2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා

අමරසේකර ලෝකයට රැගෙනගිය ධනපාල

 2020 දෙසැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 114

(මෙම ලිපියේ පළමු කොටස 
පසුගිය සතියේ පළ විය)

ධනපාල "ලංකාදීප" පත්‍රයෙන් 1950 වසරේ "ලෝක සාහිත්‍යයට එක්වන සිංහල කෙටිකතා" තේරීමේ තරගයක් සංවිධානය කළේය. එම තරගයෙන් ජයගත් කෙටිකතාව ඇමෙරිකාවේ නිව් යෝක් හෙරල්ඩ් ට්‍රිබියුන් පත්‍රය සංවිධානය කළ 1950 ශ්‍රේෂ්ඨ කෙටිකතා නම් සංග්‍රහයට ඇතුළත් වන බවත් ජයග්‍රාහකයාට රු.350ක් පිරිනැමෙන බවත් ලංකාදීපයෙන් නිවේදනය කළේය. මේ තරගයෙන් කෙටිකතා 177 අතුරින් ජයගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ විද්‍යා අංශයේ ඉගෙනුම ලැබූ ගුණදාස අමරසේකර ශිෂ්‍යයාය. සෝමා නම් මේ කෙටිකතාව 1950 අගෝස්තු 10 &ලංකාදීප* මුල් පිටුවෙන් නිවේදනය කළේ &ලෝක සාහිත්‍යයට එක්වන කෙටිකතාව* යනුවෙනි. &නාලන්දා ශිෂ්‍යයා ජයගනී* උප ශීර්ෂය විය.

දකුණු ඉන්දියාවේ දැඩි අපහාසයට ලක්වී තිබූ සිංහල සිනමාවට සිංහල ලකුණ සනිටුහන් කළ සිරිසේන විමලවීරගේ චිත්‍රපටයට මුල් පිටුවෙන් විශාල ප්‍රචාරයක් දුන්නේද ධනපාලය. සිංහල සිනමාවට නව ජීවයක් දීමට 1956 දීපශිඛා සම්මාන උළෙල ආරම්භ කොට හොඳම චිත්‍රපටය, හොඳම නිළිය හා හොඳම නළුවා තෝරා අගමැති අතින් සම්මාන දීමට මූලික වූ ධනපාල ගමේ ගොඩේ රෑමත් හැඩකාර පංච කල්‍යාණි යන් තෝරා ඔවුන් දිරිමත් කළේය. හොඳම කවියා තේරීමේ තරගයක් ඇතිකොට ඉන් පාඨක ඡන්දයෙන් ජයගත් රුයිපියෙල් තෙන්නකෝන්ට උපහාර දැක්වූයේ ඔහුය. උසස් රසවින්දනයක් ඇති කිරීමේ අදහසින් සාර සංග්‍රහයක් වූ &රසවාහිනී* සඟරාව අරඹා එහි සංස්කාරක ලෙස මහානාම දිසානායක පත් කළේද ධනපාලමය. කාන්තාවන් වෙනුවෙන් පළකළ මුල්ම පුවත්පත වූ වනිතා විත්ති ඇරඹූ ඔහු මුල්වරට පුවත්පතකින් පළකළ ප්‍රථම සිංහල චිත්‍රකතාව වූ නීලා පළකරමින් බටහිර කොමික්ස් කියවමින් සිටි පාඨකයාට අලුත් අත්දැකීමක් එක් කළේය. ධර්මසිරි ජයකොඩි විසින් ලියූ කතාවට චිත්‍ර ඇන්දේ ජී.එස්. ප්‍රනාන්දුය. චිත්‍ර ශිල්පී සුසිල් ප්‍රේමරත්න ලවා රහස් පරීක්ෂක චිත්‍රකතා (මහහේනේ ඊරි යකා), බිලිපූජාව, ලන්දේසි හටන යන ඓතිහාසික චිත්‍රකතා (මෙහි රචනය ධර්ම ශ්‍රී කල්දේරා) පළ කිරීමට දිරි දුන්නේද ධනපාලයන්ය. මුලදී චිත්‍රපට විචාර ලියූ ධර්මසිරි ජයකොඩි හා පියල් වික්‍රමසිංහ වෙනත් වැදගත් කාර්යයකට යොමුකොට කරුණාසේන ජයලත් ලවා &චිත්‍රපට චක්‍රය* සිනමා අතිරේකය පටන්ගෙන චිත්‍රපට චක්‍රවර්ති නම් අන්වර්ථ නාමයෙන් චිත්‍රපට විචාර ලිවීමට අනුබල දුන්නේද ඔහු විසින්මය. ගම්පහ වික්‍රමාරච්චි වෙදරාළහාමි ප්‍රමුඛ සිංහල වෙද මහත්වරුන්ටද, ප්‍රේමකුමාර එපිටවල ප්‍රමුඛ බතික් කලාකරුවන්ටද දේ. පීටර් සිල්වා වැනි ගුරු නායකයන් ප්‍රමුඛ ගුරු පරපුරටද, සොයිලියස් මැන්දිස් ප්‍රමුඛ සිත්තරුන්ගේ අගයත්, මහගමසේකර වැනි චිත්‍ර ශිල්පීන්ගේ චිත්‍ර හා විකට චිත්‍ර මුල්වරට හඳුන්වා දුන්නේද ඔහුය.

