2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා

කැලෑ වනසන්න උපදෙස් දෙන කැලෑරකින ඇමැති

 2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 74

බොහෝවිට අදාළ විෂයයන්ට ඇමැතිවරු පත් කරන්නේ ඒ ක්ෂේත්‍ර සුරක්ෂිතව සංවර්ධනය කරගෙන රටේ අනාගතය වෙනුවෙන් වැඩි වැඩක් කිරීමටයි. වනජීවී ඇමැතිවරුන්ගේ වගකීම වන්නේ වනජීවී දෙපාර්තමේන්තුවට අයත් ජාතික වනෝද්‍යානවල විනාශය වළක්වාගෙන වනජීවී නිලධාරීන් හරහා එම කාර්යය කළමනාකරණය කර  ගැනීමයි. ඒ සදහා අවශ්‍ය පහසුකම් තම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ලබාදීමයි.

ඒත් ලංකාව පුදුම රටකි. වනජීවී විෂය භාර රාජ්‍ය ඇමැතිවරයා ජනතා බදු මුදල්වලින් සැපයෙන නිල වාහනවලින් කෂේත්‍රයටම ගොස් නිලධාරීන්ට සත්තම දාන්නේ වනජීවී රක්ෂිත විනාශ කරන ලෙසයි. නීතිය ගැන විතරක් හිතලා බැරි බව පවසමින් කිසිම රාජ්‍ය බලධාරියෙක් ප්‍රසිද්ධියේ නොකරන ලෙස වනෝද්‍යනය මැදින් පාරක් ලබාදෙන ලෙසත් එයට හරක් ඇතුළුව කිරීමට අවසර දෙන ලෙසත් අමැතිවරයා පවසා සිටියේය. ඒ විතරක්ද? නීති විරෝධී ලෙස උද්‍යානයෙන් ගොවීන් අත්පත් කරගත් පසුව වනජීවි දෙපාර්තමේන්තුවම විසින්ම නඩු දමා උද්‍යානයට ආපසු ලබාගත් ඉඩම් නැවතත් ගොවීන්ටම ලබාදෙන ලෙසත් පවසයි. “අපි ගහලා මරලා දැම්මත් මේවා කරන්න බැහැ” යයි වනජීවී නිලධාරීන් ඇමැතැවරයාට පැවසූ අයුරු මාධ්‍ය මගින් රටම දැනගත්තේය.

මෙසේ වනජීවී නිලධාරීන්ට රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක තර්ජනය කිරීම සම්බන්ධයෙන් වනජීවී කැබිනට් ඇමැති සී.බී. රත්නායක හෝ ආණ්ඩුවේ ඉහළ බලධාරීන් කිසිම ප්‍රකාශයක් නිකුත් කළේ නැත. මහවැලි ජල ගැලුම් රක්ෂිතයේ මහවැලි ගඟ දිගේ ඇති පැරණි මනම්පිටිය – යක්කුරේ මාර්ගය නැවත විවෘත කිරීමේ ආන්දෝලනාත්මක සැලැස්ම සහ මහවැලි ජල ගැලුම් නිම්න රක්ෂිතය තුළ පිහිටි පොලොන්නරුවේ ඕනෑගමට යාබද වෙහෙරගොඩයායේ ඉඩම් අත්පත් කර ගැනීමට උත්සාහ කිරීම සහ ගවයන් තණ කැවීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටීමේ නීති විරෝධී උත්සාහය නිසා වනජීවී නිලධාරීහු නොවැම්බර් 27 දා අසනීප නිවාඩු දමා සිය විරෝධය පළ කළහ. ඒත් ඉහළ බලධාරින්ගේ මුනිවත බිඳුණේ නැත.

