක් සිදුකිරීම හා මනුෂ්‍ය ඝාතනය සිදුකිරීම යන චෝදනා තුනක් යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට පමුණුවා ඇත. එසේම සිද්ධියට අධාර අනුබල දෙමින් ක්‍රියාකළ තවත් තරුණයන් 7 දෙනකුද අත්අඩංගුවට ගෙන මූල්‍ය දඩ නියම කොට නීතිය ක්‍රියාත්මක කළ බව එගොඩඋයන පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.
වලංගු රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට නිසි වයසක් හා ක්‍රමවේදයක් මෙන්ම මෙරට මහාමාර්ගවල ධාවනය කළහැකි වාහනවල එන්ජින් ධාරිතාවක් නියමකොට තිබේ. අදාළ රථ වාහනවලට නියමිත ශබ්දයන් හා ප්‍රමාණාත්මක නලා ඇතත් ඒවා අභිබවා අමතර හඬ හා උපාංග යෙදීම නීතිවිරෝධීය.මෙවැනි ක්‍රියා යතුරුපැදිවල සිදුකිරීම බහුලය.

මෙරට නීතිය අනූව 450CC ධාරිතාවයට වැඩි යතුරුපැදි ලියාපදිංචිය වන්නේ යතුරුපැදි ධාවන තරග සඳහා පමණි. ඒ නියමිත ධාවන පථවල පමණක් ධාවනයටය. නොමැතිව ඒවා මහාමාර්ගයේ ධාවනය සපුරා තහනම් වේ. දැන් නව ප්‍රවණතාවක් වී ඇත්තේ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල මහ රෑ ප්‍රධාන මාර්ග අවහිර කරමින් රේස් පැදීමය. යම් උප සංස්කෘතියක් සේ ඉස්මතු වෙමින් තිබෙන මේ සෙල්ලම පසුපස මුදල් ඔට්ටු දමන ඇතැමුන් සිටින බව දැන් ප්‍රසිද්ධය. ඇතැම් තකතීරු තරුණයන් සති අන්ත මෙන්ම සවස් හා රාත්‍රී කාලවලදී අධික හඬ නංවමින් නාගරික ප්‍රදේශවල වාහන අතරින් රිංගා අනතුරුදායක ලෙස යතුරුපැදි ධාවනය කරනවා දැකිය හැකිය. මේ අය බහුතරය කල්ලි ගැසී ඔට්ටුවට රේස් පදින්නෝය. විටෙක එකම යතුරු පැදිය මාරුවෙන් මාරුවට එකිනෙකා පදින ආකාරය දැකගත හැක. ඔවුන් මාර්ගයේ නියමිත ස්ථාන දෙකක් තෝරාගෙන යතුරුපැදිය අඩුම වේලාවකින් ධාවනය කළ කෙනා ජයග්‍රහණය කළ බව සලකා ඔට්ටු මුදල් දිනා ගනිති.
මෙය රාත්‍රී සමාජශාලා සංස්කෘතියට පුරුදු වූ සමහරුන් හා සමානව ක්‍රීඩාවට හා ටික් ටොක් උන්මාදයට ඇලුම් කරන්නන්ගේ ගැතිකමකි. තරුණ ජවයට ආවේගයට යතුරුපැදි පැදවූවද මොවුන්ගේ ක්‍රියා පසුපස මත්කුඩු හෝ එවැනි ජාවාරම් නොමැති වීම නම් යහපතකි. ඒ කතාව එවැනි තත්ත්වයක් මෙතෙක් වාර්තා වී නොමැති නිසාය. ෆේස්බුක් ඇතුළු සමාජමාධ්‍ය පරිහරණය කරන මෙකී පිරිස් ඒ ඔස්සේ සංවිධානය වෙති. ෆේස්බුක් සාද හරහා කුඩු මතට යොමුවන ඇතැමුන් අතර මොවුන් අගය කළ යුතු වුවද හැදියාව විනය හික්මීම තවත් දියුණු කොටගත යුතු බව කිව යුතුය. එසේ වූයේ නම් මහමග රේස් පදින්නේද මාර්ග නීති උල්ලංඝනය කර අනතුරු සිදුකරන්නේද නැත. පසුගියදා මොරටුව එගොඩඋයන ප්‍රදේශයේ වූ අනතුර එවැනි බරපතළ හා සිතාමතා සිදුකළ මිනීමැරුමකට දෙවැනි නැත. එබැවින් සැකකරුට එරෙහිව නිසි දඬුවම ලබාදිය යුතුය.
