පෑලියගොඩ නව වෙළඳ සංකීර්ණයේ වෙළඳසල් ලබාදෙන බව කියමින් ආණ්ඩුව තමන් මහත් දුෂ්කරතාවට ඇද දමා ඇති බව චෝදනා කරමින්, මේ වනවිට මහමඟට ඇද වැටී ඇති මැනිං වෙළඳපොළ ව්‍යාපාරිකයෝ පසුගිය 07 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූහ.
වසර 100කට වැඩිකාලයක් කොළඹ පිටකොටුවේ අක්කර 3ක භූමියක පවත්වාගෙන ගිය මැනිං වෙළඳපොළ භුමිය විශාල ආයෝජන ව්‍යාපෘතියකට ලබාදී ඒ වෙනුවට සියලු පහසුකම් සහිතව පෑලියගොඩ ප්‍රදේශයේ අක්කර 13ක භූමියක් ලබාදෙන බවට ආණ්ඩුව පොරොන්දු වී ඊට අදාළ ව්‍යාපෘති ආරම්භකර තිබුණද මේ වනවිට එම වැඩපිළිවෙළට මුළුමනින්ම පටහැනිව නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරන බවට විරෝධතාකරුවෝ චෝදනා කරති.
පිටකොටුවේ මැනිං වෙළඳපොළේ අඩි 12X10 කඩ කාමරවල සිය ව්‍යාපාර පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයන්ට පෑලියගොඩ වෙළඳ සංකීර්ණයේ වඩාත් පහසුකම් සහිත අඩි 12X6 ප්‍රමාණයේ කඩ කාමර නොමිලේ ලබාදෙන බවට නාගරික සංවර්ධන අධිකාරිය මීට ඉහත දී සහතික වී තිබිණ. කෙසේ වුවද මේ වනවිට එවැනි කඩ කාමරයක ප්‍රමාණය අඩි 6X6 කර බාගයකින් අඩුකර ඇති අතර ව්‍යාපාරිකයන් පවසන්නේ තම ව්‍යාපාරික කටයුතුවලට එම කඩ කාමර කිසිදු ලෙසකින් ප්‍රමාණවත් නොමැති බවය.
තමන් වෙනුවෙන් ලබාදීමට යෝජිතව තිබූ කඩ කාමර එසේ දෙගුණයක් කර කඩ කාමර රැසක් දේශපාලන හිතවතුන්ට ලබාදීමට කටයුතු කර ඇතැයි වෙළඳුන් පවසන අතර මැනිං වෙළඳපොළේ කටයුතු ආරම්භ කිරීමට ඉඩ නොදී පෑලියගොඩ වෙළඳ සංකීර්ණයට ගෙන යන බව කීවද එයින් තමන්ට බලවත් අසාධාරණයක් සිදුවන බවද ඔවුහු පවසති.
වෙළෙඳුන්ට අසාධාරණයක් කරන්නෙ නෑ
මැනිං මාකට් තොග වෙළෙඳ සංගමයේ සභාපති ලාල් හෙට්ටිගේ
කොවිඩ් වසංගතය නිසා වසා දැමුණු මැනිං මාකට් එකේ නව වැඩකටයුතු ආරම්භ කරන්න වෙන්නේ පෑලියගොඩ පිහිටි නව මැනිං වෙළද සංකීර්ණයේ කඩ කාමර තුළ. පසුගියදා අපේ කොළඹ පිහිටි මැනිං මාකට් එකේ හිටපු පිරිසක් විරෝධතාවක නිරත වුණේ කඩ කාමර ප්‍රශ්නයක් මුල් කර ගනිමින්. ඔවුන් කියා සිටියේ ඒ කඩ කාමර මදි බව. ඒ බව අපිත් දැක්කා. නමුත් හදිසියේම තමයි රජය මේ කටයුත්ත සිදුකරලා තියෙන්නේ. කොහොම වුණත් මේ වෙළඳුන්ට අසාධාරණයක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. රජය එක්ක මේ පිළිබඳව කථා කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
කඩ කාමර කුඩා බව වෙළෙන්ඳන් කියනවා
මැනිං මාකට් පොදු වෙළෙඳ සංගමයේ ලේකම් ගාමිණී හඳුන්ගේ
තදබදයෙන් නගරය ඇහිරී ඇති නිසා මුලින්ම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආරක්ෂක ලේකම්ව සිටි කාලේ තමයි නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පෑලියගොඩට ගෙනයාමට සැලසුම් කළේ. මුලින්ම අපි කැමති වුණේ නෑ. නමුත් පසුව පහසුකම් හා ව්‍යාපාරවලට හොඳ වටපිටාවක් ලබාදෙන බව පැවසූ නිසා අපි එයට එකඟ වුණා. නමුත් දැන් වෙළඳුන් කියනවා එහි කඩකාමර ඉතා කුඩා කඩ කාමර කියලා. කොහොම වුණත් අපි වෙළඳුන්ට කිසිදු අසාධාරණයක් වෙන්න දෙන්නේ නැහැ. සෑම වෙළඳුන්ටම කඩ කාමරයක් ලබාදිය යුතුයි කියන එක අපි කියනවා.
කඩ කාමර ගැටලු ලබන සතියේ විසඳෙනවා
නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා
පසුගිය දිනක මැනිං වෙළෙඳපොළෙහි වෙළෙඳුන් කිහිප දෙනෙකු උද්ඝෝෂණයක නියැලුණා. ඔවුන් පවසන්නේ තමන්ට නිසි ලෙස කඩකාමර නොලැබුණු බවයි. නමුත් අපි රජය කිසිදු දේශපාලන හිතවත්කම මත නෙවෙයි මේවා ලබාදුන්නේ. නිසි වැඩපිළිවළක් යටතේ තමයි ලබාදුන්නේ කොහොමත් තවම ඒ වැඩ කටයුතු ඉවරවෙලා නැහැ. ලබන සතිය තුළ වෙළඳුන්ට ඒ කඩ කාමරවල ලබාදීම් කටයුතු සිදු කරන්න පුළුවන්.
හසිත් අංජන