මාර්ගයක් ඉදිකිරීම වහා නතර කිරීම සම්බන්ධව වනජීවී ඇමැතිවරයා ඇතුළු බලධාරීන් පසුගිය 06 වැනිදාට පෙර තීන්දුවක් ගතයුතු බව පැවසූ වනජීවී වෘත්තීය සමිති එසේ නොවුවහොත්  පසුගිය 7 වැනි සඳුදා සිට වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කර සිටියේය. සඳුදා දින වෘත්තීය සමිති 13 කට අයත් වනජිවි නිලධාරීන් දීප ව්‍යාප්තව වැඩ වර්ජනයක නිරත වූයේ ඒ අනුවයි. ඒ නිසා කලකට පසු පසුගිය සතියේ විවෘත කළ වනෝද්‍යාන යළිත් වැසී ගියේය. යාල වනෝද්‍යානයේ කතරගම කටගමුව පිවිසුම් දෙරටුව, පලටුපාන ප්‍රධාන පිවිසුම් දොරටුව, ගල්ගේ පිවිසුම් දොරටුවද විවෘතව පැවතියද ප්‍රවේශ පත් නිකුත් කිරීමක් සිදු නොවිණි. යාල වනෝද්‍යානය නැරඹීමට පැමිණි සංචාරකයන්ට ආපසු හැරීයාමට සිදුවූ අතර ලුණුගම්වෙහෙර, උඩවලව, විල්පත්තු, හෝටන් තැනිතලාව, බුන්දල ඇතුළු සියලුම වනෝද්‍යාන දොරටු එදින සංචාරකයන්ට වීවෘත වුණේ නැත. නමුත් 7 සඳුදා හවස වනවිට අඛණ්ඩ වැඩ වර්ජනය අත්හිටුවීමට වෘත්තීය සමිති තීරණය කළේ වනජිවී අමාත්‍ය සී.බී. රත්නායකගෙන් ලැබුණු යහපත් ප්‍රතිචාරය නිසාය. 

ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානය පවත්නා ලෙසටම ආරක්ෂා කරන බවට හා ඉදිරියේදී සාකච්ඡාවක් ලබාදෙන බවට වනජීවි කැබිනට් ඇමතිවරයා ප‍්‍රකාශයක් කළ අතර එය පදනම් කරගනිමින් වනජීවි නිලධාරීන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටවූ බව වනජීවි නියාමක නිලධාරීන්ගේ සංගමයේ සභාපති ශානුක සඳරුවන් පැවසීය.

වනජීවි කැබිනට් ඇමති සී.බී රත්නායකගේ ප‍්‍රකාශය හුදු වචනයට පමණක් සීමා නොවිය යුතු බවද, ඇමතිවරයාගේ ප‍්‍රකාශය ඒ ආකාරයෙන්ම ඉටුවනු ඇති බවට විශ්වාසය පළ කරන බවද, වනජීවි පනතට පටහැනිව දිවයිනේ කිසියම් හෝ වනජීවි කලාපයක් සම්බන්ධයෙන් යම් ක්‍රියාවක් සිදුවන තත්ත්වයක් උද්ගතවුවහොත් දැවැන්ත වෘත්තිය අරගලයක යෙදීමට සිදුවන බවද සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

වෘත්තිය අරගලය 98%කින් සාර්ථක වූ බව බවසන වන ජීවී නියාමක නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ප‍්‍රධාන කාර්යාලය ඇතුළු සියලු වනජීවි කාර්යාල වසා දැමූ බවත් කාර්යාලයන්හි ආරක්ෂා කළ යුතු සම්පත් ආරක්ෂා කිරීමට පමණක් ක්‍රියාකළ බවත් සඳහන් කළේය.

මේ පිළිබඳව දේශය සමඟ අදහස් දැක්වූ එකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු ප්‍රභාෂ් කරුණාතිලක:

“වනජීවින් සමඟ පැය 24 පුරා කටයුතු කරන නිලධාරීන් සිටින  සංගමයක් විදිහට වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට පටහැනිව කටයුතු කිරීම මෙන්ම එයට විරුද්ධව ලබාදෙන උපදෙස්වලට අනුව කටයුතු කිරීමත් ප්‍රතික්ෂේප කරනවා. ඒ සිද්ධිවලට එරෙහිව නැගී සිටිනවා. ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය සම්බන්ධව ආඥා පනතට පටහැනිව කටයුතු නොකරන බවට වනජීවී කැබිනට් අමාත්‍ය සී. බී. රත්නායක මහතා අපට පෞද්ගලිකවම කිව්වා. ඒ වගේම රටටම මාධ්‍ය ඔස්සේ ඒ බව දැනුම් දුන්නා. අමැතිවරයාගේ විවෘත ප්‍රකාශය සුබවාදී ප්‍රතිචාරයක් විදිහට අපි දකිනවා. අපේ එකම අරමුණ වුණේ වනජීවී රක්ෂිත ජාලය ආරක්ෂා කර ගැනීමයි. යම්කිසි හෙයකින් නැවත වතාවක් ආඥාපනතට පටහැනිව සිද්ධි දාමයක් වුණොත් අපි නැවතත් ඒක වැළැක්වීමට ඉදිරියට එනවා.”