සංගීත ලෝකයේ අංකුර ගායකයකු සංගීතඥයකු වූ ඩබ්ලිව්.ඩී. ඇල්බට් පෙරේරා භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාලයට ඉගෙනීමට යාමට ලංකාදීපයෙන් අරමුදලක් ඇති කළ ධනපාල, ඔහු පෙරළා පැමිණි පසු &අමරදේව* නම හඳුන්වාදීමට ආචාර්ය සරච්චන්ද්‍රයන් හා හවුල් විය.

ධනපාලයන් ලංකාදීපයෙන් ඉවත් වූයේද කාටවත් නොකියාය. ඉන්පසු ඔහුගේ මුල්ම ගෝලයන් දෙදෙනෙකු වූ මහානාම දිසානායක (1960) ද දීගොඩ පියදාස (1977) ද ලංකාදීප පත්‍රයේ ප්‍රධාන කතුවරුන් වූහ.

මේ කාලයේ ධනපාල යුවළ පදිංචිව සිටියේ මොරටුව ලේඩි එව්ලින් ද සොයිසා පාරේ ඇතුළු වන විටම දකුණට තියෙන පැරණි නිවසේය. මේ යුවළගේ වැඩිමහල් පුතා ඩී.බී. නිහාල්සිංහ පුංචි කාලයේ සිටම කැමරාවට පෙම් කළේය. ඔහු ආනන්දයේ ඉගෙන ගනිද්දීම කෙටි චිත්‍රපටයක් තැනීය. දිනක් පුතා පියාට මෙසේ කීය.

තාත්තේ මට කැමරාවක් අරන් දෙන්න. හැබැයි මට තෑග්ගක් විදිහට එපා. ණයට. ඒ මුදල ඉක්මණින් ගෙවන්නම්.

ධනපාලයන් පුතුට කොටුවේ ෆොටෝ සිනෙක්ස් ආයතනයෙන් රු.10,000කට කැමරාවක් අරන් දුන්නේය. නිහාල්සිංහ ජාත්‍යන්තර හා දේශීය සම්මාන ලත් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් මෙන්ම කැමරා ශිල්පියෙක් විය. දෙවැනි පුතු ඩී.බී. සුරනිමල දක්ෂ කැමරා ශිල්පියෙක් විය. පවුලේ එකම දියණිය ධනපාලයන් තංගා නමින් හඳුන්වන සුමිතා ගීතාංජලී ධනපාල (මීගස්වත්ත) පියාගේ අඩිපාරේ යමින් පුවත්පත් කලාවේදිනියක් ලෙස Weekend පත්‍රයේ උප කතුවරියක්ව සිට ලංකා දුම්කොළ සමාගමෙ කළමනාකාරිනියක ලෙස සේවය කළාය.