යතුරුපැදි පුහුණුවීම රේස් පැදීම සඳහා හෝ විනෝදාස්වාද කටයුතු සඳහා දිවා හෝ රාත්‍රී කාලයේ මාර්ග යොදාගැනීමට කිසිදු හැකියාවක් නැති බවද වාහන අඩු අවස්ථාවලදී නයිට් රේස් සංස්කෘතියට අවස්ථාව නැතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. එසේම රාත්‍රී කාලයේ අනතුරුදායක ලෙස අධික වේගයෙන් යතුරුපැදි ධාවනය සම්පූර්ණයෙන් නතර කිරීමට අවශ්‍ය පියවර මේ වනවිට ගෙන ඇතැයිද ඔහු කීය. විවිධ නාද සහිත නලා හා සයිලන්සර් අනවශ්‍ය සැරසිලි හා බල්බ සහිත යතුරැපැදි අත්ඩංගුවට ගැනීමේ මෙහෙයුමක් මේවන විට ආරම්භ කොට තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ඒ යටතේ කිඹුලාවල හන්දිය සිට ජයවර්ධනපුර රෝහල අතර මාර්ගය අවහිර කරමින් නයිට් රේස් ගිය යතුරුපැදි 26ක් හා තරුණයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට මිරිහාන පොලිසිය කටයුතු කළේය. ඊට පෙර අවස්ථාවක පිළියන්දල කැස්බෑව අතර නීති විරෝධී ලෙස රේස් ගිය තරුණයන් පිරිසක් යතුරුපැදි සමඟ පිළියන්දල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණ. මේ ආකාරයට පානදුර ප්‍රදේශයේ මාර්ගයක රේස් පදිමින් සිටි තරුණයකුගේ යතුරුපැදිය ගැටී පානදුර පොලිසියේ ස්ථානාධිපතිවරයා තුවාල ලැබූවේ පැදිකරුටත් තුවල සිදුකරමිනි.
මෙකී නීතිවිරෝධී රේස් සංස්කෘතිය උත්සවශ්‍රීයෙන් කොළඹ හා මහනුවර නගරය කේන්ද්‍ර කොටගෙන පැවැත්වූ කාලයක් තිබිණි. ඔවුන් ඇතැමුන් අද පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන්ය. එවකට ඇතැම් දේශපාලනඥයන්ගේ පුතුන් නයිට් රේස් පැද අනතුරු සිදුකළ අවස්ථාද තිබිණි. එහෙත් සිය බලපුළුවන්කාරකම නිසාම ඒ සිදුවීම් යටගසනු ලැබීය. ඇත්තන්ට එකවිදියකටත් නැත්තන්ට තව විදියකත් වන නීතිය ක්‍රියාත්මක නොවිය යුතුය. පවතින වසංගතය මැද තරුණ කණ්ඩායම් විසින් බොහෝ දුරට රාත්‍රී කාලයේදි මාර්ග නීති උල්ලංඝණය කරමින් ප්‍රසිද්ධ මාර්ගවල සිදු කරන රේස් පැදිල්ල නතර කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරවරයකු යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබේ. රාත්‍රී කාලයේදී මෝටර් රථ හෝ මෝටර් බයිසිකල් යොදාගෙන නයිට් රේස් (Night Race) පදින අයවලුන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
කෙසේ වෙතත් මහා මාර්ගයේ රේස් නැතත් රථවාහන වේගයෙන් ධාවනය කෙරේ. පදිකයන්ට ඉතිරිව ඇත්තේ ආරක්ෂිතව පදික වේදිකාවේ හා පදිකමාරුවේ ගමන් කිරීම පමණි. පදිකමාරුව එක් ආරක්ෂිත මගක් වුවද එහි ගමන් කළයුතු වන්නේ පාර පිරික්සා බලා රථවාහන නොමැති විටකදී පමණය. වාහනය පෙනි පෙනී පදික මාරුවේ යාම මරු හා වාසයකි.
සමන්ත ප්‍රදීප් විල්කෙර