ඒකාබද්ධ වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ඉමේෂ් ගුණතිලක අප සමඟ සඳහන් කළේ වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක සමඟද සාකච්ඡාවක් පැවති බවත් ආඥා පනතට පටහැනිව කටයුතු නොකරන බවට ඔහුත් පොරොන්දු වූ බවත්ය.

නීති විරෝධී පාරක් තැනීමේ සිද්ධිය රටේ පොදු ජනතාව අතරටද විගසින් ගියේය. සමාජ මාධ්‍ය වලින් ඒ ගැන ලොකු විරෝධයක් පළ කෙරිණි. පරිසර සංවිධාන වනජීවී නිලධාරීන් සමඟ එකට හිටගත්තේය. 

පොළොන්නරුව, මනම්පිටියේ සිට යක්කුරේ ප්‍රදේශය දක්වා පැවැති පැරණි මාර්ගයක් මෙසේ හදිසියේ සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබුණි. ජාතික වනෝද්‍යානය ආරක්ෂා කිරීම සඳහා මෙම මාර්ගය භාවිතයෙන් ඉවත් කර, ඒ වෙනුවට මනම්පිටිය, දිඹුලාගල, පැලැටියාව, කළුකැලේ හරහා යක්කුරේට කාපට් සහිත පුළුල් මාර්ගයක් ඉදිකර දී ඇත. යක්කුරේ අවට ජනතාව වර්ෂ 30ක් තිස්සේ ගමන්බිමන් යන්නේ ඒ පාරේය. වසර 30ක් අත්හැර දමා පැවති මේ පාර යළිත් විවෘත කර ගැනීමට අවශ්‍යව ඇත්තේ ප්‍රදේශයේ වැලි ජාවාරම්කරුවන්ට බව ප්‍රසිද්ධ රහසකි. ගිරාමංකඩ නම් ප්‍රකට වැලි මංකඩ ඇතුළු වැලි මංකඩ කිහිපයක වැලි හෑරීම පසුගිය ආණ්ඩුව සමයේදී ද ඇරඹුණු අතර පරිසර සංවිධාන ඇතුළු පාර්ශ්වවල විරෝධය නිසා එය අත්හිටුවීමට ක්‍රියාකෙරිණි. දැන් යළිත් ජාවාරම ඇරඹීමට අවශ්‍ය යටිතල පහසුකම් ලබාගැනීමේ උත්සාහය පිටුපස දේශපාලන හස්තයක්ද ක්‍රියාත්මක වන බව කවුරුත් දන්නා දෙයකි. 

මේ සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්‍රෙය් විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ ජනාධිපතිවරයාට යැවූ ලිපියක මෙසේ සඳහන්ය.

“මහවැලි ව්‍යාපෘතියේදී යක්කුරේ ගම්මානය නැවත ස්ථානගත කිරීමේදී නිසි මාර්ග පද්ධතියක් ලබා දී ඇති අතර රෝහල් වැනි යටිතල පහසුකම් සඳහා දෙහිඅත්තකණ්ඩිය වෙත ප්‍රවේශය ලබා දී ඇති බව අපි ඔබේ අවධානයට යොමු කරමු. එබැවින් වසර 30 ක් තිස්සේ අතහැර දමා තිබූ මහවැලි ගඟ අසබඩ මාර්ගය නැවත විවෘත කිරීම සාධාරණීකරණය කළ නොහැක.