ධනපාල නම් මහා පත්‍රකලාවේදියා ගැන වැඩිපුරම ලියා ඇත්තේද, චරිතාපදානයක් ලියා ඇත්තේද ගුණදාස ලියනගේ විසිනි. නුවන් නයනජිත් කුමාර විසින් 2010 ලියන ලද &නිහාල්සිංහ පුරෝගාමී තෙවැනි ඇස (අපදානය හා අධ්‍යයනය) කෘතියේ මුල් පරිච්ඡේද කිහිපයක් ලියැවී ඇත්තේ ධනපාල හා රතී යුවළ ගැනය. එම කෘතියේ නිහාල්සිංහ තම පියා ගැන මෙසේ පවසා තිබුණි.

මේ සිද්ධිය 1971 වසරේ නිහාල්සිංහ කැමරාව මෙහෙයවා අධ්‍යක්ෂණය කළ ලංකාවේ ප්‍රථම සිනමාස්කෝප් චිත්‍රපටය වූ වැලිකතර චිත්‍රපටය බලන්නට තම පියා පැමිණි අවස්ථාව මෙසේ සඳහන් වෙයි.

අනේ දෙයියනේ, මියයන්න කලින් එතුමා කායික වශයෙන් දුර්වල තත්ත්වයක සිටියදී මං ඔහුව අතින් අල්ලාගෙන වාඩිකරවා වැලිකතර පෙන්නුවා. චිත්‍රපටය නැරඹීමෙන් පසුව මා දිහා බලලා First Class යැයි කියමින් අප්‍රමාණ සතුට පළකළා. ඊට වැඩිය වචනයක්වත් කතා කළේ නැහැ. තාත්තා මියයන්න කලින් පුතෙක් හැටියට ඒ අප්‍රමාණ සතුට ඔහුට ලබාදීමට හැකිවීම ලොකු පිනක්.

ධනපාල ඉංග්‍රීසියෙන් ග්‍රන්ථ කිහිපයක් ලියා ඇත. ඒ අතර Eminent Indians, The Story of Sinhalese Painting, Three Prime Ministers, Buddhist Painting, Madam ඔහු විසින් මහානාම දිසානායක සමග ලියන ලද &සිංහල සිතුවම් කතාව (1958) හා &මැතිනිය* (1962) වෙයි. මහාචාර්ය සරච්චන්ද්‍ර සහ එම්.ජේ. පෙරේරාගේ බලවත් උත්සාහය නිසා ධනපාල මහතා ලංකා ගුවන්විදුලි සේවයේ ශාස්ත්‍රීය සංග්‍රහයෙන් &පුවත්පත් බස* නමින් ඉතා සරල කතාවක් 1954 දී පවත්වා ඇත. ඒ කතාව 1954 අප්‍රේල් &තරංගනී* කලාපයේ පළ වී තිබුණි.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී පුෂ්පා ඉලංගතිලකට වරක් නිහාල්සිංහයන් තම පියා ගැන කියා තිබුණේ පොතපතට ඔහුගේ පුදුම නැඹුරුවක් තිබුණා. තාත්තා පුන පුනා දරුවන්ට කියා ඇත්තේ මිනිසුන්ට උදව් කරන්න. ඒත් උදව්වට කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා යැයි කියා තිබෙනවා කියායි. තාත්තාගේ තිබූ දැඩි භක්තිය ඔහුගේ දුර්වලකමක් හැටියට නිහාල්සිංහ දැක ඇත්තේ දේශීය වෙදකම, ආයුර්වේදය වැනි දේවල් ගැන තාත්තාගේ අසීමිත විශ්වාසය හා බටහිර වෛද්‍ය ක්‍රමය ගැන හොඳක් නොදැකීමය. (නිහාල්සිංහයන්ගේ බිරිඳ කල්‍යාණි බටහිර වෛද්‍යවරියකි)

ගුණදාස ලියනගේ තම ලොක්කා වූ ධනපාල මහතා ගැන ඔහු විසින් මෙසේ ලියා ඇත්තේ 1968 ලියූ &කවුද මේ?* කෘතියේය.