වෙහෙරගොඩයාය ප්‍රදේශයේ ඇති මතභේදාත්මක ඉඩම් අධිකරණ නඩුවක් මගින් වනජීවී දෙපාර්තමේන්තුවට නැවත ලබා දී ඇති බව ඔබේ අවධානයට යොමු කිරීමට අපි කැමැත්තෙමු. ජනතාව තමන්සතු ඔප්පු අධිකරණයේ අවධානයට යොමු කර ඇති නමුත් නීත්‍යානුකූලභාවයක් නොමැති බැවින් අධිකරණය ඒවා නොසලකා හැර තිබේ.

පැරණි මනම්පිටිය මාර්ගය නැවත විවෘත කිරීමෙන් මහවැලි ගඟේ පිහිටි වැලි නිධි සඳහා ප්‍රවේශය ලබාගැනීම සහ වෙහෙරගොඩයායහි පිහිටි ඉඩම් ලබාගැනීම ජනතාව උද්ඝෝෂණය කිරීම පිටුපස සිටින පුද්ගලයන්ගේ අභිප්‍රාය බව අපි විශ්වාස කරමු.
පාරිසරික ආරක්ෂාව යනු සමස්ත ජාතික ආරක්ෂාවේ අතිශයින්ම වැදගත් අංගයක් බව ඔබේ අවධානයට යොමු කිරීමට අපි කැමැත්තෙමු. පාරිසරික ආරක්ෂාව බිඳ වැටුණු පසු විසඳීමට අපහසු වෙනත් ගැටලු රාශියක් විවෘත වේ. ජලගැලුම් රක්ෂිතය තවදුරටත් විනාශ වීම නිසා මිනිස් අලි ගැටුම වඩාත් නරක අතට හැරෙනු ඇත. වැලි කැණීම නිසා මහවැලි ගඟ තවත් ගැඹුරවූ පසු දේශගුණික විපර්යාස හේතුවෙන් මුහුදු මට්ටම ඉහළ යාම හේතුවෙන් මුහුදු ජලය ගලා ඒම වැඩි කරයි. වැලි කැණීම හේතුවෙන් ජල මට්ටම පහත වැටෙන විට මහවැලි ගඟ දිගේ පානීය හා වාරිමාර්ග ජල ගැටලු විසඳීම සඳහා වැඩි යටිතල පහසුකම් පිරිවැයක් දැරීමට රජයට සිදුවනු ඇත.

ආන්දෝලනයට තුඩු දී ඇති පොළොන්නරුව ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සංවේදී කලාපයක් වන වෙහෙරගොඩ යාය ප්‍රදේශය මේ වනවිට අනවසර වගා ඇතුළු මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශ වී ගොසිනි. වනය මැද පුරාවිද්‍යා නටබුන් පවතින ඓතිහාසික බිමක ගවගාල් වශයෙන් ගොඩනැගිලි ඉදිකර තිබේ. භික්ෂුන් වහන්සේ පිරිසක්  7දා පැමිණ අනවසරයෙන් ඉදිකර ඇති ගවමඩු ඇතුළු ඉදිකිරීම් ඉවත් කළහ. එහි මී, කුඹුක් ඇතුළු පැළ රෝපණය කර විනාශ කළ අක්කර 2000 භුමි භාගය නැවත ස්වභාවික පරිසර පද්ධතියක් කිරීමේ  වැඩසටහනක් වනජීවි නිලධාරීන්   ආරම්භ කර තිබේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා සංඝරත්නය හා සිංහලේ අපි සංවිධානය, පොළොන්නරුව වනජීවි කලාපයේ වන ජීවි නිලධාරීන් ඇතුළු පිරිසක්ද අද එම වැඩසටහනට සහාය දැක්වූහ.

බොහෝවිට සිදුවන්නේ දේශපාලනඥයන් මතුපිටින් දෙන පොරොන්දු ඉටුනොවී විනාශය ඊට පසු යටිබිම්ගතව හොර රහසේ ක්‍රියාත්මක වීමයි. වනජීවී ඇමැතිවරයාගේ පොරොන්දුව එවැන්නක් නොවනු ඇතැයි අපි සිතමු.

 කුසුම්සිරි විජයවර්ධන

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03