&ධනපාල අරුම පුදුම මිනිසෙකි. නිරන්තරයෙන් රෙද්දත් බැනියමත් අඳින, රෑට පමණක් ඉඳහිට කලිසම් අඳින, ඉස්සර කාලේ පීකොක් උරා දැන් එකක් ඉවර වෙන්නට තව එකක් ත්‍රී රෝසස් පුච්චන (මෑතක සිට සුරුට්ටුවට බැස සිටින) මේ හතර රියන් මහ කළු සිංහලයාගේ මුහුණ දෙස වරක් බැලූ කෙනෙකුට පෙනෙන්නේ හදවතේ කිසිම තෙත් බවක් නැති ගොරෝසු බවකි. ඒ ගොරෝසු බවට යටින් ඇත්තේ කලාකාමී කාරුණික හදවතකි.

ධනපාල මහතා ලංකාදීපයෙන් ඉවත්ව &දිවයින* නමින් අලුත් පුවත්පතක් ආරම්භ කළේය. එහි මුල් පත්‍රය 1960 ඔක්තෝබර් 03 වැනිදා නිකුත් විය. ශ්‍රියා රත්නකාර හා මොටාගෙදර වනිගරත්න කෙළින්ම පත්‍රයට සම්බන්ධ වූ අතර ලංකාදීපයේ පියල් වික්‍රමසිංහ රහසින් උදව් කළ අතර විපුල ධර්මවර්ධන, ජී.ඩබ්ලිව්. සුරේන්ද්‍රත්, රෝහණ ගමගේ හා පාලිත විදාගමාච්චි &දිවයිනට* එක්ව සිටියහ.

&දිවයිනෙන්* පසු ධනපාලයන් ගුණසේන සමාගම සමඟ එක්ව &දවස* පත්‍රය ආරම්භ කළ අතර එහි මුල් පත්‍රය 1961 අගෝස්තු 14 නිකුත් වී ඇත. දවස පත්‍රයෙන් කළ විප්ලවය වෙනමම ලිවිය යුතු පුරාවෘත්තයකි.

ධනපාල මහතා 1971 වසරේ තදබල ලෙස රෝගාතුර විය. පියාගේ අවසන් කටයුතු ගැන පුතු නිහාල්සිංහයන් නුවන් නයනජිත්ට පවසා තිබුණේ මෙසේය.

&තාත්තා අධික ලෙස දුම් උරපු කෙනෙක්. තාත්තා බලන්න නිතර ගෙදර ගියා. &පුතේ මට අද ටිකක් අමාරුයි* තාත්තා කීවේය. 1971 කැරුල්ල නිසා ඇඳිරි නීතිය දාලයි තිබුණේ. තාත්තා අන්තිම කැමති පත්‍රය අම්මට දීලා තිබුණා. තාත්තාගේ පැවිදි මිත්‍රයා වූ යක්කඩුවේ පඥාරාම හාමුදුරුවන්ට පමණක් ඇරයුම් කොට පාංශුකූලය දීලා කිසිවකුටත් නොකියා පැය 24ක් ගෙවීමට පෙර ආදාහනය කිරීමෙන් පසු ගලා යන ජලය ඇති මෝය කටකට ඒ අළු බඳුන හෙළීමක් කළ යුතු බව තාත්තා කියා තිබුණා.*

මාර්තු 17 වැනිදා රාත්‍රියේ සමසෙට් මෝම්ගේ පොතක 75 වැනි පිටුව කියන විට ධනපාල මහතාට හුස්ම ගැනීමට අපහසුව දැනී ඩර්ඩන්ස් රෝහලට ඇතුළත් වීමෙන් පසු 1971 මාර්තු 18 වැනිදා පාන්දර 3.15ට මියගොස් ඇති බව ගුණදාස ලියනගේ ලියා තිබුණි. අන්තිම කටයුතු ඒ අයුරින්ම ඉටුවිය. 2004 ජූනි 04 වැනිදා මියගිය රතී ධනපාල මහත්මියගේද අන්තිම කැමැත්තව තිබුණේ තම සැමියාගේ කැමැත්ත පිරිදිම තම අවසන් කටයුතු කළයුතු බවය. එයද ඒ අයුරින්ම ඉටුවිය.

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04